අසල්වැසි නිවසට පැන රු. 1,95000 ක් සොරකම් කළ 21 හැවිරිදි තරුණිය පොලිස් දැලේ….

හැටන් පොලිස් වසමට අයත් හැටන් ඇබෝස්ලි වතුයායේ
නිවසක කිසිවෙක් නොමැති විටකදී එම නිවසට පැන
රුපියල් 1,95000 ක් සොරකම් කළ එම ප්‍රදේශයේම පදිංචි 21
හැවිරිදි තරුණියක් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට
ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය 2025.09.18 වන දින
බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිදු වූ බව හැටන් පොලිසිය වැඩිදුරටත්
පැවසීය.
හැටන් පොලිසිය සිදුකල මූලික විමර්ශනවලින් අනාවරණය
වී ඇත්තේ ඇබෝස්ලි වතුයායේ පදිංචි තරුණිය
අසල්වැසියෙකුගේ නිවසට පැන එම නිවසේ අල්මාරියේ
පෙට්ටි දෙකක තබා තිබූ රුපියල් 95,000/= මුදල් පෙට්ටි
සමඟ රැගෙන ගොස් ඉතිරි රුපියල් 100,000/= ක මුදල
පෙට්ටිය තුළම තිබූ ඒ.ටී.එම් කාඩ් පත හරහා හැටන්
ප්‍රදේශයේ ලංකා බැංකුවේ ATM යන්ත්‍රයෙන් ලබාගෙන මුදල්
තබා තිබූ පෙට්ටි තේ වන්දට විසි කර ඇති බවයි.
මුදල්වල හිමිකරු හිමිකරු සොරකම් කිරීමේ සිද්ධිය
සම්බන්ධව හැටන් පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට

අනුව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට හැටන් පොලිසියෙ
අපරාධ විමර්ශන අංශය කටයුතු කරර තිබේ
පැමිණිල්ල මත පරීක්ෂණ ආරම්භ කළ හැටන් පොලිසිය
ඒ.ටී.එම් යන්ත්‍රයෙන් මුදල් ලබා ගන්නා සිසි ටීවී දර්ශන
උපයෝගීකරගනිමින් සැකකාරිය (18) දින අත්අඩංගුවට
ගෙන සැකකරියගෙන් මුදල් ආපසු ලබාගෙන තිබේ.
සැකකාරය අත්අඩංගුවට ගැනීමේ විමර්ශන මෙහෙයුම
හැටන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස්
පරීක්ෂක නිශාන්තර සිල්වා මහතාගේ නායකත්වයෙන්
පොලිස් සැරයෙන් 31110 විතානගේ , පොලිස් කොස්තාපල්
8638 ශෂි කමාර් , පොලිස් කොස්තාපල් 78385 බස්නායක ,
පොලිස් කොස්තාපල් 102750 රමේෂ් , කාන්තා පොලිස්
කොස්තාපල් 12742 සමුද්‍රා යන නිලධාරීන් කටයුතු කර තිබේ
,
අත්අඩංගුවට ගත් සැකකාරිය හැටන් ප්‍රදේශයේ පෞද්ගලික
සමාගමක සේවය කරන බව ද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද (19) හැටන්
මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය
පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර
පරීක්ෂණ පවත්වයි.

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

උඩුදුම්බර ඛේදවාචකය – දෙදිනකට පෙර පියාත් ලියුකේමියාවෙන් මිය ගිහින්….

ලියුකේමියාවෙන් මියගිය සිය සැමියාගේ දේහය නිවසේ තිබියදීම සිය දරු තිදෙනා සමඟ වස පානය කළ කාන්තාවක් පිළිබඳ ඛේදනීය පුවතක් උඩුදුම්බර ප්‍රදේශයෙන් වාර්තා වුණි.

සිද්ධියෙන් එම කාන්තාව මිය ගොස් ඇති අතර දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේය.

“මැරෙන්න එපා ඇස් අරින්න…ඇස් අරින්න” මේ හද කම්පා කළ වචන කිහිපයකි.

කෙළිදෙලෙන්, සහෝදරකමින් මේ මොහොතේ උඩුදුම්බර ප්‍රාදේශීය රෝහලේ ඇඳක් උඩට වී සිටින මෙම දරුවන් තිදෙනා බලා සිටින්නේ, විසක් ශරීරගත වී ඇත්දැයි යන සැකයෙනි.

මේ දරුවන්ගේ මව ඊයේ (18) රාත්‍රියේ කිරි සමඟ වස මුසුකර දරුවන්ට පානයට කරන්නට දී ඇතත් වෙනදා මෙන් නොව එහි වූ තිත්ත රස නිසා දරුවන් කිරි කෝප්ප ප්‍රතික්ෂේප කර තිබුණි.

