මිනුවන්ගොඩ ‘පස් දිලීප’ ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්…..

මිනුවන්ගොඩ, පත්අඩුවන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර අද (13) දහවල් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පැවසීය.

පොලීසිය පවසන්නේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ ‘පස් දිලීප’ යන පුද්ගලයා ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර ලැබ ඇත.

 මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ භාර දෙන ලදී.

 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඉ(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද මෙම නව පත්වීම සඳහා ලබී ඇත.

 ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසයට එක් වේ.

 මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා වන්නේද  නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාය.

ව්‍යාජ ලබුබු බෝනික්කන්ගෙන් දරුවන්ට බරපතළ අවදානමක්….

ව්‍යාජ ලබුබු බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක් ඇති කළ හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ළමයින්ට බරපතළ අවදානමක් ඇති කළ හැකි මෙම ව්‍යාජ ලබුබු බෝනික්කන් විකිණීමේ යෙදෙන වෙළෙදුන්, වෙ‍ෙළඳ ප්‍රමිති ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

විදෙස් වෙළෙඳ ප්‍රමිති නිලධාරීන් පවසා ඇත්තේ, චීන නිෂ්පාදිත සෙල්ලම් බඩු සඳහා ඇති ජනප්‍රියතාවය ඉහළ යාම, ව්‍යාජ නිෂ්පාදකයින්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති බවය.

ඔවුන් ව්‍යාජ ලොම් සහිත බෝනික්කන් සඳහා වෙන් කළ හැකි කුඩා කොටස් එකතු කිරීම හේතුවෙන් මෙලෙස හුස්ම හිරවීමට ඇති අවදානම ඇතිව තිබෙන බව නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

ගෙවුණු සතිය තුළ මෙම ව්‍යාජ බෝනික්කන් සම්බන්ධයෙන් ලද තොරතුරු මත දේශීය වෙ‍ෙළඳුන්ගෙන් බෝනික්කන් 100ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ.

මහජන දැනුවත්භාවය වර්ධනය වන විට මෙම අත්අඩංගුවට ගැනීම් සැලකිය යුතු ලෙස වැඩි වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙමාපියන් මෙන්ම දරුවන් රැකබලා ගනු ලබන්නන් මෙම බෝනික්කන් මිලදී ගැනීමේදී වගකිව යුතු තැන්වලින් පමණක් ලබාගන්නා ලෙසට කොවෙන්ට්‍රි නගර සභාවේ නියෝජ්‍ය නායක අබ්දුල් සලාම් ඛාන් ප්‍රකාශ කර තිබේ.

ව්‍යාජ බෝනික්කන් සැලකිය යුතු ලෙස අඩු මිලකට අලෙවි වන බවත්, ඒ සඳහා  නිවැරදි QR කේත නොමැති බවත් නිලධාරීන් සොයාගෙන ඇත.

ඝාතනය වූ හිටපු ප්‍රා.ස. මන්ත්‍රීගේ දේහය නිවසට – සැකකරුවන් අධිකරණයට….

මීගොඩ ආටිගල පාර ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු ඝාතනයට ලක්කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අද (13) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර ඝාතනයට ලක්වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ දේහය ඊයේ (12) රාත්‍රී පාදුක්ක වටරැක සෝමරතන මාවතේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන විත් ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සිකුරාදා සිදුකිරීමට නියමිතය.

ඊයේ දහවල් 1.10ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රී’ නම් 46 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණි.

ඔහු හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභිකයෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කර හිටපු මන්ත්‍රීවරයා ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අයෙකි.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලීසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර තිබුණි.

එසේම ඝාතනය වූ තැනැත්තා ‘ගගන’ නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බව ද, ඔහු ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නැමැත්තාගේ නම භාවිත කරමින් කප්පම් ලබාගැනීමේ සිදුවීම්වලට සම්බන්ධ වී ඇති බැවින් ඊට පළිගැනීමක් ලෙස ‘බස් ලලිත්’ නැමැත්තා මෙම ඝාතනය සිදුකර ඇති බවටත් පොලීසිය සැක පළකරයි.

