වසරේ මුල් මාස අට තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇත.

2025 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 5.116ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 19.3%ක වැඩි වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ මෙම වසරේ මුල් මාස අට තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බවය.

ඒ අනුව, 2025 මුල් මාස අට තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.03ක් ලෙස වාර්තා වන අතර එය 2024 මුල් මාස අට තුළ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 1.88ක සංචාරක ඉපැයීම් හා සසඳන විට 7.8%ක වැඩිවීමකි.

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගීවීමට ඇමති විජිත දිවයිනෙන් පිටත්ව යයි….

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පෙරවරු 06.45ට පමණ ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.

ඒ හෙට (08) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වන සැසියට සහභාගි වීම සඳහා ය.

එහිදී අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටත්  නියමිතය.

මෙම සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙක් සමඟ ජිනීවා නුවර දී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත ව ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk හා අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ හමුවක් ද මෙහිදී පැවැත්වීමට නියමිතව ඇත.

Volker Turk මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව සහ ජාතික ජන බලවේග රජය බලයට පත්වී වසරකින් පසුව පැවැත්වෙන මෙම සමුළුවේ දී මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ඉදිරිපත් කිරීමට හැකි වේ.

මෙවර මානව හිමිකම් සැසියට අමාත්‍ය විජිත හේරත්ට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය ද සහභාගි වේ.

පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන පොලිසියෙන් හෙළිදරව්වක්….

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයා ගත් කන්ටේනර් දෙකෙන් ලබා ගත් සාම්පල 20න්  5කම අයිස් හෙවත් මෙත් සාන්ද්‍රණයන් ඇතුළත් බවට අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පොලිස් මාධ්‍ය කොට්ඨාශ ශ්‍රවණාගාරයේ දී අද (06) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එමෙන්ම අදාළ ඉඩමේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාශ ඒකකයට භාර දී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අයිස් මත්ද්‍රව්‍ය විදේශයන්ගෙන් ගෙන්වන මත්ද්‍රව්‍යයක් වන බවත් එය ශ්‍රී ලංකාව තුළ නිශ්පාදනයට ගත් ප්‍රබල උත්සහයක් පොලීසිය විසින් ව්‍යර්ථ කළ බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අන්තර්ගතයන් පිළිබඳව ඉදිරියේ දී මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සියලු සාර්ථක වැටලීම් පිටුපස මහජනතාව සිටින බවත් එසේ සහයෝගය දක්වන්නන්ට සිය කෘතඥතාව පළ කරන බවත් ය.

සියඹලාණ්ඩුව රිවිදනවි සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹේ…

වසර 2030 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙරට ඉදි කෙරෙන විශාලතම  පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 140කි.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොටියාගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ අක්කර 500 ක පමණ විශාල භූමි ප්‍රදේශයක ඉදි කිරීම කෙරෙන මෙම ව්‍යාපෘතිය සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ව්‍යාපෘති භූමිය, ප්‍රවේශ මාර්ගය සහ ආදාළ සියලු අනුමැතීන් සහිතව ව්‍යාපෘති ආයෝජක වෙත ලබාදුන් පළමු ව්‍යාපෘතිය වේ.

මෙරට වාර්ෂික විදුලිබල පරිභෝජනය ගිගාවොට්පැය 15,000- 16,000ක අතර ප්‍රමාණයක් වන අතර මෙම ව්‍යාපෘතිය මගින් ගිගාවොට්පැය 219ක් වාර්ෂිකව ජාතික පද්ධතියට එක් වේ.

ඒ හේතුවෙන් විදුලි නිෂ්පාදනය සඳහා ඩීසල් ආනයනය වෙනුවෙන් දැරීමට සිදුවන  රුපියල් බිලියන 21ක විදේශ විනිමයක් වාර්ෂිකව රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව එක අක්කරයකින් දළ වශයෙන් රුපියල් මිලියන 41ක විදේශ විනිමයක් රටට ඉතිරි වනු ඇත.

මෙරට තිරසර සංවර්ධනයේ සහ සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් වන රිවිදනවි ව්‍යාපෘතිය හේතුවෙන්,  වායුගෝලයට විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වසරකට මෙට්‍රික් ටොන් 150,000ක් පමණ අඩුවේ යැයි අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය මෙගාවොට් පැය 12ක බැටරි ගබඩා පහසුකම්ද සහිත වීම නිසා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාමේදී විශාල සහයක් වනු ඇතැයිද සැලකේ.

