කෙහෙළියගේ නඩුවක් අවසන්….

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන බැවින් ඊට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන  නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (09) නියම කළේය.

ඒ අනුව විත්තිකරුවන්ට නිසි දිනවල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ට දැනුම් දෙනු ලැබීය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙන බවය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන නිසා මෙම නඩු කටයුත්ත අවසන් කළ හැකි බව සඳහන් කළේය.

ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට මහාධිකරණය හමුවේ නිසි දිනවල පෙනී සිටින ලෙස නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ අයථා ලෙස රුපියල් මිලියන 97 කට අධික වටිනාකමකින් යුත් බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු, වාහන අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ දියණියන් තිදෙනා සහ බෑණා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

හිටපු මන්ත්‍රී රාජිතට රාජිතට ඇප හිමිවෙයි….

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි…..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවත්, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තියේ සඳහන් අනිවාර්ය විධිවිධානවලට අනුකූලව අධිකරණ බලය අයැදීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර ඇති අංක SC/SD/29/2025 දරන පෙත්සම ප්‍රතික්ෂේප කර ඇති බවත් කථානායකවරයා විසින් වැඩිදුරටත් නිවේදනය කළේය.

ඇමති වටගලට එරෙහිව පොදු ජන පෙරමුණ අධිකරණයට යන ලකුණු….

අයිස් මත්‍ද්‍රව්‍ය සිද්ධියට චෝදනා එල්ල වී සිටින සම්පත් මනම්පේරි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සමඟ ලබා ගත් ඡායාරූප මාධ්‍ය ඉදිරියේ පෙන්වමින් විවිධ ප්‍රකාශ සිදු කරමින් ඔවුන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින 2 තුල නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මීට සුළු මොහොතකට පෙර මේ බව සඳහන් කළේ හිරු TV නාලිකාවේ දැන් විකාශය වෙමින් ඇති සලකුණ දේශපාලන වැඩසටහනට එක් වෙමින්.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්…..

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එවැනි ව්‍යාජ පුවත් පල කරන පුද්ගලයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ද එහි සඳහන් වේ.

– උපුටාගැනීම –

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු 2025.08.30 වන දින ශ්‍රී ලංකා පොලීසිය මඟින් ඉන්දුනීසියාවේදී එරට පොලීසියේද සහය ඇතිව අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන මේ වන විට ඉතා සාර්ථක ලෙස විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

එම සැකකරුවන්ගෙන් අනාවරණය වෙමින් පවතින තොරතුරු අනුව අයිස් මත්ද්‍රව්‍ය මෙරට තුළ නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගෙන්වන ලද බහාලුම් දෙකක තිබූ ඒ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙනිය ප්‍රදේශයෙන් හමුවී තිබිණි.

එම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සම්බන්ධව පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක ජාත්‍යන්තර තොරතුරු ලැබී තිබියදීත්, රතු ලේබල් කර තිබූ මෙම බහාලුම් නිදහස් කර ඇති බවට සඳහන් කරමින් මෙම මෙහෙයුම භාරව කටයුතු කරන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ ඡායාරූපයක් ද සහිතව ඒ මහතාව සම්බන්ධ කරමින් ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පල කිරීමක් බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරන අතර, මෙවැනි ව්‍යාජ පුවත් පලකිරීම තුලින් මෙම මෙහෙයුම් අඩාල කිරීම හා නිලධාරින් අපහසුතාවයට පත් කිරීම මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය අපකීර්තියට ලක් කිරීම ද සංවිධානාත්මක අපරාධවලට උත්තේජනයක් ලබා දෙන සුළුතර පිරිසකගේ අරමුණ බව ද නිරීක්ෂණය වේ. 

මෙම සාවද්‍ය පලකිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ දැඩි අවධානය යොමුව ඇති අතර, මෙවැනි අසත්‍ය පලකිරීම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රීයාත්මක කරන බව වැඩිදුරටත් දන්වා සිටිමි.

– උපුටාගැනීම අවසන් –

රාජකාරියට අනුරාධපුරයට පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අනුරධපුර පුද බිමේ කුඹුරු යායක් ගොඩ කර ඉදිකළ සිව් මහල් හෝටල් සංකීර්ණයක් ගැන පැමිණිල්ලක්…..

