බැකෝ සමන්ගේ බිරිඳ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට…..

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද (29) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් ඔවුන්ව සිය භාරයට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට භාරදී ඇත.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL -365 දරන ගුවන් යානයෙන් අද පස්වරු 5.50ට පමණ මෙවුන් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් පසුගියදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් අතර එහිදී මෙම කාන්තාව සහ කුඩා දරුවාද අත්අඩංගුවට පත් විය.

කෙසේ වෙතත් එම කාන්තාවට බරපතළ අපරාධ චෝදනා එල්ල වී නොමැති බැවින් ඉන්දුනීසියානු බලධාරීන් විසින් කාන්තාව මෙරටට එවා ඇති බව සඳහන් වේ.

මාස 11කට පසු කොළඹ උද්ධමනය ධන වෙයි…..

අඛණ්ඩව මාස 11ක් පැවැති අවධනමන තත්ත්වයෙන් අනතුරුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය ධන අගයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත්තේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 ජූලි මාසයේ පැවැති 03%ක අවධමනයට සාපේක්ෂව 2025 අගොස්තු මාසයේදී 1.2%ක ධන අගයක් වාර්තා කළ බවය.

මේ අතර ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2025 ජූලි මාසයේදී වාර්තා වූ 1.5% හි සිට  අගෝස්තු මාසයේදී 2.0%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පවසයි.

2024 සැප්තැම්බර් මාසයේ සිට සෘණ අගයක පැවැති ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනයද 2025 ජූලි මාසයේදී පැවැති 1.2ක අවධමනයට සාපේක්ෂව 2025 අගෝස්තු මාසයේදී සියයට 0.8ක ධන අගයක්ද වාර්තා කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා වන අමාත්‍යාංශයීය කමිටුව ප්‍රථම වරට රැස්වෙයි…..

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, සමස්ත අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කර ගනිමින් යෝජිත අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටුව අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් විය.

ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති මහින්ද ජයසිංහ යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙනි.

අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා පත් කර ඇති කමිටුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ කමිටු සභාපති මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කළේ ය.

එමෙන් ම යෝජිත අධ්‍යාපන කවුන්සිලයේ විෂය පථය, බලතල, සාමාජිකයන් පත් කිරීම ආදි කරුණු සම්බන්ධව සවිස්තර වාර්තාවක් කඩිනමින් අමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කරන බවද මෙහිදී සඳහන් විය.

මෙම අවස්ථාවට ජාතික අධ්‍යාපන කවුන්සිලයේ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝජිතයන් ද සහභාගි වූ අතර අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමේදී හා ක්‍රියාත්මක කිරීමේ දී පැන නැගිය හැකි ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳ ව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

උද්දිකගේ නඩුවට අදාළව නීතිපති උපදෙස් කඩිනමින් ගන්නැයි CIDයට නියෝග……

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනවලට අදාළව නීතිපති උපදෙස් කඩිනමින් ලබා ගැනීමට අවැසි පියවර ගන්නා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් පී එච් ඩබ් ඩ් එල් සමරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ අනුරාධපර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වා ඇති විමර්ශනවල උද්ධෘත (සටහන්) ඉකුත් පෙබරවාරි මස 17 දින නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යවා ඇති බවය.

එහෙත් ඊට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා පැවසුවේ මෙම නඩුවට අදාළ නීතිපති උපදෙස් දීර්ඝ කාලයක් ගත වන තුරුත් නොලැබීම තුළ සිය සේවාදායකයාට ඉමහත් අගතියක් සිදුව ඇති බවය.

අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කළ සිය සේවාදායකාගේ රාජකාරි වැඩ ද මෙම සිද්ධිය හේතුවෙන් තහනම් කර ඇති බවද අවධාරණය කළ නීතිඥවරයා එම නිසා නීතිපති උපදෙස් කඩිනමින් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයිද ඉල්ලා සිටියේය.

