දුම්රිය මාර්ගයේ කොටස් ගැලවූ සැකකරු මැයි 29 දක්වා රිමාන්ඩ්……

වනවාසල දුම්රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 29 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ රේල් පාරේ ඇණ ගලවා විකුණු බව කියන ගිහාන් කනිෂ්ක නමැති සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බව පොලීසිය සඳහන් කර ඇත.

මෙම සොර බඩු මිලදී ගත් බව කියන සුභ්‍රමනියම් රමේෂ් කුමාර නැමැත්තාද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පෑලියගොඩ පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත, මිනිමැරීමට තැත්කිරීම යන චෝදනා යටතේ විමර්ශන සිදුකරන බවය.

සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් නොමැති හෙයින් මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියි.

මේ අතර, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරු ඇප ඉල්ලීම් ඉදිරිපත් කළ ද මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබේ.

එමෙන්ම මීළඟ නඩු දිනයේ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියම කර ඇත.

ඊයේ (16) අලුයම කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැන පෙරළීමෙන් අනතුරක් සිදුවිය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ අනතුරට හේතුවී ඇත්තේ දුම්රිය මාර්ග දෙකක් අතර දුම්රිය මාරු කිරීමට ඇති පයින්ටුවේ යකඩ බාර් ගැලවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

පෑලියගොඩ පොලීසිය මගින් සිදුකළ පරීක්ෂණ හමුවේ මෙම කොටස් ගැල වූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම යකට කොටස් මිලදී ගත් පුද්ගලයාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක්…..

ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

අද (17) සවස 2ට පමණ දුංහේන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ 8 හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇල්පිටිය මුලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කැබ් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

අනතුරට පත් කැබ් රථය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කර ඇත.

කෙසේවෙතත් අප කළ විමසීමක දී අද දෙරණ වාර්තාකරු පැවසුවේ පිටිගල සිට පැමිණ ඇති අනතුරට ලක්වූ ත්‍රිරෝද රථය කැබ් රථයේ ගැටී මීටර් 50ක පමණ දුරක් ඇදී ගොස් නැවතී ඇති බවය.

සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි……

සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජිවීතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ නාරන්විට ආඩියාකඩවත පිහිල්ලදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි තුන් හැවිරිදි පිරිමි දරුවෙකි.

නිවසේ සොල්දරයෙහි තිබූ වතුර බටයක් ගැනීමට පියා ඊට නැග ඇති අතර එම අවස්ථාවේ දී ඔහුගේ පිටුපසින් පැමිණි දරුවා පහළට වී බලා සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේ දී සොල්දරයේ ලෑල්ලක් ගැලවීම හේතුවෙන් පියා දරුවා මතට ඇඳ වැටී ඇති බව වාර්තා වේ.

එහිදී තුවාල ලැබූ පියා සහ පුතු ගම්පොළ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බව ද සඳහන්.

තුවාල ලැබූ පියා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ගම්පොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

වික්ටෝරියා ජලාශයේ අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුරත් හමුවෙයි……

වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුරද සොයාගැනීමට හැකිව තිබේ. ඒ සමග මෙම ඛේදවාචකයෙන් මියගිය තරුණයන් ගණන 3ක් දක්වා ඉහළ ගියේය.

තෙල්දෙණිය පොලිස් වසමේ, බඹරගල පන්සල අසළ ප්‍රදේශයෙන් තරුණයන් සිවුදෙනෙකු දිය නෑමට ගොස් සිටි අතර, ඉන් තිදෙනෙකුම දියේ ගිලී ජීවිතක්ෂයට පත්විය.

එක් තරුණයෙකු පමණක් දිවි බේරාගැනීමට හැකිවිය.

මෙලෙස දිය නෑමට ගොස් ඇතේතේ වයස අවුරුදු 18ත් – 21ත් අතර පසුවන මහනුවර, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්ය.

‘CASA 7s’ රග්බි කාන්තා ශූරතාවත් ශ්‍රී ලංකාවට…..

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවර පැවති 2026 මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සෙවන්ස් (CASA 7s) ශූරතාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම ශූරතාව දිනා ගැනීමට සමත් විය.

මීට සුළු මොහොතකට පෙර නිමාව දුටු කාන්තා අංශයේ අවසන් මහා තරගයේදී ප්‍රබල කසකස්තාන කණ්ඩායම ලකුණු 27-00 ක් ලෙස පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගය පුරාම ආධිපත්‍යය පැතිරවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ කසකස්තානයට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ නොදීම විශේෂත්වයකි.

කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණයට පෙර පැවති පිරිමි අංශයේ අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 31-10 ක් ලෙස පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය.

ඉන්දීය කණ්ඩායම හමුවේ දැඩි පීඩනයක් එල්ල කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

දිවයිනට පැමිණි ICC නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවෙති…..