දරුවන් තිදෙනා එය ප්‍රතික්ෂේප කළත් මව ඒ සියල්ල පානය කිරීමෙන් පසු රෝගී වී තිබුණි.

පසුව අසල්වැසියන් විසින් දරුවන් සහ මව කඩිනමින් රෝහල් ගතකර ඇති අතර, ඒ වනවිටත් මව මෙළොව හැරගොස් තිබුණි.

රෝහල් බලධාරීන් පවසන පරිදි දරුවන්ට කිසිදු ගැටලුවක් නොමැති බව අනාවරණය වී තිබේ.

“කොප්පෙක තිබුණේ හැන්දෙන් මට පෙව්වේ. මල්ලිලා හිටියේ නිදාගෙන. මාත් නිදාගෙන හිටියේ. අම්මා ඇහැරෙව්වා. කිරි දුන්නේ. මම කටින් එළියට දැම්මා කිරි නෙමෙයි කියලා. කිරිවලට මොනවද දාලා. තිත්ත රසක් ආවා. මම කිව්වා මේවා කිරි නෙමෙයි කියලා. ඊට පස්සේ අම්මා ඒක බිව්වා. ඊට පස්සේ අම්මා ඇඳට වැටුණා.”

කොහොම වුණත් මල්වන් මේ දරුවන් පිටුපස ඇති කතාව බොහොම අවාසනාවන්ත එකකි.

මේ දරුවන් තිදෙනාම ලියුකේමියා රෝගයෙන් පෙළෙන අතර, මීට දෙදිනකට පෙර දරුවන්ගේ පියා මිය යන්නේත් ලියුකේමියා රෝගයෙනි.

පියාගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතය.

එවන් පසුබිමකයි 34 හැවිරිදි මව සිය දරු තිදෙනාටත් වස දී වස පානය කර තිබුණේ.

“පවුලේ ඥාතීන් පවසන්නේ, අපිට මේ දරුවා රැකගන්න පුළුවන්. කන්න බොන්න දෙන්න පුළුවන් සෙනෙහස දෙන්න බෑ. දෙමව්පියෝ දෙන්නා අසීමිතව මේ දරුවන්ට ආදරේ කළා. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දරුවන් වෙනුවෙන් යම් මෙහෙවරක් කරලා දෙන්න කියලා.”

ප්‍රශ්නය කුමක් වුවත්,දැනෙන පීඩනය කුමක් වුවත් විසඳුම ජීවිතය අත්හැරීම ද?

තමාගේ පමණක් නොව තවත් කෙනෙකුගේ ජීවිතයට හානි කරන්නට කිසිවකුටත් ඇති අයිතිය කුමක්ද?

මේ පිළිබඳ අදහස් දක්වන  මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජයබණ්ඩාර,

“අපි කාටත් ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඒ ප්‍රශ්න එක්ක ජීවිතේ කඩාවැටීම්, කලකිරීම් ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට ජීවත් වුණා ඇති, මැරුණා නම් හොඳයි වගේ සිතුවිලි එන්න පුළුවන්. එහෙම සිතුවිලි නැවත නැවත එනවා නම් එය කිසිවිටෙකවත් සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එයින් ඇඟවෙන්නේ ඔබට උදව් අවශ්‍ය බවයි. ඔබට උදව් ගන්න විවිධ ක්‍රම තියෙනවා. ඔබේ පවුලේ වෛද්‍යවරයාට කතා කරන එක, කුඩා දරුවන් ඉන්නවා නම් පවුල් සෞඛ්‍ය සේවිකාවකට කතා කරන්න. කවුරුත් නැත්නම් ඔබට 1926ට කතා කරන්න මානසික සෞඛ්‍ය උපකාරක සේවයට. පැය 24ම ක්‍රියාත්මකයි. ඔබට උදව් ගන්න පුළුවන් තැනක් අපි හොයලා දෙන්නම්.”

මේ අතර අම්මාත් තාත්තාත් නැතිව තනිවුණු මේ පැටවුන් තිදෙනාගේ ජීවිතය රැකගන්නට ඥාතීන්ට දැන් දැඩි සටනක් ඇරඹීමට සිදුව තිබේ.

මල් කැකුළු තුනක් වැනි මේ දරුවන්ගේ ප්‍රතිකාර නිසි ලෙස සිදුකොට ඔවුන් රැකබලාගන්නට අත දෙන්නට ඔබ කැමතියි නම් මේ ඒ සඳහා අවස්ථාවයි.

වැඩි විස්තර – 0759356506

ඩෑන් ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට…

දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ඇතුළු තිදෙනෙකු ඊයේ (18) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවක් ද වන බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 12,400ක් සහ ගජමුතු කිහිපයක් තිබී සොයාගෙන ඇත.

ඔවුන් කෑගල්ල සහ වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

එක් සැකකරුවෙක් යුද හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත්වූ අයෙකු බවද පොලීසිය පවසයි.

