කුඩු සළිඳුගේ රුපියල් කෝටි 02ක දේපළ තහනම් වෙයි…..

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් පානදුර කුඩු සලිඳු නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 02කට ආසන්න දේපළ තහනම් කර තිබේ.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරනුයේ පානදුර – රත්නපුර මාර්ගයේ මහබෙලන හන්දියේ පිහිටි තහනමට ලක්කළ දේපළ අතර පර්චස් 40ක භූමි භාගයක පිහිටි නිවසක්, ගබඩා සංකීර්ණයක් සහ කඩ කාමරයක්ද පවතින බවය.

විදේශගතව සැඟව සිටියදී අත්අඩංගුව ගෙන මෙරටට රැගෙන ආ කුඩු  සළිඳු නැමැත්තා අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව හොර රහසේ නැවත විදේශ රටකට පලා ගොස් තිබුණි.

ඔහු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන්ම උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බව කියන දේපළ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වූ තොරතුරු අනුව මෙම දේපළ තහනමට ලක් කිරීමට එම කොට්ඨාසය පියවර ගෙන ඇත.

පසුගිය කාලය පුරා ඔහු විසින් සහ පානදුර කුඩු නිලංග යන දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වී පානදුර දකුණ, හිරණ හා පින්වත්ත පොලිස් බල ප්‍රදේශවලදී පුද්ගලයින් කිහිප දෙනෙකු වෙඩි ප්‍රහාරවලට ලක්ව ඝාතනයට ලක්වූ අතර කුඩු නිලංග නැමැත්තා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග එම ගැටුම් තරමක් පහව ගොස් තිබේ.

මේ වන විට කුඩු  සළිඳු නැමැත්තා විදෙස් රටක සැඟව ජීවත් වන අතර සිද්ධිය සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කොළඹ මහ නගර සභාවේ හිටපු මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රීවරියගේ පෙත්සම කැඳවීමට දින දෙයි….

කොළඹ මහ නගර සභා අයවැයේදී ආණ්ඩු පක්ෂයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ යැයි චෝදනා කරමින් සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගෙන තිබෙන තීරණය අත්විටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියක වන සොහාරා බුහාරි මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම අද (06) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස  නියම කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, මහලේකම් නිසාම් කාරියප්පර්, කොළඹ තේරීම් භාර නිලධාරි, ඇතුළු පිරිසක් නම් කර ඇත.

නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය සඳහන් කර ඇත්තේ කොළඹ මහ නගර සභා අයවැයේදී ආණ්ඩු පක්ෂයට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළේ යැයි චෝදනා කරමින් සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කළ බවය.

2025 වසරේ දෙසැම්බර් මස 31 වන දා ඉදිරිපත් කෙරුණු අදාළ අයවැය තුළ මහජන හිතවාදී සාධනීය යෝජනා රැසක් ඇතුළත්ව තිබූ බැවින් තමන් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවත් ඇය පෙන්වා දී තිබේ.

සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබූ බවත් ඇය සිය පෙත්සම මගින් සඳහන් කර ඇත.

කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඇය අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් ඉල්ලා සිටි.

ඊට අමතරව සිය මන්ත්‍රී ධුරය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් නිකුත් කළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරනතුරු තමන්ට අඛණ්ඩව කොළඹ මහ නගර සභා මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීමට අවසර දෙන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්…

ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ කටුනායක ගුවන්තොටුපොළේ කටයුතු සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වන නමුත් මැදපෙරදිග කලාපයේ ගුවන් මාර්ග වසා දමා තිබීම හේතුවෙන් ලෝක ගුවන් ගමන් තවමත් දැඩි ලෙස බාධා වී ඇති බවය.

එහෙත් මැදපෙරදිග හරහා නොයන වාණිජ ගුවන් ගමන් කිහිපයක් භාවිතා කළ හැකි බවත්, ගුවන් ගමන් ප්‍රමාදය හෝ අවලංගු වීම පිළිබඳව තම ගුවන් සමාගම සමඟ සෘජුව සම්බන්ධ විය යුතු බවත් දැනුම්දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයන්ට විකල්ප පිටත්වීම් සැලසුම් කර ගැනීමට අවස්ථාව ලබාදෙමින් දින 14ක නොමිලේ වීසා දිගුවක් ලබාදීමටද පියවර ගෙන තිබේ.