මෙරට සංචාරයක නිතරව සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයින් දෙදෙනෙකු වන ඉම්රාන් ක්වාජා සහ දේවජිත් සාකියා අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

එහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පාලනය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමුකර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව සමග ඊයේ (16) සාකච්ඡා පවත්වනු ලැබීය.

විදේශ අමාත්‍යාංශයේ ලේඛන සහතික කිරීමේ සේවා තාවකාලිකව අත්හිටුවයි….

විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ලේඛන සහතික කිරීමේ සියලුම සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සේවාවන් ද මෙලෙස අත්හිටුවා ඇති බවය.

අදාළ තාක්ෂණික සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වී හැකි ඉක්මනින් e-DAS පද්ධතිය යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි.

දැනටමත් මාර්ගගතව (Online) වේලාවන් වෙන්කරගෙන ඇති අයදුම්කරුවන්ට, ඉදිරි යාවත්කාලීන කිරීම් සහ දැනුම්දීම් සඳහා ‘e-Channeling’ පද්ධතිය කෙරෙහි අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටී.

පද්ධතිය යථා තත්ත්වයට පත් වූ වහාම ඒ පිළිබඳව සියලු අයදුම්කරුවන් දැනුවත් කරන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම හදිසි බිඳ වැටීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව කොන්සියුලර් කටයුතු අංශය සිය කණගාටුව පළ කර සිටියි.

ධුරය අත්හැරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සැරසෙයි…..

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී තිබේ.

ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පවතින වගකීම්, විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත ලෙස පැවරී ඇති කාර්යයන් සහ පවුලේ වගකීම් සමබරව පවත්වාගෙන යාමේදී ඇති වී තිබෙන දැඩි අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවය.

දුම්රිය පිලී පැනීම ගැන පරස්පර කතා…..

වනවාසල සහ කැලණිය අතර දුම්රිය මාර්ගයට කිසියම් පුද්ගලයෙකු විසින් හානි සිදු කිරීම අද (16) උදෑසන සිදු වූ දුම්රිය පීලි පැනීමට හේතු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පත් කළ කමිටුව හරහා සිදු කළ විමර්ශනයේදී මේ බව අනාවරණය වී ඇති බව දුම්රිය ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසූවේය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලදී දුමිරිය මාර්ගයේ යකඩ කොටස් ගලවා රැගෙන යාමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය අදාළව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරන බව සඳහන් වේ.

අද (16) අළුයම පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රිය වනවාසල හා කැලණිය අතර දුම්රිය මාර්ගයේදී පීලි පැනීමකට ලක්ව තිබුණි.

එහිදී දුම්රියේ මැදිරි 03ක් පීලි පැනීමකට ලක්ව තිබූ අතර, ඉන් එක් මැදිරියක් සම්පූර්ණයෙන්ම මාර්ගයෙන් ඉවතට පෙරලීගොස් තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම අනතුරින් දුම්රිය මගීන් 10දෙනෙකු තුවාල ලබා තිබූ අතර ඉන් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද සඳහන්..

මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා,

“මේ පීලි පැනීම සිද්ධවෙලා තියෙන ස්ථානය තියෙනවා කොළඹ ඝන අපද්‍රව්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයට හදපු දුම්රිය මාර්ගයක්.. එතන ප්‍රධාන මාර්ගයෙන් වෙන්ව බිඳීයන මාර්ගයක් තියෙනවා. අන්න ඒ බෙදී යන ස්ථානයේ තමයි මේ පීලි පැනීමට ලක්වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් පරීක්ෂණ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම මෙම පීලි පැනීමට හේතුව පිටස්තර පුද්ගලයෙක් මාර්ගයේ තිබ්බ කොටස් ගලවාගෙන යාම. ඒක සම්බන්ධයෙන් ඒ අදාල පුද්ගලයා මේ වෙද්දි ශ්‍රී ලංකා පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. දෙපාර්තමේන්තු මට්ටමෙන් දෙපාර්තමේන්තුවෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ වෙද්දි පීලිගත කිරීම් අවසන් වෙලා තියෙනවා. ඒ වගේම දුම්රිය දැන් තව ස්වල්ප වේලාවකින් පීලි පැනපු දුම්රිය කොළඹ බලා ධාවනය කිරීම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ හානියට පත් වෙච්ච මාර්ගය තවත්වන්න. ඒකත් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.”

