ලක්ෂ 20ක අල්ලස් ගැනීමට උත්සාහ කළ සුරාබදු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට….

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් බව පවසමින් ලක්ෂ 20ක අල්ලස් ලබා ගැනීමට තැත් කළ චන්කානයි හි සුරාබදු කාර්යාලයේ නිලධාරීන් තුන් දෙනෙකු උතුරු පළාත් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති එස්. සංජීව මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව ඊයේ (29) සවස සිදුකළ වැටලීමකදි මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සුරාබදු නිලධාරීන් තිදෙනා මාදගල් ප්‍රදේශයේ වෙරළ තීරයකදී හොරයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පසුව තමන් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අයත් බව පවසා තිබේ.

පසුව ඔහුව චන්කානෙ හි පිහිටි සුරාබදු කාර්යාලය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ඔහුගේ සහෝදරිය වෙත අමතා ඇති සැකකරුවන් විසින් අදාළ පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ.

පසුව මෙම සිද්ධිය සම්බන්ධව අදාළ කාන්තාව විසින් උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව සිදුකළ වැටලීමකදි අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 48,36,32 වයස්වල පසුවන සුරාබදු ප්‍රධාන නිලධාරීවරයෙකු සහ සුරාබදු නියාමකවරුන් දෙදෙනෙකු බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

රාජ්‍ය ආයතනවල භාවිතයට කැබ් රථ 2000ක් ආනයනයට සැලසුම්…..

ලබන වසර මුලදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා කැබ් රථ 2000ක් ගෙන්විමට ද සැලසුම් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය  අමාත්‍ය රුවන් සෙනරත් මහතා,

“බිම්මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නම් විශේෂයෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ඒ ගම්මට්ටමට යන්න අවස්ථාව හදන්න ඕනේ. නිලධාරීන්ට යන්න එන්න අවස්ථාවක් හදන්න ඕනේ. වාහන ටික ඕනේ. යන්ත්‍රසූත්‍ර ටික ඕනේ ඒ නිසා අපි තීන්දුවක් ගත්තා නව රජය විසින් ලබන වසරේ පළාත් පාලන ආයතන තුළ විතරක් නෙමෙයි මේ රටේ සෑම ආයතනයකම ප්‍රධානීන්ට යන්න එන්න ප්‍රවාහන පහසුකම් සඳහා කැබ් රථ 2000ක් ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ ගෙන්වනවා. එතකොට ක්ෂේත්‍රවල යන නිලධාරීන්ට පහසුවෙන් යන්න පුළුවන්කම තිබෙයි. ඊළඟට පළාත් පාලන අයාතනවල වැඩ ටික ගම් මට්ටමේ ක්‍රියාත්මක වෙන කොට බෑකෝ යන්ත්‍රයක් වැනි යන්ත්‍ර ඕනේ. ඒ නිසා අපි දැනටමත් මුදල් වෙන්කරලා තිබුණා මේ අවුරුද්දේ සැලකිය යුතු ප්‍රමාණයක් ගේනවා. ලබන අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා මේ හැම පළාත් පාලන ආයතනයකටම මේ තිබෙන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මූලික දේවල් ටික ලබාගන්න.  එතකොට අපි හිතනවා රටේ සංවර්ධන කටයුතු ටික වේගයෙන් බිම්මට්ටමේ ක්‍රියාත්මක කරන්න පුළුවන්.” 

මේ අතර අක්‍රීයව පැවති පලාත් පාලන ආයතනවල කටයුතු සක්‍රීය කරමින් නව ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේය.

ඔහු පවසන්නේ ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම සඳහා ද විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇති බවය.

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා පොලීසියේ උපහාර….

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කරමින් තිළිණ ප්‍රදානයක්ද සිදුකළේය.

එමෙන්ම එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ව හා මෙරට පොලිස් නිලධාරීන්ව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමටද ලක්විය.

පසුගිය 27 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු ඊයේ 30 වන දින රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට රැගෙන එන ලදි.

එහිදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ දිවයිනට රැගෙන ඒමට මූලිකත්වය ගත් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ මෙම මෙහෙයුමට සම්බන්ධවූ නිලධාරීන්ද කටුනායක ගුවන්තොටුපොළේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පිළි ගත්තේය.

