පසමිතුරු සටනට ලැබුණු අනුමැතියෙන් පසු ශ්‍රී ලංකාවට එන ගුවන් ටිකට්පත්වල මිල ඉහළට……

ඉන්දියාව, පාකිස්තානය සහ මැදපෙරදිග රටවල සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ ගුවන් ටිකට්පත් මිල සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මීට හේතුව වී ඇත්තේ, ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලදී දැඩි කතාබහක් නිර්මාණය කළ ඉන්දු පකිස්තාන තරගාවලියට පකිස්තාන රජය විසින් පාකිස්තාන කණ්ඩායමට තරග කිරීමට අවසර ලබාදීමෙන් පසුය.

විශේෂයෙන්ම ඉන්දියාවේ සිට කොළඹට වෙත පැමිණෙන ගුවන් ගමන් සඳහා ටිකට් මිල සාමාන්‍යය මිලට වඩා තුන් ගුණයකට ආසන්න ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මුම්බායි, දිල්ලි සහ චෙන්නායි වැනි නගරවල සිට කොළඹ වෙත පැමිණි ගුවන් මගීන්ගේ සෑම කාණ්ඩයකම සෘජු ගුවන් ගමන්වල ටිකට් පත් මිලද සාමාන්‍ය මට්ටම ඉක්මවා ඉහළ ගොස් ඇති බවය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රි ලංකාවේ සම සත්කාරකත්වය යටතේ මේදිනවල පැවැත්වෙයි.

ඒ යටතේ කණ්ඩායම් 20 ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදින අතර ක්‍රීඩාවේ පසමිතුරන් වන ඉන්දියාව හා පාකිස්තානය A කාණ්ඩයෙන් තරග වදියි.

එහෙත් මෑතක සිට දෙරට අතර පවතින පසමිතුරු තත්ත්වය මත ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති ඉන්දු – පාකිස්තාන තරගයට සහභාගි නොවන බව පාකිස්තානය පසුගියදා නිවේදනය කළේය.

මෙය මහත් ආන්දෝලනයට තඩුදුන් අතර ක්‍රීඩා ක්ෂේත්‍රෙය්, රූපවාහිනී තරග විකාශය අංශවල මෙන්ම වානිජ ක්ෂේත්‍රෙය්ද ඒ ගැන මහත් කතාබහක් නිර්මාණය වුණි.

එවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පාකිස්තාන ක්‍රිකට් සභාපති මොෂින් නක්වි වෙත ලිපියක් යවමින් එම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලීමක් කළේය.

ක්‍රිකට් සභාපතිවරයා සිය ලිපියේදී , පාකිස්තානය ක්‍රීඩාවේ ගැටලුවලට මුහුණ දුන් අවස්ථාවල ශ්‍රී ලංකාව ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ ආකාරයද සිහිපත් කරමින් දන්වා තිබුණේ ඉන්දු පාකිස්තාන තරගය නොපැවැත්වීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා සංචාරක කර්මාන්තයට වන හානියද සැලකිල්ලට ගෙන තීරණය වෙනස් කරන ලෙසය.

එහෙත් පෙබරවාරි 15 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දියාව සමඟ තරගය ක්‍රීඩා නොකරන ස්ථාවරයේම පාකිස්තානය සිටි අතර ක්‍රීඩාවේ නාමයෙන් මෙම තරගයට සහභාගි වන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයාද පාකිස්තානයෙන් ඉල්ලීමක් කළේය.

මෙවන් වාතාවරණයක ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සමඟ දුරකථන සංවාදයක නිරතව තිබුණි.

එහිදී ජනාධිපතිවරයා ඉන්දු – පාකිස්තාන තරගය සම්බන්ධ ගැටලුව ගැන සාකච්ඡා කර තිබේ.

අසීරු අවස්ථාවලදී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සැමවිටම එකිනෙකාට සහයෝගය දැක්වූ ආකාරය සිහිපත් කළ ජනපතිවරයා 1996 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තානය ඉන්දියාව සමඟ එක්ව දැක්වූ සහායද අගය කර තිබේ.

එම අවස්ථාවේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ද , ගිය වසර අගදී ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයේ රැඳී සිටිමින් දැක්වූ සහාය පිළිබඳ කෘතඥපූර්වකව සිහිපත් කළ බව සඳහන්ය.

