තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට OPEC+ තීරණය කරයි….

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පාලනය කිරීම සහ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පිහිටුවා ගත් ‘OPEC+’සංවිධානය එළැඹෙන මැයි මාසයේ දී තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට අද (5) සිය එකඟතාව පළකර තිබේ.

ඔපෙක් (OPEC) සහ ඔපෙක් නොවන (තෙල් අපනයනය කරන රටවල්) 10කින් සැදුම්ලත් සංගමයක් වන මෙම ජාත්‍යන්තර සන්ධානයේ සාමාජික රටවල් 8ක් මෙම එකඟතාවට පැමිණ ඇත.

ඒ අනුව සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කසකස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය මෙම එකඟතාව පළකර ඇති අතර, ඔවුන් දිනක නිෂ්පාදනය බැරල් 206,000කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.

‘OPEC+’සන්ධානය පවසන්නේ එම රටවල් ඔවුන්ගේ ඒකාබද්ධ නිෂ්පාදනය වැඩි කිරීමත් සමග දිනක නිපදවන බැරල් ප්‍රමාණය බැරල් මිලියන 33.7ක් දක්වා ඉහළ දැමීමට හැකිවනු ඇති බවය.

කෙසේ නමුත් දිනක නිෂ්පාදනය වැඩිකළඳ ගුවන් ප්‍රහාරවලින් හානියට පත් බලශක්ති යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට දිගු කාලයක් ගතවනු ඇති බව එම සංවිධානය පවසයි.

එමෙන්ම යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර හෝ ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ග කඩාකප්පල් කිරීම් හරහා බලශක්ති සැපයුමට සිදුවන ඕනෑම බාධාවකින් වෙළෙඳපොළ අස්ථාවරත්වය තවදුරටත් වැඩි කරන බවට සංවිධානය අනතුරු ඇඟවීය.

මැදපෙරදිග යුද්ධයත් සමග ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ගෝලීය වෙළඳපොළවලින් ඇණහිට ඇති බව විදෙස් වාර්තා පවසයි.

‘GMOA’ ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ඇමති දින දෙයි….

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර තිබෙන වර්ජනයේ ගැටලු ගැන අවධානය යොමුකරමින් එළැඹෙන බ්‍රහස්පතින්දා (9) ඔවුන්ට සාකච්ඡාවක් ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගීවීමට තමන් හෙට (6) ඉන්දියාව බලා පිටත්ව යන බවත්, යළි පැමිණීමෙන් පසු අදාළ සාකච්ඡාව ලබාදීමට බලාපොරොත්තුවන බව බවත් හෙතෙම පැවසීය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහලයයි…..

නිවේදනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 775කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රු. 4,765කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 308කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රු. 1,910ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 890කි.

මේ අතර අප්‍රේල් මාසය සඳහා ඇනවුම් කර ඇති මෙට්‍රික් ටොන් 38,000ක තොග මේ වනවිට, සම්පූර්ණයෙන්ම මාලදිවයිනේ පාවෙන ගබඩාවේ (Floating Storage) ඇති බවත්, ඒ හේතුවෙන් මෙම මාසයේදී ද දිවයින පුරා අඛණ්ඩ සැපයුමක් ලබා දිය හැකි බව එම සමාගම පවසයි.

ඊට අමතරව මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟා වෙමින් පවතින බවත් එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මෙට්‍රික් ටොන් 20,000ක් සමග තවත් නෞකාවක් දකුණු අමෙරිකාවේ සිට පිටත්ව ඇති හෙයින්, මැයි මාසයේ දීද අඛණ්ඩ ගෑස් සැපයුමක් පවත්වා ගෙන යාමට අවශ්‍ය තොග පවතින බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

යුධමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ LP ගෑස් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත්, ආනයනික වියදමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම නිවේදනයේ දැක්වේ

ඒ් සමගම ලාෆ්ස් ගෑස් මිලද ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 5,700ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 418කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,280කි.

ටොන් 25,000ක පොහොර නැවක් හෙට දිවයිනට….

ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට (05) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පවතින ගෝලීය තත්ත්වය හමුවේ මතුව ඇති පොහොර ගැටලුව රජයට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇති බවයි.