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්……

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

එළැඹෙන 06 වනදා පක්ෂ සම්මේලනයද පැවැත්වීමට නියමිත අතර එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරන ඇති බව වාර්තා වෙයි.

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 26 වනදා ඇපමත මුදා හැරියේය.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් මත මුදාහරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 22 වෙනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

එදිනම ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඊට පසුදින වෛද්‍ය නිර්දේශ මත හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

පසුව කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29)  රෝහලෙන් පිටව ගියේය.

ගතවූ පැය 24ට රිය අනතුරුවලින් 06 දෙනෙකු මරුට…..

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ මොරවැව, කිලිනොච්චි, අනුරාධපුර, වලස්මුල්ල සහ අරලගංවිල යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති බවය.

ඒ 9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේදී ලොරි රථයක් බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් එම ලොරි රථයේ ගැටීමෙන් පැදිකරු සහ පසුපැදිකරු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හා 27 යන වයස්වල පසුවන පරන්තන් හා මූතූර්වල පදිංචිකරුවන් දෙදෙනෙකි.

මොරවැව අව්වනගර් ප්‍රදේශයේදී යතුරුපැදියක් පාපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 71 හැවිරිදි තඹලගමුව ප්‍රදේශයේ පදිංචි පාපැදිකරු මියගොස් තිබේ.

අනුරාධපුර මල්වතුඔය යකඩ පාලම අසලදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ගසක ගැටිමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පැවසුවේය.

එමෙන්ම වලස්මුල්ල හක්මන මාර්ගයේ නතුවල ප්‍රදේශයේදී යතුරුපැදියක් සුනකයෙකුගේ ගැටී මාර්ගයේ පෙරලීයාමෙන් සිදුවු අනතුරකින් 56 හැවිරිදි මීඇල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් තිබේ.

අරලගංවිල මනම්පිටිය මාර්ගයේ මැදගම ප්‍රදේශයේදී ද යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කල පදිකයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ 77 හැවිරිදි දේවගල ප්‍රදේශයේ පදිංචි පදික පුද්ගලයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

ජනපති මන්දිර සංචාරක නිකේතන කිරීමට ජනපතිගෙන් ව්‍යාපාරිකයින්ට ඇරයුම්……

සංචාරක කලාපවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක නිවාඩු නිකේතන බවට පත් කිරීමට ආයෝජනය කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යාපාරිකයින්ට ආරාධනා කරයි.

ජනාධිපති කාර්යාලයේ පැවති පූර්ව අයවැය සාකච්ඡාවකදි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සංචාරක ක්ෂේත්‍රයේ, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

2026 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේදී හුදෙක් ප්‍රවර්ධන වැඩසටහන් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ නව උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාවට නැංවිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුනි.

නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම ආදී ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස්විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සුවපහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට ආයෝජනය කරන ලෙස මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් නුදුරේදීම ක්‍රියාවට නංවන බව ද ප්‍රකාශ කළේය.

සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී දැනට පවතින අඩුපාඩු සහ අභියෝග පිළිබඳව ව්‍යාපාරිකයන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළ අතර, සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වූ යෝජනා ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාරිකයන්ට ඇරයුම් කර සිටියේය.

අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දෙනවා – ජනපති….

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රජයන් ඇත්තේ කර්මාන්ත අපහසුතාවට පත් කිරීමට නොව පහසුකම් සැලසීමට බවත්, නීති රීති සම්පාදනයේදී අදාළ  ක්ෂේත්‍ර සමඟ සහ සම්බන්ධතාවක් පවත්වාගෙන යාම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාණවත් කාලයක් ලබාදීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, අපනයන, බදු සහන, ප්‍රතිචක්‍රීකරණය සහ කර්මාන්ත පවත්වාගෙන යාමේදී බලපාන නීතිමය තත්ත්වයන් පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ගුණාත්මක, කෘෂි සහ ආහාරපාන නිෂ්පාදන අඛණ්ඩව පාරිභෝගිකයා වෙත ලබා දීම පිළිබඳව මෙන්ම එම කර්මාන්තයට අදාළ කටයුතුවලදී ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඊට අදාළ ඔවුන්ගේ අදහස් හා යෝජනාද සාකච්ඡාවට ලක්විය.