මෙම සංවාදය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ දිට්වා ව්‍යසනයෙන් පසු රට යළි නැගී සිටින මොහොතක ඉන්දු – පාකිස්තාන තරගය පැවැත්වීම මෙරටට සංචාරක , ආර්ථික මෙන්ම වානිජ අතින් ශක්තියක් වන බැවින් ඊට ක්‍රීඩා කරන්නැයි තමන් පාකිස්තානයට ඇරියුම් කර සිටින බවය.

ඊට එම අවස්ථාවේදීම පාකිස්තාන අගමැතිවරයාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී තිබේ.

එම සංවාදයෙන් පැය කිහිපයක් ඇතුළත පාකිස්තාන රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම ඇතුළු කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින්  බහුපාර්ශ්වීය සාකච්ඡාවල ප්‍රතිඵල සහ මිත්‍රරටවල ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව, පෙබරවාරි 15 වන දින ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය සඳහා සහභාගී වන්නැයි සිය ජාතික ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් ලබා දුන් බවය.

මෙම තීරණය ගනු ලැබුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ සියලුම සාමාජික රටවල් තුළ මෙම ගෝලීය ක්‍රීඩාවේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමේ අරමුණ ඇතිව බවත් පාකිස්තාන රජය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට්ව්ටර් සටහනක් තබමින්  ” අප සැම ආදරය කරන මෙම ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම පිළිබඳව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ස්තූතිවන්ත වනවා ” යනුවෙන් සඳහන් කර තිබේ.

ඒ අනුව දින 10ක් පුරා  පැවති අර්බුදකාරී තත්ත්වය නිමාවට පත්කරමින් පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා රාත්‍රී 7 ට කොළඹ අර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

පෙබරවාරි පළමු දින අටේදී සංචාරකයන්ගේ පැමිණීම 80000 ඉක්මවයි…..

2026 පෙබරවාරි මාසයේ පළමු දින 08 තුලදී සංචාරකයින් 80,776 ක් මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන් මඟින් මේ බව අනාවරණය කර ඇත.

 

ඉන්දියාවෙන් සංචාරකයින් 12,439 ක් පැමිණ ඇති අතර එය 15.0% කි. එක්සත් රාජධානියෙන් 9,283 ක්, රුසියාවෙන් 6,946 ක්, ජර්මනියෙන් 5,401 ක් සහ චීන ජාතිකයින් 5,037 ක් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

2025 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් 240,217 ක් බව සඳහන් වේ.

මේ අතර, පෙබරවාරි සඳහා නවතම සංඛ්‍යාලේඛන නිකුත් කිරීමත් සමඟ 2026 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 358,103 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් පුද්ගලයින් 65,500 ක් ඉන්දියාවෙන්, 38,823 ක් එක්සත් රාජධානියෙන් සහ 34,080 ක් රුසියාවෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම 12 වනදාට…

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින් යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය 2026 පෙබරවාරි 12 වැනි දින කොළඹදී පවත්වනු ලැබේ.

රාජ්‍ය පාලනය, මානව හිමිකම්, වෙළෙඳාම, සංවර්ධන සහයෝගීතාව සහ අනෙකුත් ද්විපාර්ශ්වික සහ කලාපීය ප්‍රමුඛතා ඇතුළු විවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින හවුල්කාරිත්වය සමාලෝචනය කර ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම ඉහළ මට්ටමේ රැස්වීමේදී එක්ව කටයුතු කරන බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්, අරුණි රණරාජා මහත්මිය සහ යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාඕලා පම්පලෝනි මහත්මිය ඒකාබද්ධ කොමිසමේ සම සභාපතිත්වය දරන බව සඳහන් වේ.

මෙරට සංචාරයේ යෙදෙන යුරෝපා සංගම් නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින වත්මන් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි සහයෝගී ප්‍රවේශ සහ ඉදිරි පියවර පිළිබඳව පාර්ශව රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

කුරුඳු අපනයනයෙන් රු. කෝටි 8,000කට ආසන්න ආදායමක්…..

කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 260ක (රු. කෝටි 8,000කට ආසන්න) ආදායමක් උපයා ගැනීමට හැකිවූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පැවසුවේ, මේ වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 300ක ඉලක්කයකට ළඟාවීමට තම ආයතනය බලාපොරෝතුවන බවය.

කුරුඳු නිෂ්පාදන අතරින් වැඩිම ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ කුරුඳු කූරු වන අතර, ඉන් අ.ඩො. මිලියන  251ක ආදායමක් උපයාගෙන තිබේ.

