විදුලි ඉංජිනේරු සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවත් තීව්‍ර වෙයි…

ලංකා විදුලි බල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අද (16) සිට තීව්‍ර කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මෙතෙක් අකුරට වැඩ කිරීමට ගෙන තිබූ පළමු ක්‍රියාමාර්ගය ඊයේ දිනෙන් අවසන් වූ බවත් අද සිට එහි දෙවන පියවරට එළැඹීමට සිය සංගමය තීරණය කළ බවත්ය.

කෙසේ නමුත් අදාළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයන් රජයට දැනෙන අයුරින් සිදු කිරීමට සැලසුම් කළ බවය.

ඒ අනුව ඉදිරියේදී රැකියාවට අමතරව ටෙන්ඩර් කමිටු සඳහා සම්බන්ධ වීම, අනෙකුත් කමිටුවලින් ඉවත් වීමට මේ අනුව කටයුතු කරන බවත් පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ මෙමගින් අදාළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමේ පණිවිඩය රජය වෙත දන්වන බවය.

එමෙන්ම හෙට (17) සහ අනිද්දා දිනයේදී සියලු සේවකයින් කණ්ඩායම් දෙකක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත බවත් එම දින දෙක තුළ රජය විසින් ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමටද තීරණය කළ බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

කෙසේ නමුත් අදාළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු අයුරකින් කාර්යාල වැසීමක් හෝ අනෙකුත් කිසිදු ක්‍රියාවලීන් සඳහා බාධා සිදු කිරීමක් සිදු නොකරන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

රජයේ ඉදිරි ආර්ථික සැලසුම් නියෝජ්‍ය ඇමති හෙළිකරයි…

2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 6% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, ඒ සඳහා රජයේ වාර්තාගත ප්‍රාග්ධන වියදම් හරහා අර්ධ වශයෙන් දායක විය හැකි නමුත්, අයවැය සම්මත කිරීම ප්‍රමාද වීම මෙම වසරේ එහි ක්‍රියාකාරිත්වයට බාධාවක් විය හැකි බවය.

2022 දී ඇති වූ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ එන විට, නිදහසින් පසු එහි දරුණුතම තත්ත්වය වන ශ්‍රී ලාංකිකයින් සහ ආයෝජකයින් බලාපොරොත්තු සහගත විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කළේය.

2024 දී ශ්‍රී ලංකාව 5% ක ආර්ථික වර්ධනයක් වාර්තා කළේය. අයවැය සම්මත කිරීම ප්‍රමාද වීම නිසා රජයේ වියදම් මන්දගාමී වූ බැවින්, මෙම වසරේ දී එය 4% සිට 4.5% දක්වා මන්දගාමී වීමට ඉඩ ඇති බව රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අනිල් ජයන්ත මහතා පවසා සිටියේ ය.

2026 දී රජය සිය ප්‍රාග්ධන වියදම 8% කින් වාර්තාගත රුපියල් ට්‍රිලියන 1.4 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට ඇප ලබා දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මෙම වසරේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 3.3% ක් සහ 2026 සඳහා 5.2% ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

2025 දෙවන කාර්තුවේදී ආර්ථිකය වසරින් වසර 4.9% කින් වර්ධනය වූ බව සඳුදා නිල දත්ත පෙන්වා දුන්නේය.

රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්…..

රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට  ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන හඳුනාදීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි.

ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණු බවත් ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත පරිදි ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල සිටින නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය ක්‍රියාවලිය  මෙහිදී ආරම්භ විය.

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන ප්‍රකාරව LankaPay ආයතනය ඩිජිටල් අත්සන සහිතක කිරීමේ අධිකාරිය වේ.

මේ අනුව ලිපි මඟින් කටයුතු කිරීමේදී ඇතිවෙන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවන සේම වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසා ගත හැකියි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර , ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය රෝෂිණී දිසානයක, ඒ.ජී. නිශාන්ත, චිත්‍ර තිලකරත්න, ධම්මික මුතුගල, ඔමාලි විමලරත්න, මෙන්ම  ප්‍රධාන මුල්‍ය නිලධාරී ජේ. ඩී. ඒ. පී ජයසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු යූ. එල්.ඒ. නසාර්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගීගනගේ යන මහත්ම මහත්මීන් සහ ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිධාරීන් රැසක් එක සිටියහ.

හිටපු ජනපති මහින්දගෙන් සංවේදී ෆේස්බුක් සටහනක්…..

හැඟීම්වලින් රටවැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තමා කාල්ටන් නිවසට පැමිණි මොහොතේ සිට මේ දක්වා තමා වෙත පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහා සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාවය පිරිනමන බවය.

– උපුටාගැනීම –

මාගේ ජීවිතයෙන් වැඩිම කාලයක් ගෙවුනේ ජනතාව අතරය. අද ද එසේමය. ධුර කාලයක් අවසන් විය හැකිය, නමුත් ජනතා ආදරය ධුර කාලය ඉක්මවයි. එය අවසන් නොවේ. බලය ඇති දා මෙන්ම බලය නොමැති දා ද ජනතාව මහින්ද රාජපක්ෂ සමඟ සිටියහ. 

හිතවත්කම්, බැදීම් ගමේ අපිට හුරුය. කුඩා දරුවන්ගේ කතාබහ මා සතුටට පත් කරයි. කුඩා දරුවන් කතා බස් කරන්නේ හිටපු ජනාධිපති කෙනෙකු සමඟ නොවන නිසාම මෙම කතා බහ රසවත්ය. එනිසාම මම එය විඳිමි. 

හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැක. 

කාල්ටන් නිවසට පැමිණි දින සිට මේ මොහොත දක්වාම පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහ සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාව පිරිනමමි. එමෙන්ම පැමිණ සුව දුක් විමසන ආදරණීය ජනතාවට ද, දේශපාලන සගයින්ට ද, විවිධ වෘත්තිකයින්ට ද මාගේ ස්තුතිය ප්‍රකාශ කරමි. 

ජාති ආගම් භේදයක් නොමැතිව ජන බලය කේන්ද්‍ර වූ ජනතා නායකයෙකු ද, ඔබේ අසල්වැසියෙකු ද, ඔබේ සමීපතමයෙකු ද වීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙමි.

– උපුටාගැනීම අවසන් –

නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙන් CIDයට පැමිණිල්ලක්….

තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය නිර්මාණය කළ හා සමාජ මාධ්‍ය හරහා එය ප්‍රචාරය කළ පාර්ශවයන්ට එරෙහිව සිවිල් හා අපරාධ නීතීය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවය.

කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මිලදීගෙන ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සිදුව තිබුණි.

අදාළ ප්‍රචාරය සම්බන්ධයෙන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙන්නේ එය සාවද්‍ය සහ අවලාදාත්මක ප්‍රචාරයක් බවය.

එම ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර පක්ෂය ද මහජනතාව ද තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට අබමල් රේණුවකින් හානියක් සිදුවන කටයුත්තක් තමා විසින් සිදුකර නොමැති බවද ඔහු පවසයි.

නීතීඥවරයෙකු ලෙස ද, දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙසද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් තමා අඛණ්ඩව කොන්දේසි විරහිතව පෙනී සිටින අතර, එම නිදහස දුෂ්ඨ ලෙස අවභාවිතා කිරීම, එය දිනාගැනීමට අනේකවිධ කැපකිරීම් සිදුකළ සියලු ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කෙරෙන අවමානයක් බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙයි.

අදාළ ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් හඳුනාගනු ලබන පාර්ශවයන්ට එරෙහිව සිවිල් නීතිය යටතේ වන්දි අයකර ගැනීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් සටහනින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

2025 දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්…..

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබේ.

අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරයි.

වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ සම්බන්ධ වෙමින්, ‘වාහන අලුත්වැඩියාව ඇතුළත් තොග සහ සිල්ලර වෙළෙඳාම’, ‘ගබඩාකරණ කටයුතු ඇතුළත් භාණ්ඩ හා මගී ප්‍රවාහනය’, ‘මූල්‍ය සේවා කටයුතු’, ‘රක්ෂණ සේවා කටයුතු’ මෙන්ම භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය වර්ධනය කිරීමට සමත්ව ඇත. තවදුරටත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට හුරුපුරුදු ආර්ථික කටයුතු වන ‘ඉදිකිරීම්’ සහ ‘පතල් හා කැණීම්’ 2025 දෙවන කාර්තුවේ දී ද සිත්ගන්නා සුළු ප්‍රසාරණයන් වාර්තා කර ඇත.

මෙම කාර්තුව තුළ ද ‘නිමවුම් කර්මාන්ත’ ආශ්‍රිත ක්‍රියාකාරකම් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර තිබේ.

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම් බව දැනුම්දෙයි….

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ අභියාචනාධිකරණයට අද (15) දැනුම් දුන්නේය.

එසේ භාරවීමෙන් පසුව සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙසත් නියෝග කළේය.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන සම්පත් මනම්පේරිගේ නීතිඥයින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මහින්ද සුළඟින් එන නාමල් සුවඳ…..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය “මහින්ද සුළඟින් නාමල් සුවඳ” ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ නිල නිවසින් ඉවත් කිරීමෙන් පසු තංගල්ලේ රැඳී සිටිමින් පාක්ෂික හමුවීම් ඇතුළු දේශපාලන කටයුතු පසුගියදා ආරම්භ කළේය.

මෙයට පෙර හිටපු ජනාධිපතිවරයාට තනතුර අහිමිවීමෙන් පසුව ”මහින්ද සුළඟ” ආරම්භ කළා සේ, මෙම නව දේශපාලන ව්‍යාපෘතිය ද දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය

BYD වාහන ගැන අධිකරණයට දැනුම්දීමක්…

රේගුව විසින් රඳවා ගැනීමෙන් අනතුරුව මේ වනවිට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටර් ධාරිතාව නිගමනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිතව තිබෙන බව නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

තමන් විසින් ආනයනය කළ BYD වාහන ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සීජී සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව මෙම දැනුම්දීම සිදුකළේය.

අලුත් 2000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්….

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පසුගිය පසුගිය මස 29 වැනි දින නිකුත් කරන ලද රුපියල් 2000සේ සමරු නෝට්ටුව සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටින බවය.

මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලබන බවද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාධ්‍යයන් හරහා මුදල් සංසරණයට අනුගත වීම සිදු වන අතර ඒ සඳහා ගතවන කාලපරිච්ඡේදය තුළ මහජනතාව දක්වන සහයෝගය ශ්‍රී ලංකා මහ බැංකුව ඉතා අගය කොට සලකනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් ඇත.

ඒ අනුව මේ සම්බන්ධව වැඩිදුර විමසීම් වෙතොත් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ඇමතීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම මගින් වැඩිදුර විස්තර ලබා ගත හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.