පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පිරිසක් මුදාහරී

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටි සැකකරුවන් දසදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළේය.

නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය විසින් අධිකරණයට දන්වා සිටියේ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ ඉල්ලීමක් කරමින්, මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව තිබී පොලීසිය භාරයට ගන්නා ලද ජංගම දුරකථන ඇතුළු නඩු භාණ්ඩ ඔවුන් වෙත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා.

ඒ අනුව අදාල භාණ්ඩ සැකකරුවන් වෙත මුදාහරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත් වන්න – ජනපති

මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

2024 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී නිෂ්පාදන ආර්ථිකයට අදාළ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම සිදුවූ අතර, දිස්ත්‍රික් මට්ටමින් වෙන් කරන ලද එම ප්‍රතිපාදන නිදහස් කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතාව පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙනවා.

පසුගිය වසර කිහිපය තුළ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය නොවීම හේතුවෙන් ග්‍රාමීය ජනතාව ගැටලු රැසකට මුහුණ දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි අයුරින් නියමිත කාල රාමුව තුළ වැය කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

2021 දී ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් ආනයනය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් මෙලෙස ඔහුට වරෙන්තු නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හලාවත වෙඩි තැබීමක්

හලාවත, විලත්තව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ස්වාමි පුරුෂයා විසින් වායු රයිෆලයක් උපයෝගී කර ගනිමින් සිය බිරිඳට වෙඩි තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරුව සැකකාර සැමියා ගෙල වැල ලා ගැනීමට උත්සාහ කර ඇති අතර, දෙදෙනාම මේ වන විට රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කෝටියක් වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ, ටිරාන්ට, දේශබන්දුට කෝටි 30 ක් දුන්නේ නැති නිසා – හරක් කටා

අද (14) අධිකරණ කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ‘හරක් කටා’ තංගල්ල බන්ධනාගාරය තුළ රඳවා ගැනීමට මාසයකට කෝටියක් වැය වන බවට පසුගියදා පුවත්පත් වාර්තාවල දැක්වූ කරුණු සම්බන්ධයෙන් එහිදී ඔහු මාධ්‍ය වෙත සිය ප්‍රතිචාරය දක්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී ඔහු සඳහන් කරන්නේ, “කෝටියක් වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ, ටිරාන් අලස්ටයි, දේශබන්දු තෙන්නකෝන්ටයි කෝටි 30 ක් දුන්නේ නැති එකට…” ලෙසටයි.

කැනඩාවේ ඉදිකළ LTTE ස්මාරකයට ශ්‍රී ලංකා රජයේ විරෝධතාව

පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ කැනඩාවේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය කැනඩා මහ කොමසාරිස්වරයා වෙත විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව යුද ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදුකළ බවට එල්ලවන චෝදනා ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිඳු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ කරන ලද නොවන බවත් එය සමඟ යවන තොරතුරු මත පදනම්වී ඇති අතර ශ්‍රී ලංකාව මෙම අසත්‍ය අඛ්‍යානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාව තුළ මැතිවරණ වාසි ලබා ගැනීම සඳහා මෙම ප්‍රචාරය දියත් කර ඇති බවද විදේශ අමාත්‍යවරයා දැනුම්දී තිබෙනවා.

එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණා ඇති කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

පසුගියදා කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීමට කටයුතු කර තිබුණා.

අදාළ නිවේදනය පහතින්.

news images

ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යතුරුපැදි පැදවූ 36 ක් අත්අඩංගුවට

ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 36 ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස් කිරීම් සහ යතුරුපැදි සඳහා අමතර කොටස් සවිකරමින් රථවාහන නීති උල්ලංඝනය කළ යතුරුපැදි 36ක් ද මෙහිදි පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී අත්අඩංගුවට ගත් යතුරුපැදිකරුවන් බහුතරයක් පුහුණු වීමේ රියදුරු බලපත්‍රය සහිත වයස අවුරුදු 18 -20 අතර පිරිස් වන අතර මෙම පිරිස ගාල්ල, වැලිගම, අකුරැස්ස, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් යතුරුපැදි මෝටර් රථ කොමසාරිස්වරයා හමුවට ඉදිරිපත් කර පරීක්ෂාවට ලක් කර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

කුෂ් කිලෝ 46 ක් සමග බ්‍රිතාන්‍ය තරුණියක් අත්අඩංගුවට

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

සොයාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 46 ක් වන අතර මෙහි වීදි වටිනාකම රුපියල් මිලියන 460 කට ආසන්න වන බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමක් අතරතුර ඇයව නවතා පරීක්ෂා කිරීමේදි ඇගේ ගමන් මළු තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී හමුව තිබෙනවා.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8 ක් අත්හිටුවයි

නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව තවත් දන්සල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වාගෙන යාමට අවසර ලබාදුන් බවයි එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ.

වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8,742 කට අධික සංඛ්‍යාවක් මෙවර ලියාපදිංචි වී තිබුණා.

අලදෙණියේදී වන්දනා බස් රථයක් අනතුරට පත්වී 20 ක් රෝහලට

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ (12) රාත්‍රි කාලයේදී අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.