සෞඛ්‍ය ඇමති නලින්දට GMOAයෙන් අභියෝගයක්….

වත්මන් රජය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෛද්‍යවරුන්ගෙන් බලහත්කාරයෙන් සේවය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් සිය සංගමයේ 23,000කට අධික වෛද්‍යවරුන් එලෙස බලහත්කාරයෙන් සේවය කිරීමට සූදානම් නොමැති බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පළ කළේ මෙවන් අදහසක්.

“මැයි 10 වෙනකොට ස්ථානමාරු කිරීමට නියමිත වෛද්‍යවරුන් 6,000ක් පමණ මාරු වීමට නියමිතයි. ඒක පෙබරවාරි පළවෙනි සතියේ පටන් ගත්තේ. මේ ආකාරයට විධිමත් ක්‍රියාවලියක් පසුගිය වසර 13නේම සිදුවෙලා තිබුණේ නෑ. ඔය ට්‍රාන්සර් බෝඩ්වල හිටියායි කියලා කිව්වාට ඒ සංගමයේ සාමාජිකයෝ සමහර තැන්වල අවුරුදු 13-17 හිටියා. අක්ෂි රෝහලේ හිටියා තමන්ට නියමිත ජාතික රෝහලට පාරෙන් පැනලා යන්න බැරුව. ඒ නිසා මේ සියලු අක්‍රමිකතාවයන් නතර කරලා වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් යනවා. මේකෙන් බහුරයක් අසාධාරණයට ලක්වෙලා හිටපු වෛද්‍යවරුන්ට සාධාරණයක් වෙන නිසා ඒ අය කැමති. මේකට අකමැති වෙන්නේ තමන්ගෙ බලය පාවිච් කරලා තමන්ගේ විධායක සභාවේ සාමාජිකයෝ, තමන්ගේ සාමාජිකයන්ගේ බිරින්දෑවරු තමන්ට කැමති කැමති තැන්වල අවුරුදු ගාණක් රඳවගෙන හිටපු අය. ඒ නිසා අදාළ ස්ථානමාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් යනවා.”

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා අද මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියේය.

“සෞඛ්‍ය ඇමතිතුමා අසත්‍ය ප්‍රචාර කිහිපයක්ම කරලා තිබුණා. අපි හිතන්නේ සෞඛ්‍ය අමාත්‍ය තුමාට අප්‍රේල් 1 වෙනිදායි 31යි දෙකම ඔත්තේ නිසා මාරු වුණාද දන්නේ නෑ බොරු කියන කොට. කරගන්න බැරුව තිබුණ ස්ථානමාරු විශාල සංඛ්‍යාවක් 2019 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මූලිකත්වය අරන් වැඩකරලා 98%කට එහා සාර්ථකත්වයකින් යුතුව අපි සම්පූර්ණ කරා. 2026 වසරේ වාර්ෂික ස්ථානමාරු ගත්තොත් පෙබරවාරි වගේ පටන් ගත්තේ. දැන් මාස 2ක් ගිහින්. 6,000වගේ ස්ථාන මාරු කරන්න තියෙනවා. හරියට බැලුවොත් පහෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් තමා ස්ථානමාරු සිදුවෙලා තියෙන්නේ. එතකොට සෞඛ්‍ය ඇමති මාධ්‍ය ඉස්සරහා පාරම්බානවා හොඳට කරා කියලා. මාස දෙකක් ගිහින් පහෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක්වත් කරගන්න බැරිව සෞඛය අමාත්‍යාංශය කොච්චර ෆේල්ද කියලා.”

“‍වෛද්‍යවරු කාගෙවත් අණකට යටවෙලා ඉන්න කැමති නෑ. එහෙම අවශ්‍යත් නෑ. වෛද්‍යවරු විදියට අපි කාටවත් ණයත් නෑ. බයත් නෑ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 23,000කට වැඩි වෛද්‍යවරු වහල්ලු විදියට වැඩකරන්න කිසිසේත්ම ලෑස්ති නෑ. එහෙම වැඩකරන්න ලෑස්ති වෙනවා නම් අමාත්‍යවරයාට අභියෝග කරනවා, ඔබතුමාට හැප්පෙන්න නම් ඕනේ හැප්පිලා බලමු. ඔබතුමාට දෙන්න ඕනේ උත්තරේ රජයේ වෛද්‍යවරු විදියට අපි දෙන්න ලෑස්තියි.”