මෙම නඩුවේ සැකකාර අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා ද මෙදින විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා රිමාන්ඩ් භාරයට පත් කර පසුව ඇප මත මුදා හැරින අධිකරණය මගින් ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා සමග නීතිඥ ප්‍රසාද් ධර්මසේන මහතා සහ නීතිඥ මදාරා විජේසිංහ මහත්මිය පෙනී සිටියාය.

සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් මුල් අවස්ථාවේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණයට ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සම්බන්ධ බවට කිසිදු විමර්ශනයකදී කරුණු අනාවරණ වී නොමැති පසුබිමක වෙඩි තැබීමේ සිද්ධියට ඔහු සැකකරුවකු ලෙස නම් කලේ කෙසේද? යන්නයි.

මෙම වෙඩි තැබීම තුලින් තමා ඝාතනය කිරීමට උත්සහ කළ බවට සහ තම මෝටර් රථයට හානි සිදු වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ස්වකීය පැමිණිල්ල මගින් ප්‍රකාශ කොට නැති බවත් පැවසූ නීතිඥවරයා එවැනි පසුබිමක තම සේවාදායකයාට එරෙහිව මිනීමැරුම් සහ අනර්ථය සිදු කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනා එල්ල කරන්නේ කුමණ පදනමක් මතද? යන්න විමසා සිටියේය.

සිය සේවාදායකයාගේ රාජකාරි පිස්තෝලයෙන් වෙඩි උණ්ඩ පිටවී නැති බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇති බවද අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මෙම සිද්ධිය සම්බන්ධයනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන ස්වාධීන මෙන්ම අපක්ෂපාති නොවන බවද ප්‍රකශ කළේය.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්වකීය රාජකාරි ජිවිතයේදී අතිශය සුවිශේෂි දස්කම් දක්වා වරින් වර ඉහළ නිලධාරීන්ගේ ප්‍රසංශාවට ලක්ව ඇති සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද්වේශ සහගතව කටයුතු කර ඔහුට  අගතියක් සිදු කර ඇති බවද ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා මීට පෙර චෝදනා කළේය.

සංචාරක කර්මාන්ත අංශයට අදාළව 2026 පූර්ව අයවැය සාකච්ඡාවක්…..

සංචාරක කර්මාන්ත පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඒ ජනපති අනුර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙනි.

2026 වසරේ සංචාරක ‍ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේදී හුදෙක් ප්‍රවර්ධන වැඩසටහන් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ නව උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාවට නැංවිය යුතු බවත් එහිදී ජනාධිපති සඳහන් කළේය.

නුවරඑළිය, අනුරාධපුර, මහියංගනය සහ කතරගම ආදී ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සුවපහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට ආයෝජනය කරන ලෙස ද මෙහිදී ජනපති විසින් ව්‍යාපාරිකයන්ට ආරාධනා කර ඇත.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් නුදුරේදීම ක්‍රියාවට නංවන බවය.

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය 31 වැනිදා…..

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ මස 31 වැනිදා නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභා‍පතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ ප්‍රධාන අංශයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවය.

එසේම අධිවේගී මාර්ගවල ගමන් කරන පාසැල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස්රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ද ආසන පටි සැකසීමට මාස 3ක පමණ කාලයක් ලබාදෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම රු. 2000 පමණ මිලකට පැවති ආසන පටි මිල රු. 5,000ත් 7,000ත් අතර මිලක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවත් මෙය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ‍පරීක්ෂා කර බැලිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දුර ගමන් සේවා බස් රථ සඳහාද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ මතය විමසූ බවත් මේ සම්බන්ධයෙන් සියලුම දෙනා පාහේ සිය කැමැත්ත පළ කළ බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එබැවින් ඉදිරියේදී දුරගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කරමින් අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරීමේදී වාහන අමතර කොටස්වල තත්ත්වය පරීක්ෂා කරමින් ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කරන බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව ද පැවසීය.

එමෙන්ම වාහනවල ටයර් අවශ්‍ය නියමිත තත්ත්වයන් සහ ප්‍රමිතියෙන් නොපවතී නම් එවැනි වාහන අධිවේගී මාර්ගයට ඇතුළත් කිරීමට අවසර ලබා නොදෙන බව ද ඔහු සඳහන් කළේය.

