චෙම්මනි සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 260කට අදාළ අස්ථි කොටස් හමුවෙයි……

චෙම්මනි – සිත්තුපත්ති සමූහ මිනීවළේ මේ දක්වා සිදුකළ කැණීම් කටයුතුවලින් මිනිස් අස්ථි කොටස් 260ක් සොයාගෙන තිබේ.

ඉන් සිරුරු 256කට අයත් අස්ථි කොටස් ගොඩගෙන ඇති බව සඳහන්ය.

තෙවන අදිරයරේ 11 වන දිනයේ කැණීම් කටයුතු අද (08) සිදු කෙරුණු අතර එහිදී තවත් සිරුරු තුනකට අයත් අස්ථි කොටස් සොයා ගත් අතර ඉන් සිරුරු දෙකක් ගොඩගෙන ඇති බව සඳහන්ය.

තෙවන අදියරේ කැණීම් කටයුතුවලදී අද (08) දින දක්වා මිනිස් අස්ථි කොටස් 17ක් සොයාගෙන තිබේ.

කපිලගේ මරණය ගැන දැන්ම නිශ්චිත ප්‍රකාශයක් කරන්න බැහැ – ආනන්ද විජේපාල……

ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

“මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වෙලා තියෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට සිදුවෙනවා. ඒකට පස්සේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පැහැදිලි කරාවි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සියලු ආකාරයේ විමර්ශන ආරම්භ කරලා තියෙනවා. 

ප්‍රශ්නය – ඊයේ දිනයේදී වරෙන්තු නිකුත් කරපු වෙලාවේ අත්අඩංගුවට ගත්තා නම් මේක වෙන්නේ නැහැ නේද ?

පිළිතුර – පොලීසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද ඊයේ හවස තමයි පොලීසිය මේ පිළිබඳව දැනුවත්වෙලා තිබුණේ. පොලීසිය හිතන්නේ නැහැ රාත්‍රී කාලය වෙනකොට මෙහෙම වෙයි කියලා. පසුදා උදෑසන අත්ඩංගුවට ගන්න හිතා‌ගෙන ඉන්න ඇති. පොලිස් අත්අඩංගුවේ ඉඳලා නිදහස් වූ කෙනෙක්. අධිකරණ නියෝගයක් තිබුණා.  මේ පිළිබඳව පොලිස්පතිතුමාගෙන් විමසීමක් කරන්න. නමුත් මේ පිළිබඳව ස්ථිර මතයක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නෑ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ තමයි මේ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට තියෙන්නේ.” 

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන තවත් තොරතුරු එළියට……

අල්ලස් චෝදනා එල්ලවී සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක මියගොස් සිටියදී ඔහුගේ සිරුර අද (08) උදෑසන හමුවුණි.

ඔහුගේ මළසිරුරේ ගෙලෙහි කැඩුණු රෙදි පටියක කොටසක් තිබී ඇති අතර පොලිසිය සැක කරන්නේ මෙය දිවි නසාගැනීමක් බවටය.

මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍යවරු පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළසිරුර හමුවී තිබුණේ කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබියදී ය.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් එම නිවසේ දෙවන මහලේ කාමරයක් තුළ තිබී මළසිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.

සිරුර සොයාගත් අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක, චන්ද්‍රසේන මහතාගේ හිස කුෂන් පුටුවක් මත සිටින ලෙසත් සිරුරේ පහළ කොටස පොළොවේ ස්පර්ෂ වන ලෙස වැටී ඇති අයුරුත් දැකගත හැකිය.

සිරුරේ ගෙල ප්‍රදේශයේ රෙදි පටියක් වැනි යමක් තිබෙන අයුරු සහ ඊට යාබදව තිබුණු දොරෙහි ද රෙදි පටියක් වැනි යමක් එල්ලී තිබෙන අයුරු නිරීක්ෂණය වී තිබේ.

අරවින්ද සිල්වා මහතාගේ බිරිඳගේ බාල සහෝදරියගේ සැමියා වන කපිල චන්ද්‍රසේන මහතා ඊයේ පස්වරුවේ එම නිවසට පැමිණ එහි රාත්‍රිය ගතකර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඔහු අද අලුයම, ඔහු සිටි කාමරයේ දොරක එල්ලී ගෙල වැළලාගෙන දිවි නසාගෙන ඇති බවට පොලිසිය සැක පළකරයි

එය දිවි හානි කරගැනීමක්ද ? වෙනත් අපරාධයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ සෙවීමට කොල්ලුපිටිය පොලිසිය විමර්ශන සිදුකරයි.

පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සඳහන් කළේ, සැකකටයුතු මරණයක් ලෙස සලකා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවය.

එමෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණයට නියෝගයක් නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගෙන් පොලිසිය ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීම සඳහා අද දහවල් එම නිවසට පැමිණියේය.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද එම ස්ථානයට පැමිණි බවයි අප වාර්තාකරු පැවසීය.

අනතුරුව චන්ද්‍රසේන මහතාගේ දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස්මත ක්‍රියාත්මකය.

කපිල චන්ද්‍රසේන මහතාගේ මළසිරුර අද පෙරවරුවේ මෙසේ සොයාගනු ලැබුවේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (07) වරෙන්තුවක් නිකුත් කර තිබූ පසුබිමකය.

2013 වසරේ ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව දින 54ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 05 වනදා අධිකරණය විසින් මුදාහැරුණේ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප තබන ලෙස කොන්දේසි පනවමිනි.

එහිදී අධිකරණයට වාර්තා වූයේ කපිල චන්ද්‍රසේන මහතා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහා ඥාතීන් බවට ව්‍යාජ ලෙස අඟවමින් පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති බවය.

පසුව අත්අඩංගුවට ගැනුණු එම පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව අධිකරණයේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා යළි අත්අඩංගුවට ගැනීමට අධිකරණය යළි වරෙන්තු නිකුත් කළේය.

පසුව ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ මූලිකත්වයෙන් කපිල චන්ද්‍රසේන මහතාට නීති උපදෙස් ලබාදීමේ සැසියක් ඊයේ රාත්‍රියේ පැවැත්වී ඇති අතර ඊට චන්ද්‍රසේන මහතා සහභාගි නොවුවද, ඔහු වෙනුවෙන් සමීපතමයින් කිහිපදෙනෙකු සහභාගී වී ඇති බවද පැවසෙයි.

කපිල චන්ද්‍රසේන මහතා අද පෙරවරුවේ නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට එහිදී තීරණය වී ඇති අතර ඒ පිළිබඳ දුරකථන මාර්ගයෙන් කපිල චන්ද්‍රසේන මහතාට දැනුම් දීම ද සිදුකර ඇතැයි සඳහන් ය.

ඒ අනුව ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ උපදෙස් මත නීතිඥවරයෙකු අද පෙරවරු 7:30ට පමණ කපිල චන්ද්‍රසේන මහතා හමුවීමට කොල්ලුපිටිය නිවසට පැමිණ ඇත්තේ මෝසමක් මගින් නඩුව කැඳවා අධිකරණයට ඉදිරිපත්වීම පිළිබඳ දැනුම්දීමටය.

එහිදී නිවෙස් හිමි කාන්තාව කපිල චන්ද්‍රසේන මහතා රැඳී සිටි කාමරයේ දොරට තට්ටු කළ ද ඔහු ප්‍රතිචාර දක්වා නැති බව වාර්තා වෙයි.

පසුව ඇය අතිරේක යතුර රැගෙන නීතිඥවරයා ද සමග ගොස් කාමරයේ දොර විවෘත කර ඇති අතර එහිදී දැක ඇත්තේ කපිල චන්ද්‍රසේන මහතා බිම ඇදවැටී සිටින අයුරුය.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් ආරම්භ කර 2020 වසරේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරුණි.

එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරදක් ද මතුවී තිබූ බැවින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද විමර්ශනයක් ඇරඹූ අතර ඊට අදාළව පසුගිය මාර්තු 12 වනදා කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගැනුණි.

විමර්ශන අතරතුර අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණයට පැවසුවේ මෙම ගනුදෙනුවේදී තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 20ක් එවක සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද, රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ලබාදුන් බව කපිල චන්ද්‍රසේන පැවසූ බවය.

නමුත් ඊට විරෝධය දැක්වූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශ ලබාගෙන ඇති බවය.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එළඹෙන 12 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසද එම කොමිසම දැනුම්දී තිබුණි.

මේ අතර කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, මරණකරුගේ සිරුර සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත්කරනු ලබන 05 දෙනෙකුගෙන් යුත් අධිකරණ වෛද්‍ය මණ්ඩලයකින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙසත් එළඹෙන 12 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් නියෝග කර තිබුණි.

මාලිමාවට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නි. නගරාධිපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට……

ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය  පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව පැවසෙයි.

අදාළ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඉල්ලා ඇති අතර ඊට අයත් රුපියල් ලක්ෂ 30ක මුදල ලබාගැනීමට යෑමේදී නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයාව හෙට (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසීය.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් මොහු කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ අතර පසුව බලය පිහිටුවීමේදී මොහුගේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමෙන් පසුව ඔහු නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වී තිබේ.

කොළඹ – හෝ චි මිං සෘජු ගුවන්ගමන් නිල වශයෙන් ඇරඹෙයි…….

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය අද (08) දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි.

වියට්නාම් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සංසදය, වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයට සමගාමීව ඒ මහතාගේ සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

මෙම සංසදයේ ප්‍රධාන අරමුණ වූයේ වෙළඳාම ව්‍යාප්ත කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සහ සංචාරක සහයෝගිතාව යන ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරමින් දෙරටෙහි ද්විපාර්ශ්වික ආර්ථිකමය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම වෙයි.

ඒ සඳහා නව මාවත් ගවේෂණය කිරීමට, ව්‍යාපාර අතර සබඳතා ශක්තිමත් කිරීමට සහ වෙළෙඳපොළ ප්‍රවේශය පහසු කිරීමට දෙරටේම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් එකම වේදිකාවකට රැගෙන ඒමට මෙයින් අවස්ථාව උදා විය.

සංසදය අතරතුර, කොළඹ සහ හෝ චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ආරම්භ කරන ලදි.

වියට්නාම් එයාර්ලයින්ස් (Vietnam Airlines) සහ වියට්ජෙට් එයාර් (VietJet Air) මගින් ක්‍රියාත්මක වන මෙමඟින් දෙරට අතර සහ දෙරටෙහි ජනතාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙයි.

මෙම සංසදයේදී ප්‍රධාන සහයෝගිතා ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් හයකට අත්සන් තැබීම සිදු විය.

මීට අමතරව, ලංකා වාණිජ මණ්ඩලය යටතේ ශ්‍රී ලංකා-වියට්නාම් ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීමද මෙහිදී සිදු වූ සුවිශේෂී සිදුවීමකි.

සංසදයට සමගාමීව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ව්‍යාපාරික ජාලකරණ සැසියක් සංවිධානය කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකා – වියට්නාම් ව්‍යාපාරිකයන්ට ඔවුනොවුන්  සමඟ සෘජුව ගනුදෙනු කිරීමට අවස්ථාව හිමිවෙයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ යන මහත්වරු ඇතුළු මැතිඇමතිවරුද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලෙන්තිරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

වියට්නාමය නියෝජනය කරමින්  දේශපාලන මණ්ඩල සභික, පක්ෂ මධ්‍යම කාරක සභාවේ ලේකම් සහ මධ්‍යම සංවිධායක කොමිසමේ ප්‍රධානී Nguyen Duy Ngoc , දේශපාලන මණ්ඩල සභික, පක්ෂ මධ්‍යම කාරක සභාවේ ලේකම් සහ ප්‍රතිපත්ති සහ උපායමාර්ග පිළිබඳ මධ්‍යම කොමිසමේ ප්‍රධානී Nguyen Thanh Nghi, දේශපාලන මණ්ඩල සභික, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය Phan Van Giang, දේශපාලන මණ්ඩල සභික සහ මහජන ආරක්ෂක අමාත්‍ය Luong Tam Quang,  දේශපාලන මණ්ඩල සභික සහ විදේශ කටයුතු අමාත්‍ය Le Hoai Trung යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි විය.

වියට්නාම් ජනපති ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටව යයි….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරතවූ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා ඇතුළු දූත පිරිස සංචාරය සාර්ථකව නිම කරමින් දිවයිනෙන් පිටව ගොස් තිබේ.

වියට්නාම් – ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් සහ දෙරටේම ජනතාවට ප්‍රතිලාභ රැසක් උදා කර දෙමින් මෙම සංචාරය සාර්ථකව අවසන් කළ බව සඳහන් වේ.