එමෙන්ම, යල කන්නය ආරම්භ වන මේ අවස්ථාවේ ගොවි ජනතාව අතර පොහොර පිළිබඳ ගැටලු ඇතිවී තිබුණද, රට තුළ දැනටමත් මඩ පොහොර සහ බණ්ඩි පොහොර අවශ්‍යතාවයට වඩා ප්‍රමාණවත්ව පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

යුරියා පොහොර පිළිබඳව සීමිත ගැටලුවක් පැවතිය හැකි නමුත්, දැනටමත් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රට තුළ පවතින බවත්, වී වගාව සඳහා අවශ්‍ය වන ටොන් 80,000කට සාපේක්ෂව එය ප්‍රමාණවත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අතුරු බෝග සහ අතිරේක වගාවන් සැලකිල්ලට ගත් විට, තවදුරටත් අවශ්‍යතාවයක් ඇති විය හැකි බැවින්, එය සපුරාලීම සඳහා එන පස්වෙනිදා ටොන් 25,000ක පොහොර රැගත් නැවක් දිවයිනට පැමිණීමට නියමිත බවත්, තවත් පොහොර නැව් ඉදිරියේදී ගෙන්වීමට ඇනවුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“යල කන්න නැවත ආරම්භ වෙමින් පවතිනවා. එතනදි පොහොර පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේ පවතින ලෝක යුද තත්ත්වයත් සමග. ඒ අනුව, අත්තටම අපි ගොවි ජනතාවට කියන්නේ අපිට පොහොරවල ලොකු ගැටලුවක් එන්නේ නෑ. අපිට මේක කලමනාකරණය කරගන්න පුළුවන්.රට තුළ මඩ පොහොර අපේ අවශ්‍යතාවය ඉක්මවා තියෙනවා. බණ්ඩි පොහොරත් අවශ්‍යතාවය ඉක්මවා රට තුළ තියෙනවා. යුරියාවල තමයි ප්‍රශ්නයක් එනවානම් එන්න තිබුණේ. හැබැයි යුරියා ටොන් ලක්ෂයක ප්‍රමාණයක් තියෙනවා. වී වාගවට අපට අවශ්‍ය වෙන්නේ ටොන් 80,000ක් විතර. අතුරු බෝග සහ අතිරේක බෝග එක්ක කල්පනා කරනකොට මේ පොහොර ප්‍රමාණය ඇත්තටම මදි වෙනවා. ඒ නිසා ඒකට විකල්පයක් විදිහට එන පස් වෙනිදා වෙනකොට අපිට තවත් ටොන් 25000ක පොහොර නැවක් එන්න නියමිතයි. ඇනවුම් කරපු තවත් පොහොර නැවක් ඊළඟ වටයකින් එන්න නියමිතයි.”

1990 ගිලන්රථ සේවයට නව කාර්යාලයක්….

1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් එක්ව සිටියේය.

නව කාර්යාලය කොළඹ 07, හෝටන් පෙදෙසේ පිහිටි ස්ථානයේදී විවෘත කිරීම සිදු කෙරිණි.

මිහිදන් කළ මෘතදේහයක හිස කොටස අතුරුදන්…

වවුනියාව, මාරම්බයිකුලම් ප්‍රදේශයේ මිහිදන් කර තිබූ මෘතදේහයක හිස කොටස අතුරුදන්ව තිබේ.

කිසියම් පිරිසක් විසින් අදාළ මළසිරුර මිහිදන් කළ ස්ථානය නැවත හාරා එහි තිබූ හිස කොටස පමණක් රැගෙන ගොස් ඇති බව  වාර්තා වේ.

එම සුසාන භූමිය ආශ්‍රිත ප්‍රදේශය පුරා පැතිර ගිය දැඩි දුර්ගන්ධය හේතුවෙන් සිදුකළ සොයා බැලීමක දී අදාළ මළසිරුර ගොඩගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

මීට මාස තුනකට පමණ ඉහතදී මියගිය මාරම්බයිකුලම් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ මළසිරුරක කොටසක් මෙලෙස අතුරුදන්ව ඇති බව ද සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් වවුනියාව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වවුනියාව අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කොළඹ ජල කප්පාදුව පැය 12ක් හෝ 8ක් දක්වා අඩු කිරීමට සැලසුම්….