රජයට පවරාගත් උතුරේ ඉඩම් ගැන ආණ්ඩුවේ ස්ථාවරය කියයි….

ආරක්ෂක හේතුන් මත රජයට පවරාගත් උතුරු පළාතේ ඉඩම් දේශපාලන වාසි අරමුණු කරමින් නිදහස් නොකරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) පැවති යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ය.

මෙහිදී ඉඩම් ගැටලු පිළිබඳව එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සහ බිමල් රත්නායක අමාත්‍යවරයා අතර ඇතිවූ කතාබහක් සමග රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළව යාපනය දිස්ත්‍රික් කමිටු රැස්වීම මෙලෙස පැවැත්වුණු අතර ඊට එක්වූ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා දිගින් දිගටම උතුරේ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මතුකරමින් අදහස් දක්වා තිබුණි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්….

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළැඹෙන සඳුදා (22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

එම නඩුව විභාගකරන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද නිවාඩු ලබාසිටීම හේතුවෙන් මෙලෙස එම නඩුව ලබන සඳුදා දක්වා කල් තැබීමට නියම වී ඇත.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පවත්ව ඇත.

එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර වන්දි ගෙවීමට බලපෑම්කර ඇති බව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එහිදී රු. 8,850,000ක් (ලක්ෂ 88) වන්දි ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක්…

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය අද (19) උදෑසන 10 සිට හෙට (20) උදෑසන 10 දක්වා වලංගුවේ .

ඒ අනුව,

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න
කොළඹ දිස්ත්‍රික්කය:
– සීතාවක
කළුතර දිස්ත්‍රික්කය:
– ඉංගිරිය
– ⁠හොරණ

කෑගල්ල දිස්ත්‍රික්කය:
– ⁠දෙහිඹ්විට
නුවර එළිය දිස්ත්‍රික්කය:
– කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය:
– රත්නපුර

අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවම්….

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කළහ.

ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206ක දඩයක්ද නියම කෙරුණි.

ඊට අමතරව අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මංජුල තිලකරත්න, ආර්.එස්.එස්.සපූවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කළහ

මාධ්‍යවේදියාගෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට මිලියන 750ක හරස් එන්තරවාසියක්….

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ රුපියල් කෝටි 30ට අධික අයථා වත්කම් පිළිබඳ විශේෂ හෙළිදරව්වවක් සිදුකළ මාධ්‍යවේදී බිමල් රුහුණගේ හට වැරැදි තොරතුරු ඉදිරිපත් කරමින් ද්වේෂ සහගත ලෙස කටයුතු කළ බවට මිලියන 500ක වන්දියක් ඉල්ලා යොමුකළ එන්තරවාසියකට මිලියන 750ක හරස් එන්තරවාසියක් යොමුකිරීමට ) මාධ්‍යවේදි බිමල් රුහුණගේ ඔහුගේ නීතිීඥයකු ලවා අද (18) කටයුතු කළා.

අදාළ හරස් එන්තරවාසියෙන් පෙන්වා දෙන්නේ මාධ්‍යවේදී බිමල් රුහුණගේ විසින් කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ල ගවේශනාත්මක මාධ්‍යවේදියෙක් ලෙස හෙළිකරගන්නා කරුණු මත පදනම්ව ඔහු ඔහුගේ වෘත්තිය මත කටයුතු කරමින් සිදු කර ඇති බවයි.

එබැවින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්ස්රි ජයලත් බිමල් රුහුණගේ හට මේ සිද්ධියට නඩු පැවරුවහොත් රුපියල් මිලියන750ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීමට කටයුතු කරන බවද මාධ්‍යවේදී බිමල් රුහුණගේ විසින් යොමු කරන ලද හරස් එන්තරවාසිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

WhatsApp Image 2025-09-18 at 16.07.06_c7deaca2

ශ්‍රී ලංකාවේ රුමේෂ් ලෝකෙන්ම 07 වෙනියා වෙයි…..

ජපානයේදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එහි 7වන ස්ථානය දිනාගැනීමට සමත් විය.

මෙහිදී රුමේෂ් මීටර 84.38ක දක්ෂාවක් දැක්වීමට සමත් විය.

මෙහි විශේෂත්වය වන්නේ ඔලිම්පික් ශූරයන් දෙපළක් වූ ඉන්දියාවේ නීරාජ් චොප්රා හා පාකිස්තානයේ අර්ෂාද් නදීම් අබිබවා යාමට රුමේෂ් සමත්වීමය.

2020 ඔලිම්පික් රන් පදක්කමත්, 2024 ඔලිම්පික් රිදී පදක්කමත් දිනාගත් දිනාගත් නීරාජ් චොප්රාට මෙම තරගයේ දී හිමි වූයේ 8වන ස්ථානයයි.