හදිසි සහාය අවශ්‍ය නම්  එක්සත් ජනපද තානාපති කාර්යාලයෙ හි අමෙරිකානු පුරවැසි සේවා අංශය (+94 11 202 8500) හරහා සම්බන්ධ විය හැකි අතර, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පස්වරු 1.00 – 2.00 අතර වැඩකරන දිනයන් හිදී  සේවාවද ලබාදෙන බව සඳහන් වේ.

එමෙන්ම ගුවන් ගමන්වලට අමතර කරුණු සඳහා ශ්‍රී ලංකා සංචාරක  1912 අංකයට සම්බන්ධ විය හැකි බවද දැනුම්දී ඇත.

අවසන් ආරක්ෂක යාවත්කාලීන තොරතුරු සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙබ් අඩවිය සහ නිල සමාජ මාධ්‍ය නාලිකා අනුගමනය කරන ලෙසද පුරවැසියන්ට උපදෙස් දී තිබේ.

ජොන්ස්ටන්ගේ සතොස නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 18 වැනිදා….

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා මාර්තු මස 18 වනදා කැඳවන ලෙස  කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වෙනත් නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව මාර්තු මස 18 වනදා දක්වා කල් තැබීමට නියම කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙ‍ෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර  දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙ‍ෙළඳ ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම  මෙම නඩුව ගොනු කර තිබුණි.

යාපනයේ බෝට්ටු අනතුර සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග…

යාපනය ගුරුනගර් තොටුපොළේදී අද (06) පෙරවරුවේ සිදුවූ බෝට්ටු අනතුර සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ධීවර, ජලජ  හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා යාපනය දිස්ත්‍රික් ධීවර දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.

අනතුර සඳහා බලපෑ මූලික හේතු සෙවීම වෙනුවෙන් නාවික හමුදාව ඇතුළු සියලුම අංශ සම්බන්ධ කරගනිමින් මෙම පරීක්ෂණ කඩිනමින් පවත්වන ලෙසද අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අනතුරට ලක්වූ බෝට්ටුවේ ධාවන යෝග්‍යතාව, මගීන් සංඛ්‍යාව, නියමිත සීමාවන් ඉක්මවා තිබුණේද යන්න සහ මුහුදු ගමන් සඳහා වන ආරක්ෂිත ක්‍රියා පටිපාටි නිසි ලෙස අනුගමනය කළේද යන්න සම්බන්ධවද සවිස්තරාත්මක වාර්තාවක් කැඳවීමටද අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

අනතුරින් මුහුදේ අතරමංවූවන් සෙවීමේ සහ ගලවා ගැනීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව පවතින සියලු සම්පත් භාවිත කරමින් කඩිනම් ලෙස සිදු කිරීමටද උපදෙස් ලබා දී ඇති අමාත්‍යවරයා, අනතුරින් පීඩාවට පත්ව රෝහල් ගත කර සිටින පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද රෝහල් බලධාරීන්ගෙන් විමසීමක්ද සිදුකර තිබේ.

ඒ අනුව ඔවුන්ට අවශ්‍ය උපරිම වෛද්‍ය පහසුකම් සපයන ලෙසද අමාත්‍යවරයා විසින් රෝහල් බලධාරීන්ට දන්වා ඇති බවද ධීවර අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම අනතුරින් ජීවිත අහිමිවූන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කළ අමාත්‍යවරයා ඔවුන්ට අවශ්‍ය සියලු සහන ලබා දීමටද කටයුතු කරන ලෙසද අදාළ බලධාරීන්ට දන්වා තිබේ.

වසර 5කට වැඩි කාලයකට පසු විදෙස් සංචිතය ඩොලර් බිලියන 7 ඉක්මවයි….

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2020 අගෝස්තු මාසයෙන් පසුව පළමු වරට එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබේ.

නවතම දත්ත වාර්තාවලට අනුව 2026 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 7,284ක් වන අතර එය 2026 ජනවාරි මාසයේ පැවති සංචිත වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,832 හා සැසඳීමේ දී 6.6%ක ඉහළ යාමකි.

සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2026 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 6,687 සිට ඩොලර් මිලියන 7,057ක් දක්වා වැඩි වී තිබේ.

මේ අතර මහ බැංකුව සතු රන් සංචිතය 2026 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 109 සිට ඩොලර් මිලියන 200 ක් දක්වා 83.4%කින් සුවිශේෂී ලෙස වර්ධනය වී ඇත.

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි….

ප්‍රකාශයට පත්කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 100කින් සම්මතවී තිබේ.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 108ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 08ක් පමණය.

මහජන ආරක්ෂක ආඥා පනතේ විෂය අංක 81 යෝජනා සම්මතය වැඩි ඡන්ද 100කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය යථා පරිදි  සම්මත කරගන්නා ලදී.

අත්අඩංගුවේ පසුවන පිල්ලයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවයි….

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥවරයෙකුට ප්‍රවේශය ලබාදීමට ඇති හැකියාව සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2016 වසරේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව පිල්ලෙයාන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම අද ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ ගිහාන් කුලතුංග යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පිල්ලයාන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාව සම්බන්ධයෙන් තම සේවා දායකයාට එරෙහිව මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කොට ඔහු මේ වන විට අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙන බව සඳහන් කළේය.

කෙසේ වෙතත් සිය සේවාදායකයා මේ වන විට වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන තිබෙන බවත් මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔහුගෙන් උපදෙස් ලැබී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතාගෙන් විමසුවේ මෙම උපදෙස් ලබා ගැනීමේ කාර්යය සඳහා අත්අඩංගුවේ පසු වන තැනැත්තා සම්බන්ධ කර ගැනීම සඳහා ප්‍රවේශයක් සලසා දීමට හැකියාවක් තිබේ ද යන්නය.

ඒ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු ඒ සඳහා ඉල්ලීමක් කරන්නේ නම් එවැනි අවස්ථාවක් සලසා දීමට හැකියාව තිබෙන බවය.

ඒ අනුව අත්අඩංගුවේ පසුවන පෙත්සම්කරුගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා කටයුතු කරන ලෙස මෙහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම විභාගය සඳහා ලබන ජූලි මස 28 වනදා කැඳවීමටද නියම විය.

ආපදා අවස්ථාවේදී රාජකාරි කළ රජයේ නිලධාරීන්ට දීමනා ගෙවීම සම්බන්ධව චක්‍රලේඛයක්…

පසුගියදා පැවැති ආපදා අවස්ථාවන් හිදි රාජකාරී කටයුතුවල නියුතු වූ රාජ්‍ය නිලධාරීන් සඳහා වූ දීමනා ගෙවීම් සම්බන්ධව ආරක්ෂත අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පැවැති ආපදා අවස්ථාවන් හිදි එම රාජකාරිවල නියුතු වූ නිලධාරීන්හට චක්‍රලේඛයේ සඳහන් අවශ්‍යතා සැපරීම මත මෙම දීමනා ගෙවීම් සිදුකරනු ඇති බවය.

ඒ අනුව වැටුප් කාණ්ඩ 05ක් යටතේ මෙම දීමනා ගෙවනු ලබන අතර ඒ සඳහා පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත යුතු බවත් ආරක්ෂක අමාත්‍යාංශය සිය චක්‍රලේඛය මගින් දන්වා තිබේ.

3.1.  විස්තීරණ ආපදා පැවතෙන කාලය තුළදී සතියේ දිනවල තම සමාන්‍යය රාජකාරී වේලාවට අමතරව දිනකට පැය 04කට නොඅඩු කාලයක් හදිසි ආපදා රාජකාරීවල යෙදිය යුතු අතර මසකට දින 10ක උපරිමයකට යටත්ව උක්ත 2 හි සඳහන් දීමනා ලබාදිය හැකිය.

3.2. ඉහත නිලධාරීන් අතුරින් අතිකාල දීමනා හිමි වැටුප් කාණ්ඩවලට අයත් නිලධාරීන් තම සාමාන්‍ය රාජකාරී වේලාව ඉක්මවා පැය 04ට වඩා වැඩි කාලයක් සේවය කරන අවස්ථාවේදී, මෙම දීමනාවට අමතරව එම වැඩිවන පැය ගණන සඳහා මසකට පැය 240ක උපරිමයකට යටත්ව අතිකාල දීමනා ලබාදිය හැකිය.