කෙසේ වෙතත් වෙඩි තැබීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලීසිය මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීමක් කර තිබූ අතර එහිදි තලංගම, පාලම්තුන හංදිය ප්‍රදේශයේදී වෙඩික්කරු පැමිණි මෝටර් රථය සහ එහි රියදුරුද, වෙඩිතැබීමට භාවිත කළ බවට සැකකෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවිය ද තලංගම පොලිස් භාරයට ගෙන තිබුණි.

අනතුරුව අදාළ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් ලබාගත් තොරතුරු අනුව වෙඩික්කරු සහ තවත් අයෙකු ද ඊයේ පස්වරුවේ තලංගම, පාලම්තුන හංදිය අසලදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලීමට නියමිත බව වාර්තා වේ.

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් හෙට විශේෂ සාකච්චාවක්….

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (14) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කළේය.

පසුගිය සතියේදී ද හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් ආණ්ඩුවට ඝෘජුව අභියෝග කිරීමේ අරමුණින් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව උපයෝගී කර නොගන්නා අතර විපක්ෂයේ එකමුතුවක් සකස් කිරීම පමණක් මෙහි අරමුණ බව විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කළේය.

පොලිස්පතිට ඍජුවම ගැටලු කියන්න නව වට්ස්ඇප් අංකයක්…..

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ.

මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම වට්ස්ඇප් අංක හඳුන්වා දී ඇත.

ඒ අනුව 071 – 8598888 යන නව වට්ස්ඇප් අංකය අද (13) සිට ක්‍රියාත්මක වේ.

මේ හරහා පොලිස්පතිවරයා වෙත ඍජුවම කෙටි පණිවුඩයක් ලබාදීම, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමු කිරීම සඳහා පමණක් භාවිත කළ හැකි අතර ඇමතුම් ලබාගැනීමට හැකියාවක් නොමැති බව පොලීසිය දැනුම් දෙයි.

එමෙන්ම පොලිස් නිලධාරීන්ට ද මෙම අංකය ඔස්සේ තම ගැටලු හා තොරතුරු සම්බන්ධයෙන් දැනුම් දීමේ හැකියාව පවතී.

බස්වලටත් ලගදීම එන AI

රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි.

කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මුල් අදියර යටතේ අදාළ තාක්ෂණික යන්ත්‍ර 40ක් බස්රථවල සවිකිරීමට නියමිත බවය.

“AI තාක්ෂණය භාවිත කරලා රියදුරන්ට විඩාව එනවා නම්, නිදිමතයි නම්, ඒ අයගේ ඇස් පියවෙනවා නම් සහ රියදුරු රැකියාව කරන අතරතුර නොකළ යුතු වෙනත් දේවල් කරනවා නම්, ඒවා පිළිබඳව AIවලින්ම රියදුරු මහත්තරුන්ට සිස්ටම් එකෙන් මතක් කරනවා. ලංකාවේ මේ වගේ සමාගම් අවුරුදු ගානක් පුරා භාවිත කරලා තියෙනවා. නමුත් ලංකාවේ පොදු ප්‍රවාහනයට විශේෂයෙන්ම ලංගම සහ පෞද්ගලික බස්වල මිලියන ගණන් ජනතාව ගෙනියන ඒවට යෙදවිලා නෑ. ඒ නිසා අපි ඒ අය එක්ක කතා කරලාම ඒ අය කැමැත්තෙන් ඉදිරිපත් වුණා ඔවුන් සතු පරිපාලන දැනුම හා තාක්ෂණය හා උපකරණ ලබාදෙන්න. ඒ උපකරණ 40ක් ලබාදෙනවා බස් 40කට ලබාදෙනවා ලංගම සහ පෞද්ගලික දෙකටම”

කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද සංකේත වර්ජනයක….

කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේ, අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය.

ඒ අනුව අද උදෑසන 8 සිට මෙම සංකේත වර්ජනය ආරම්භ වීමට නියමිතය.

සුදුසුකම් සහිත ඖෂධවේදීන් තම සේවය සපයමින් සිටින අතරතුර සේවා අවශ්‍යතාවය නොමැති ඖෂධ සංයෝජකවරයෙක් මෙලෙස අනුයුක්ත කර ඇති අතර, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව අවස්ථා දෙකකදී දැනුම් දී ඇතැයිද අජිත් තිලකරත්න මහතා පවසයි.