සෙසු ආදායම් ලැබී ඇත්තේ කුරුඳු පොතු, කොළ හා තෙල්වලින්ය.

මෙය මෙරට ඉතිහාසයේ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදනවලින් ඉහළම ආදායමක් ලැබූ වර්ෂය ලෙස සැලකෙයි.

ශ්‍රී ලංකාව පෙර වර්ෂයන්හිදී රටවල් 70කට පමණ කුරුඳු නිෂ්පාදන අපනයනය කළද, 2025 වසරේ දී  රටවල් 100කට වැඩි සංඛ්‍යාවකට අපනයය කළ බව ජනක ලින්දර මහතා පවසයි.

“ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ ‘සිලෝන් සිනමන්’ නාමයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත බව හා ඖෂධීය ගුණාංග ඊට හේතු. අපි බලාපොරොත්තුවෙනවා 2026 වසර වෙනකොට අ.ඩො. මිලියන 300ක වගේ ඉලක්කයකට යන්න”

යනුවෙන්ද ලින්දර මහතා පැවසීය.

මෙරට මුහුදු තීරයේදී ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව තවදුරටත් විමර්ශන….

මෙරට මුහුදු තීරයේදී ධීවර යාත්‍රා දෙකකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව රජයක් ලෙස තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව ධීවර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රජා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් අද (07) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ සිදුකළ පහරදීම සම්බන්ධව සොයා බැලීම සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාවට මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයටද මෙම පහරදීම සම්බන්ධව සොයා බලන ලෙස අමාත්‍යාංශය දැන්වූ බවය.

මෙම පහරදීම සම්බන්ධව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කළ බවත් එහි සඳහන්ව ඇත්තේ මෙම පහරදීමට ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරලාරක්ෂක බළකාය සම්බන්ධ වි නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ සිදුවීම සම්බන්ධව තවදුරටත් කරුණු සොයා බැලීම සඳහා තවදුරටත් අමාත්‍යාංශය පියවර ගන්නා බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා,

“පහුගිය දවස්වල ලංකා මුහුදු තීරයේ අපේ ධීවර යාත්‍රා දෙකකට පහරදීමක් සිද්ධ කරලා තියෙනවා.. ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා අපේ ආසන්නම රටේ ඉන්දියාවේ වෙරළාරක්ෂක බළකායෙන් පහරදීමක් කළා කියලා. අපි මේ ගැන හොයලා බලන්න ඕනේ මොකද අපි රජයක්. ඒ නිසා අපි නාවික හමුදාවටයි, විදේශ කටයුතු අමාත්‍යාංශයටයි කියුවා මේ ගැන හොයලා දෙන්න කියලා. සොයා බැලුවා, පහරදීමේ ස්වභාවය බැලුවා, පොලීසිය පරීක්ෂණ පැවැත්වුවා ඉන්දියානු මහකොමසාරිස්තුමා කිව්වා නෑ ඉන්දියානු වෙරළාරක්ෂක බළකායවත්, ඉන්දියානු නාවික හමුදාවෙන් වත් නෙමෙයි මේ දේ සිද්ධ වුණේ කියලා. නමුත් රජයක් විදිහට, අමාත්‍යාංශයක් විදිහට තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. විමර්ශනය කරන්න බාර දීලා තියෙන්නේ විමර්ශනය කරලා අපිට අවශ්‍යයි මේ රටේ ධීවර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න. අපිට අවශ්‍යයි මේ සම්බන්ධව සොයලා බලලා නිවැරදි වාර්තාව ගන්න. මේක විදේශ රටකින්ද, අපේම අයද, වෙනත් කල්ලියක්ද, නිල කණ්ඩායමක්ද නොනිල කණ්ඩායමක්ද කියලා හොයලා බලනවා. ඒක තමයි අපි කරන්න ඕනේ” 

මොකක්ද මේ අලුතින් එන කුලී නිවාස නීතිය?

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ  පනත් කෙටුම්පත හරහා නිවෙස් හිමිකරුවන් බරපතළ අගතියකට ලක්වන බවට පාර්ශ්ව කිහිපයක් චෝදනා කරයි.

කෙසේවෙතත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ මෙම කෙටුම්පත පදිංචිකරුවන් ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බවය.

