බදුල්ල බස් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළට

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් ඊ‍යේ (21) පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 34 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී බස් රථය පෙරළී ගොස් ඊයේ මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ රියදුරු සහායක විසින් බවයි පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ.

news images

news images

news images

බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5 ක දඩයක් බවට සඳහන් Facebook සටහන් අසත්‍යයි – පොලීසිය

බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5 ක දඩයක් ගෙවීමට සිදුවන බවට සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත අසත්‍යක් බව ‍පොලීසිය පවසනවා.

මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අද (21) උදෑසන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක දක්වා තිබුණේ, බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5ක දඩයක් නැතහොත් අවුරුදු 2 ක සිර දඬුවමක් විඳීමට සිදුවන බවයි.

ප්‍රමිතියෙන් තොර දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 04ක් දඩ

ප්‍රමිතියට අනුකූල නොවන දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක් පැනවීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

2022 වසරේ ලැබුණු පැමිණිලි මත වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබූ දුඹුරු සීනි සඳහා වර්ණක යොදා තිබේද යන්න සිදුකළ පරීක්ෂාවකදී, සීදුව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකින් සාම්පල ලබා ගෙන පරීක්ෂා කර තිබුණු අතර, එම සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල නොවන බවට ලැබුණු පරීක්ෂණාගාර වාර්තා අනුව තහවුරු වී තිබෙන බවයි සඳහන් වන්නේ.ඒ අනුව, එම දුඹුරු සීනි විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සහ ඉදිරිපත් කිරීම යන චෝදනා දෙකක් යටතේ 2023 වසරේදී ඔවුන්ට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළ අතර, පසුගිය 19 වැනි දින එම වැරදි සඳහා වරද පිළිගත් අදාළ ආයතනයට රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක් පැනවීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින්ගේ වීසා බලපත් කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ

දැනට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන ආයතනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර සිටියා.

ඒ අනුව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රි ලාංකිකයින් ඇතුළු විදේශිකයින්ගේ, මෙම වසරේ ජූනි 12 වැනිදාට පසුව අවසන් වන සාමාන්‍ය රැකියා වීසා ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක්, 2025 නොවැම්බර් 30 දක්වා දීර්ඝ කර තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90%ක වැඩිවීමක්

2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබෙනවා.

අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචනයේදී මේ බව අනාවරණය වුණා.

එමෙන්ම, 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලියන 176කින් ද වර්ධනය වී ඇති බවත්, 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4669ක විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි වී තිබෙන බවත් අයෝජන මණ්ඩලයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු සැකකරුවන් තිදෙනා ජූලි 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබාගත් බවට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් මෙම සැකකරුවන් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙලෙස තාවකාලිකව ධාවනය තහනම් කළ වාහන අතර ලංගම සහ පෞද්ගලික බස් රථ 15ක් ඇතුළත්ව තිබෙනවා.

ඒ අනුව, හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේ දී වාහන 115ක් පමණ හදිසි පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී අධික ලෙස වායු විමෝචනය කළ වාහන සහ අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන මෙලෙස ධාවනයෙන් තාවකාලිකව ඉවත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම බස් රථ ඇතුළු වාහනවල සවිකර තිබූ, මගීන්ගේ ජීවිතවලට අවදානමක් සහිත උපාංග ගලවා ඉවත් කිරීමටද මෙම වාහන පරීක්ෂාවේදි මෝටර් රථ පරික්ෂකවරුන් උපදෙස් ලබාදී තිබෙනවා.

ධාවනය තාවකාලිකව තහනම් කරන ලද වාහනවල වාර්ෂික ආදායම් බලපත්‍රය මෝටර් රථ පරික්ෂකවරයාගේ භාරයට ගෙන ඇති අතර, එම වාහන අලුත්වැඩියා කර මේ මස 30 වැනිදා වාහන පරීක්ෂා කළ ස්ථානයටම රැගෙන විත්, යළිත් පරීක්ෂාවට ලක් කළ යුතු බවයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

ප්‍රතිදේහ එන්නත් ලෙස ලබාදී ඇත්තේ විෂ බැක්ටීරියා සහ ලුණු වතුර බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රදේහ එන්නත් තුළ තිබී ඇත්තේ මිනිස් ශරීරයට අහිතකර බැක්ටීරියා සහ ලුණු බවට ජර්මනියේ රසායනාගාරයකදී සිදුකළ පරීක්ෂණ‍කදී තහවුරුවී ඇති බව නීතිපතිවරයා අද (19) අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සහ රිටොක්සිමැප් යන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවයි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම ‍ඖෂධ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් ජර්මනියේ ප්‍රතීතකරණ විද්‍යාගාරයක සිදුකළ පරීක්ෂණ වාර්තාවේ අවසන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

එහි දක්වා ඇති පරිදි හිමියුන් ඉමියුනෝග්ලොබියුලින් යැයි යොමු කළ ද්‍රවණයේ කිසිඳු ඖෂධමය ගුණාත්මකභායකින් යුතු නොමැති බවත් හිමියුන් ඉමියුනෝග්ලොබියුලින් නමින් මිනිසුන්ට ලබාදීමට මිලදීගෙන ඇත්තේ මිනිස් සිරුරට අහිතකර විෂ බැක්ටීරියා ඇතුළත් ද්‍රවණයක් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළා.

එසේම පිලිකා ‍ඖෂධයක් වන රිටොක්සිමැප් නමින් තිබී ඇති ද්‍රවණයේ පිළිකාවකට එරෙහිව සටන් කළ හැකි කිසිඳු ප්‍රෝටීන අඩංගු අන්තර්ගතයක් තිබී නොමැති බවත් එහි තිබී ඇත්තේ සෝඩියම් ක්ලෝරයිඩ් එසේත් නොමැති නම් ලුණු බවට පෙන්වාදුන් ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රතිදේහ එන්නත් ලෙස මනුෂ්‍ය ශරීරයට අහිතර විෂ ජලය සහ ලුණු වතුර ලබාදී ඇති බවත් මේ සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1444 ක මුදලක් වියදම් කර ඇති බවයි.

දුම්රිය නියාමකවරුන්ගේ වැඩ වර්ජනය කල් දැමීමට තීරණය කෙරේ

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්, අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමකවරුන්ගේ වැඩ වර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබෙනවා.

ඒ අනුව අද (19) දුම්රිය නියාමකවරුන් හා බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

නව තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව Amini Villa, Kohestan Alley, Imam Khomeini Street, Owlom, Masal, Rasht යන ලිපිනයේ තානාපති කාර්යාලය තාවකාලික ස්ථාපිත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම දුරකථන අංක +98 939 205 5161 / +98 991 205 7522 / +98 936 636 0260 හා slembiran@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම අයෙකුට තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවයි සඳහන් වෙන්නේ.