නමුත් බලධාරීන් එම දැනුම්දීම නොසලකා හැර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඒ මහතා සඳහන් කළේය.

රට සිහින මවා මුදල් වංචා කළ විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට…..

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.

අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී 2023 වසරේ සිට තමන්ව රවටමින් අවස්ථා කිහිපයකදී මුදල් ලබා ගත් බවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලිකර තිබේ.

විදේශ රැකියා ඒජන්සි සමාගම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර අත්අඩංගුවට පත්වන විට සැකකරු එම සමාගමේ පරිගණක අංශයේ සහකාර කළමනාකරු වශයෙන් සේවය කරමින් සිට ඇති බව සඳහන්ය.

සැකකරු අද (13) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයව තිබේ.

ශාන්ත මුදුන්කොටුව ඝාතනය ගැන තවත් තොරතුරු එලියට එයි…..

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා’ නමැත්තා මීගොඩ ප්‍රදේශයේදී අද (12) වෙඩිතබා ඝාතනය කෙරුණි.

ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නමැත්තා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලීසිය සැක කරයි.

ඝාතනය සිදුවී සුළු වේලාවකට පසු වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නට තලංගම පොලීසිය සමත්වූ අතර අපරාධයට යොදාගත් බව කියන ගිනිඅවිය ද පොලිස් භාරයට ගැනුණි.

මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී අද දහවල් 1:10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි අයෙක් ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.

යතුරුපැදිකරුට වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග ඔහු යතුරුපැදියෙන් බිමට පැන අසලවූ නිවසකට දිවගොස් තිබේ.

පසුව ඔහු එහි සිටි කාන්තාවකට තමන්ට වෙඩිවැදී ඇති බවත් කඩිනමින් තමා රෝහල්ගත කරන ලෙසත් පවසා ඒ අසලවූ ත්‍රීරෝද රථයකට නැඟීමත් සමග ඉන් ඇදවැටී ඇත.

ඒ සමග ඔහු සිය ජංගම දුරකථනයෙන් කිසිවෙකුට ඇමතුමක් ලබාගැනීමට උත්සාහ දරූවද එයද අසාර්ථක වී තිබේ.

අසල්වාසීන් සිද්ධිය පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දීමෙන් පසුව පොලීසිය පැමිණ කඩිනමින් තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

ඒ අතරතුරම පොලීසිය ක්ෂණික මාර්ග බාධක යොදා රථ වාහන පරීක්ෂා කිරීමක් සිදුකර තිබේ.

එහිදී තලංගම, පාලම්තුන හංදිය ප්‍රදේශයේදී සැකසහිත සුදු පැහැති මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ, එය අදාළ වෙඩික්කරු පැමිණි රථය බවටය.

ඒ අනුව මෝටර් රථයේ රියදුරු හා වෙඩිතැබීමට භාවිත කළ බවට සැකකෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවිය තලංගම පොලීසිය සිය භාරයට ගත්තේය.

කෙසේවෙතත් ඒ වනවිට වෙඩික්කරු මෝටර් රථයෙන් බැසගොස් ඇති බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත්වූ රියදුරාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත.

එම තොරතුරු අනුව වෙඩික්කරු හා තවත් අයෙකු පසුව පොලිසිය මගින් අද පස්වරුවේ තලංගම, පාලම්තුන හංදිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනය වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රි’  46 හැවිරිදි හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකි.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කර ඇති බව සඳහන් ය.

පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර සිදුකළ අයෙක් බවද පොලිසිය සඳහන් කළේය.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර ඇති බව වාර්තා වෙයි.

ඝාතනය වූ පුද්ගලයා ගගන නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බවද පොලීසිය පැවසීය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නමැත්තාගේ නම භාවිත කරමින් විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවත් ඊට පළිගැනීමක් ලෙස බස් ලලිත් නමැත්තා මෙම ඝාතනය සිදුකර ඇති බවටත් පොලිසිය සැක පළ කරයි.