තීරුබදු ගැන අමෙරිකානු නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශයක්

අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) කාර්යාලය සමඟ වොෂින්ටන් DC හි පැවති සාකච්ඡා සම්බන්ධයෙන් රජය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය අප්‍රේල් 22 වන දින, එම කාර්යාලයේ තානාපති Jamieson Greer හමුවූ බවත්, එහිදී මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපතිවරයා වෙත යොමු කළ ලිපි ගනුදෙනුවෙහි මුල් පිටපත් ශ්‍රී ලංකා දූත පිරිස විසින් භාර දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව එහිදී නියෝජිත පිරිස තානාපතිවරයා දැනුවත් කර ඇති අතර, වෙ‍ළෙඳ හිඟය අඩු කිරීමටද, තීරුබදු සහ තීරුබදු නොවන බාධක අවම කිරීම සඳහා ද එක්සත් ජනපද රජය සමඟින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති යුහුසුළු සහ ධනාත්මක කැපවීම පිළිබඳවද මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස පෙන්වා දී තිබෙනවා.

මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනා ඇගැයුමට ලක් කළ තානාපති Jamieson Greer දෙරට අතර අපක්ෂපාතී හා සාධාරණ වෙ‍ළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බවට ද අපේක්ෂාව පළකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

සිරි දළදා වන්දනාව 27 වැනිදා අවසන් කරනවා – දියවඩන නිලමේ

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වැනිදා දිනයෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

ඒ අනුව එහි දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි අද (25) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් දියවඩන නිලමේවරයා සඳහන් කළේ.

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු හා උතුරුමැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ගිගුරුම් සහිත වැසි හා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සවස් භාගයේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, ඒ අනුව ඉහත ප්‍රදේශවල සිටින ජනතාවට සැලකිලිමත් වන ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

news images

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව ශෝකය පළ කිරීමට ජනපති වතිකානු තානාපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) දහවල් වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව සිය ශෝකය පළ කර තිබෙනවා.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අග රදගුරු Brian N. Udaigwe හිමිපාණන් විසින් පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අනතුරුව, උන්වහන්සේ සමඟ කෙටි කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක් ද තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

වැසි සහ ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ මුලතිව් සහ වවුනියා යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවට දැනුම්දෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සිරි දළදා වන්දනාව සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් ප්‍රමාණය ඉහළ දැමීමට තීරණය කෙරේ

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් ප්‍රමාණය ද ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දහවල් වන විට 250,000කට ආසන්න සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාවට පැමිණ ඇති අතර, ඉදිරි දිනවල මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම තත්ත්වය තුළ, සැදැහැවතුන් හැසිරවීමේ කටයුතු පොලීසියට පමණක් සිදුකළ නොහැකි බැවින්, යුද හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවල සහාය ඒ සඳහා යොදා ගැනීමට අද (23) පෙරවරුවේ රැස්වූ සිරි දළදා වන්දනා කමිටුව විසින් තීරණය කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වන දුම්රියක් ගම්පහ දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අල්ලස් ලබාගත් ලංගම නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්තලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ත්‍රිකුණාමලය – වව්නියාව මාර්ගයේ ධාවනය වූ ත්‍රිකුණාමලය ඩිපෝවට අයත් ලංගම බස් රථයේ මගීන්ගේ ප්‍රවේශ පත්‍ර, පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කළ අවස්ථාවකදී, මගියෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොතිබීම සම්බන්ධව එම බස් රථයේ කොන්දොස්තර වශයෙන් සේවය කළ පැමිණිලිකරුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා, ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා.

එම විනය පරීක්ෂණයෙන් පැමිණිලිකරුට අගතියක් නොවන පරිදි පරීක්ෂණ කටයුතු අවසන් කර, නැවත සේවය පිහිටුවීමට අදාළ කටයුතු කරදීම සඳහා අල්ලස් ලෙස, ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියා විසින් රුපියල් 100,000 මුදලක් ඉල්ලා ඇති බව පැවසෙනවා.

පසුව එම කාර්යාලයේ ආරක්ෂක නිලධාරියා ලවා එකී මුදල සැකකරු විසින් ඉල්ලා ලබාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාවට රැගෙන එයි

ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද (23) වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවට රැගෙන යාම සිදුකර තිබෙනවා.

දේහය රැගත් පෙරහැර ශාන්ත පීතර චතුරශ්‍රය හරහා ගමන් කරන විට, 20,000 කට අධික විශාල ජනතාවක් රැස්වී සිය ශෝකය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට මේ වන විට අවස්ථාව ලබාදී ඇති අතර, ඒ සඳහා වන වේලාවන්ද මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ශුද්ධෝත්තම පියාණන්ගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බවයි වතිකානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.