කුලී සහ බදු පදනම මත නිවාස හා වෙනත් පරිශ්‍ර බාහිර පාර්ශ්ව වෙත ලබාදීම ඕනෑම සමාජයක සුලබ ක්‍රියාවලියකි.

මෙහිදී හිමිකරුවන් හා ගැනුම්කරුවන් අතර ඇතිවිය හැකි ගැටලු වැළැක්වීම සඳහා මෙම ක්‍රියාවලියට නීතිමය පදනමක් සකස් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ 2023 අංක 1 දරණ, ” බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ගැනීමේ විශේෂ විධිවිධාන පනත” ඇතුළු නීතිමය රාමු කිහිපයක් දැකගත හැකියි.

මෙවන් තත්ත්වයක වත්මන් ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පදිංචිකරුවන් ආරක්ෂාකිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දැඩි කතාබහක් මතුව තිබේ.

එහි පූර්විකාවට අනුව කෙටුම්පතේ මූලික අරමුණ වශයෙන් හඳුනාගත හැක්කේ පරිශ්‍රවලින් පදිංචිකරුවන් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට එරෙහිව නීතිමය ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම‍ය.

කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත පිරිසකට හානිදායක බවට විවිධ පාර්ශ්ව අදහස් පළ කළ අතර මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා මෙය හැඳින්වූයේ යකාගේ නීතියක් ලෙසය.

මෙම කෙටුම්පතේ 2 වැනි වගන්තියට අනුව යම් පරිශ්‍රයක නීත්‍යනුකූලව රැඳී සිටින එනම්, බදු ගිවිසුමක් හෝ කුලී ගිවිසුමක් යටතේ බැඳුණු බදු ගැනුම්කරුවෙක් හෝ කුලී නිවැසියෙක් වන අයෙකුට මෙය අදාළ වේ.

ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සැකසී ඇති මෙම කෙටුම්පතට අනුව පදිංචිකරුට කලින් ලබා දී ඇති ඕනෑම පහසුකමක්, අත්‍යවශ්‍ය සැපයුමක් හෝ උපයෝගිතා සේවාවක් අත්හිටුවීම හෝ නැවැත්වීම, එවැනි සේවාවක් අලුත්වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාම ප්‍රතික්ෂේප කිරීම ඉඩම් හිමියෙකුට කළ නොහැකිය.

මෙහි 4 වන වගන්තිය මගින් පදිංචිකරුවන්ගේ ආරක්ෂාව තවදුරටත් සනාථ කර ඇත්තේ ගෙහිමියා හෝ ඔහු විසින් බලය දෙනු ලබන තැනැත්තෙකුට පදිංචිකරු එම පරිශ්‍රයෙන් ඉවත් කිරීම පිණිස සෘජුව හෝ වක්‍රාකාරයෙන් අලාභ හානි සිදුකිරීම, හැරයාම සඳහා පෙළඹවීම සිදු නොකළ යුතු බව ද සඳහන් කරමිනි.

එසේම 5 වන වගන්තියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ අධිකරණ ආඥාවක් මත මිස පදිංචිකරුවෙකු පරිශ්‍රයෙන් නෙරපීම සිදු නොකළ යුතු බවය.

එමෙන්ම එවැනි ක්‍රියා සඳහා ඉඩම් හිමියකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් පදිංචිකරුවකුට බලය පවරා තිබේ.

මේ අතර මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ද පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

මෙවන් පසුබිමක අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් තවමත් අවසන් පියවරකට එළඹ නොමැති බවය.

මහ බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්…..

දිට්වා සුළිකුණාටුවේ බලපෑම හමුවේ වුවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මනා විනයකින් යුතුව පවත්වාගෙන යමින් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, කෘත්‍රීම බුද්ධි සහ ඩිජිටල් යුගයේ ආර්ථික වර්ධනය මැයෙන් අද (06) කොළඹදී පැවැත්වුණු සමුළුවක් අමතමින්.

අතිරේක වියදම්, රජයේ ණය ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලපෑම් කරන බවට විවාදයක් පවතින නමුත් පසුගිය වසර කිහිපයේ පැවති යහපත් ආදායම් උපයාගැනීම සහ මූල්‍ය විනය හේතුවෙන් රජයේ බැංකු දෙකෙහිම රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක් පවත්වාගැනීමට හැකිව ඇති බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික අර්බුදයට පෙර රජයේ බැංකුවල රුපියල් ට්‍රිලියනයක හිඟයක් පැවතියත් එය දැන් අතිරික්තයක් බවට පත්ව ඇති අතර මෙවන් ආර්ථික පීඩනයකට මුහුණදීමේදී එම මුදල් ප්‍රයෝජනවත් වූ බවද ඔහු පැවසීය.

