දුම්රිය මාර්ගයේ කොටස් ගැලවූ සැකකරු මැයි 29 දක්වා රිමාන්ඩ්……

News Iamges.00_00_00_15.Still2567

වනවාසල දුම්රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 29 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ රේල් පාරේ ඇණ ගලවා විකුණු බව කියන ගිහාන් කනිෂ්ක නමැති සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බව පොලීසිය සඳහන් කර ඇත.

මෙම සොර බඩු මිලදී ගත් බව කියන සුභ්‍රමනියම් රමේෂ් කුමාර නැමැත්තාද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පෑලියගොඩ පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත, මිනිමැරීමට තැත්කිරීම යන චෝදනා යටතේ විමර්ශන සිදුකරන බවය.

සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් නොමැති හෙයින් මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියි.

මේ අතර, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරු ඇප ඉල්ලීම් ඉදිරිපත් කළ ද මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබේ.

එමෙන්ම මීළඟ නඩු දිනයේ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියම කර ඇත.

ඊයේ (16) අලුයම කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැන පෙරළීමෙන් අනතුරක් සිදුවිය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ අනතුරට හේතුවී ඇත්තේ දුම්රිය මාර්ග දෙකක් අතර දුම්රිය මාරු කිරීමට ඇති පයින්ටුවේ යකඩ බාර් ගැලවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

පෑලියගොඩ පොලීසිය මගින් සිදුකළ පරීක්ෂණ හමුවේ මෙම කොටස් ගැල වූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම යකට කොටස් මිලදී ගත් පුද්ගලයාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.