ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී…..

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (09) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේගේද සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට….

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු හා වරෙන්තකරුවන් 343 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කර තිබේ.

එහිදී පුද්ගලයන් 27,388 දෙනෙක්ද වාහන 9,758ක්ද යතුරු පැදි 7,509ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.

එමෙන්ම මෙම මෙහෙයුම් හරහා නීති විරෝධී ගිනි අවි 02ක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

බීමත් රියදුරන් 58ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 2,992ක් සදහාද පොලීසිය නෛතික පියවර ගෙන තිබේ.

එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී හෙරොයින් මිලි ග‍්‍රෑම් 11ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව 2025-08-08 දිනය තුළදී පමණක් සමස්ථයක් වශයෙන් මුලූ දිවයිනෙන්ම හෙරොයින් කිලෝ 01 ග‍්‍රෑම් 547ක ප‍්‍රමාණයක්ද අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 726 මිලිග‍්‍රෑම් 107ක ප‍්‍රමාණයක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

ප්‍රමිතිය තහවුරු නොකළ ගෑස් උඳුන් තොගයක් තිබූ ආයතනයක් වටලයි….

ආනයනික ලෙස සදහන් කරමින් මෙරට එකලස් කළ ප්‍රමිතිය තහවරු නොකළ ගෑස් උදුන් තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.

කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කර විදේශ රටක නිෂ්පාදිත ලෙස සඳහන් කරමින් මෙම ගැසී උඳුන් තොගය වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර ඇත.

ඒ අනුව පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මත එලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ගෑස් උඳුන් 3,000ක තොගයක් ඇතුළු භාණ්ඩ රැසක් සමන්විත ආයතනයක් පසුගිය 07 වැනිදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වටලා තිබේ.

අදාළ භාණ්ඩ කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කරන බව හා ඊට අවශ්‍ය තවත් කොටස් කිහිපයක් මෙරට විවිධ පුද්ගලයින්ගෙන් ද මිලදී ගන්නා බව එහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පවසා තිබුනද එම කරුණු සනාථ කිරීමට කිසිදු ලේඛනයක් අදාළ ආයතනය විසින් එම අවස්ථාවේදී නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත.

එමෙන්ම මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට අනාවරණය වී ඇත්තේ අදාළ ගෑස් උඳුන් බහාලන ඇසුරුම් සහ ඊට අදාළ ලේඛනද දේශීයව සකස් කර මුද්‍රණය කරන බවය.

ශ්‍රී ලංකාවට ගෑස් උදුන් ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් කළමනාකරණය කරනු ලබන අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ (CIIS) කොටසක් වන ආනයන පරීක්ෂණ ක්‍රමවේදයකට යටත්වන අතර ඒ මගින්, ගෑස් උදුන් නිශ්චිත තත්ත්ව සහ ආරක්ෂණ ප්‍රමිතීන් සපුරාලන බවට සහතික කරනු ලබයි.

එමෙන්ම ඒ මගින් සෞඛ්‍ය, ආරක්ෂාව සහ පාරිසරික බලපෑම වැනි සාධක මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුකූලතාවය තක්සේරු කරන අතර, අදාළ භාණ්ඩ වෙළෙඳපොළට නිදහස් කිරීමට පෙර එම අනුකූලතා සහතික හෝ පරීක්ෂණ අනිවාර්ය වේ.

මෙම ව්‍යාපාරිකයා විසින් අදාළ අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ පරීක්ෂණ මගහරිමින් මෙම එකලස්කිරීම සිදුකරන බවත් ඒ මගින් නිසි ප්‍රමිතියට අනුකූල වන්නේද යන්න සහතික කිරීමකින් තොරව භාණ්ඩ වෙළදපොලට නිකුත්කරනු ලබන බවත් එම මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ වැටලීම සම්බන්ධව එදිනම මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර අදාළ ගබඩාව මුද්‍රා තබා ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට අධිකරණය නියම කර ඇත.

අභ්‍යවකාශගාමී ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වෙයි….

‍ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන් අතලොස්සෙන් එක් අයෙකු වූ අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබේ.

1928 වසරේ දී උපත ලබා ඇති ඔහු මිය යනවිට 97වන වියේ පසුවිය.

1968 සිදුකළ අපොලෝ 8 මෙහෙයුම යටතේ සඳට පියාසර කර කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු ද වන ලොවෙල්, 1970 ක්‍රියාත්මක වූ අපොලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.

