මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ නඩුවක නියෝගය ප්‍රකාශ කිරීම කල්යයි…

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම්බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික  මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන මහත්වරුන්ට විරුද්ධව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මාර්තු මස 25 වන දා දක්වා කල් තැබීමට  කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

මෙම නඩුව අද(05) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අද  දිනයේ එම නියෝගය  ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද විනිසුරු බුද්ධික සී රාගල මහතා ප්‍රකාශ කළේ අදාල නියෝගය සූදානම් නොමැති බවත් එය මාර්තු මස 25 වනදා ප්‍රකාශයට පත් කරන බවත්ය.

පිරිසක් යද්දි තවත් පිරිසක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක….

දිවයිනේ විවිධ ප්‍රදේශවල ජාතික පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සමන්විත ජාතික පාසල් ගුරු දරු එකමුතුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අසළ අද උදෑසන විරෝධතාවක් ආරම්භ කළේය.

ඔවුන් පවසන්නේ ජාතික පාසල්වල වසර 3ක් සේවය සම්පූර්ණ කළ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට තම දරුවන් එම පාසල්වලටම ඇතුළත් කරගැනීම සඳහා වූ වරප්‍රසාදය කිසිඳු හේතුවක් නොදන්වා 2025 සිට නවතා දමා ඇති බවය.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, අධ්‍යාපන ලේකම් ඇතුළු නිසි බලධාරීන් හමුවී විමසුවද විසඳුමක් නොදුන් බවත් විරෝධතාකරුවන් පවසයි.

එවන් පසුබිමක සිය ගැටලුවට ලිඛිත විසඳුමක් ඉල්ලා ජාතික පාසල් ගුරු දරු එකමුතුව මෙලෙස විරෝධතාවයේ නිරතව සිටියි.

ඒ ඔවුන්ගේ දරුවන්ද සමඟය.

විරෝධතාවය සඳහා ජාතික පාසල්වල ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින්ද එක්ව සිටියි.

ජනපති හෙට මහනුවරට….

දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ආරම්භ කිරීම, වන්දි ප්‍රදානය කිරීම සහ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු ඇරඹීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) මහනුවරදී සිදු කිරීමට නියමිතය.

ඒ අනුව, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට මෙන්ම පූර්ණ හා අර්ධ වශයෙන් නිවාස හානි සිදු වූ පවුල් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට පෙරවරු 9.00ට කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

දිට්වා සුළි කුණාටුවෙන් තම කර්මාන්ත ස්ථාන හෝ යන්ත්‍රෝපකරණ ආදියට හානි සිදු වූ පුද්ගලයන්ට ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 02 බැගින් මෙහිදී ලබා දීමට නියමිතය.

කුඩා, මධ්‍යම හෝ මහා පරිමාණ වශයෙන් භේදයකින් තොරව ලියාපදිංචි කර ඇති සියලු ව්‍යාපාර සඳහා මෙම මූල්‍ය ප්‍රදානය ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදු කෙරේ.

එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූ පවුල් සඳහා නව නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් ලබා දීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරේ.

තමන්ටම හිමි ඉඩමක හෝ රජය විසින් ලබා දෙන ඉඩමක නිවස ඉදිකරන පුද්ගලයන් මෙම යෝජනා ක්‍රමයට අයත් වේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ නිවාස හානි වූ සහ නාය යෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් ප්‍රදානය සහ වන්දි ලබා දීම හෙට (06) පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

එමෙන්ම, නිවාස අර්ධ හානි වූ පවුල් සඳහා කඩිනම් සහන සැලසීමේ අරමුණින් වන්දි මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරේ. නව නිවාස ඉදිකිරීමේ වැඩසටහනට සමගාමීව නව නිවසක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.

මේ අතර, මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ (A-009) මහයියාව උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතුද හෙට පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

එසේම, දිගු කාලයක් ඉදිකිරීම් නවතා තිබූ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමද හෙට පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

නව විගණකාධිපති, කථානායක ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි…..

නව විගණාකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (5) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්නාය.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති සහ විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ඇය මෙසේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදීම සිදුවිය.

මෙරට 42 වැනි විගණකාධිපති ලෙස පත්වූ ඇය එම ධුරයට පත් ප්‍රථම කාන්තාව වේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිස ඇමති විජිත හමුවෙයි…

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා සහ මහඇමති භූපේන්ද්‍ර පටෙල් මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක්, පාර්ලිමේන්තු සංකීර්ණයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.

අද (05) එම හමුව සිදුව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමත්‍යාංශ පවසයි.

මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ කළ නිල සංචාරයකදී කළ ඉල්ලීමකට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මඟපෙන්වීම යටතේ, ගුජරාට් ප්‍රාන්තයේ තැන්පත් කර තිබූ පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කළ බවය.

ගුජරාට් ප්‍රාන්ත ඉතිහාසය තුළ, පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ විදේශ රටකට වැඩම කරවනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම දෙරට අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවය සහ ඓතිහාසික සබඳතාව විදහා දක්වන වැදගත් සන්ධිස්ථානයක් බව ද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවේ අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, මෙම ඓතිහාසික ධාතු වන්දනාව සංවිධානය කිරීම සඳහා ගුජරාට් ප්‍රාන්ත රජය ලබා දුන් දායකත්වයට සිය ස්තූතිය පළ කළ අතර, එය ශ්‍රී ලංකාව සහ ගුජරාටය අතර පවතින දිර්ඝකාලීන ආගමික හා සංස්කෘතික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් බව ද පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවේදී, ඉන්දියාවේ ප්‍රමුඛතම කාර්මික මධ්‍යස්ථානයක් වන ගුජරාටය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද දෙපාර්ශවයේම අවධානය යොමු විය.

ඒ අනුව, අමුල් (Amul) සහ ටාටා (Tata) වැනි ගුජරාටයේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ පවතින කාර්මික සහයෝගීතාව පුළුල් කිරීම, දෙරටේ බෞද්ධ ජනතාව අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන්, සහ සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවර්ධන අවස්ථා පිළිබඳව ද මෙහිදී සුබවාදී එකඟතාවන්ට එළඹ තිබේ

මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් පරීක්ෂාවේදී ඇතැම් බස්රථ ආපසු හරවාගෙන ගිහින්…..

මොරටුව ප්‍රදේශයේ බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීමක් අද (5) මොරටුව බස්නැවතුම්පොළේ දී සිදු කළේය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා පොලිසිය එක්ව බස් රථ රියදුරන් 250 දෙනෙකු මෙහිදී පරීක්ෂා කරනු ලැබීය.

ඉන් 8 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි තහවුරු වූ බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පැවසීය.

මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ, අදාළ පරීක්ෂාව මගහැරගිය රියදුරන් හා කොන්දොස්තරවරුන් අදාළ පරීක්ෂාව හෙට (6) දිනය තුළ සිදුකර නොගතහොත් ඔවුන්ට පොදු මගී ප්‍රවාහනය සිදුකිරීමට අවසර ලබා නොදෙන බවය.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහතා,

“කොළඹට ගිය සමහර බස් රථවල කොන්දොස්තරවරු හා  රියදුරු මහත්වරු මොරටුවට එන්නේ නැතුව හරවන් ගිගින්. ඒ සියලු දෙනා හෙට දවස ඇතුළත ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ගිහින් මෙඩිකල් ටෙස්ට් එක කරගෙන රිපෝට් එක ගෙනත් දෙන්න ඕන. 

එහෙම නැතිවුණොත් කිසිම කෙනෙකුට නැවත පොදු මගී ප්‍රවාහන සේවයේ නැත්නම් බස්රථල සේවය කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ තීරණයේ දැඩිව ඉන්නවා” යනුවෙන් පැවසීය.

ශිරන්ති රාජපක්ෂ FCID කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්….

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (03) පස්වරුවේ නිවේදනයක් නිකුත් කර තිබුණි.

එම නිවේදනයයේ සඳහන් කර තිබුණේ සිරිලිය සවිය සංවිධානයේ ගිණුම් වාර්තා, පොත්පත් සහ ලිපි ලේඛන සියල්ල 2015 වසරේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන තිබූ බවය.

එවැනි පසුබිමක අද දින යළි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඒ පිළිබඳ කරුණු විමසූ බව එම නිවේදනයේ දැක්වෙයි.

අදාළ නිවේදනය පහතින්

1111

 

 

සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක්…..

පෙබරවාරි 6 වැනි සිකුරාදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක් සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඒ බව සඳහන් කර ඇත.

ඒ අනුව, අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ නිකුත් කළ ප්‍රකාශනය ඇතුළත් යෝජනා සම්මතය පෙබරවාරි 6 වැනි සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරු 1.30ට රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

ඒ අනුව, එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව වෙනත් දිනයකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය කර ඇත.

තවද, 2026 ජනවාරි 28 දිනැති අංක 2473/13 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කළ යෝජනා සම්මතයද පෙබරවාරි 6 වැනි සිකුරාදා ප.ව. 5.30ට කිසිදු විවාදයකින් තොරව අනුමත කර ගැනීමට මෙහිදී එකඟත්වය පළ වී ඇති බවද මහ ලේකම්වරිය සඳහන් කළාය.