ඔහු මීටර 84.03ක දක්ෂතාවක් දැක්වීය.

එමෙන්ම වත්මන් ඔලිම්පික් ශූරයා වන අර්ෂාද්ට මෙහිදී 10වන ස්ථානයෙන් සෑහීමට සිදුවිය. ඔහුට දැක්වීමට හැකිවූයේ මීටර 82.75ක දක්ෂාවක්ය.

මෙහි රන් පදක්ම දිනාගැනීමට ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ  Keshorn WALCOTT සමත්විය.

ඔහු මීටර 88.16ක දක්ෂාතාවක් දැක්වීය.

රිදී පදක්කම මීටර 87.38ක දක්ෂාවක් දැක් වූ ග්‍රෙනඩාවේ Anderson PETERS හිමිකරගත් අතර, ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූයේ අමෙරිකාවේ Curtis THOMPSON (මී. 86.67) විසින්ය.

22 හැවිරිදි රුමේෂ් මෙම තරගයට ක්‍රීඩාකළ ලාබාලම ක්‍රීඩකයා වන අතර, ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියක අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාය.

රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දින සැමරුම….

රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 161
වන ජන්ම දිනය සිහිපත් කරමින් විද්‍යාලය විසින් වාර්ෂික ව සංවිධානය කරන වැඩසටහන් මාලාව
මෙවර ද උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. සැප්තැම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන
ධර්මපාලතුමන්ගේ ජන්ම දිනයට සමගාමීව විද්‍යාලයේ 127 වන ජන්ම දින සැමරුම ද මෙදින
සිදුවිය. සිංහල බෞද්ධ දරුවන්ගේ ස්වභාෂා අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කිරීමටත්, යටත්විජිත
යුගයේ පරාධීන මානසිකත්වයෙන් සිංහල බෞද්ධ ජනතාව මුදවා ගන්නටත්, සමස්ත ලෝකවාසී
බෞද්ධයන්ගේ ම පූජනීය උරුමයක් වූ ඉන්දියාවේ බුද්ධගයාව බේරා ගන්නටත් අනගාරික
ධර්මපාලතුමා විසින් සිදුකරන ලද අනුපමේය මෙහෙවර උදෙසා කෘතවේදීත්වය පළකිරීමත්,
ධර්මපාල චින්තනය අනාගතයට රැගෙන යාමත් මෙවර ද අනුස්මරණ වැඩසටහන් මාලාවේ
අරමුණු අතර විය.
මෙම ගුණ සමරු උත්සවය වෙනුවෙන් සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා දින රාජගිරිය
හේවාවිතාරණ ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ දී රාත්‍රී පරිත්‍රාණ දේශනාවක් පැවැත්වූ අතර, පසුදින
එනම් 17 වන දින උදෑසන සංඝගත දක්ෂිණාව පූජා කිරීමත් සිදුවිය. රාජගිරිය මංසන්ධියේ මෙන්ම
හේවාවිතාරණ මහා විද්‍යාල පරිශ්‍රයේ ඇති ධර්මපාලතුමන්ගේ පිළිරූ වෙත පුෂ්පෝපහාර දැක්වීමත්,
ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණ සමරු දේශනයත් මෙවර පැවැත්වූ වැඩසටහන් අතර විය. ශ්‍රීමත්
අනගාරික ධර්මපාල ගුණ සමරු දේශනය මෙවර පවත්වනු ලැබූයේ සබරගමු පළාත් හිටපු
ආණ්ඩුකාර ජානක ප්‍රියන්ත බණ්ඩාර මැතිතුමන් විසිනි. ඔහු හිටපු මහේස්ත්‍රාත්වරයෙකු මෙන්ම
නයිජීරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ මියන්මාරය යන රටවල හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා
ද වේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ නගරාධිපති අරෝෂ
අතපත්තු මහතා, රාජගිරිය ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න, හිටපු නගරාධිපති ජනක
රණවක, නියෝජ්‍ය නගරාධිපතිතුමිය, නාගරික මන්ත්‍රීවරු, අවට පාසල්වල විදුහල්පතිවරු, පාසල්
සිසුන් සහ ගුරුභවතුන්, ආදි ගුරුභවතුන්, ආදි සිසුන් සහ දෙමාපියන් ඇතුලු විශාල පිරිසක්
සහභාගී විය. විද්‍යාලයේ විදුහල්පති නිලන්ත වන්නිආරච්චි මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම
මත වැඩසටහන් මාලාව සංවිධානය විය.

WhatsApp Image 2025-09-18 at 22.12.08_3349177b WhatsApp Image 2025-09-18 at 22.12.08_ab36bf1b WhatsApp Image 2025-09-18 at 22.12.09_0177abef WhatsApp Image 2025-09-18 at 22.12.09_d7cb7d36