වියට්නාම් ජනාධිපතිවරයකු මෙරට සංචාරයේ නිරත වූයේ වසර 15කට පසුවය.

මෙම දූත පිරිසට සමුදීම වෙනුවෙන් කර්මාන්තසහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ගුවන්තොටු පොළ වෙත පැමිණ සිටියහ.

රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති දිවයිනට…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට ළඟා විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ඇතුළු රාජතාන්ත්‍රික නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති ටෝ ලාම් සමඟ වියට්නාම් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් ඇතුළු ප්‍රමුඛ දේශපාලන නායකයෝ පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවතත් නඩු පවරයි…..

2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්වම ග්‍රීක බැඳුම්කර මිලදීගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් යළිත් වරක් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඒ මීට පෙර අධිකරණය විසින් පනවා තිබූ, මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසිය කඩකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේය.

රුපියල් මිලියන 100 තැන්පත් කිරීමේ කොන්දේසියට යටත්ව නඩුව ඉල්ලා අස්කරගැනීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබුණද, එම එකඟතාව පරිදි නියමිත කාලය තුළ අදාළ මුදල තැන්පත් කරමින් කොන්දේසිය සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන්, මෙලෙස යළිත් වරක් මහාධිකරණය හමුවේ නීතිමය පියවර ගෙන තිබුණි.

බොරතෙල් මිල යළිත් පහළට……

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අදත් පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ බොරතෙල් මිල ගණන් අඛණ්ඩව පහළ යමින් ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයක්ම අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයකට පැමිණ ඇති බවය.

ඒ අනුව, ලෝක වෙළෙඳපොළ දත්ත අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 99.43ක් ලෙස සටහන්ව ඇත.

මීට අමතර WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 93.17ක් ලෙසත්, මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 96.20ක් ලෙසත් සටහන් වී තිබේ.

මෙය පසුගිය දිනයට සාපේක්ෂව සියයට 2කට ආසන්න පහළ යාමකි.

මේ අතර යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සකස් කර ඇති කරුණු 14කින් යුතු නව අවබෝධතා ගිවිසුම තමන් සලකා බලමින් සිටින බව ඉරානය පවසයි.

මෙවන් පසුබිමක ලෙබනනය සමඟ ඇති සටන්විරාමය නොතකමින් එරට බේරූට් අගනුවර නාගරික කලාපයක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායලය ඊයේ කටයුතු කළේය.

හෝමුස් සමුද්‍රසන්ධිය අවහිර කිරීම හේතුවෙන් ගල්ෆ් කලාපීය මුහුදේ කොටු වී ඇති වාණිජ නෞකා මුදාගැනීමේ අරමුණින් ඇරඹුණු Project Freedom මෙහෙයුම අත්හැරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තීරණය කළේය.

ඒ යුද්ධය නැවැත්වීමේ දේශපාලන විසඳුමකට ඉඩදීමේ අරමුණින්ය.

මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවයි……

ඉතිහාසයේ  පළමුවරට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවා තිබෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේ අදහස් පළ කරමිනි.

“දශක ගණනාවක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා, අමාත්‍යාංශ හසුරුවලා, රට විනාශ කරපු බංකලොත් කරපු රටක් තමයි අපි භාරගත්තේ. දැන් අපිට ඇවිත් උපදෙස් දෙනවා ප්‍රගති වාර්තාව, එල් බෝඩ් එක ගැන. ඔවුන්ගේ දේශපාලන පක්ෂත් දැන් විනාශ වෙලා නන්නත්තාර වෙලා යනඑන මං නැතිවී තිබෙනවා. 

අපි රට භාර අරගෙන එක අවුරුද්දක් ඇතුළත, පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 109 ආසන්නයට ළං වුණා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවලා තියෙනවා. 

ඔයගොල්ලෝ වසර ගානක් තිස්සේ විනාශ කළ ආර්ථිකය. ඔය කියපු එල් – බෝඩ් ආණ්ඩුව ආර්ථිකය ඉතාමත් යහපත් ලෙස අවුරුදු එකහාමාරක් ඇතුළත ස්ථාවරව හදලා තියෙනවා. ඒ නිසා තමයි එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ, දිට්වා හානි පියවන්න, රුපියලක්වත් ණය ගන්නේ නැතිව භාණ්ඩාගරයෙන් ගන්නේ කියලා.”