2026 වසරේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි….

2026 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.6 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කරයි.

මහ බැංකු දත්ත වලට අනුව, ඊයේ (31) දින වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක,

ගැනුම් මිල – රු. 311.76

විකුණුම් මිල – රු. 319.31

2026 පෙබරවාරි අග භාගයේදී මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ මතුවූ බාහිර අංශයේ පීඩනයන්, රුපියල මෙලෙස අවප්‍රමාණය වීමට හේතු වූ බව මහ බැංකුව පෙන්වා දෙයි.

රුපියලේ අගය පහත වැටුණද, 2025 නොවැම්බර් මාසයේ සිට දක්නට ලැබුණු ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වාගනිමින් 2026 පෙබරවාරි මාසයේදී ද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී ඇත.

ඒ අනුව 2026 ජනවාරි-පෙබරවාරි කාලසීමාව තුළ වාර්තා වී ඇති සමුච්චිත අතිරික්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 487 කි.

කෙසේවෙතත්, 2026 පෙබරවාරි මස “බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය” පිළිබඳ වාර්තාවට අනුව වෙළඳ හිඟය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව පුළුල් වී ඇත.

2025 මුල් මාස දෙකේ පැවති ඩොලර් බිලියන 1.1 ක හිඟය, 2026 එම කාලය තුළ ඩොලර් බිලියන 1.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලික සහ වාණිජ වාහන ආනයනය සඳහා පෙබරවාරි මාසයේදී පමණක් ඩොලර් මිලියන 194 ක් වැය වී ඇති අතර, වසරේ මුල් මාස දෙක තුළ සමස්ත වාහන ආනයන වියදම ඩොලර් මිලියන 418 කි.

චීන මහජන බැංකුව (PBOC) සමඟ ඇති හුවමාරු පහසුකම (Swap facility) ද ඇතුළුව, ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතය 2026 පෙබරවාරි අවසානය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 7.3 ක් දක්වා ඉහළ ගොස් ඇත‍.

විදේශ ණය සේවාකරණය අඛණ්ඩව සිදු කළද, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීම ඉහළ නැංවීම හේතුවෙන් සංචිත මට්ටම මෙලෙස වර්ධනය වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

බලශක්ති ප්‍රභවයන් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව කැමැත්තෙන්….

ශ්‍රී ලංකාව තුළ අර්බුද ඇතිවුවත් නැතත් ඉන්ධන, ගෑස්, ගල්අඟුරු ඇතුළු බලශක්ති ප්‍රභවයන් මෙරටට ලබාදීමට රුසියාව සිය කැමැත්ත පළකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, අමාත්‍ය බිමල් රත්නායක මහතා සිදුකළ රුසියානු සංචාරයේ එරට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රමන් මර්ශාවින් මේ බව සහතික වී ඇති බවය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිදුකරන අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා කරනු ලබන සහාය අඛණ්ඩව ලබාදීමටත් නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික වී තිබේ.

මේ අතර මැදපෙරදිග යුධ තත්ත්වය හේතුවෙන් මෙරට බලශක්ති සැපයුමට අදාළව පැන නැගී ඇති ගැටළු නිරාකරණයට සිය රටේ උපරිම සහය ලබාදෙන බව පැවසූ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට දැනට අවශ්‍ය ඉන්ධන සැපයීමත් ඉදිරියේදී ඇතිවිය හැකි හිඟතාවන් පියවීමටත් සිය සහය නොඅඩුව ලබාදෙන බවත්ටත් එකඟවී ඇත.

ඒ අනුව අප්‍රේල් සහ මැයි මාසවලට අවශ්‍ය ඉන්ධන සැපයීම සිදුකල හැකි බවත් ඔහු පවසා තිබේ.

අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා රුසියානු සමාගම් සහ ලංකා ඛණිජ තෙල් තීනිගත සංස්ථාව සමග ගිවිසුම්ගතව ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පහසුකම් සපයන බවද පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව සඳහා භාවිතකරන ගල්අඟුරු සැපයීමට සිය රට සූදානම් බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ සංවර්ධන මාවත යතාර්ථයක් වනු දැකීම සිය රටේ කැමැත්ත බවත්, වත්මන් රජය ගෙනයන තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා රුසියානු රාජ්‍යයේ අඛණ්ඩ සහය ලබාදෙන බවත් මෙහිදී ප්‍රකාශ වී තිබේ.

GMOA හෙට යළිත් වර්ජනයක….

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (02) උදෑසන 8 සිට යළිත් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

එම සංගමය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති අනීතික ස්ථානමාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙලෙස නැවත වැඩවර්ජනයේ නිරත වන බවය.

කෝටි ගණනින් මත්ද්‍රව්‍ය හසුකරගත් නාවික හමුදා මෙහෙයුම……

විදෙස් බුද්ධි තොරතුරක් මත බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර මත්ද්‍රව්‍ය සමග භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව ගැන තවත් කරුණු හෙළිකරගැනීමට හැකිව තිබේ.

ඒ අනුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඉරාන නෞකාවකින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙම යාත්‍රාවට ලබාදි ඇති බවය.

‘අවේමරියා’ නම් මෙම යාත්‍රාව පසුගිය පෙබරවාරි 4 වැනිදා වෙල්ලමංකඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබේ.

අත්අඩංගුවට පත් වූ ධීවරයින් 6 දෙනා මෙම ගමන පිටත්ව ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය රැගෙන එන බව දැනුවත්ව බව සඳහන්ය.

එම එක් අයෙකුට රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බවට ජාවාරම්කරුවන් පොරොන්දු වී ඇති බවත් සිදුකළ මූලික ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත.

ඒ අනුව ඔවුන් පිටත්වීමට පෙර රුපියල් 50,000ක අත්තිකාරමක්ද ලබාගෙන තිබේ.

එමෙන්ම මෙම යාත්‍රාවේ හිමිකරුද මෙම ජාවාරම පිළිබඳ දැනුවත්ව ඇති බවට ආරක්ෂක අංශ සැක කරන අතර, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම දිසානායක නමැති අයෙකු විසින් ගොඩබිමේ සිට යාත්‍රාවේ සිටි ධීවරයින් මෙහෙයවා ඇති අතර ඔහුව මෙහෙයවා ඇත්තේ ‘අයියා’ ලෙස හඳුන්වන අයෙක් බව මේ වනවිට අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සොයාගනු ලැබීය.

එම මත්ද්‍රව්‍ය උර, යාත්‍රාවේ ඉදිරිපස ටැංකියේ සඟවා තිබියදී සොයාගැනීමට හැකිව ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එහිදී සිදුකළ මූලික විමර්ශනයේදී හෙළිවුණේ යාත්‍රාවේ තිබූ උරවල අසුරන ලද පැකට් 298ක හෙරොයින් කිලෝග්‍රෑම් 323ක ප්‍රමාණයක් ඇති බවය.

එම මත්ද්‍රව්‍ය තොගය රුපියල් කෝටි 620කට අධික බව සඳහන්ය.

එමෙන්ම යාත්‍රාවේ තිබී සැටලයිට් දුරකථනයක් ද සොයාගැණුනි.

නිල සංචාරයක් සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති දිවයිනට…..

රුසියානු රජයේ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද (31) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඒ මහතා සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.

ඔවුන් අද දින සවස 04.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඔවුන් පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු , ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

දිවයිනට පැමිණි ඔවුන් දින 05ක් මෙරට රැදී සිටීමටද නියමිතය.

හිටපු ඇමතිවරයෙක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි……

1999 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ සිදුවූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) ඉවත දැමීමට තීන්දු කර තිබේ.