ඒ අනුව දෙවරක් සඳ වෙතට ගිය පළමු මිනිසා ද ඔහු වෙයි. කෙසේ වෙතත් ඒ කිසිඳු අවස්ථාවක ඔහු සඳ මතට ගොඩබැස නොමැත.

එමෙන්ම ලොවෙල් යනු සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා ද වෙයි.

බලන්ගොඩ නිවසක ගින්නකින් මව පියා බේරී දරුවා මරුට….

බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සදහන් කළේ අද (9) අලුයම 3.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවය.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරකට අනුව බලන්ගොඩ පොලීසිය විසින් දරුවාගේ මළසිරුර සොයාගෙන ඇත.

මියගිය දරුවාගේ මව සහ පියා නිවසේ සිට ඇති අතර, ඔවුන්ට ගින්නෙන් කිසිදු අනතුරක් සිදු නොවීම හේතුවෙන් මෙම මරණය සැකසහිත බව පොලීසිය පැවසීය.

දරුවාගේ පියා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිවූවෙකු බවත්, පවුල් ආරවුල් හේතුවෙන් මව සහ පියා වෙන්ව සිට ඇති බව  සඳහන්.

එමෙන්ම මව වෙනත් පුද්ගලයෙකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ඊයේ (8) රාත්‍රියේ අදාළ කාන්තාව යළි නිවසට පැමිණීමත් සමග කිසියම් ආරවුලක් ඇති වී ඇති බවට පොලීසිය සැකපළ කරයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකරන අතර, දරුවාගේ මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ප්‍රවේශපත් කවුළුවේ දිගු පෝලිම්….

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසකගේ අවධානය දිනාගත් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල පිරිසක් පැමිණියද, එහි ප්‍රවේශපත් නිකුත් කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් එහි දිගු පෝළිම් නිර්මාණය වී තිබේ.

මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදී අපහසුවකින් තොරව වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස දෙස් විදෙස් සංචාරකයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණීමත්, අගෝස්තු නිවාඩු සමයත් නිසා මෙලෙස මේ දිනවල කවුඩුල්ල වනෝද්‍යානය සංචාරකයින්ගෙන් පිරී ඇත.

ඒ හේතුවෙන් ප්‍රවේශපතක් ලබාගෙන වනෝද්‍යානය නැරඹීමට සංචාරකයින්ට පැය ගණනාවක් දිගු පෝළිම්වල රැඳී සිටීමට සිදුව තිබේ.

මෙම ප්‍රමාදය නිසා සතුන් නැරඹීමට ඇති හොඳම අවස්ථා අතපසුවන බව සංචාරකයින් මෙන්ම සංචාරක මඟ පෙන්වන්නන් චෝදනා කරයි.

ප්‍රවේශපත් ලබාදීම සඳහා සීමිත නිලධාරින් පිරිසක් පමණක් සිටිම මෙම තත්ත්වය උද්ගතවීමට හේතු වී ඇත.

තාක්ෂණය දියුණු, මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ හැකියාව පවතින කාලසීමාවක මෙවන් තත්ත්වයන් නිර්මාණය වීම සැබැවින්ම කනගාටුදායකය.

මෙරරට පැමිණෙන සංචාරකයින් අපහසුතාවට පත් නොකර ඔවුන්ට කඩිනම් සේවාවක් ලබාදී මෙරටට විදේශ විනිමය උපයාගැනීමට කටයුතු කිරීම බලධාරින්ගේ වගකීමක් නොවේද?

හෙරොයින් කිලෝ 1ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට….

මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඊයේ (08) සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 37ක් වන සැකකරු මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දඹානේදි….

අදට (09) යෙදී ඇති ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක, විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ 1996 වසරේදී ජීනිවාහි ආදිවාසී සමුළුවට සහභාගී වීමත් සමඟ ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමේ කතිකාව ආරම්භ කෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය 1999 වසරේදී කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි.

 මෙවරද විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක්ව ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය විචිත්‍රවත් අයුරින් සංවිධානය කර තිබු අතර, සාමය සහ සෞභාග්‍යය සඳහා ආශිර්වාද කෙරෙන සාම්ප්‍රදායික කිරි කොරහා චාරිත්‍රය ඉටු කිරීම ඇතුළු ආදිවාසී ජනතාවට ආවේණික විවිධ සංස්කෘතිකාංග රැසකින් මෙම අවස්ථාව වර්ණවත් විය.