අනුරාධපුර පූජා නගරයේ කුඔුරු යායක් ගොඩ කර වර්තමානයේ රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකින් යුතු සිව් මහල් අති සුඛෝපභෝගි හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට රාජකාරි සඳහා අනුරාධපුරයට පැමිණි උතුරු මැද පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙන්ම වර්තමානයේද දිවයිනේ පළාතක් බාරව රාජකාරි කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මෙතරම් විශාල මුදලක් ලැබුනේ කෙසේද? යන්න පුළුල් විර්ශනයක් සිදු කරන ලෙස අනුරාධපුර පුරවැසි සංවිධානය එකමුතුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිළි කර තිබෙනවා. අනුරාධපුර පුරවැසි සංවිධාන එකමුතුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට යොමු කර ඇති එම පැමිණිල්ලේ තවදුරටත් දැක්වෙන්නේ අනුරාධපුර පුද බිමේ පිහිටි තිසාවැවේ ජලයෙන් පෝෂණය වන කුඔුරු යායක් ගොඩ කර ඉදිකර ඇති උතුරු මැද පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අයත් මෙම සිව් මහල් හෝටල් සංකීර්ණය ඉදිකිරීමට සැලසුම් අනුමත කල මෛන්ම අනුමැතිය ලබා දුන් සහ බලපත්‍ර හෝ ඔප්පු සහ විදුලි බලය ලබා දීමට අනුමැතිය දුන් රජයේ නිලධාරීන් කවුරුන්ද? යන්න සොයා බැලිය යුතු බවයි. රාජකාරි කිරීමට අනුරාධපුරයට පැමිණි මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අනුරාධපුර පුද බිමට අයත් කුඔුරු යායක් ගොඩ කර මෙතරම් විශාල සිවි මහල් හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට මුදල් ලැබුනේ කෙසේද? යන්න සොයා බලන ලෙසද අල්ලස් හෝ දූෂණ විමර්ශන කෙමිසන් සභාවෙන් ඉල්ලා තිබෙනවා. තවද මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අනුරාධුපර පොලිස් කෙට්ඨාශයේ ගොඩනැගිලි අංශයේ පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක භටයින්ගේ රාජකාරි ශ්‍රම දායකත්වය ලබා ගෙන ඇති බවට පොලිස් තොරතුරු පොත් වල සටහන්ව තිබෙන බවයි අනුරාධපුර පුරවැසි සංවිධාන එකමුතුව යොමු කළ පැමිණිල්ලේ තවදුරටත් දැක්වෙන්නේ මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අවශ්‍ය සිමෙන්ති ගල් වැලි ටයිල් ඇතුළු අමුද්‍රව්‍ය සිය නිල බලය භාවිතා කොට අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් මගින් සපයා ගෙන ඇති බවට තොරතුරු ඇති බවද පවසන පුරවැසි සංවිධාන එකමුතුව හෝටලය අයිති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුරයේ රාජකාරි කරන අතරතුර සිය හෝටල් සංකීර්ණයේ පරිපාලන කටයුතු සඳහා යොදවා සිට ඇත්තේද පොලිස් නිලධාරීන් බවද එහි සඳහන් කර තිබෙනවා. අනුරාධපුර පුද බිමේ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයත් ඉසුරුමුණියත් අතර ඉදිකර ඇති මෙම සිව් මහල් හෝටල් සංකීර්ණයට නවාතැන් ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අදාළ හෝටලයේ නවාතැන් ගෙන සිටින විට අනුරාධපුර පුද බිමේ පිහිටි සිය`එ ස්ථූප මෙන්ම අටමස්ථානයම දිස් වන බැවින් හෝටලයට ස්තූප යන වචනය ඇතුලත් ඊට සුදුසු නමක් යොදා ඇති බවද පුරවැසි සංවිධාන එකමුතුව පවසන්නේ. මෙම හෝටලයේ දිනකට එක් කාමරයක මිළ රුපියල් 27,000 සිට ඉහළට පවතින බව සමාජ මාධ්‍ය ඔස්සේ හෝටලය පිළිබදව සිදු කරන ප්‍රචාරණයට අනුව තහවුරු වන්නේ යැයිද කියා සිටින පුරවැසි සංවිධාන එකමුතුව අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම හෝටලය ආසන්නයේ කුඹුරු යායේ පිහිටි තවත් බිම් කොටසක සිව් මහල් හෝටලයට ආසන්නයේ තවත් ඉදිකිරීමක් මේ දිනවල සිදු කෙරෙන බවත් මෙම හෝටලයේ ප්‍රචාරණ පුවරු අනුරාධපුර නගරයට ඇතුල් වන ස්ථාන කිහිපයක සවි කර ප්‍රදර්ශණය කර ඇති බවද පවසයි මසකට රුපියල් ලක්ෂයක පමණ වැටුපක් ලබන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෞද්ගලිකව පරිහරණය කරන ලෑන්ඩ් රෝවර් ඩිපෙන්ඩර් ජීප් රථයේ වර්ථමාන මිළ රුපියල් ලක්ෂ 250 කට අධික බවද පවසන පුරවැසි සංවිධාන එකමුතුව කුරුණෑගල හෙට්ටිපොල මාර්ගයේ කිලෝ මීටර් දෙකක් ගිය පසුව හමුවන තට්ටු 3 කින් සමන්විත ලී බඩු සාප්පුව මෙන්ම ගාල්ල මාතර මාවනැල්ල කුරුණෑගල සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශ වලද මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ඔහුගේ බිරිදට අයත් ලී බඩු සාප්පු සහ නිවාස ඇති බවද කියයි අසීමිත දේපලකට හිමිකම් කියන වර්තමානයේද දිවයිනේ පළාතක් බාරව රාජකාරි කරන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පු`එල් විමර්ශනයක් අරබන ලෙසද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවෙන් ඉල්ලා ඇති පුරවැසි සංවිධාන එකමුතුව එම විමර්ශනය තුලින් පැහැදිලි වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වනු ඇති බවද සඳහන් කරයි

