හෙට මගහැර සිරි දළදා වන්දනාවට මහනුවරට පැමිණෙන්නැයි වන්දනාකරුවන්ට දැනුම්දීමක්

හෙට (23)  දිනයේ  “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීම සඳහා අද (22)  සවස 06.00 පමණ වන විට 80,000 කට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරය වෙත එක් රැස්ව සිටින බව පොලීසිය පවසනවා.

ඒ අනුව හෙට (23) උදෑසන වන විට එම සංඛ්‍යාව 100,000 ඉක්මවා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ.

එසේම දහවල් කාලය වන විට මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් හෙට දිනය හැර තවත් දින 04 ක කාලයක් “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීමට හැකියාව පවතින බැවින් හෙට දිනය මඟහැර ඉදිරි දිනයක් යොදා ගැනීමට කටයුතු කිරීම මගින් සැදැහැවතුන්ට අපහසුතාවයකින් තොරව වන්දනාමාන කර ගැනීමට හැකියාව පවතින බවට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

කටානේ වෙඩි තැබීමක්

කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත් කිරීමේදී ඔහු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු මන්ත්‍රීවරයා සිදුකළ මෙම වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අලුත් අවුරුද්දට සුබ පතලා එවන SMS එක නතර කරලා රුපියල් ලක්ෂ 980 ක් ඉතුරු කළා – නිලන්ති කොට්ටහච්චි

නව වසරට සුබ පතා සෑම වසරකම ජංගම දුරකථනවලට එවූ කෙටි පණිවිඩය (SMS) එවීම මෙවර සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසනවා.

ඒ හරහා රුපියල් ලක්ෂ 980 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණ බවත්, ජනතාවගෙන් ලබාගෙන ජනතාවටම SMS යැවූ යුගය වෙනස් කළ බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ.

නායකයෙක් සිටිය යුත්තේ අවුරුද්දට SMS යැවීමට නොවන බවද, බදු ගෙවන ජනතාවට සාධාරණව ජීවත්විය හැකි ලෙස එය බිමේ වැඩ සඳහා යොදවනවා නම් නායකත්වය යනු එය බවද, ජනතාව පත් කරගත් ජනාධිපතිවරයා එම කටයුත්ත නිසි පරිදි සිදුකරන බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගෙලිඔය ප්‍රදේශයේ ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගෙලිඔය ප්‍රදේශයේ ක්වාසි විනිසුරුවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු විසින් ගොනු කර තිබූ දික්කසාද නඩුවකට අදාළ තීන්දුව ඉක්මනින් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සලසා, එකී තීන්දුව ලබා දීමට එම සැකකරු විසින් අදාළ පාර්ශ්වයන්ගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවයි සඳහන් වෙන්නේ.

මහනුවර අධිකරණ සංකීර්ණයේ පිහිටි කාති අධිකරණයේදී තීන්දුව ප්‍රකාශ කර, එම තීන්දුවේ පිටපතක් සහ දික්කසාද සහතිකය ලබා දීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ලබා ගැනීම යන අල්ලස් චෝදනා මත සැකකරු එම කොමිසමේ නිලධාරීන් විසින් අද (21) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන ජනපති සිය ශෝකය පළ කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේගේ අභාවය පිළිබඳව තමාගේ හෘදයාංගම ශෝකය පළ කරන බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා උන්වහන්සේගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇති බවද, උන්වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ මතකය ඉදිරි පරම්පරාවන්ට ද උද්යෝගීමත් පූර්වාදර්ශයක් ලබා දෙනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ X පණිවිඩය පහතින්.

news images

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වී ඇති බව වතිකානුව වාර්තා කරනවා.

අද පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බවයි වතිකානුව නිවේදනය කරන්නේ.

මිය යන විට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 88 වන වියේ පසු වුණා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව CID යට භාරදෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව, ඉදිරි විමර්ශන සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව එම වාර්තාව මෙලෙස භාරදී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය යහපාලන රජය විසින් අදාළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ අතර එහි වාර්තාව මෙලෙස භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඩෙංගු සහ චිකන්ගුන්යා පිළිබඳ​ව අනතුරු ඇඟවීමක්

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන වැඩි වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බවත් මෙම රෝග ව්‍යාප්ත වීම පාලනයට නිවෙස් අවට පරිසරය පිරිසිදු කරගන්නා ලෙසයි ඔහු අවධාරණය කරන්නේ.

පාස්කු දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනවා.

ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත් පිළිවෙත් අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වන බවයි සඳහන් වෙන්නේ

පාස්කු ඉරිදා වෙනුවෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූ විශේෂ දේව මෙහෙය ඊයේ රාත්‍රී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවැත් වුණා.

සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන් සඳහා තවත් අතිරේක දුම්රිය දෙකක්

සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාව ඉහළ යාම හේතුවෙන් තවත් අතිරේක දුම්රිය දෙකක්  ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන 28 වැනිදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා සෑම දිනකම පස්වරු 07.55 ට ‍එක් දුම්රියක් ගමන් ඇරඹීමට නියමිත අතර එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00 වනවිට ළඟා වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මහනුවර සිට කොළඹ කොටුව බලා සෑම දිනකම පස්වරු 08.30 ට දුම්රියක් ගමන් ඇරඹීමට නියමිත අතර එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00 වනවිට ළඟාවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.