සෑම නිෂ්පාදනයකම මිල තීරණය කරනුයේ නිෂ්පාදකයා වන නමුත් කෘෂි නිෂ්පාදනවලදී පමණක් ගැනුම්කරුවන් විසින් මිල තීරණය කිරීමට කෘෂි ක්ෂේත්‍රයේ අසංවිධිත බව  හේතු වී ඇති බවත්, නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ළඟා වීමේදී විධිමත්භාවයක් දක්නට නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ගැටලු විසඳා ගැනීමට රජය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

කෘෂි භෝග, කිරි හා සත්ත්ව නිෂ්පාදන වෙළෙඳපොළ පුළුල් කිරීමට පෞද්ගලික අංශයේ පූර්ණ සහය ලබාගැනීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් නිෂ්පාදනයන්ට අගය එකතු කිරීමේ කාර්යභාරය ව්‍යවසායකයන්ට පැවරී ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන්  රජයක් ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

තවද, පශු සම්පත් ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස සංවර්ධනය නොවීම හේතුවෙන් එහි ඵලදායිතාවක් ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර පශු සම්පත්  කර්මාන්ත නගා සිටුවීම සහ නිෂ්පාදන බෙදාහැරීම විධිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා විය.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ද, කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක්ද මීට එක්ව සිටියහ.

කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ සැකකටයුතු මරණයක්…

සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී හමුවී ඇත.

මෙම මළසිරුර මුහුදු වෙරළේ ශාරිරික අභ්‍යාසවල නිරතවී සිටි පියෙක් සහ දියණියක් විසින් දැක තිබේ.

එහිදී ඔවුන් 119 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම් දී ඇත.

ඒ අනුව, කළුතර දකුණ පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙහිදී පොලීසිය විසින් සිදුකළ පරික්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, මුහුදු වෙරළේ මුනින් අතට තබා හිස වැලිවලින් වසා ඇති බවටය.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා වයස අවුරුදු 55 – 60  අතර වියේ පසුවන බවට සැකකරන අතර, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති පොලීසිය පැවසීය.

මියගොස් ඇති තැනැත්තා බඳපටිය සහිතව කළු දිග කලිසමක් සහ සුදු මේස් බැනියමක් ඇද සිටින බව වාර්තා වෙයි.

කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

නාවින්න වෙඩිතැබීමේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට….

මහරගම නාවින්න හංදිය ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් කොට්ටාව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය.

පොලීසිය තවදුරටත් සඳහන් කළේ, 2025.08.06 වනදා සිදුකර තිබූ එම වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් ය.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව ඔහුගේ නිවසේ තිබි විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ බෝර 12 වර්ගයේ උණ්ඩ 03ක් සොයාගත් බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම යෑමේ නියමයන් හා කොන්දේසි ගැසට් කෙරේ….

ශ්‍රී ලංකා විදුලි බල සං‍ශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය මඟින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා හිමිකම් ලබන විදුලි බල මණ්ඩල සේවකයින්ට අදාළ නියමයන් හා කොන්දේසි මෙලෙස ගැසට් කර ඇති බව සඳහන් ය.

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18 වන වගන්තියේ තුන්වන උප වගන්තියට අදාළව මෙම නියෝග ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ස්ථිර කාර්යය මණ්ඩලය යටතේ සේවය කරන සේවකයෙකුට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයට අනුව ගෙවනු ලබන වන්දි මුදල් මෙම ගැසට් නිවේදනය මඟින් තවදුරටත් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් ය.

වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් සපුරා ඇති සේවකයෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන අවස්ථාවකදී ඔහු සේවයේ යෙදුනු සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කිරීමට ඉතිරිව ඇති කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහමාරක වැටුප වන්දි වශයෙන් හිමිවන බව එම ගැසට් නිවේදනයේ සඳහන් ය.

වසර 10 කට වඩා අඩු සේවා කාලයක් ඇති සේවකයින් සඳහා සේවය කරන ලද සේවා කාලයට අදාළ සෑම මාස 12ක් සඳහා මාස 5 වැටුප වන්දි වශයෙන් පිරිනැමෙන අතර සේවය කිරීමට ඉතිරිව ඇති කාලයට අදාළව කිසිදු ගෙවීමක් නොගෙවන බවඳ එහි දැක්වෙයි.

ඊට අමතරව කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින්ට වන්දි ලබාදෙන ආකාරය මෙන්ම තවත් නියමයන් සහ කොන්දේසි කිහිපයක් ආදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.