පානදුර නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට නියෝග….

අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයට පත්කර සිටින පානදුරේ නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින්, වනවිට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන මෙම සැකකරුගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල වශයෙන් මුදල් සංසරණය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළේය.

මෙම සැකකරු විසින් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් අපරාධ ක්‍රියා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා එම බැංකු ගිණුම් දෙකේ මුදල් සංසරණය වී ඇති ආකාරය පිළිබඳ විමර්ශන සිදුකිරීමට අවශ්‍ය වී තිබෙන බවත් පොලිසිය පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ බැංකු ගිණුම් දෙක පරීක්ෂා කර වාර්තා කැඳවීම සඳහා අදාළ බැංකු දෙකට නියෝග නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට ඇප….

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ලවී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියම කළේය.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කෙරුණි.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් නියම කළේය.

විත්තිකරුවන්ට අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා භාරදුනි.

ඉන් අනතුරුව විත්තිකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ සඳහන් කළාය.

ඉන් අනතුරුව විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා විත්තියේ නීතිඥවරුන් විසින් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කර තිබුණි.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කෙරුණි.

බාල බෙහෙත් නඩුවට කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා භාරදෙයි….

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්  පිරිසකට අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා භාරදුන්නේය.

අධිචෝදනා භාර දීමෙන් අනතුරුව මෙම විත්තිකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

ඒ අනුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මේ වනවිට විත්තියේ නීතිඥවරු දැන් කරුණු ඉදිරිපත් කරති.

සෙවනගල උක් ගොවීන්ට රුපියල් 7,000ක වන්දි මුදලක්…..

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන් ගිනි තැබීම හේතුවෙන් වගා හානි සිදු වූ උක් ගොවීන් සඳහා වන්දි මුදල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ගිනි තැබීමෙන් විනාශ වී ඇති නිශ්චිත උක් ප්‍රමාණයන් හා වගා හානි සිදු වී ඇති උක් ගොවීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා උක් පර්යේෂණ ආයතනයේ සහ සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, ගිනි තැබීම නිසා විනාශ වූ උක් මෙට්‍රික්ටොන් එකක් සඳහා රුපියල් 7,000/-ක් බැගින් වන්දි මුදලක් එම ගොවීන් වෙත ලබා දීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන්ට කිසියම් පිරිසක් විසින් 2025 අගෝස්තු 16, 20, 21, 22, 24 සහ සැප්තැම්බර් 04 හා 05 යන දිනයන්හිදී ගිනි තැබීම් සිදු කර ඇති බවට වාර්තා වී ඇත.

ඒ හේතුවෙන් ගොවීන් 235 දෙනෙකුට පමණ අයත් උක් මෙට්‍රික්ටොන් 19,000ක් පමණ හානියට පත් වී ඇති බව ඇස්තමේන්තු කර  තිබුණි.

ගින්නෙන් විනාශ වූ උක් පළමු පැය 24 ඇතුළත පමණක් ඇඹරීම සිදු කළ යුතු බැවින්, ගිනි තැබීමෙන් විනාශ වූ උක් මිල දී ගෙන ඇඹරීම 2025‑08‑30 දිනෙන් අවසන් කර තිබේ.

ඒ හේතුවෙන්, උක් වගාවන් හානි වූ ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර, හානි වූ වගාවන් සඳහා ඔවුන්ට වන්දි මුදලක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු විය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති හදන්න කමිටුවක්…..

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අදාළව නීති සංශෝධනයට අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වත්මන් මැතිවරණ පහක් යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් හෝ ඒ සඳහා නීති සකස් වී නොමැති අතර, ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි අයුරින් නීතිමය ක්‍රමෝපායන් සකස් වී තිබීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව, විදෙස්ගත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරදීම සඳහා පවත්නා නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංඩල සහ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල එකඟත්වය හිමිව තිබේ.

නාමල් රාජපක්ෂ සහ සන්තෝෂ් ජා අතර හමුවක්…..

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඒ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදීය.

එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළ බවත්  ඉදිරියටත් දෙරට අතර පවතින හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීමටද බලාපොරොත්තු වන බව නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

පොලිස්පති චීන සංචාරයක….

චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඊයේ(15) රාත්‍රිය් දී පොලිස්පතිවරයා චීනය බලා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව පොලිස්පතිධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර ඇත.

ප්‍රියන්ත වීරසූරිය මහතා  චීනයේ පැවැත්වෙන සමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අදාළ සංචාරවය නිමකරමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ලබන 20 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්….

මෙරට චීන තානාපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

පසුගියදා මෙම හමුව සිදුව තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදීය.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන තත්ත්තවය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.

චීන තානාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද හමුවී ඇති බව සඳහන්ය.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට අදාළ ලියකියවිලි ලැබීමෙන් පසු නිල නිවස භාරදීමට කටයුතු කරන බව පසුගියදා පැවසීය.

GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි….

GovPay හරහා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ඩිජිටල් ගෙවීම් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පලාත බවට පත්ව තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ GovPay හරහා රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී ඇති සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගගත ගෙවීම් පිළිගැන්වීම ඊයේ (15) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වූ බවය.

ඒ අනුව GovPay හරහා පළාතක් යටතේ එන සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල් ගෙවීම් මගින් සවිබල ගැන්වූ පළමු පළාත ලෙස දකුණු පළාත පත් වනු ඇත.

මෙමගින් දකුණු පළාත පුරා විහිදී ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල 3කට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 53කට GovPay හා සම්බන්ධ තම බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ / ජංගම බැංකුකරණ සේවා මගින් හෝ GovPay හා සම්බන්ධ ඕනෑම FinTech යෙදුමක් හරහා ක්ෂණිකව මෙන්ම පහසුවෙන් සහ සුරක්ෂිතව ඕනෑම මොහොතක ඕනෑම තැනක සිට මාර්ගගත ක්‍රමයට ගෙවීම් කිරීමේ පහසුව දකුණු පළාතේ ජනතාවට සැලසී තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ මේ අනුව GovPay හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව මේ වන විට 132 දක්වා ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම මේ වසරේ පෙබරවාරි මස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කළ GovPay හරහා මේ වනවිට රාජ්‍ය සේවා 1,767ක් සඳහා රුපියල් මිලියන 110කට අධික වටිනාකමකින් යුත් ගෙවීම් සිදුකර ඇති අතර බැංකු 14ක් හා FinTech යෙදුම් 6ක් මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වී ඇති බවද එම අමාත්‍යාංශය පැවසීය.

ලෝක බැංකු නියෝජිතයෝ ජනපති හමුවෙති…..

දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පැවසීය.

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් (Johannes Zutt)මහතා ඇතුළු ලෝක බැංකු නියෝජිත කණ්ඩායම ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ ලෝක බැංකු නියෝජිතයෝ ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ද යෝජනා කළහ.

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

ශ්‍රී ලංකා රජය විසින් ලෝක බැංකුව වෙත ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ සඳහා ආධාර අනුමත කිරීම සිදුකර තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පත්වාගෙන යමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා, දූෂිත රටක් ලෙස  ජාත්‍යන්තරය තුළ ලේබල් වී තිබු ශ්‍රී ලංකාව වත්මන් රජය ගෙන යන  විනිවිඳභාවයෙන් යුත් වැඩපිළිවෙළ හේතුවෙන් ආර්ථික, දේශපාලනික හා සමාජිය වශයෙන් කෙමෙන් ස්ථාවර වෙමින් තිබෙන බවද ප්‍රකාශ කළේය.

ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ ආංශික අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen),ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා කළමනාකරු ගෙවෝර්ග් සාර්කිසියන් (Gevorg Sargsyan) යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.