ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,  නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු-මැද, උතුරු සහ සබරගමුව පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

සිරි දළදා වන්දනාවෙන් පසු නුවර වැව පිරිසිදු කෙරේ

දින දහයක් පැවැත්වුනු “සිරි දළදා වන්දනාව” වැඩසටහනෙන් පසු මහනුවර වැව පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක් Clean Sri Lanka ලේකම් කාර්යාලය සහ නාවික හමුදාව එක්ව ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙහිදී නුවර වැවට බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් සහ ප්ලාස්ටික් ඇසුරුම් ඇතුළු කැළිකසළ ඉවත් කර, නුවර වැව යළි යථා තත්ත්වයට පත් කළ බවයි සඳහන් වන්නේ.

ස්වේච්ඡා කණ්ඩායම් සහ මහජනතාවගේ සහාය ද මෙම ක්‍රියාන්විතය සඳහා හිමිවුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

news images

news images

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නොවන බවත් අපරාධයක් වන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් යෙදවීම බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ ගැටලුවේදී කිසිඳු අඩුපාඩුවක් තමන්ට පෙනෙන්නට නොමැති බවයි අද (28) අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාවලට මුදල් යෙදවිය හැක්කේ විසර්ජන පනත නීතිය ප්‍රකාරව පමණක් බවත්, තැන්පත් ගිණුමකට මුදල් යෙදවිය හැක්කේ ඉඩ ලබාදුනහොත් පමණක් බවට එම පනතේ කොතැනකවත් සඳහන් කර නොමැති බවත්, පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ විසර්ජන පනතකින් ඉඩ ලබා නොදෙන්නේ නම්, මුදල් තැන්පත් ගිණුම්වල යෙදවිය නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර, අල්ලස් කොමිසමේ ඇති ලිපිගොනු වෙනත් පාර්ශවලට පෙන්වීම සම්බන්ධයෙන් තමන් අල්ලස් කොමිසමට විරෝධතාව ප්‍රකාශ කළ බවත්, ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක තමා අල්ලස් කොමිසමට යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් මැතිවරණ රැළියකදී ප්‍රකාශයක් සිදු කළ බවත්, ඒ අනුව අල්ලස් කොමිසමේ ලිපි ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා අරගන්නා බවට පෙනී යන බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

අද (28) දිනයේ ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුර සහ සබරගමුව යන පළාත් සහ හම්බන්තොට, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, ඒ සම්බන්ධයෙන් සැලකිල්ලෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

අදාළ නිවේදනය පහතින්.

news images

සිරි දළදා වන්දනාව අවසන් වෙයි

දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව අද (27) පස්වරුවේ සාර්ථකව අවසන් වුණා.

අද දිනයේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා කාලය තුළ සැදැහැවතුන් 76,000ක පිරිසකට සිරි දළදා වන්දනාවට එක්වීමට අවස්ථාව උදාවූ බවයි වාර්තා වෙන්නේ.

වසර 16 කට පසු දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව පසුගිය 18 වනදා සිට උදා වූ අතර ගතවූ දින 10 ක කාලය තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දළදා වන්දනාව සඳහා එක්ව තිබුණා.

“සිරි දළදා වන්දනාව” අද පස්වරු 5.30ට අවසන් වීමෙන් පසුව මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද අද පස්වරුවේ ආරම්භ කර තිබුණා.

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ හම්බන්තොට, වව්නියාව මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

බංග්ලාදේශයේදී කප්පම් ඉල්ලා පැහැරගත් ශ්‍රී ලාංකිකයන් තිදෙනා බේරාගැනේ

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී, එරට කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු බංග්ලාදේශ පොලීසිය විසින් බේරාගෙන ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ඩකා අගනුවරට කිලෝමීටර 200කටත් වඩා දුරකින් පිහිටි බාගර්හාට් නම් පළාතේ ව්‍යාපාරිකයෙකුගේ ආරාධනයක් මත මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා පසුගිය අඟහරුවාදා (22) බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අදාළ කප්පම්කරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාපාරිකයන් සමග ව්‍යාපාරික සුහඳතාවක් ගොඩ නගාගෙන ඇති බවද, ඔවුන්ගේ ආරධනයක් මත මෙම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් බංග්ලාදේශයට ගෙන්වාගෙන මෙම පැහැරගැනීම සිදු කර තිබෙන බවද අනාවරණය වී තිබෙනවා.

බාගර්හාට් පොලීසිය ක්ෂණික මෙහෙයුමක් දියත්කර කප්පම් සඳහා රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනාම බේරාගෙන ඇති බවත්, පැහැරගැනීමට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

සිරි දළදා වන්දනාව අද 09 වන දිනටත් පැවැත්වෙයි

‘සිරි දළදා වන්දනාව’ අද (26) 09 වැනි දිනටත් පැවැත්වෙනවා.

ඒ අනුව අදත් පෙරවරු 11.00ට ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශාල සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින්, නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඉල්ලීමක් කර තිබුණා.

එසේම, පෙර සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ හෙට දිනයෙන් අවසන් කිරීමට තීරණය කළ බවයි ඊයේ (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසා සිටියේ.

GSP+ වෙනුවෙන් යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සඳුදා මෙරටට

යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

GSP+ සහනය පිළිබඳව සමාලෝචනයක නිරතවීමේ අරමුණින් එම නියෝජිත පිරිස පැමිණෙන බවයි සඳහන් වන්නේ.

අප්‍රේල් 28 වැනිදා සිට මැයි 07 වැනිදා දක්වා යුරෝපා සංගමයේ නියෝජිත පිරිස මෙරට රැඳී සිටිනු ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ‍.

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු මැයි 05 සහ 06 වසා තැබේ

මැයි මස 05 වැනිදා සහ 06 වැනිදා යන දෙදින බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය පවසනවා.

ඒ අනුව එම ආයතනවල නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යෙදවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කවුළු නැවත විවෘත කරන පළමු දිනයේදී දඩ මුදල් ගෙවීමකින් තොරව, නියමිත ගාස්තුව පමණක් ගෙවා, වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images