එමෙන්ම මෙම ඉතුරුම් නිසා රජයට තවත් ණය ගැනීමට සිදු නොවුණු බවත් මෙම වසර තුළ බිලියන 8ක ආරක්ෂිත සංචිතයක් ගොඩනංවා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

උද්ධමනය මේ වනවිට 2%කට ආසන්න අගයක පවතින අතර සිය ඉලක්කය වන්නේ උද්ධමනය 5%ක මට්ටම ඉක්මවායාමට නොදී පවත්වාගැනීම වන බවද ඒ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

”දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට කැපී පෙනෙන හානියක් සිදුව තිබෙනවා. නමුත් එම හානිය අපේක්ෂා කළ තරමට වඩා අවම අගයක්. ලෝක බැංකු වාර්තාවක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා පවා වරෙක පැවසුවා එම හානි තක්සේරුව අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් කියලා. රජයට ඊට වඩා සියුම් තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව නැවත ගොඩනැගීමේ වියදම බොහෝදුරට අපේක්ෂා කළ අගයට වඩා අඩු වෙන්න පුළුවන්. දිට්වා හි බලපෑමෙන් ආර්ථික වර්ධන වේගය පහත වැටෙන්න පුළුවන්. එම සංඛ්‍යාලේඛන නුදුරේදි ලැබෙයි. ලබන වසරේ සිට අපේක්ෂිත ලෙස 5%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්න හැකිවෙයි…

2028දී නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යාමට හෝ කඩාවැටීමක් සිදුවෙයි කියලා කියනවා. රජයට සේවා වියදම් ගෙවීමටත් නොහැකි වෙයි කියනවා. මම ඒක පැහැදිලි කරන්නම්. අපිට ණය ප්‍රතිව්‍යුහගතකිරීමකට යන්න වුණේ අපි ඉතිහාසයේ කවදාවත් ඩොලරයක් වත් ණය නොගෙවා ඉඳලා නැති නිසා.2025 වසරේදි අපේ සංචිත භාවිත කරලා අපි ඩොලර් මිලියන 3,934 ගෙවා අවසන් කළා. මේ වගේ වැඩකට නැති කතා නිසා සිදුවන්නේ ආයෝජකයින්ගේ මනසේ රට ගැන අනවශ්‍ය සැකයක් ඇතිකරන එක. තවත් පිරිසක් කියනවා දිට්වා හානිය නිසා අපි ණය ගෙවන එක නවත්වන්න ඕන කියලා. මේ වගේ දේවල් ගැන තර්ක කරන්නේ ආර්ථිකය යළි කඩාවැටෙනවට කැමති අය වෙන්න ඕන. රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා. ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවතියාට වඩා හොඳ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අපේ ගිණුම්වල මුදල් තිබියදී හරියට ස්වෙච්ඡාවෙන්ම ණය පැහැරහරින්නෙක් වගේ අපි ගිහින් කියනවා නම් අපි නම් ණය වාරික ගෙවන්නේ නැහැ කියලා, එවන් රටවල කවුරුත් නැවතත් ණය ලබාදෙන්නේ නැහැ. සමහරු කියන්නේ නිසි දැනුමක් නැතිව, සමහරු මේවා කියන්නේ ආර්ථිකය කඩා වැටෙයි කියලා බලාගෙන. මම හේතුව දන්නේ නැහැ.”

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධව අමාත්‍යාංශයෙන් නිවේදනයක්…..

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අංක 2474/18 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව මේ වන විටත් රාජ්‍ය සේවයේ සිටින 2023.02.10 දිනට වයස අවුරුදු 45ට නොවැඩි සහ එදිනට උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවය.