3.3. විස්තීරණ ආපදා හේතුවෙන් හෝ ප්‍රතිස්ථාපනය කිරීමේ කාර්යයන් හි රජයේ නිවාඩු දිනවලදී හා සතිඅන්ත දින වලදී රාජකාරීවල යෙදෙන මාණ්ඩලික නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා නිවාඩු දින වැටුප් හිමි නිලධාරීන් සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 හා කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2025 හි විධිවිධාන වලට යටත්ව වැටුපෙන් 1/30ට සමාන දීමනාවක් ලබා දිය යුතුය. එම දීමනාව ලබා ගැනීමට පැය අටක් සේවය කළ යුතු අතර එකී කාල සීමාවට අමතරව අවම පැය 04ක වැඩිපුර සේවා කාලයක් විස්තීරණ ආපදා අවදානම් රාජකාරී ඉටුකර ඇත්නම්, එකී 1/30 දීමනාවට අමතරව උක්ත අංක 02 හි සඳහන් දීමනාවද ලබා ගත හැකිය. විස්තීරණ ආපදාවෙන් පසුව ආපදා සහන, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ හෝ නැවත පදිංචි කිරීමේ කාර්යයන් හි නිවාඩු දින වැටුප් ලබා දීම ආසන්නතම අධීක්ෂණ නිලධාරියා විසින් සමීප අධීක්ෂණයකින් යුතුව නියමිත පරිදි  රාජකාරී ඉටු කරවාගෙන ගෙවීම් කිරීමටත්, පවතින ප්‍රතිපාදන වලින් කළමනාකරණය කර ගැනීමටත් කටයුතු කල යුතුය.

3.4. විස්තීරණ ආපදාවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල රාජකාරියේ නියුතු පරිපාලන ග්‍රාම නිලධාරීවරුන් සඳහා විස්තීරණ ආපදා රාජකාරී වල නියැලෙන කාල සීමාවේදී මසකට දින 10ක උපරිමයකට යටත්ව දිනකට රු.1500 ක අමතර දීමනාවක්ද, ග්‍රාම නිලධාරීවරුන් සඳහා දිනකට රු.1000ක අමතර දිමනාවක් ද රජයේ නිවාඩු දිනවල, සති අන්ත දිනවල හා විවේක දිනවල රාජකාරියේ නිරත වීම වෙනුවෙන් විශේෂ අවස්ථාවක් සේ සලකා ඉහත 2හි දීමනාවන්ට අමතරව ගෙවීම් කල හැකිය.

04. 2025.11.21 දින සිට 2025.12.15 දක්වා වු විස්තීරණ ආපදා අවස්තාවේදී රාජකාරි කටයුතු සිදුකළ නිලධාරීන් සඳහා හා මින් ඉදිරියට ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබන විස්තීරණ ආපදා අවස්ථාවන් වලදී රාජකාරී කටයුතු සිදු කරනු ලබන නිලධාරීන් සඳහා ඉහත 3 ඡේදය යටතේ වූ දීමනා ගෙවීම සිදු කල හැකිය.
05. විස්තීරණ ආපදා අවස්ථාවකදී රාජකාරී වල නියැලෙන නිලධාරීන් හට ගෙවිම් කිරීමේදී, ගෙවීම් කරනු ලබන්නේ කා සඳහාද, ගෙවීම් කිරීම සිදු කරනු ලබන උපරිම දින සංඛ්‍යාව හා මෙම දීමනාව හිමි වන විස්තීරණ ආපදාව පැවති ප්‍රදේශ හා කාල සීමාව කාල සීමාවන් පිළිබඳව ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කලින් කල අමාත්‍ය මණ්ඩලය විමසා කටයුතු කල යුතුය.

06. ආපදාවට ලක්වූ ග්‍රාම නිලධාරී වසම් වලට විස්තීරණ ආපදා රාජකාරී වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් / ප්‍රාදේශීය ලේකම් විසින් අදාළ කාලසිමාව තුළදී අනුයුක්ත කරන ලද හා/හෝ වැඩ බලන වෙනත් ග්‍රාම නිලධාරී වසම් භාර ග්‍රාම නිලධාරීවරුන් සඳහා ඉහත අංක 2 හා 3.5 හි සඳහන් දීමනා හිමි වේ.

07. ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ආයතන ප්‍රධානීන්, ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් හා හෝ ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් විස්තීරණ ආපදා කාලය තුළ ආපදා රාජකාරී සඳහා යම් නිලධරයකු යොදවා ඇත්නම් ඉහත අංක 2 හි දිමනාව ගෙවීම සිදුකල හැකිය.

08. ආපදා අවස්ථා වලදී විස්තීරණ ආපදා රාජකාරී සිදුකරන ලද නිලධාරින් වෙත මෙම දීමනාව ගෙවීමේ දී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මාණ්ඩලික නිලධාරින් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරින් වෙත ගෙවීම් අනුමත කිරීමේ බලය පැවරේ.

09. දේපළ හානි තක්සේරු කටයුතුවල නිරතවන දේපළ හානි තක්සේරු කමිටුවේ සාමාජිකයින් වෙත දැනටමත් රුපියල් සියයක (රු.100/-) දීමනාවක් ලබා දෙන බැවින් එම නිලධාරීන් විසින් දේපළ හානි තක්සේරු කිරීමේ කාර්යය සඳහා යොදවන කාලය මෙම දීමනාව ලබා ගැනීමට ගණනය නොකල යුතුය.

10. ඉහත සඳහන් උපදෙස් අනුව මෙම දීමනාව ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ සමඟ අමුණා ඇති ආකෘතිය මඟින් එක් එක් ආපදාවන් සඳහා වෙන් වෙන් වශයෙන් ඉල්ලුම් කරන මෙන් කාරුණිකව දන්වන අතර ගෙවීම් කිරීමේ දී ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා පවතින නිතිරීතිවලට අනුකූලව ගෙවීම් කටයුතු කරන ලෙසටත් රාජකාරි කටයුතුවල නිරත වූ නිලධාරින් හට ගෙවීම් කිරීමේදී, එම නිලධාරින් අදාළ කාලසිමාවේදී මුදවාගැනිම්, ආපදා සහන හා පුනරුත්ථාපන රාජකාරී කටයුතුවල ඵලදායී ලෙස නිරත වූ බවට සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවීම් කටයුතු කරන ලෙසටත් වැඩිදුරටත් දන්වමි.

අපි අකමැති තත්ත්වයක් ඇතුළේ වුණත් යම් යුදමය තත්ත්වයකට රට වැටිලා – සුනිල් වටගල…

අප අකමැති තත්ත්වයක් ඇතුළේ වුවද යම් යුදමය තත්ත්වයකට රට වැටී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අද(06) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබේ.

මෑත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බිහිසුණු ක්‍රියාවලියක් දෙස බලාසිටින්නන් පිරිසක් බවට අප පත්ව ඇති බව ද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම කවුරුන්, කෙලෙස වින්දිතයන් බවට පත් වේද යන්න පුරෝකථනය කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

පසුගියදා ගාලු මුහුදු සීමාවේදී අනතුරට පත් අයිරිෂ් ඩෙනා නෞකාවේ සිද්ධිය ඊට නිදසුන් සපයන බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අවධාරණය කළේය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා,

“කරාපිටිය රෝහලට හදිසියේ භාර ගන්නට සිදුවූ වගකීම වැනි වගකීම් කවදා කොහොම කොයි ආකාරයෙන් තව කාට භාරගන්නට සිදුවේදැයි අපිට අනුමාන කිරීමට හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් අපේ රටේ ජන ජීවිතයට කළ හැකි බලපෑම අපිට කල්තියා අනුමාන කරන්න බැහැ. සැතපුම් දහස් ගණනක් ඈත තියෙන කරාපිටිය රෝහලත් මේ යුද්ධයේ දී මෘත ශරීරවලින් පිරී යන්න ගතවුණේ දවසයි. ඒ නිසයි අපි සූදානම් විය යුත්තේ. ඒ නිසයි අපි පූර්ව ආරක්ෂක උපක්‍රම භාවිත කළ යුත්තේ. හදිසි නීතිය පැනවීමෙන් අපිට අයන් ඩෝම් එකක් ලැබෙන්නේ නැහැ. හැකි පමණින් සූදානම්වීමට අවස්ථාව සැලසෙනවා”