2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය – ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…..

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (19) සමත්විය.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ තුන්වැනි සහ අවසන් තරගය චීනයට එරෙහිව කොළඹ තුරග තරඟ පිටියේදී අද උදෑසන පැවැත්වුණි.

මෙම තරගය ලකුණු 34ට 07ක විශිෂ්ට ජය වාර්තා කරමින් ශ්‍රී ලංකාව අපරාජිතව කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකාව සහභාගි වන කුසලාන අවසන් පූර්ව තරගය ප්‍රබල ජපානයට එරෙහිව අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතය.

යෙවාන් ඩේවිඩ්ට ඉතිහාසගත ජයක්….

ශ්‍රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ.

ඒ මෙම තරගාවලියේ ඉතාලියේ මොන්සා හි පැවැති 8 වැනි අදියරේ දෙවන තරගයේ දෙවන ස්ථානය දිනා ගනිමින්ය.

යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියක රුකී ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ යෙවාන් ඩේවිඩ් ය.

අගමැති හරිනි දිවයිනට පැමිනෙයි….

ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ.

අග්‍රාමාත්‍යවරිය ඊයේ (18) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 16 වනදා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණි.

සිය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා සිදුකළාය.

එමෙන්ම ඉන්දියාවේ NDTVආයතනය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක දේශනය ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදුකරනු ලැබුවාය.

කාලගුණයෙන් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්….

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ව තිබේ.

තද වැසි සමග ඇති විය හැකි සුළං සහ ප්‍රබල අකුනු මගින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ….

2025 අගෝස්තු මස 10 වන දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.

එමෙන්ම ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 1911, 0112784208, 0112784537, 0112785922 0112784422 යන දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකි බවද සඳහන් වේ.

හුංගම දී ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් සැකකරු ගැන තවත් තොරතුරු එළියට…..

හුංගම දී ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් සැකකරුට දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු විසින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ සැකකරු පසුගිය 17 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වයස අවුරුදු 38 ක් වන හුංගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු වේ.

ඔහු සන්තකයේ තිබී ටී – 56 වර්ගයේ ගිනි අවියක්, පතරොම් 63ක්, පතරොම් ගැබ් 02ක් සහ බෝර 12 වර්ගයේ පතරොම් යෙදිය හැකි අවි 02ක්, බෝර 12 වර්ගයේ පතරොම් 25ක්, රිවොල්වර් වර්ගයේ පතරොම් 34ක්, ටිපර් රථයක් හා කැබ් රථයක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබුණි.

කෙසේවෙතත් සිදු කරන ලද පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ අදාළ ටිපර් රථය හා කැබ් රථය ලබා දී ඇත්තේ ද රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරු විසින් බවය.

රේගුවේ සිරවී ඇති ලුණු තොග ප්‍රතිඅපනයනය කරන්නැයි ආනයනකරුවන්ට දැනුම්දීමක්….

ගැටළු සහගත තත්ත්වයන් හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගයක් ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආනයනකරුවන් වෙත දැනුම් දී ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

ලුණු ආනයනය කිරීමට අවසර ලබාදුන් කාලසීමාවෙන් පසු මෙරටට ගෙන්වන ලද හා ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු මතුවූ ලුණු තොගයක් මෙලෙස රේගුව විසින් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා දින ගණනාවක සිට කොළඹ වරායේ පවතින බව සඳහන් වේ.

රට තුළ ඇති වූ ලුණු හිඟයට විසඳුම් ලෙස ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ සඳහා රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයට ද අවසර ලබාදී තිබුණි.

කෙසේවෙතත් ඒ සඳහා ලබාදී තිබූ කාලසීමාව පසුගිය ජුනි මස 10 දිනෙන් අවසන් වූ අතර එම දිනයෙන් පසුව මෙරටට ගෙන්වූ සහ ප්‍රමිතිය පිළිබඳ ගැටළු මතුවු ලුණු තොගයක් මෙලෙස රේගුවේ පවතින බව සඳහන් වේ.

