නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙන් CIDයට පැමිණිල්ලක්….

තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය නිර්මාණය කළ හා සමාජ මාධ්‍ය හරහා එය ප්‍රචාරය කළ පාර්ශවයන්ට එරෙහිව සිවිල් හා අපරාධ නීතීය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවය.

කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මිලදීගෙන ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සිදුව තිබුණි.

අදාළ ප්‍රචාරය සම්බන්ධයෙන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙන්නේ එය සාවද්‍ය සහ අවලාදාත්මක ප්‍රචාරයක් බවය.

එම ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර පක්ෂය ද මහජනතාව ද තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට අබමල් රේණුවකින් හානියක් සිදුවන කටයුත්තක් තමා විසින් සිදුකර නොමැති බවද ඔහු පවසයි.

නීතීඥවරයෙකු ලෙස ද, දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙසද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් තමා අඛණ්ඩව කොන්දේසි විරහිතව පෙනී සිටින අතර, එම නිදහස දුෂ්ඨ ලෙස අවභාවිතා කිරීම, එය දිනාගැනීමට අනේකවිධ කැපකිරීම් සිදුකළ සියලු ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කෙරෙන අවමානයක් බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙයි.

අදාළ ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් හඳුනාගනු ලබන පාර්ශවයන්ට එරෙහිව සිවිල් නීතිය යටතේ වන්දි අයකර ගැනීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් සටහනින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

2025 දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්…..

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබේ.

අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරයි.

වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ සම්බන්ධ වෙමින්, ‘වාහන අලුත්වැඩියාව ඇතුළත් තොග සහ සිල්ලර වෙළෙඳාම’, ‘ගබඩාකරණ කටයුතු ඇතුළත් භාණ්ඩ හා මගී ප්‍රවාහනය’, ‘මූල්‍ය සේවා කටයුතු’, ‘රක්ෂණ සේවා කටයුතු’ මෙන්ම භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය වර්ධනය කිරීමට සමත්ව ඇත. තවදුරටත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට හුරුපුරුදු ආර්ථික කටයුතු වන ‘ඉදිකිරීම්’ සහ ‘පතල් හා කැණීම්’ 2025 දෙවන කාර්තුවේ දී ද සිත්ගන්නා සුළු ප්‍රසාරණයන් වාර්තා කර ඇත.

මෙම කාර්තුව තුළ ද ‘නිමවුම් කර්මාන්ත’ ආශ්‍රිත ක්‍රියාකාරකම් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර තිබේ.

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම් බව දැනුම්දෙයි….

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ අභියාචනාධිකරණයට අද (15) දැනුම් දුන්නේය.

එසේ භාරවීමෙන් පසුව සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙසත් නියෝග කළේය.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන සම්පත් මනම්පේරිගේ නීතිඥයින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මහින්ද සුළඟින් එන නාමල් සුවඳ…..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය “මහින්ද සුළඟින් නාමල් සුවඳ” ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ නිල නිවසින් ඉවත් කිරීමෙන් පසු තංගල්ලේ රැඳී සිටිමින් පාක්ෂික හමුවීම් ඇතුළු දේශපාලන කටයුතු පසුගියදා ආරම්භ කළේය.

මෙයට පෙර හිටපු ජනාධිපතිවරයාට තනතුර අහිමිවීමෙන් පසුව ”මහින්ද සුළඟ” ආරම්භ කළා සේ, මෙම නව දේශපාලන ව්‍යාපෘතිය ද දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය

BYD වාහන ගැන අධිකරණයට දැනුම්දීමක්…

රේගුව විසින් රඳවා ගැනීමෙන් අනතුරුව මේ වනවිට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටර් ධාරිතාව නිගමනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිතව තිබෙන බව නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

තමන් විසින් ආනයනය කළ BYD වාහන ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සීජී සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව මෙම දැනුම්දීම සිදුකළේය.

අලුත් 2000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්….

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පසුගිය පසුගිය මස 29 වැනි දින නිකුත් කරන ලද රුපියල් 2000සේ සමරු නෝට්ටුව සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටින බවය.

මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලබන බවද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාධ්‍යයන් හරහා මුදල් සංසරණයට අනුගත වීම සිදු වන අතර ඒ සඳහා ගතවන කාලපරිච්ඡේදය තුළ මහජනතාව දක්වන සහයෝගය ශ්‍රී ලංකා මහ බැංකුව ඉතා අගය කොට සලකනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් ඇත.

ඒ අනුව මේ සම්බන්ධව වැඩිදුර විමසීම් වෙතොත් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ඇමතීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම මගින් වැඩිදුර විස්තර ලබා ගත හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.

සහල් සඳහා පැනවූ පාලන මිල ගැසට්ටුව සංශෝධනය කරන්නේ නෑ – පාරිභෝගික අධිකාරිය…..

රට තුළ මේ වන විට පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) අදහස් දැක්වීමක් සිදු කළේය.

එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධව තොරතුරු පාරිභෝගික කටයටුතු පිළිබඳ අධිකාරියට ලැබුණු බවත් සිදුකළ සොයා බැලීමකදි එවැනි සහල් හිඟයක් සම්බන්ධව අධිකාරියට කරුණු අනාවරණය වූ බවත්ය.

කෙසේ නමුත් ගැසට් පත්‍රයක් මගින් සහල් සඳහා පාලන මිලක් නියම කර ඇති බවත් එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් පවත්නා නීතිය යටතේ අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට අධිකාරිය පියවර ගනු බවය.

මේ හේතුවෙන් ගැසට් පත්‍රයට අනුකූල ලෙස කටයුතු කළ හැකි පරිදි වී මිලදී ගැනීම් ක්‍රියාවන් සිදුකරන ලෙස මෙන්ම සහල් අලෙවි කිරීමේ කටයුතු සිදු කරන ලෙසත් තමන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා මෙහිදී අවධාරණය කරනු ලැබීය.

එමෙන්ම සහල් සම්බන්ධ වැටලීම් අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත් මේ සඳහා පාරිභෝගික නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා මෙහිදී පැවසීය.

තවද සහල් සම්බන්ධ වැටලීම් මේ වන විට 3,000ක් ඉක්මවා සිදුකර ඇතැයිද ඉන් 1,000කට ආසන්න ප්‍රමාණයකට මේ වන විට නීතිමය කටයුතු සිදුකර ඇතැයිද මිලියන 95කට ආසන්න ප්‍රමාණයක් අයකරගෙන ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් පවතින සහල් හිඟය සම්බන්ධව අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ එය පාදක කරගනිමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය සංශෝධනය කිරීමක් සිදු කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවය.

මේ හේතුවෙන් ගැසට් පත්‍රයේ සඳහන් මිලට සහල් අලෙවි කරන ලෙසත් වී මිලදී ගැනීම් සිදුකරන ලෙසත් තමන් විශේෂයෙන් සියලු පාර්ශ්ව වෙත දන්වන බවද සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට එරෙහි පෙත්සමක් විභාගයට අවසර…..

තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අතුරුදන් වූ තරුණයින්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) අවසර ලබා දුන්නේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නියෝගය නිකුත් කළේය.

ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම ජනවාරි මස 30 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය විසින් දින නියම කරනු ලැබීය…

පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි….

පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පැවති ශ්‍රී ලංකා පොලීසියේ 84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ දක්ෂතම මළල ක්‍රීඩිකාව ලෙස අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ සචිත්‍රා ජයකාන්තන්, දක්ෂතම මළල ක්‍රීඩකයින් වන ටී.ජී.එස්. විජේතුංග, ඒ.එම්.එන්. පෙරේරා,  පො.ප. හේමන්ත යන ක්‍රීඩකයින් වෙතත්, සමස්ථ අනුශුරතාව වෙනුවෙන් අගමැති අභියෝගතා පලිහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත්, සමස්ථ ශුරතාව වන ජනාධිපති අභියෝගතා පලිහ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙතත් පිරිනැමීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,