nethnews.lk

අගවිනිසුරු ගමන් ගත් රථ පෙළ ඡායාරූප ගත කළ පුද්ගලයෙකු රිමාන්ඩ්…..

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කළ බව පවසමින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස් .බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබීය.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරු සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන බව පැවසුවේය.

සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, අදාළ රථවාහන පෙළ ඡායාරූපගත කිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයා සමාව අයැද සිටින බවත් සිය සේවාදායකයා ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

එමෙන්ම සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියම කරනු ලැබුවේය.

මිද්දෙණියේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවෙයි…..

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන්වූ රසායන ද්‍රව්‍ය සොයාගත් මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවූ බව පොලීසිය පවසයි.

මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (08) එම ඉඩමේ සිදුකළ සෝදිසිකිරීම් සහ කැණීම් මගින් වළදමා තිබූ මෙම උපාංග හමුව තිබුණි.

එහිදී පොලිස් ක්‍රීඩා ඇදුම්, පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග සහ පොලිස් නිල අදුමට සමාන රෙදි පීළි ‌ආයිත්තම් හමුවී වු බව පොලීසිය පවසයි.

මිද්දෙණිය‌ පොලිස් ස්ථානය මෙම හමුවූ දෑ පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති අතර ඒ් සම්බන්ධ වැඩිදුර විමර්ශන ආරම්භකිරීමට නියමිතය.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන අගෝස්තු 30 වන දින මෙරටට ගෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස හඳුනාගත් සැකකරුවන් පස්දෙනා සම්බන්ධව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශන මගින් අයිස් මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරීම සඳහා ආනයනය කරන ලද රසායනික අමුද්‍රව්‍ය තොගයක් වලදමා තිබෙන මිද්දෙණිය තලාව දකුණ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධව අනාවරණය විය.

එම ඉඩමේ එවැනි රසායනද්‍රව්‍ය තොගයක් තිබී සොයාගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.

ඒ අතරතුර සෝදිසි කිරීම් සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් එම ඉඩමේ තිබී ජීව අත්බෝම්බ 5ක්, T- 56 අවියට යොදන ජීව පතරොම් 17ක්, බෝර12 වර්ගයේ ජීව පතරොම් 2ක් සහ හිස් පතරොම් කොපුවක් 2025.09.06 වන දින සොයාගෙන තිබුණි.

මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 2025.09.08 වන අද දින එම ඉඩමේ සිදුකළ සෝදිසිකිරීම් සහ කැණීම් මගින් වළදමා තිබූ පොලිස් ක්‍රීඩා ඇදුම්, පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග සහ පොලිස් නිල අදුමට සමාන රෙදි පීළි ‌ආයිත්තම් හමුවී තිබේ.

බාහිර මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරනවා – ඇමති විජිත ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී කියයි…..

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (08) පස්වරුවේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසි වාරය අමතන ලදී.

එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කර සිටියේ, එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති යුද ගැටුම්වල දී සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් උල්ලංගණයන් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවරාකාරයේ හෝ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය.

තවද, මෙම සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට ප්‍රතිචාර දක්වමින්, රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණක් බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ විය.

සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදී නොමැති බවට සඳහන් කර ඇත.

අද සිට ඔක්තෝබර් 8 වනදා දක්වා පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා එරටට ගොස් සිටියි.

සැසිවාරය අතරතුර ඒ ඒ රටවල, තරුණයින්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම, ප්‍රචණ්ඩත්වය පිටුදැකීම, ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් ආදි මාතෘකා යටතේ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එසේම මියන්මාරය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, සුඩානය‍, පලස්තීනය, සිරියාව ආදි රටවල මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳ වාර්තා සහ වාචික යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කිරීමට නියමිතය.

මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.

එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය හමුදාවේ හා අනෙකුත් ආරක්ෂක අංශවල බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිගැනීමට වසර ගණනාවක් පුරා අසමත්ව ඇති බවය.

එමෙන්ම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට කටයුතු කිරීමට බලය හිමි වන රෝම ප්‍රඥප්තියට අත්සන් තැබීමටද මෙමගින් නිර්දේශ කර තිබේ.

කෙසේවෙතත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබුණි.

එමගින් ශ්‍රී ලංකා දූත මණ්ඩලය පෙන්වා දී ඇත්තේ අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පදනම් වූ මානව හිමිකම් මණ්ඩලය සම්මත කළ 57/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන නොමැති බවය.

ඒ යටතේ ක්‍රියාත්මක වන වගවීම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව විරුද්ධත්වය පළකරන බවත්, දේශීය සංහිඳියා ක්‍රියාවලියට එවැනි බාහිර ව්‍යාපෘතීන් අගතිදායක වන බවත් එමගින් පෙන්වා දී ඇත.

සංචාරය අතරතුර විජිත හේරත් අමාත්‍යවරයා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

හරක් කටාව නඩු විභාගය අවසන් වන තුරු රැඳවුම් භාරයේ තැබීමට නියෝග….

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයකට අනුව නඩු විභාගය අවසන් වන තෙක් රඳවා ගැනීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (08) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා දැනුම්දී තිබුණේ, මෙම විත්තිකරුට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමට කටයුතු කරන ලෙසය.

එහෙත් මෙම සැකකරුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඔහු රැඳවුම් භාරයේ රඳවා ගැනීමට ආරක්ෂක ලේකම්වරයා තීරණය කර ඇති බවත් රජයේ නීතිඥවරයා අද නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට දැනුම් දුන්නේය.

එම දැනුම්දීම සම්බන්ධයෙන් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා දැඩි විරෝධය පළකර සිටියේය.

සිය සේවාදායකයා වසර දෙකකට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටි බව පෙන්වා දුන් නීතිඥවරයා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතව තිබියදී යළි නඩු අවසන් වන තෙක් රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට පියවර ගැනීම යුක්ති සහගත නොවන බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව විත්තිකරු තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ තවදුරටත් රඳවා ගැනීමට නියමිත බවත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

මෙම නඩු විභාගය සඳහා විත්තිකාර නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සූම් තාක්ෂණික අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර වැඩිදුර නඩු විභාගය ලබන 24 වන දා දක්වා කල්තැබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින සෙසු විත්තිකරුවන් හතර දෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.