ලුණු ආනයනයට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත දිනයෙන් පසු ආනයනය කරනු ලබන ලුණු තොග යළි ප්‍රතිඅපනයනය කළ යුතුව පවතින බැවින් මෙම ලුණු තොග ප්‍රතිඅපනයනය සඳහා පියවර ගන්නා ලෙස රේගු දෙපාර්තමේන්තුව ආනයනකරුවන් වෙත දැනුම් දී ඇත.

එම දැනුම් දීම අනුව ඔවුන් කටයුතු නොකරන්නේ නම් අදාළ ලුණු තොගය රාජසන්තක කර විනාශ කිරීමට කටයුතු කරන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ලුණු මෙට්‍රික් ටොන් 6,000ක තවත් නෞකාවක් ද නඩු කටයුත්තක් හේතුවෙන් මේ වන විට ත්‍රිකුණාමලය වරායේ රඳවා ඇති බව සඳහන් වේ.

ආනයනය සඳහා අවසර ලබාදුන් දිනයෙන් පසුව ගෙන්වන ලද මෙම ලුණු තොගය, දින වෙනස් කර රේගුවට ඉදිරිපත් කිරීමට ගත් උත්සහයක් හේතුවෙන් මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව රේගු දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඉෂාරා අදත් රැගෙන යයි – තොරතුරු වසන් කළ PC අත්අඩංගුවට…..

විමර්ශන කටයුත්තක් සඳහා ඉෂාරා සෙව්වන්දි අදත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් තිබේ.

මේ අතර පොලිසිය පැවසුවේ, ඇයට සැඟවී සිටීමට ආධාර අනුබලදුන් පොලිස් කොස්තාපල්වරයා තොරතුරු වසන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවය.

අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විටත් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.

මේ අතර කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන ගම්පහ බබා නැමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ පියාගෙන් පද්මේව හඳුනාගත් බව සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත.

ඔහු විමර්ශන නිලධාරින් හමුවේ පවසා ඇත්තේ, තමන් කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයටද සම්බන්ධ වී සිටි බවය.

ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි කැබ් රථය පද්මේගේ උපදෙස් මත තමන් සතුව තබාගත් බවද සැකකරු පවසා තිබේ.

රන් මිල පහළට යයිද ?

මෙරට රත්‍රං මිල ඊයේ (17) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 360,800ක් දක්වා පහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය.

මේ අතර ඊයේ (17) දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 390,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රකාශයක් දෙන්න නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට….

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (18) ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණ තිබේ.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේ පසුගියදා සිදුවු සිදුවීමට මුහුණදුන් නීතීඥවරයාගේ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම වෙනුවෙන් වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා පොලීසිය වෙත පැමිණ ඇති බව සඳහන්ය.

පසුගිය 10 වැනිදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා කරමින් නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අදාළ පොලිස් කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැනවැදුන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය විය.

අදාළ පොලිස් කොස්තාපල්වරයා විසින් අධිකරණ පරිශ්‍රයේ තිබූ මෝටර් රථයක් ඉන් පිටතට ගන්නා ලෙස පවසා ඇති අතර එහිදි ඇති වු බහින් බස්වීමක් හේතුවෙන් මෝටර් රථයේ සිටි නීතීඥවරයෙකුට ඔහු විසින් පහරදුන් බවට වාර්තා වුණි.

එම අවස්ථාවේදී නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා ද අදාළ මෝටර් රථයේ සිට ඇති බව වාර්තා වෙයි.

සිද්ධියට මුහුණදුන් නීතීඥවරයා ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඊට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා අද දින ගල්කිස්ස පොලීසිය වෙත කැඳවා තිබුණි.

මේ අතර සිද්ධියට මුහුණදුන් පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා දී තිබු නමුත් ඔහු මේ දක්වාත් රාජකාරියට වාර්තා කර නොමැති බව සඳහන්ය.

අසනීප නිවාඩු වාර්තා කරමින් ඔහු මෙලෙස නිවාඩු ලබා ඇති අතර නීතීඥවරයාගේ පැමිණිල්ලට අදාළව ඔහුගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත කැඳවීමක් සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.