කෙසේ වෙතත් දුම්රිය මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ලොකෝමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ එස්.ආර්.සී.එම් සේනානායක මහතා,

“මාර්ගයේ තත්ත්වය විශේෂයෙන් දැනගන්න පුළුවන් හොඳම පුද්ගලයා තමා දුම්රිය එන්ජින් රියදුරුවරයා. මොකද, නියමිත ගමන් වාර දිනක් තුළ ධාවනය වුණායින් පස්සේ මාර්ගයේ නියමිත තත්ත්වය දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය තමා දුම්රිය රියදුරන්ගේ මේ සම්බන්ධයෙන් විමසන එක. බොහෝ අනතුරු වළක්වාගෙන තියෙනවා, බොහෝ සංඥාවල දෝෂ දුම්රිය රියදුරන් හඳුනාගෙන ඒවා දැනුම් දීලා වළක්වාගෙන තියෙනවා. මේ සිදුවීමත් වෙන්න කලිනුත් අද උදෑසනත් එතන සංඥාවක ගැටලුවකුත් දුම්රිය රියදුරුවරයෙක් අපේ දැනුම් දීලා තියෙනවා. මේවා හරියාකාරයෙන් කරලා මේ අදාළ බලධාරීන් මේ දුම්රිය එන්ජින් රියදුරන් සමඟ මේ සාකච්ඡාවක් ගොඩනගා ගන්නේ නැති එකේ ඔය ගැටලුවක් අපි දිගින් දිගටම සඳහන් කරලා තියෙනවා. අපි හිතන්නේ නෑ මේක මෙතනින් නවතියි කියලා මොකද, මේ මාර්ගවල තත්ත්වය ඉතාමත් අනතුරුදායක තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මේ දුම්රියවල තත්ත්වයත් ධාවනයට නුසුදුසු තත්ත්වයන්වල තමා මේ දුම්රියන් තියෙන්නේ. එතකොට මේවා මේ ධාවනයට යොදවලා මේ වෙන දේවල්වලින් සෑහෙන ගැටලුකාරී තත්ත්වයන් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්.”

“වනවාසල දුම්රිය ස්ථානයේදී මේ දුම්රිය නවතලා නැවත ගමන් ආරම්භ කරපු සැනින් තමා මේ දුම්රිය පීලි පැනීමට ලක්වෙලා තියෙන්නේ. වේගය පැයට කිලෝමීටර් 10කට 20කට ආසන්න ප්‍රමාණයකට තියෙන්න ඇති. සාගරික දුම්රිය පීලි පැනපු අවස්ථාවේදී දෙපාර්තමේන්තුවේ පැත්තෙනුත් ලොකු කතන්දරයක් ගියා මේ දුම්රිය වේග වැඩියි, මේ සම්බන්ධය ගැටලු තියෙනවා කියලා. නමුත් දැන් මෙතන පැයට කිලෝමීටර් 20කටත් අඩු වේගයකින් ධාවනය කරන දුම්රියක් පීලි පැන්නහම වෙන තත්ත්වය අද ඕගොල්ලොන්ට දැකගන්න තියෙනවා. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරමින් පවතිනවා. වසර ගණනාවක් තිස්සේ මේ මාර්ග කටයුතු හරියාකාරයෙන් සිදු කරන්න කියලා අපි ඉල්ලීම් කරලා තියෙනවා, නමුත් ඒ කිසි දේකට නියමිත පරිදි අදාළ බලධාරීන්, පාලනාධිකාරිය ඇහුම්කන් දෙන්නේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමා මේ සිද්ධියත් වෙලා තියෙන්නේ.”

එමෙන්ම මේ සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සුමේද සෝමරත්න මහතා ද අදහස් පළ කළේය.

“මේ වෙනකොට මගියාට දුම්රිය ගමන පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. මේ සඳහා විසඳුම් අපිට පේන්නේ නෑ දෙපාර්තමේන්තු මට්ටමෙන් හරියාකාරව සිද්ධ වෙනවා. අමාත්‍යවරයා විවිධ කතා කිය කියා ගියාට පැහැදිලි දෙයක් නෑ. අවම තරමෙන් මෙහෙම නම් මගී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මගියාට සුවිශේෂී රක්ෂණාවරණයක්වත් දෙන තැනකට ඉදිරියේදී කටයුතු කරන්න කියන යෝජනාව අපි රජයට කරනවා. හැමදාම සිද්ධ වුණේ අටුව කඩලා පුටුව හදන එක. අපි මේක දිගින් දිගටම කිව්වා මේ ක්‍රමවේදයෙන් බැහැර වෙන්න, නිවැරදි ආකාරයට මේවා නඩත්තු කිරීම් කරන්න කියලා නමුත් ඒක සිද්ධ වෙලා නෑ. අද මේ වෙනකොට කියන්න කනගාටුයි, අද අටුවත් නෑ පුටුවත් නෑ තැනකට තමයි දෙපාර්තමේන්තුව පත් වෙලා තියෙන්නේ. ඇමතිතුමයි නියෝජ්‍ය ඇමතිතුමයි පීල්ලට වැටිලා ඇති නමුත් මගීන් සහ සේවකයෝ අපි පීල්ලෙන් එළියට වැටිලා තියෙන්නේ.”

ආපදා හේතුවෙන් පීඩාවට ලක්වූවන් 5,000 ඉක්මවයි…..

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

ඒ අනුව පවුල් 1,574කට අයත් පුද්ගලයින් 5,242දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉන් පුද්ගලයින් 162දෙනෙකු මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 05ක රඳවා සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 14ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 65ක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටින බවද අදාළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම නිවාස 192ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර ආපදා මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටී.