රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවක් අත්හිටුවීමේ නියෝගයක්….

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයක් තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අද (4) අතුරුතහනම් නියෝගයක් නිකුත් කළේය.

2023 වසරේ දී බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.

ඒ අනුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කර ඇත.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදෙනු ලැබීය.

බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්….

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්‍ෂානි නමැත්තිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට අද (04) ඉදිරිපත් කර තිබේ.

ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්…..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තුසිත හල්ලොලුව මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය.

ඒ අනුව සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මොහු තමා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මහින්දානන්දට නලින්ට එරෙහි නඩුව කල් යයි…..

පොදු දේපොළ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් මේ වනවිට සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අද (04) දින නියම කළේය.

අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී සිරදඬුවම් නියමවී බන්ධනාගාර ගතවී සිටින හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු  බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු වශයෙන් නම්කර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් විත්තිකරු අසනීපයෙන් පසුවන බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.

විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම නඩු කටයුත්ත මාධ්‍ය හරහා ප්‍රචාරය වනවිට විත්තිකරුගේ පවුලේ අය සහ හිතවතුන් අපහසුතාවට සහ පීඩාවට පත්වීමට හැකියාව තිබෙන නිසා නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ පසු පමණක් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී විනිසුරුවරයා පැවසූවේ අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු විභාගය පැවැත්වෙන අතරතුරදී ව්‍යතිරේක අවස්ථාවකදී හැර අන් සෑම අවස්ථාවකදීම විත්තිකරුවන් අධිකරණය ඉදිරිපත් කළ යුතු බවය.

නිසි පරිදි නඩුව පවත්වාගෙන යාමට විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් මෙහිදී විනිසුරුවරයා අවධාරණය කළේය.

ඒ අනුව විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම  ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා සෑම නඩු දිනයකදීම විත්තිකරු අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ඔක්තෝබර් මස 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරයාට නියම කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කිරීම තුළින් රුපියල් මිලියන 39කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

වියත්පුර නිවාස ලබාදීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් සහන ඉවතට……

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේ දී ලබාදී ඇති සහන ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පසුගිය 2022 මැයි මස 9 වන දින රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද මෙම වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101ක් කුලී පදනම මත එක් වසරක කාලයක් සඳහා ලබාදීමට 2022 ජූලි 4 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබුණි.

ඉන් අනතුරුව එම නිවාස සහනදායි ක්‍රමවේදයක් යටතේ මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදෙන ලෙස අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව රු මි 15.5ක අවම වටිනාකමකට සහ රු මි 22ක උපරිම වටිනාකමකට සාමාන්‍ය ජනතාව වෙත විකුණනු ලබන එම නිවාස ඒකකයක්, අවම වටිනාකම රු මි 13.34ක් ලෙස සහ උපරිම වටිනාකම රු මි 18.21ක් ලෙස අඩුකර සහනදායි ක්‍රමවේදයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීමටත්, විකුණුම් මිලෙන් 25%ක මුදලක් පළමුව අය කරගෙන ඉතිරි මුදල වසර 15ක කාලයක් තුළ වාර්ෂිකව 10%ක පොලී අනුපාතයක් යටතේ ඔවුන්ගෙන් අයකර ගැනීමටත් 2024 ජූලි 15 වන දා කැබිනට් අනුමැතිය හිමිවුණි.

එම ක්‍රමවේදය යටතේ නිවාස මිලදී ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකුට 2024.12.31 දින වනවිට විකුණුම් මිලෙන් 25%ක මුදලක් තැන්පත් කර තිබේ.

මෙම සහනදායි ක්‍රමවේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රු මි 92.126ක පමණ පාඩුවක් විඳීමට සිදුව ඇති අතර, දරන ලද පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

ඒ නිසාවෙන් අනුමත කර ඇති සහනදායී ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම් සාමාන්‍ය ජනතාවට එම නිවාස ලබාගැනීම සඳහා වන ක්‍රමවේදයක් සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමටත් නාගරික සංවර්ධන, ඉදිරිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කර කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන වසා දැමීමට අනුමැතිය…..

දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටු වීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳපොළ අවශ්‍යතා සමග නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදී හේතු නිසා අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ.

ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායයන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට, එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සැලකිල්ලට ගෙන, එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත්ව වසා දැමීමට අනුමැතිය හිමිව තිබේ.

පොලිස් නිල රථයක් ලෙස හැඩගැන් වූ ජීප් රථයක් මහනුවර දී කොටුවෙයි….

උසස් පොලිස් නිලධාරීන්ගේ නිල රථයක් ලෙසට හැගෙන ආකාරයෙන් හැඩගන්වන ලද නවීන ජීප් රථයක් මහනුවර මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශය මගින් සිය භාරයට ගෙන තිබේ.

මහනුවර මූලස්ථාන පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (03) පස්වරුවේ දී මෙම ජීප් රථය පොලිස් භාරයට ගත් අවස්ථාවේ එහි පුද්ගලයන් දෙදෙනෙක් සිට ඇති අතර පොලීසිය භාවිතා කරන ආකාරයේ  walkie talkie කථන යන්ත්‍ර දෙකක් ද එහි තිබූ බව පොලීසිය පවසයි.