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුව සිදු කරන කාල සීමාව අඩු කිරීම සඳහා අවධානය යොමුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සදහන් කළේ, පවතින තත්ත්වය හමුවේ සිදු කරන ජල කප්පාදුව පැය 8ක් හෝ 12ක් දක්වා අඩු කිරීමට අවධානය යොමුව ඇති බවය.

වියළි කාලගුණ තත්ත්වයත් සමග ජල සැපයුමට එල්ල වී ඇති බාධා සැළකිල්ලට ගනිමින් පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවලට දින 03කට පසු එක් දිනයක් ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබුණි.

කෙසේවෙතත් පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගික ජනතාවට සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් එම කාලසීමාව පැය 18ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව එම මණ්ඩලය ඊයේ නිවේදනය කළේය.

එම කාල සීමාව තවදුරටත් අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට ජලසම්පාදන මණ්ඩලයේ අවධානය යොමුව ඇත.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජල සැපයුමට තවදුරටත් බාධා එල්ල වුවහොත් බවුසර් මගින් ජලය සැපයීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

ඒ අනුව සෙසු දිස්ත්‍රික්කවල එම මණ්ඩලය යටතේ පවතින බවුසර් රථ කොළඹට රැගෙන ඒමට මේ වන විටත් පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේය.

ජල සැපයුමට බාධා එල්ලවීමත් සමග මේ වන විට ජල සම්බන්ධතා 20,000කට පමණ බලපෑම් එල්ල වී ඇති බව ද ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

නුවරඑළිය වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවයට ප්‍රථම වතාවට මාධ්‍යයට ආරාධනා නැහැ…..

දිගින් දිගටම නුවරඑළිය මහ නගර සභාවේ වැරදි මාධ්‍ය අරහා පෙන්වා දෙන
බැවින් මෙවර වසන්ත උත්සවය සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන්ට
ආරාධනා නොකිරීම පිළිබඳව නුවරඑළිය ක්‍රියාකාරී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
සිය අප්‍රසාදය ප්‍රකාශ කරයි .
දැනට වසර 25 කට ආසන්න කාලයක් අප්‍රේල් වසන්ත සමය වෙනුවෙන්
නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන්
නුවරඑළිය මහ නගර සභාව විසින් සංවිධානය කරනු ලබන වසන්ත
සැණකෙළියේ සමාරම්භක උත්සවය සජීවී විකාශයේ සඳහා රාජ්‍යනාලිකාවට
ඇරයුම් කරන අතර මාධ්‍ය ආවරණ කටයුතු සඳහා සෑම මාධ්‍ය ආයතනයක්ම
නියෝජනය කරන මාධ්‍යවේදීන්ට ආරාධනා කරනු ලබයි ,
එසේ නමුත් මෙම වර්ෂයේදී මාධ්‍යවේදීන් කිසිවෙකුට වසන්ත සැණකෙළි
සමාරම්භක උත්සවයට ආරාධනා කර නොමැති අතර එයට හේතුව වශයෙන්
නාගරික මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකුගෙන් විමසන විට ඔවුන් කියා සිට
ඇත්තේ දිගින් දිගටම මහ නගර සභාවේ වැරදි පෙන්වාදීමට ඇතැම්
මාධ්‍යවේදීන් කටයුතු කරන බැවින් මෙවර පොදුවේ මාධ්‍යවේදීන්ට ආරාධනා
කිරීම ප්‍රතික්ෂේප කළ බවයි ,
නුවරඑළිය සංචාරක කර්මාන්තයේ අපි දියුණුව වෙනුවෙන් වසන්ත
සැණකෙළියේ සමාරම්භක උත්සවය මෙන්ම සෑම අවස්ථාවක්ම මාධ්‍ය ආවරණ
කටයුතු කිරීමට මාධ්‍යවේදී මෙතෙක් කටයුතු කර ඇති අතර මහ නගර සභාවේ

වැරදි පෙන්වාදීම හේතු කොටගෙන මාධ්‍යවේදීන්ට ආරාධනා කිරීම පිළිබඳ
මාධ්‍යවේදීන් සිය අප්‍රසාදය පළ කරයි.