මෙම සූර්ය බලශක්ති උද්‍යානයට අමතරව ජනනය කෙරෙන විදුලිය, ජනන  පද්ධතියක් වෙත සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර් 27ක දිගින් යුත් 132 kv නව සම්ප්‍රේෂණ පද්ධතියක්ද ඉදි කෙරෙන අතර ආයෝජකයා විසින්  සම්ප්‍රේෂණ පද්ධතියක් ඉදි කරනු ලබන මෙරට පලමු බලශක්ති ව්‍යාපෘතියද මෙය වේ. එසේම මොනරාගල ප්‍රදේශයේ ඉදි කෙරෙන 132 kv නව ග්‍රිඩ් උපපොළක් ද මීට ඇතුළත්ය.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඉදිකිරීම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය ලක්දනවි සමාගම සහ වින්ඩ් ෆෝස් (WindForce PLC)  සමාගම ඒකාබද්ධව පිහිටුවන ලද “රිවි දනව්” පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙරට බලශක්ති ස්වාධීනත්වය සහ සුරක්ෂිතතාව ඇති කරමින් ව්‍යාපෘතියේ කටයුතු 2027 පළමු කාර්තුවේදී අවසන් කිරීමට නියමිතය.

එමෙන්ම මෙම ව්‍යාපෘතියට සමගාමීව පළාතේ  යටිතල පහසුකම් සංවර්ධනය, නව රැකියා අවස්ථා උදා කිරීම සහ සමාජ සුබසාධන ව්‍යාපෘති රැසක් සැලසුම් කර තිබේ. ඒ අතර උසස් පෙළ සිසුන් සඳහා රිවි නැණ ශිෂ්‍යත්ව වැඩසටහන, කොටියාගල අක්කර සීය සහ කම්මල්යාය ජල ගැටලුව හේතුවෙන් පීඩා විඳින නිවාස එකසිය තිස්පහක් පමණ ආවරණය වන පරිදි ජල පහසුකම් සැපයීමට අදාළ ව්‍යාපෘතිය,  මුත්තාවල වැව ( මුත්තකණ්ඩිය වැව) ප්‍රතිසංස්කරණය කිරීම, ඇතිමලේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙහි ක්‍රියාත්මක කර්මාන්ත ශාලා විදුලි කාර්මික තාක්ෂණ ශිල්පී පාඨමාලාව NVQ Level 4 දක්වා ඉහළ දැමීමට අදාළ පහසුකම් සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් ඊට අයත්ය.

මෙම උත්සව සභාව ඇමතූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් සිදු කරන ව්‍යාපෘතියක් බවයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය ආයෝජකයන් දිරි ගන්වමින් ඔවුන්ට සහාය ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ඔප්පු කළ අවස්ථාවක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙරට බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය අනුව යමින්, ආයෝජකයන්ගේ සහාය සහ අත්දැකීම් සමඟ මෙම ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙන යාම අරමුණ බව සඳහන් කළ අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වත්මන් රජය කියන දේ, ක්‍රියාවෙන් ඔප්පු කරන රජයක් බවත්,  මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවී සිටින බවත් අවධාරණය කළේය.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වු අතර අපේ රටට බලශක්ති ස්වාධීනත්වය ලබාගත හැකි ප්‍රභවයන් අප රට සතුව අවශ්‍ය තරම් පවතින බවත්,  එම සම්පත් උපරිමයෙන් භාවිතයට ගනිමින් බලශක්ති ස්වාධීනත්වය ඇති කර ගතහොක් බලශක්ති සුරක්ෂිතතාව ඇති රටක් නිර්මාණය වන බවත් පෙන්වා දුන්නේය.

දැනට පවතින ක්‍රමවේදය අනුව මෙවැනි ව්‍යාපෘතියක් වෙනුවෙන් ආයතන 12කින් පමණ අනුමැතිය ලබා ගැනීමට සිදුවන බවත් පසුගිය මාස 6-9ක කාලය තුළ එම කටයුතු කඩිනම් කර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන විශාල සහයෝගයක් දැක්වූ බවත් පැවසූ ඒ මහතා, ආයෝජකයන් වෙනුවෙන් එක් වහළක් තුළ මෙම කටයුතු වේගවත්ව සිදු කර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් වෙනුවෙන් රජය සමඟ එක්ව කටයුතු කිරීමටත්, යෝජනා ලබා දීමටත් සූදානම් බව පැවසීය.

ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද, මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පානදුර අලුබෝමුල්ලේ වෙඩිතැබීමක්….

පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (6) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මිලිමීටර 9 වර්ගයේ පිත්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ කාන්තාවක් එහි සිට ඇත.

ඇය වෙඩි ප්‍රහාරයෙන් බේරී පලායාමේ දී වෙළෙඳසැලේ තිබූ ශීතකරණයකට වෙඩි වැදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසියට විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඊට අමතරව පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ ද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ….

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් 4 දෙනෙකු පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ලබාදුන් ලැයිස්තුවට අදාළව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊට අදාළ අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව දර්ශිකා කුමාරි, පද්මිණී වීරසූරිය, රේණුකා ජයසුන්දර සහ නිශානි සෙනෙවිරත්න නව කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස වැඩ භාරගැනීමට නියමිතය.

ආධුනික උප පොලිස් පරීක්ෂකවරියන් ලෙස මින් තිදෙනෙකු 1997 වසරේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වී තිබේ.

ඒ අනුව අදාළ උසස්වීම් මෙම වසරේ ජනවාරි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරෙන බවද සඳහන් ය.

මෙම පොලිස් නිලධාරිනියන් 4 දෙනාගෙන් දර්ශිකා කුමාරි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරිනිය ලෙස මේ වනවිටත් කටයුතු කරනු ලබන අතර ඇය එම මූලස්ථානයේ පළමු කාන්තා අනදෙණ නිලධාරිනියද වෙයි.

මේ වනවිට කළුතර දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පද්මිණී වීරසූරිය කටයුතු කරන අතර ඇය පොලිස් ඉතිහාසයේ දිස්ත්‍රික්කයක් භාරව කටයුතු කළ පළමු නිලධාරිනිය ද වෙයි.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රේණුකා ජයසුන්දර මහත්මිය ඵමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කරන අතර නිශානි සෙනෙවිරත්න මහත්මිය පර්යේෂණ හා තොරතුරු කොට්ඨාසයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස කටයුතු කරනු ලබය.

නිශානි සෙනෙවිරත්න මහත්මිය මෙම සිව්දෙනා අතරින් ජ්‍යේෂ්ඨතම නිලධාරිනිය වන අතර ඇය දීර්ඝ කාලයක් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කර ඇත.

වී මෙට්‍රික්ටොන් 40,000කට වැඩි ප්‍රමාණයක් රජය මිලදී ගනී….

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවල යටතේ මේ වනවිට වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ වැඩිම වී ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවය.

අම්පාර දිස්ත්‍රිකයේ සියයට 85ක් මේ වනවිට අස්වනු නෙලා අවසන් වී ඇති අතර අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වී මිලදි ගැනීම ද තවදුරටත් සිදුවන බව ඔහු කියා සිටියේය.

වී මිලදී ගැනීම සඳහා පළමු අදියර යටතේ රජය මඟින් රුපියල් මිලියන 60,000ක මුදලක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් මිලියන 55,000ක මුදලක් ගොවීන් වෙන ගෙවා අවසන් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට…..

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසුවේ වෛද්‍ය නිර්දේශය මත ඊයේ (5) පස්වරුවේ ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවය.

ඒ මහතා අධිරුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 88 ලක්ෂ 50,000ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි නඩුව පසුගිය 29 වැනිදා යළි කැඳවූ අතර, එහිදී ඔහු මේ මස 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඇල්ලේ බස් අනතුරෙන් මියගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට….

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ සේවකයන්ගේ මෘතදේහ මේ වනවිට තංගල්ල නගර ශාලාව වෙත රැගෙනවිත් එහි තැන්පත් කර තිබේ.

ඒ, මියගිය අයට අවසන් ගෞරව දැක්වීම සඳහාය.

අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට මියගිය පුද්ගලයින් 10 දෙනෙකුගේ දේහයන් නගර ශාලාවට රැගෙනවිත් ඇති බවය.

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පෙරේදා (04) ප්‍රපාතයකට පෙරළී සිදුවූ මෙම අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි විය.

මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මියගොස් තිබුණි.

අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

මීගමුවේ වෙඩිතැබීමක්….

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (6) අලුයම 1.38ට පමණ මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට වෙඩිතබා පලාගොස් තිබේ.

කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමෙන් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බව සඳහන්.

මුදල් ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.