මෙම ජිප් රථයේ ඉදිරිපස වීදුරුව හැර අනෙකුත්  වීදුරු සියල්ල සම්පූර්ණයෙන් අඳුරු කොට ඇති අතර නිරන්තර මහනුවර ප්‍රදේශයේ මාර්ගවල ධාවනය කෙරෙන බව පොලීසිය පවසයි.

යම් අවස්ථාවලදී රථ වාහන හා මාර්ග රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් මෙම වාහනයේ උසස් පොලිස් නිලධාරියෙකු ගමන් ගන්නේ යැයි සිතා වාහනයට ආචාර කර ඇති බව සඳහන් වේ.

මෙම ජීප් රථය එකලස් කරන ලද්දක්ද නැතිනම් වර්ණ වෙනස් කළ එකක්ද කුමන ආකාරයේ කටයුතු සඳහා භාවිතා කළේද යන්න පිළිබඳව මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවක්ද කැඳවීමට නියමිත බව වාර්තා වේ.

මෙම ජීප් රථයේ හිමිකරු සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇති බව වාර්තා වේ.

සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇතතේ මෙම ජීප් රථය, මහනුවර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ මහ සොහොන් බළකාය නැමැති දේශපාලන සංවිධානයක සාමාජිකයෙකු වූ අමිත් වීරසිංහ නැමැති අයෙකුට අයත් එකක් බවය.

ඒ අනුව ඔහුට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස පොලීසිය දැනුම් දී තිබේ.

බූස්සෙන් STF ඉවත් කරන්නැයි ඉල්ලූ මිදිගම රුවන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ…..

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අභ්‍යන්තර පරීක්ෂා කිරීම් වැනි කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ජේ.ඒ. රුවන් කුමාර හෙවත් මිදිගම රුවන් නැමැත්තා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

අදාළ පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීන්දුව නිකුත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම පෙත්සමේ සඳහන් නඩු නිමිත්ත තහවුරු කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරිමට පෙත්සම්කරු අසමත් වී ඇති බවය.

ඒ අනුව එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළහ.

පෙත්සම්කරු කියා සිටින්නේ, බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පරීක්ෂා කිරීම් ඇතුළු අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා ගැනීම බන්ධනාගාර පනතේ විධිවිධානවලට පටහැනි බවය.

ඒ අනුව අදාළ බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

හබරණදී දුම්රිය ගැටී වනඅලියෙකු තුවාල ලබයි….

හබරණ පුවක්පිටිය ප්‍රෙද්ශයේදී කොළඹ ත්‍රීකුණාමලය රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් වන අලියකු තුවාල ලබා ඇති බව රිටිගල වනජීවී නිලධාරීහු පවසති.
ඊයේ (03) රාත්‍රියේ මෙම වන අලියා දුම්රිය මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවේ ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් එම වන අලියා අනතුරට පත්ව තිබේ.
කොළඹ – ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයේ 128 ½ සැතපුම ආසන්නයේ දී එම වන අලියා මෙලෙස අනතුරට තිබේ.
රාත්‍රී තැපැල් දුම්රියේ ගැටිමෙන් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක් පමණ වන කෙනරකි. දුම්රියේ ගැටුන කෙනර තුවාල ලබා එම දුම්රිය මාර්ගය ආසන්නයේ වැටී සිටි.
රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මඟින් සිදුකළ දැනුම් දීමක් අනුව අනුරාධපුර පණ්ඩුලගම වනසත්ව සෞඛ්‍ය කලමණාකරණ ඒකකයේ පශුවෛද්‍ය නිලධාරීන් විසින් අනතුරටපත් කෙනෙරට ප්‍රතිකාර කිරීමට නියමිත බව රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ ප්‍රකාශකයකු අප කළ විමසීමකදී පැවැසීය.

කැකිරාව – කුෂාන් ජයවර්ධන

ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගාල්ල දිස්ත්‍රික්කයෙන් – ලකුණු 198ක්….

මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවා ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

එහිදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව  198කි.

මේ අතර දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලෙස ලකුණු 194ක් ලබාගත් දරුවෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය.

ශිෂ්‍යත්වයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණ ඉක්මවා ගිය දරුවන් සංඛ්‍යාව 51,969කි.

එය 17.11%ක ප්‍රතිශතයක් ලෙස වාර්තා වෙයි.

පසුගිය වසරට සාපේක්ෂව එය 1.06% වැඩිවීමක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

පළාත් මට්ටමින් ලකුණු 70ක් හෝ ඊට ඉහළින් ලකුණු ලබාගෙන වැඩිම සාධනයක් පෙන්නුම් කර ඇත්තේ සබරගමුව පළාතෙනි.

එහි දෙවනියට වැඩිම සාධනය දකුණු පළාතෙන් වාර්තා වී තිබේ.

පළාත් මට්ටමින් කඩඉම් ලකුණු සාධනය සලකා බැලීමේදී සබරගමුව පළාතෙන් වැඩිම සාධන මට්ටමක් පෙන්නුම් කර ඇත.

දෙවනියට ඌව පළාතත් තෙවනියට දකුණු පළාතත් වැඩිම සාධනයක් හිමිකරගත් පළාත් ලෙස වාර්තා වී තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් ලකුණු 70 හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලකුණු ලබාගත් දරුවන් වැඩි ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එහි දෙවන සහ තෙවන ස්ථාන හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට හිමිවී ඇත.