අදාළ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබුණි.

ප්‍රියන්ත ප්‍රනාන්දු, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

1999 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් 2015 වසරේ හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණි.

එම චෝදනා පත්‍ර බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය 2020 වසරේ නොවැම්බර් මස 20 තීන්දුවක් ලබාදෙමින් නීතිපතිවරයා විසින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබුණි.

අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇත.

ඇපෑල ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ අභියාචනාධිකරණයේ තීන්දුව දෝෂ සහගත බවය.

ඒ අනුව සියලු කරුණු පරීක්ෂා කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තීන්දු ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව වැරදි සහගත බවය.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඉවත දමන බවත් නීතිපතිවරයාගේ අභියාචනය ගාස්තුවට යටත්ව පිළිගන්නා බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

ගාල්ල දුම්රිය අංගනයේ ගාල් කර තිබූ භාවිතයෙන් ඉවත් කර දුම්රිය මැදිරි දෙකක ගින්නක්…..

ගාල්ල දුම්රිය ස්ථානය අසලදී භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි දෙකක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි 04 කට අයත් ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල් කොට තිබූ අතර ඉන් මැදිරි 2 කි.

මේ වන විට අදාළ ගින්න නිවීමේ කටයුතු ගිනි නිවීමේ හමුදාව විසින් සිදු කරන අතර ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්….

පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම 75%ක අගයක පවතින බවය.

මේ හේතුවෙන් මෙවර කන්නය සඳහා ජලය ලබා දීමේ හැකියාව පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

“ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම් මේ වන විට පහළ මට්ටමක පවතින්නේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ජලාශ 73න් බොහෝ ජලාශවල ජල මට්ටම සාමාන්‍ය අගයක 75% ඉක්මවා තිබෙනවා. ඒ නිසා මෙවර කන්නය සඳහා ජලය ලබා දීමට හැකියාව පවතිනවා. පානීය ජල අවශ්‍යතාවයන් සඳහා ගංගාවලින් ජලය ලබා ගන්නා ස්ථානවල කරදිය ඇතුල්වීමේ හැකියාව පවතින්න පුළුවන්. විශේෂයෙන්ම නිල්වලා, කැලණි සහ කළු යන ගංගාවල. ඒ නිසා ජනතාව හැටියට ජලය ඉතාම පරිස්සමින් පරිහරණය කරන්න.”

තැපෑලේ නමින් වෙන මහා පරිමාණ වංචාවක් ගැන හෙළිදරව්වක්….

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කර සිදුකරමින් පවතින වංචාවක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ නිල අඩවිය සහ නාමය අවභාවිත කරමින් ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබා ගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා එම මුදල Online Payment ක්‍රමය හරහා බැංකු කාඩ්පත් භාවිතයෙන් ගෙවීමට පාරිභෝගිකයින් ඉලක්ක කරන Phishing Scam ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

මෙම වංචනික ක්‍රියාවලිය යටතේ පාරිභෝගිකයින් විසින් Payment Gateway හරහා තම බැකු කාඩ්පත් විස්තර ඇතුළත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කර ගැනීම මෙහිදී සිදුවනු ඇති බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මේ පිළිබඳව අගතියට පත්වූ හා අදාළ කෙටි පණිවුඩ ලද මහජන පැමිණිලි බොහොමයක් ලැබී ඇති බවත් මෙම Phishing Scam පිළිබඳව මීට පෙර පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දන්වා ඇත.

මේ හේතුවෙන් මහජනතාව මෙම වංචාකාරී කෙටි පණිවිඩ සහිත සබැඳි (SMS Links) ව්‍යාජ වෙබ් අඩවි සහ මාර්ගගත ගෙවීම් ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් නොහඳුනන Links මත Clicl නොකරන ලෙසත් තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශ්ව පුද්ගලයින් හෝ වෙබ් අඩවි වෙත ලබා නොදෙන ලෙසත් තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක්ද සිදුකර තිබේ.