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වැට් බදු ක්‍රමවේදය ජූලි දක්වා කල්යයි….

වැට් බදු සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු විශේෂිත බදු ඉන්වොයිස් පත්‍ර ක්‍රියාත්මක කිරීමේ දිනය මාස තුනකින් දීර්ඝ කිරීමට දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මීට පෙර 2026 අප්‍රේල් 01 වැනිදා එනම් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නව ක්‍රමය 2026 ජූලි 01 වැනිදා දක්වා කල් දමා ඇති බවය.

අද දින සිට ක්‍රියාත්මක වීමට නිමිතව තිබූ බදු නීතිය සහ එමඟින් ආර්ථිකයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මෙලෙස පැහැදිලි කළේය.

“මේ කල්දැමීම පිටුපස සාධක කිහිපයක් තිබිය හැක. එකක් තමා අපි දන්නවා මේ අවස්ථාව වෙන විට ගෝලීය ඛනිජතෙල් මිල ඉහළ යෑම තුළ දේශීය වශයෙන් මිල ඉහළ ගොස් තියෙනවා. ගෑස් මිල ඉහළ ගොස් තියෙනවා. විදුලි මිල ඉහළ ගොස් තියෙනවා. මේ එක්ක ඉදිරියට තවත් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑමට නියමිතයි. මෙවැනි සේවාවල මිල ඉහළ දැමීම විශේෂයෙන්ම තනි පුද්ගලයෝ විදියට ඩිජිටල් ෆැල්ට්ෆෝම් පාවිච්චි කරගෙන යන ආර්ථික කටයුතු ඒ වගේම ස්වයං රැකියා වගේ දේවල්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මානතකරුවෝ ලබාගන්නා ඩිජිටල් සේවා කියන දේවල්වල තවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමට තුඩු දෙන ආකාරයේ මිල වැඩිකිරීම් ඇති වීමට හැකියාව තියෙනවා මේ වැට් බද්ද අයකිරීම තුළ. රජය ඒ අනුව කල්පනා කරා වෙන්න පුළුවන් තියෙන තත්ත්වය තුළ මෙවැනි බද්දක් අය කළහොත් එය විශේෂයෙන්ම ආර්ථික කටයුතුවලට අහිතකර බලපෑමක් ඇතිවිය හැකි කියන දේ මත වෙන්න පුළුවන් මේක තාවකාලිකව කල්දැම්මේ.”

2026 වසරේ ඉදිරි විභාග ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්…..

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයන් වෙන්කරන ලද නියමිත දිනවලදීම පැවැත්වීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

ඊයේ (31) නිකුත් කළ උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී 2026 වසරේ විභාගයන් පැවැත්වෙන දින දැනුම් දුන් බවත් ඒ අනුව සිසුන් අදාළ දිනයන්ට අනුව සිය අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසත්ය.

යම් යම් හේතූන් මත විභාග පැවැත්වෙන කාලසීමාවන් වෙනස් වීම හේතුවෙන් පසුගිය කාලය පුරාම දරුවන් දැඩි අසීරුතාවයට පත්වූ බවත් ඒ නිසාවෙන් මේ වසරේ දැනුම්දෙන ලද දිනයන්හිදීම විභාග පැවැත්වීමට අපේක්ෂා කරන බවත් ඉන්දිකා කුමාරි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර, 2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් 22 – 30 දක්වා පැවැත්වෙන බවත් මේ වනවිට පළමු අදියරේ ඇගයීම් කටයුතු අවසන් කර ඇති අතර, අද (01) දිනයේ සිට දෙවැනි වටයේ ඇගයීම් කටයුතු ආරම්භ කරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අප්‍රේල් මස 30 වන දින සිට තුන්වන අදියරේ ඇගයීම් කටයුතු සිදුකරනු ලබන බවත් ඇය සඳහන් කළාය.

ඒ අනුව 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 9 වන දිනත්, උසස් පෙළ අගෝස්තු 10 වන දිනත් සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 8 වන දිනත් පැවැත්වීමට නියමිතව තිබේ.