සිංහරාජය හරහා මාර්ග ඉදිකිරීමට ඉඩනොදෙන බවට පරිසර ඇමතිගෙන් සහතිකයක්….

සිංහරාජ වනාන්තරය තුළ මාර්ග ඉදිකිරීමට ඉඩ ලබානොදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පරිසරය සුරැකීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය කටයුතු නොකරන බවය.

සිංහරාජ ඉලුම කන්දේ සිට සූරියකන්ද දක්වා මාර්ගය පිළිසකර කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවකට ඉදිරිපත් වී ඇති අතර, ඒ අනුව එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට නිලධාරීන් පිරිසක් ගොස් ඇති බැවින් ඒ පිළිබඳව කතා බහක් නිර්මාණය වී ඇති බවය.

විදුලි සේවකයින් අද සිට අකුරට වැඩ….

අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල කරමින් අද (04) මධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බවය.

සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේ දී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තිව්‍ර කරන බව ද කෝසල අබේසිංහ මහතා පැවසුවේය.

මාළිගාවත්තේ වෙඩිතැබීමේ තවත් කතාවක් එලියට එයි…..

මාළිගාවත්ත ප්‍රදේශයේදී අද (3) දහවල් සිදුවූ වෙඩිතැබීම අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන්ගෙන් පළිගැනීම සඳහා සිදුකරන ලද්දක් බවට සැකකරන බව පොලීසිය පවසයි.

අද පෙරුවරු 11.20ට පමණ මාළිගාවත්ත පොලීසියට මීටර 100ක පමණ දුරින් පිහිටි ත්‍රිරෝද රථ අමතර කොටස් වෙළෙඳසැලකදී වෙඩිතැබීමක් සිදුව තිබුණි.

වෙඩික්කරු ටී-56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකළ අතර, ඔහුගේ ඉලක්කය වූ වෙළෙඳසැලේ අයකැමිවරයා පරිගණකයක තිරයකට මුවාවී වෙඩි ප්‍රහාරයෙන් බේරී ඇත.

කෙසේ වෙතත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ, වෙඩි ප්‍රහාරයෙන් අදාළ වෙළෙඳසැලේ අයකැමිවරයාගේ අතකට තුවාල සිදුව ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.

ඔහු වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්ය.

පොලීසිය සැකපලකරන්නේ අදාළ වෙළෙඳසැලේ හිමිකරු කංජිපානි ඉම්රාන් නම් අපරාධකරුගේ යහළුවෙක් බවයි.

ඒ අනුව කංජිපානි ඉම්රාන්ගෙන් පළිගැනීමේ අරමුණින් මෙම වෙඩිප්‍රහාරය එල්ල කරන්නට ඇති බව පොලීසිය පවසයි.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය…..

කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කර තිබේ.

පසුගිය 19 වනදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත විය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත ලෙස බලාත්මක වනු ඇත.

මෙම පනත සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; (44 වන අධිකාාරය වූ) තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත, (46 වන අධිකාරය වූ) සූදු ආඥාපනත සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත ඉවත් කිරීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්තය නියාමනය කිරීම සඳහා, සූදු මෙහෙයුම් සඳහා තනි නියාමන ආයතනයක් ලෙස සූදූ ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට මෙම පනත මගින් ප්‍රතිපාදන සලසා ඇත.

මෙම යෝජිත අධිකාරිය, නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ මාර්ගගත හා අක්වෙරළ සූදු ක්‍රීඩා මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව බලාත්මක කළ හැකි, සමාජ වගකීම් සංග්‍රහයන් නිකුත් කිරීමේ වගකීම හා පුළුල් විෂය පථයක් සහිත ස්වාධීන නියාමකවරයෙකු ලෙස ක්‍රියා කරනු ඇත.

මාළිගාවත්තේ වෙඩිතැබීමේ CCTV දර්ශන මාධ්‍ය වලට නිකුත් වෙයි….

මාළිගාවත්ත, ජුම්මා හංදිය ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ CCTV දර්ශන පෙළක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.

අද (03) උදෑසන ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදාගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර ඉන් එක් අයෙකු තුවාල කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථ අමතර කොටස් අලෙවි සැලක සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුකර තිබේ.

එහිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙම වෙඩි තැබීමත් සමග වසරේ ගත වු කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 93ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් 54 දෙනෙකු තුවාල ලබා තිබේ.

හරක් කටා ඝාතන සැලසුමේ තවත් අයෙක් අත්අඩංගුවට….

මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටින වෙඩික්කරුවකු යොදවා කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් තවත් අයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ඝාතන සැලසුමේ මාධ්‍යවේදියාගේ කැමරාව තුළ මි.මී. 3.8  වර්ගයේ ගිනි අවිය බහා සූක්ෂම ලෙස සැකසූ පෑස්සුම්කරුය.

අදාළ සැකකරු උඩුගම්පොල, දොඹවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙකු වන අතර, ඔහු සිය නිවසේදී අත්අඩංගුවට පත්ව ඇත.

මෙම හරක් කටා ඝාතනය කිරීමට සැලසුම්  සම්බන්ධයෙන් ඊයේ (2) පහත්බිම් ගොඩකිරීම් මණ්ඩලයේ රියදුරෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත බැකෝ සමන් තමාට එම කැමරාව හා ගිනිඅවිය ලබාදුන් බවය.

කෙසේ වෙතත් ඔවුන් අත්අඩංගුවට පත්වීමෙන් පසුව තමන් ඒවා ගිනිතබා විනාශ කළ බව පවසා තිබේ.

ප්‍රකාශයක් ලබාදෙන්න ආ රාජිත යළි බන්ධනාගාරයට….

අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමන පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණේ අද (03) උදෑසන 9ට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

BYD වාහන 506ක් මුදා හැරීමට රේගුව අධිකරණය හමුවේ එකඟවෙයි

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.

අදාළ වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරුණි.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට කාර්යසාධක බළකායක්….

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර ඇත.

සංචාරක කර්මාන්තය නඟාසිටුවීමත්, මෙරට ආර්ථිකයට ඍජු ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට තීරණය කළ බවත්, මෙම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළ තීන්දුතීරණ ගැනීමට හැකි බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

සංචාරක ප්‍රවර්ධන කාර්යසාධක බලකායේ පළමු සැසිය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම, ඒ සඳහා අවශ්‍ය තීන්දු ගැනීමට රාජ්‍ය ආයතන ඒකාබද්ධ රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීම, සංචාරකයන් මුහුණ දෙන ගැටලු, සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් මුහුණ පා ඇති ගැටලු සම්බන්යෙන් මෙහිදී සාකච්ඡා විය.

ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරක ඍතුව සාර්ථක කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්යෙන් සියලුම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්තකරුවන් සමඟ ඉදිරි සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධානයට ලක්විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්  කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් යන මහත්ම මහත්මීහු, අමාත්‍යාංශ නිලධාරීහු සහ සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, EKHO හෝටෙල්ස් සහ රිසෝට්ස් හි උප සභාපති නිහාල් මුහන්දිරම් ඇතුළු නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්….

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළේය.

ඉකුත් 2017 වසරේ අප්‍රෙල් මස 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව අදාළ නිලධාරියා මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.

එම චෝදනාවලට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ, හිටපු පොලිස්පතිවරයා චේතනාන්විතව පහරදීමක් සිදුකර නොමැති බවට නිගමනය කරන බවය.