මාස 9ක ඉඩෝරය නිමකළ විගණකාධිපති තනතුර….

පුරා මාස 9ක කාලයක් පැවති විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව අද (03) සම්පූර්ණ විය.

ඒ අද පැවැති ව්‍යවස්ථාදායක සභාව රැස්වීමෙන් අනතුරුවය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත පසුගිය සිකුරාදා දින යෝජනා කළ සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අද අනුමත කළේය.

මින් පෙර මාධ්‍ය වාර්තා පළවුණේ ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කළ නාමයෝජනා එම සභාව විසින් ප්‍රතික්ෂේප කළ බවය.

සමස්ත රාජ්‍ය ආයතනවල වගකීම තහවුරු කෙරෙන මෙන්ම රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීම විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදුවන අතර එහි ප්‍රධානියා වන විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව පසුගිය කාලය පුරාවට මෙරට ප්‍රධාන මාතෘකාවක් බවටද පත්විය.

මේ හේතුවෙන් විගණකාධිපති ධුරයේ මාස 9ක් පුරාවට පැවති මෙම පුරප්පාඩුව සම්බන්ධව මෙරට පක්ෂ විපක්ෂ රැසක මාතෘකාවක් බවටද පත්වුණු අතර මෙම පුරප්පාඩුව සම්බන්ධව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහක්ද නිර්මාණය විය.

ඒ අනුව නව විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත් කරන ලෙස ඉල්ලා මෙරට නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක්ද රජයෙන් ඉල්ලීමක්ද කළේය.

එමෙන්ම අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවේදී ද මෙම විගණකාධිපති ධුරය සම්බන්ධව කතා කෙරෙනු දක්නට ලැබුණි.

මේ සම්බන්ධව ඇතිවූ තත්ත්වයන් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය සිකුරාදා දිනයේදී 5 වෙනි වරටද නව විගණකාධිපති ධුරය සඳහා නමක් යෝජනා කරමින් සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කළේය.

පසුගිය සෙනසුරාදා දින ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබුණද අදාළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කාලය අවශ්‍ය බැවින් ව්‍යවස්ථාදායක සභාව අද රැස්විය.

එහිදී සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කළේය.

පුරප්පාඩුව

විගණකාධිපති ධුරයේ  කටයුතු කළ චුලන්ත වික්‍රමරත්න මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබීය.

චුලන්ත වික්‍රමරත්න මහතා විගණාධිපති ධුරයට පත්වූයේ පසුගිය 2019 වසරේ අප්‍රේල් 29 වැනි දිනය.

ඒ මෙරට 41 වැනි විගණකාධිපතිවරයා ලෙසය.

40 වැනි විගණකාධිපති ලෙස කටයුතු කළ ගාමිණි විජේසිංහ මහතාගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව චුලන්ත වික්‍රමරත්න මහතා 41 වැනි විගණකාධිපතිවරයා ලෙස පත්විය.

ඒ අනුව පුරා වසර 6ක සිය සේවා කාලය නිම කරමින් ඒ මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිය ධුරයෙන් විශ්‍රාම ගත්තේය.

ඒ මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව පුරප්පාඩු වූ විගණකාධිපති ධුරය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨමයෙකු වූ ධර්මපාල ගම්මන්පිල මහතා පත් කිරීමට නියමිතව තිබුණද ඒ මහතා සම්බන්ධව පැවැති ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එම පත් කිරීම සිදු නොවීය.

එමෙන්ම අවස්ථා 4කදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විගණකාධිපති ධුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළද එම නාමයෝජනා සියල්ලද ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කවුද මේ සමුදිකා ජයරත්න 

දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකා ජාතික විගණන කාර්යාලයේ සේවය කර ඇති සමුදිකා ජයරත්න මහත්මිය ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.

ඇය මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විගණකාධිපතිවරිය ලෙසද කටයුතු කරන්නීය.

එමෙන්ම සමුදිකා ජයරත්න මහත්මිය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවක්ද වේ.

තවද ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිදාරිනියක්ද විය.

ජනප්‍රිය නළු හේමාල් රණසිංහ අත්අඩංගුවට…

ජනප්‍රිය නළු හේමාල් රණසිංහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිසියට අනුව, ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය ඉදිරියේ පෙනී සිටින ලෙස හේමාල් රණසිංහට අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණද, ඔහු එසේ නොකළ බව වාර්තා වේ.

හේමාල් රණසිංහ අද උදෑසන වැල්ලවත්ත පොලිසියට භාර වී ඇති අතර, පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.