වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂිකව අධික දඩ මුදලක් පැනවීමට සැරසෙයි….

මෙරට වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි සඳහා වාර්ෂික දඩ මුදලක් අය කිරීමට නීති සකස්කරමින් පවතින බව වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ දිවයින පුරා මෙවැනි අනවසර ඉදිකිරීම් 2500 කට අධික ප්‍රමාණයක් පවතින බවට හඳුනාගෙන ඇති බවය.

“පසුගිය වසර 10ක් හෝ 15ක් තුළ විශාල වශයෙන් වෙරළ කලාප තුළ අනවසර ඉදිකිරීම් සිදුකරලා තියෙනවා. අපි සමහර ඒවා කඩා දමනවා. ඇතැම් ඒවාට වාර්ෂිකව ඉතා වැඩි දඩයකට යටත් කරනවා. මේ අවිධිමත්භාවය විධිමත් භාවයට පත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු කරනවා.”

කථානායක නිල නිවස ගැන නව තීරණයක්…..

කථානායකවරයාගේ නිල නිවස “පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්” බවට  පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිව තිබේ.

ඒ අනුව මාස හයක ආරම්භක කාලයක් සඳහා මධ්‍යස්ථානයේ පදනම් රාමුව සැලසුම් කිරීම සහ ව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය, උපදෙස් දීම සහ මෙහෙයවීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස පත්කිරීමටද කාරක සභාවේ අනුමතිය හිමිව ඇත.

පසුගිය 24 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී එම යෝජනාව සළකා බැලූ අවස්ථාවේදී මේ පිළිබද සාකච්ඡා කෙරිණි.

රජයේ සියලු අංශ ඔස්සේ ව්‍යවස්ථාදායක සහ ආණ්ඩුකරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ මූලික ඉලක්කය ඇතිව මෙම  යෝජිත මධ්‍යස්ථානය මගින්, උසස් පර්යේෂණ පහසුකම්, විශේෂිත පුහුණුව සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් සඳහා ප්‍රවේශය සැපයීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

වසරේ මේ දක්වා කාලය තුළ විදේශ රැකියා පැමිණිලි 2620ක්…..

මෙම වසරේ ජනවාරි සිට ජුලි මාසය දක්වා ගෙවුණු මාස 7 තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1994කට අධික මුදලක් යළි අයකර දීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීති නීතීඥ නෙළුම් සමරසේකර මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් හා කාර්‌යාංශයට ලැබුණු පැමිණිලි මත මෙම නඩු පැවරීම් සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය මාස 7 තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු ප්‍රමාණය 567ක් වන අතර, එම කාලය තුළ විවිධ පැමිණිලි 2620ක් කාර්යාංශයට ලැබී ඇත.

එමෙන්ම මෙම කාලය තුළ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදු කරන ලද වැටලීම් ප්‍රමාණය 05ක් වන අතර, ඊට නීති විරෝධි ක්‍රියාවල යෙදුණු එක් බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිතායතනයක්ද අයත් වේ.

මෙම කාලය තුළදී වංචනිකයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල පුද්ගලයින් 07ක්ද ඊට අයත් වේ.

මේ අතර, 2024 වර්ෂය තුළදී රුපියල් ලක්ෂ 1825කට අධික මුදලක් විදේශ රැකියා වින්දිතයින්ට යළි අය කර දීමට කාර්යාංශය සමත්වී ඇති අතර, පසුගිය වර්ෂයේදී විදේශ රැකියා ආශ්‍රිත පැමිණිලි 4658ක් කාර්යාංශය වෙත ලැබී තිබේ.

ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, රැමේනියාව හා මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම් සිදුවන බැවින් කාර්යාංශයෙන් විමසීම් නොකර එවැනි වංචාකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින ලෙස කාර්යාංශය මහජනතාවට දැනුම් දී ඇත.

පසුගිය කාලයේදී වංචනිකව එලෙස මුදල් ලබාගත් පුද්ගලයින් වෙතොත් එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු කාර්යාංශයේ 1989 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද  විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.