ත්‍රීරෝද රථ, වෑන් රථ ඇතුළු පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ රියදුරන් වෙනුවෙන් සුබසාධන අරමුදලක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට අවසන් කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කරන බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දුරගමන් සේවා සහ අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ ගාල් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කොට ඇති බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය.

එසේම දුම්රිය සේවය යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා සහ වරාය සම්බන්ධ අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කිරීම සඳහා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනු කමිටු දෙකක් පත් කිරීම සහ එහි සාමාජිකයින් නම් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

මීට අමතරව කඩවත – මීරිගම අධිවේගී මාර්ගයේ ඉදි කිරීමේ කටයුතු සැප්තැම්බර් මස සිට ආරම්භ කිරීම සම්බන්ධයෙන් සහ එහි පිළිසකර කිරීම් අවසන් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය.

2000 වසරට පෙර අතුරුදන් වූවන් ගැන විමර්ශන යළි අරඹයි….

2000 වසරට පෙර උතුරේ සහ දකුණේ අතුරුදන් වූ බවට පැමිණිලි ලැබී ඇති විමර්ශන කටයුතු නැවත ආරම්භ කර අතුරුදන් වූ දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ශණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහා හානි පූර්ණ කාර්යාලය සහ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා නව ක්‍රමවේදයක්ද ඇති කරන බවය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බලහත්කාරයෙන් අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කළ උත්සවයක් අද (29) අරලිය ගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හර්ශණ නානායක්කාර මහතා,

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් කිසිසේත් අහඹු සිදුවීම් නෙවෙයි. ඒවා අපරාධ. මේ අපරාධ ජීවත්වීමේ අයිතිය, පවුලක් ලෙස එකට සිටීමේ අයිතිය, ගරුත්වය සඳහා ඇති අයිතිය යන මූලික අයිතිවාසිකම් හිතාමතාම උල්ලංඝනය කිරීම් වෙනවා. එම නිසා, රාජ්‍යයේ කාර්යභාරය වන්නේ මේ දේවල් ප්‍රතික්ෂේප කිරීම හෝ ඔවුන් වෙනුවෙන් සිදුකළ යුතු කාර්යයන් ප්‍රමාද කිරීම නොව, පිළිගැනීම සහ ක්‍රියාත්මක වීමයි. ජාතික ජන බලවේගයේ නායකත්වය යටතේ රජය සංහිඳියාව සහ යුක්තිය අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදවතේ තබාගෙන සිටින්නේ ඒ නිසයි.

අප විසින් සිදුකරන ප්‍රධාන කාර්යන් තුනක් පමණක් මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීමට මම කැමතියි. එනම් සත්‍යය, යුක්තිය සහ හානි පූරණයයි

පළමුව  සත්‍යය – සත්‍යය දැන ගැනීමට සෑම පවුලකටම  අයිතියක් තිබෙනවා. සත්‍යය යනු රජය විසින් ලබා දෙන තෑග්ගක් නොවේයි. සත්‍ය දැනගැනීම සහතික කළ යුතු ජනතා අයිතියක්. ඒ නිසා අපි සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. මෙය දේශපාලනික පොරොන්දුවක් හෝ සංකේතාත්මක සන්දර්ශනයක් නොවේයි. එය ඔබට සවන් දීමට, පිළිගැනීමට සහ පිළිතුරු සැපයීමට නිර්මාණය කර ඇති සියලු දෙනා ඇතුළත්කරගන්නා , විනිවිද පෙනෙනා සහ විශ්වසනීය, වින්දිතයා කේන්ද්‍ර කරගත් යාන්ත්‍රණයක් වන බව අපගේ විශ්වාසයයි.