අංක 2474/19 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පහත සඳහන් කාණ්ඩ යටතේ උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ට අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

  • 2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත නොවන උපාධිධාරීන්,
  • 2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කළ 2023.02.10 දිනට පසු රාජ්‍ය සේවයේ පත්වීම් ලබා මේ දක්වා සේවයේ නිරත වන නිලධාරින්,
  • 2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කර 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නිරත වුවද මේ වන විට විධිමත් අනුමැතියකින් එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති නිලධාරීන්,
  • 2023-02-10 දිනට වයස අවුරුදු 40ට අඩු, ඒ වන විටත් රාජ්‍ය සේවයේ තනතුරක් දරන ගැසට් නිවේදනය අනුව 2023-02-10 දිනෙන්  පසු උපාධි සුදුසුකම ලැබූ රාජ්‍ය නිලධාරින්,

2023.01.27 දින පලකරන ලද අංක 2317 දරණ ගැසට් නිවේදනය මඟින් දැනටමත් අයදුම්පත් යොමු කළ අය මේ වන විටත් රාජ්‍ය සේවයේ නිරත වන්නේ නම්, මෙම ගැසට් නිවේදනය පරිදි නැවත අයදුම් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් හා එම පෙර අයදුම්කළ අයදුම් පත්‍රයේ සඳහන් දුරකථන අංකය, ජාතික හැදුනුම්පත් අංකය, ලිපි ලැබෙන ලිපිනය සංශෝධනය වී ඇත්නම් පමණක් විභාග දෙපාර්තමේන්තුව වෙත අදාළ යොමු ඔස්සේ ඉල්ලීම් ඉදිරිපත් කර එම සංශෝධන සිදු කිරීමටත් අයදුම්පත්‍රය භාගත කර ගැනීමටත් අවස්ථාව සලසා දී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම ගැසට් නිවේදන සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා (සිංහල – 0112-784819/ 0112-785634/ Hotline 1988)  – (දෙමළ – 0112-785634), (ඉංග්‍රීසි – 0112-785258/ 0112-784819/ 0112-787399) – (වැඩකරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා) ඇමතීමෙන් ලබා ගත හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි….

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන තෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (06) දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුව හරහා සම්මත කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම කීය.

ඒ දක්වා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ද්‍රව්‍ය හැර අනෙකුත් සියලුම ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

නිවාස සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වැලි සහ ගල් වැනි ද්‍රව්‍ය සඳහා මෙම තහනම බල නොපාන බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ ගානට් වැනි බර ඛනිජ සඳහා වන සියලුම ගවේෂණ සහ කැණීම් බලපත්‍ර ලබාදීම නව ප්‍රතිපත්තිය එළිදක්වන තෙක් අත්හිටුවා ඇත.

රටේ ඛනිජ සම්පත්වලින් ජාතියට උපරිම ප්‍රතිලාභ ලබාගැනීම අරමුණු කරගත් නව ජාතික ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

එළඹෙන මාර්තු මාසය අවසන් වීමට පෙර ඊට අදාළ මාර්ගෝපදේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුද්ගල අභිමතය මත තීරණ ගැනීම වැළැක්වීම සහ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා සමස්ත බලපත්‍ර ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට ද රජය පියවර ගනිමින් සිටියි.

මිරිජ්ජවිල ප්‍රදේශයේ ඛනිජ වැලි ඉවත් කිරීම සඳහා කිසිදු පෞද්ගලික ආයතනයකට වත්මන් රජය යටතේ අවසර ලබාදී නොමැති බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

2024 සැප්තැම්බර් මස නිකුත් කර ඇත්තේ ප්‍රවාහනයට අදාළ ලිපියක් පමණක් බවත්, එය ගවේෂණයට හෝ කැණීමට ලබා දුන් වලංගු බලපත්‍රයක් නොවන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණ කළේය.

ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය වාර්තා ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය.

පසුගිය කාලසීමාව තුළ දේශපාලන බලය අනිසි ලෙස භාවිත කරමින් සිදු කළ නීතිවිරෝධී කැණීම් හේතුවෙන් රටට අහිමි වූ සම්පත් ප්‍රමාණය අතිවිශාලය.

රාජ්‍ය භාගය නොගෙවීම සහ නීතිවිරෝධී කැණීම් සම්බන්ධයෙන් දැනටමත් නඩු විශාල සංඛ්‍යාවක් පවතින අතර, ඉදිරියේදී මෙවැනි ජාවාරම් මැඩලීම සඳහා “ක්ෂණික වැටලීම් ඒකකයක්” ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලාෆ්ස් ගෑස් මිල වැඩි වෙයි….

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා තිබේ.

මිල සංශෝධනයට අනුව රුපියල් 4,250ක් ව පැවැති 12.5kg ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල 4,330ක් වෙයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,742ක් වෙයි.