2028 ඔලිම්පික් ක්‍රිකට් සිහිනය ශ්‍රී ලංකාවට බොද වෙයිද ?

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව ඇතුළු ICC පූර්ණ සමාජික රටවල් කිහිපයකටම අහිමි වනු ඇතැයි වාර්තා වේ.

එළැඹෙන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කණ්ඩායම් 6කට අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව මහාද්වීපික සුදුසුකම් ක්‍රමයක් මත එක් එක් කලාපයේ ඉහළම ශ්‍රේණිගත කිරිමේ හි සිටින කණ්ඩායමට එම අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.

එසේ වුවහොත් ආසියාවෙන් ඉන්දියාව, ඕෂනියාවෙන් ඔස්ට්‍රේලියාව, යුරෝපයෙන් එංගලන්තය, අප්‍රිකාවෙන් දකුණු අප්‍රිකාවට එම අවස්ථාව හිමිවනු ඇත.

ඉතිරි කණ්ඩායම් ද්විත්වයෙන් එකක් සත්කාරක අමෙරිකාවට හෝ කැරිබියන් දූපත්වලින් එක් රටකට හිමිවනු ඇත.

මේ හේතුවෙන් සියවසකට වැඩි කාලයකට පසු ඔලිම්පික් උළෙලට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩාව” ශ්‍රී ලංකාව, පාකිස්තානය, නවසීලන්තය වැනි පූර්ණ සාමාජිකයින්ට අහිමි වනු ඇති බව වාර්තා වේ.

අවසන් වරට ඔලිම්පික් උළෙලකට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වී තිබුණේ 1900 පැරිස් ඔලිම්පික් උළෙලටය.

2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග එම වසරේ ජූලි 12 සහ 29 කාලසීමාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහි කාන්තා ඉසව්වක්ද පැවැත්වෙන අතර, ඒ සඳහාද කණ්ඩායම් 6කට අවස්ථාව සලසා දී ඇත.

තරග විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වේ.

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහි අල්ලස් නඩුවක් කැඳවීමට දිනදෙයි….

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීමට එම නඩුව ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීමත් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

විත්තිකරු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු හෙළි වී තිබෙන නිසා ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට අවසර දෙන ලෙස අල්ලස් කොමිසම ඉල්ලීම් කළේය.

ඒ අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

2006 වසරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලන්ඩන් නුවර සංවිධානය කළ ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට සහභාගි වී හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් භාණ්ඩාගාර රෙගුලාසිවලට පටහැනිව ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම තුළින් අල්ලස් පනතේ “දූෂණය” නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යවරයාට විරුද්ධව මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇත.

පියුමි සහ තාඹුගල රු කෝටි 40කට අධික බදු වංචා කරලා…..

රුපියල් මිලියන 289කට අධික ආදායම් බදු නොගෙවීම හේතුවෙන් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

2022 හා 2023 වර්ෂවලට අදාළව ඇය මෙලෙස ආදායම් බදු ගෙවීම පැහැරහැර ඇති බව සඳහන් ය.

එමෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන විරංජිත් තාඹුගල නමැත්තාද එම වර්ෂ දෙකට අදාළව ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.

බදු අපරාධ වැරදිවලට අදාළ විමර්ශනවල ප්‍රගති වාර්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ඊයේ කැඳවනු ලැබීය.

එහිදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, රජයට බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් පියුමි හංසමාලි හා අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගලට එරෙහිව ඉදිරියේදී කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවය.

එම දෙදෙනාට එරෙහි විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව ඔවුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරියේදී අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත් දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

2022 හා 2023 වර්ෂවලට අදාළව පුද්ගල ආදායම් බද්ද නොගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 194ක් හා ලොලියා නමැති සමාගමක් පවත්වාගෙන ගොස් මිලියන 95ක් ආදායම් බදු නොගෙවීම වෙනුවෙන් පියුමි හංසමාලිට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවද නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දැනුම්දුනි.