2000 වර්ෂයට පෙර උතුරේ දී සහ දකුණේ දී අතුරුදහන් වූ බවට පැමිණිලි ලැබී ඇති මෙතෙක් විමර්ශන කටයුතු ආරම්භ කර නැති දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවශ්‍ය අනුමැතිය ලබාදුන්නා. මේ කටයුතුවලට අදාළ ව රුපියල් මිලියන 375 ක් අපි වැය වේයැයි අපේක්ෂා කරනවා.
දෙවනුව  යුක්තිය – බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් විසඳිය නොහැකි අභිරහස් නොවේයි. අතුරුදහන් කිරීම් යනු අපරාධයි. යුක්තිය සැමවිටම අපක්ෂපාතී, විශ්වාසනීය සහ සැබෑ විය යුතුයි. අපගේ ජාතියේ ආරක්ෂාව සහ අපගේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් යන දෙකම ආරක්ෂා කරන නීතියක් අපි ඉදිරිපත් කරනවා. බලය වෙනුවෙන් යුක්තිය කිසිදා කැප නොකළ යුතුයි යන ස්ථිර අධිෂ්ඨානයේ අපි සිටිනවාතුන්වැන්න හානිපූරණය – අතුරුදහන්වූවන්ගේ පවුල්වලට අනුකම්පාවට වඩා වැඩි යමක් ලැබිය යුතුයි. ඔවුන්ට පිළිගැනීම සහ ගෞරවය ලැබිය යුතුයි. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සිදු වූ හානි පූරණය කිරීමට නව ක්‍රමයක්  හඳුන්වාදීමට කටයුතු කරමින් සිටිනවා.

නව ක්‍රමය මගින් මෙතෙක් සිදු වූ ප්‍රමාදයන් වළකමින් සහ විනිවිදභාවය තහවුරු කරමින් එක් වරක් ගෙවීම්වලින් ඔබ්බට ගොස් දිගුකාලීන සහයෝගයක් ලබාදීමට හැකිවෙනවා. අධ්‍යාපනය, ජීවනෝපාය අවස්ථා, මනෝ-සමාජ සත්කාර සහ ගෞරවය යථා තත්ත්වයට පත් කිරීම සමඟ සාධාරණ මූල්‍ය වන්දියක් ඇතුළු ඒකාබද්ධ වූ ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවෙනවා. මේ ක්‍රියාමාර්ගවලින් අපි තුවාල සුවපත් කිරීමට පමණක් නොවෙයි, විශ්වාසය, සංහිඳියාව සහ එක් ජාතියක් ලෙස අපගේ අනාගතය ශක්තිමත් කිරීමටත් කැපවෙනවා.”

චාමර සම්පත්ගේ නඩු දෙකක් කල් යයි….

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ඇති නඩු දෙකක් ජනවාරි 23 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එම නඩු අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විමර්ශනවල ප්‍රගතිය ජනවාරි මස 23 වනදා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළේය.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය පළාත් සභාවට අයත්ව තිබූ ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්ඉකුත් වීමට පෙර එම බැංකුවෙන් ඉවත්කරගැනීමෙන්, රජයට රුපියල් ලක්ෂ 173ක මුදලක් පාඩු කිරීමෙ චෝදනාව මත චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළ ටැටු මධ්‍යස්ථානයේ හිමිකරුට ඇප…

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ එම ටැටු මධ්‍යස්ථානයේ හිමිකරු වූ දුලාන් සංජුල නොහොත් ටැටූ මල්ලි නැමැත්තෙකි.

ඒ අනුව ඔහු රුපියල් 150,000ක මුදල් ඇපයක් සහ 250,000 ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හෝමාගම හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) නියෝග කළේය.

එමෙන්ම සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීමටද අධිකරණය තීන්දු කළේය‍

තවද මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ඊට ආදාර අනුබල දීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් අදාළ ඇප කොන්දේසි මතම මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කළේය.

දර්ගා නගරයේ දී පොලිස් වෙඩිතැබීමක්….

දර්ගා නගරයේ දී නඩුවක් විභාග කිරීමට ගිය අවස්ථාවේ දී කලහාකාරීව හැසිරුණු පුද්ගලයෙකුට අලුත්ගම පොලීසියෙන් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.