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හිටපු ආදිවාසී නායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර කෞතුකාගාර මැද මිදුලේ සුදු හඳුන් පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

 ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක විශ්ව කීර්ති ශ්‍රී වනස්පති  ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත ආදිවාසී ජනතාවගේ ගැටළු ඇතුළත් සංදේශයක් භාර දෙනු ලැබූ අතර සමරු ඵලකයක්ද පිළිගැන්විණි.

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්ද ආදිවාසී නායකයා වෙත තිළිණයක් පිළිගන්වනු ලැබීය.

 ආදිවාසී ප්‍රජාවගේ නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවි කිරීම සඳහා කුටි ඉදිකිරීම ඇරඹීම සහ පාරම්පරික දැනුම සහ දේශීය සම්පත් උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී ඔසු සබන් “කයිරි එළිදැක්වීමත්, ආයුර්වේද සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහන අවසන් කළ ආදිවාසී කාන්තාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමත් මීට සමගාමීව සිදු කෙරිණි.

 බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීහු, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වෝල්ෂ් මහතා ඇතුළු කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු සහ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පැටවීමට ගිය බහාලුමක් වැටී බිහිසුණු අනතුරක්

කොළඹ වරාය බහාලුම් අංගනයේදී බහාලුමක් ප්‍රයිම් මූවර් රථය මතට වැටීමෙන් සිදුවූ අනතුරකින් ප්‍රයිම් මූවර් රථයේ සිටි රියදුරු මියගොස් තිබේ.

කොළඹ වරාය බහාලුම් අංගනයේදී ප්‍රයිම් මූවර් රථයකට බහාලුමක් පැටවීමට යාමේදී එම බහාලුම තවත් බහාලුමක ගැටී එය මෙලෙස ප්‍රයිම් මූවර් රථය මතට වැටී තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සිදුවූ මෙම අනතුරින් ප්‍රයිම් මූවර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.

මරණකරු වයස අවුරුදු 36ක් වූ දැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බහාලුම පැටවීම සිදු කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරුවරුන් හමුවූ අග්‍රාමාත්‍යවරිය…….

ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර සාකච්ඡාවක් අගරදගුරු නිල නිවසේ දී පැවැත්විණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් කාදිනල් හිමිපාණන් දැනුවත් කර ඇත.

ඊයේ පස්වරුවේ පැවති එම හමුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නාලක කලුවැව මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්‍රය, වාහන අලුත් වැඩියාව වැනි වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රවල වටිනාකම පැහැදිලි කරමින් එම ක්ෂේත්‍රවල විශේෂඥයින් බිහිකිරීමේ අඩිතාලම නව ප්‍රතිසංස්කරණ යටතේ  පාසල තුළම නිර්මාණය කරන ආකාරය පිළිබඳව මෙහිදී අගරදගුරුතුමන් සිය විශේෂ අවධානය යොමු කර තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,
”අපි මුහුණදෙන ප්‍රධාන ගැටලු දෙකක් තිබෙනවා, එකක් තමයි ළමයින් පාසල් පද්ධතියෙන් ඉවත්වීම, පාසල් ළමයින් ලක්ෂ 3ක් මේ පද්ධතියට ඇතුළත් වුණාම ඉන් 40,000ක් පමණ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. තවත් 30,000ක් පමණ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට හෝ විදේශ අධ්‍යාපනය සඳහා පිටත්ව ගියත් ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් ඉතුරු වෙනවා. මේක තමයි ලොකුම ගැටලුව, මොකක්ද කරන්නේ මේකට, ඒ සියලුදෙනාට උසස් අධ්‍යාපන අවස්ථා නොලැබුණත් හැකියාවන් සමඟ පාසල්වලින් පිටව යනවා.ඒ වගේම අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව සෑම වසරකටම ළමයින් 20,000ක් පාසල් අධ්‍යාපනය අතරමඟ අත්හරිනවා.ඒ විසිදාහෙන් ළමයින් 5,000ක් නීතිවිරෝධි ක්‍රියාකාරකම් සඳහා යොමු ‍වුණොත් ඒක රටට ලොකු විනාශයක්.”