එමෙන්ම එම වර්ෂ දෙකට අදාළව රුපියල් මිලියන 194ක පුද්ගල ආදායම් බද්ද හා අතිරේක ආදායම් බද්ද දඩය හා පොළිය සමග නොගෙවීම වෙනුවෙන් තාඹුගලට එරෙහිවත්, එසේ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ රජයට හිමි විය යුතු බදු නොගෙවීම මගින් සාවද්‍ය පරිහරණය යන වැරැද්ද සිදුකර ඇති බවට මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කරමිනි.

ට්‍රම්ප්ගේ තීරුබදු අනුපාත වෙනස් කිරීම සම්බන්ධව එජාපයෙන් රජයට ප්‍රශංසාවක්….

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ මෙම තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පිළිගන්නා බවය.

ඊට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධව රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රසංශා කරන බවත් එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේඑජාපය නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහතින්……

 

 

525546892_1342437087241795_7060992263072895385_n

 

ලොකු පැටී එළැඹෙන 04 වනදා දක්වා යළි රිමාන්ඩ්……

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදවා එල්ලවී සිටින අපරාධ කල්ලි නායකයෙකු වන “ලොකු පැටී” නැමැත්තාව එළැඹෙන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඒ සැකකරු රැඳවුම් නියෝග අවසන් කර අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමැති අපරාධකරු පසුගිය මැයි මස 4 වැනිදා දිවයිනට රැගෙන ආවේය.

බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසු වූ ඔහු දිවයිනට රැගෙන ඒමෙන් පසුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කෙරිණි.

ඒ අනුව දින 90ක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කළ විමර්ශන නිලධාරීන් ඔහු සතු වූ ගිනිඅවි හා දේපළ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගත්තේය.

ඔහුගේ දින 90ක රැඳවුම් කාලය එළැඹෙන 4 වනදා අවසන්වීමට නියමිතව තිබුණද විමර්ශන නිලධාරීන් අද දිනයේදී ඔහුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ පාතාල කල්ලි රැසකින් ඔහුට තර්ජන එල්ලවීමත් සමගය.

ඒ අනුව ලොකු පැටී නැමැත්තාව එළැඹෙන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මන්ත්‍රී රෝහිතගේ බෑනාට ඇප හිමිවෙයි…..

ආන්දෝලනාත්මක  ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ඇප මත මුදා හැර තිබේ.

මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව අධිකරණය මගින් සැකකරු අද දින (01) දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ඒ අනුව ධනුෂ්ක වීරක්කොඩි අද දින නැවතත් එම නඩු කටයුත්ත සඳහා කළුතර මල්වත්ත බන්ධනාගාරයේ සිට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

මෙම අධිකරණ කටයුත්තටම පෙනී සිටීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝසමක් මගින් ඇප ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත් රසික බුද්ධික විතාන මහතාද අද දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතාට ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරිණි.

හිටපු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේනට ඇප හිමිවෙයි….

ක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (1) නියම කළේය.

2014 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදාදීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩඉරිඟු බීජ, නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත්කර ගැනීමේ අරමුණින් තම හිතවතුන් හා ආධාරකරුවන් අතර බෙදාහැරීම තුළින් ‘දූෂණය’ නැමති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් ඔහු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම පැමිණිල්ල කැදවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළ විමර්ශන බොහෝ දුරට අවසන් වී ඇතැයි සඳහන් කළාය.

කෘෂිකර්ම නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බවත්, ඒ අනුව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සැකකරු විමර්ශනවලට පූර්ණ සහාය ලබා දී ඇති බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති බවත් සඳහන් කළේය.

ඒ අනුව සැකකරු සුදුසු කොන්දේසි මත ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර දෙකක් මත මුදා හැරීමට නියම කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළහ.

ඉන් අනතුරුව මෙම නඩුව ලබන ජනවාරි මස 9 වනදා කැඳවන ලෙසත් නියම කළේය.