”ක්‍රීඩාව, සහභාගිත්වය සහ ජයග්‍රහණය සඳහා පමණක් නෙමෙයි, නිරෝගීමත් විනයගරුක සහ බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කර ගැනීමට අතිශය වැදගත්. ජයග්‍රහණය, කීර්තිය සහ අභිමානය ගේනවා වගේම සහභාගීත්වය විසින් නිරෝගී ජාතියක් බිහිකරමින් විනයගරුක, ශක්තිමත් පෞරුෂයක් සහ උසස් මනෝ භාවයක් ඇති මිනිසුන් නිර්මාණය කරනවා. මහජනතාව සමග කටයුතු කරන පොලිස් සේවයට විනය, පෞරුෂය වගේම යහපත් මනෝභාවයක් පැවතීම ඉතාම වැදගත්. ඒනිසා පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙල ජාතික තලයේ ක්‍රීඩකයින් බිහි කිරීමට වගේම ඔබේ වෘත්තීය ගෞරවය වර්ධනය කරගැනීමටත්,  වෘත්තීය වටිනාකම වර්ධනයටත් බලපාන බව මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව වැනි සිහින බිඳ වැටී තිබුණ රටක ක්‍රීඩාවෙන් ලබා ගත හැකි බොහෝ දේ පැවතියත් ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා පසුපසින් බව මම මතක් කරන්න අවශ්‍යයි.

අතීතයේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සැලකිය යුතු මට්ටමක පැවතුණා. නමුත් මෑත ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාව යම් පසුබෑමකට ලක්වී තිබෙනවා. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජාතියට කීර්තියක් හා අභිමානයක් ගෙන ඒමට සමත් ඒ  වගේම නිරෝගී හා විනය ගරුක පුරවැසි ප්‍රජාවක් නිර්මාණය කිරීමට සමත් ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අපේ රජයේ අරමුණක්. පොලිස් සේවාව පිලිබඳ යම් අදහසක් පැවසීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්න කැමතියි. රටේ නීතිය සහ සාමය පවත්වා ගෙන යාමේදී මහජනතාවට වඩාත් සමීප ආයතනය ලෙස පොලීසිය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්ම වන ආකාරය සමාජයට පිළිඹිඹු වන වැදගත්ම සාධකයක් වන්නේ පොලිසියේ ස්වාධීන හා කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය. නමුත් ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව ඇති පොදු මහජන මතය වන්නේ දේශපාලන හෝ වෙනත් සමාජ සම්බන්ධතාවයක් හෝ මුල්‍ය ප්‍රදානයක් නොමැතිව සේවය ලබා ගැනීමට නොහැකි ආයතනයක් ලෙසයි. ඒ මතය වෙනස් කර ගන්න ඔබේ විනය, නීතිගරුක බව සහ සාධාරණ ලෙස රාජකාරි සිදු කිරීම ඉතා වැදගත්.”

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක නිවසක් හම්බන්තොට මයුරපුරෙන් හමුවේ…..

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක් හම්බන්තොට මයුරපුර ප්‍රදේශයෙන් සොයා ගැනීමට කළුතර දිසා අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ.

මෙම නිවස පිළිබඳ අනාවරණය වී ඇත්තේ කුඩු නිලංගගේ සමීපතමයෙකු වන ඇඹිලිපිටිය සුරංග නැමැත්තා කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු කළ හෙළිදරව්වකට අනුවය.

වැල්ලවාය කිරියගොල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සම්පත් බණ්ඩාර නම් අයෙකු පිළිබඳ ඔහු හෙළිකර තිබූ අතර පානදුර අරුක්ගොඩදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන මයුරපුර නිවස පිළිබඳ සැකකරු හෙළිකර ඇති අතර එහි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අවස්ථාවේ තමන් එහි රැඳී සිටි බවත් සැකකරු පොලීසියට පවසා තිබේ.

ඉරාන ජාතිකයන් තිදෙනෙක් මෙම නිවසේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවත් පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 14ක් පමණ කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වයට විකුණු බවත් සැකකරු පවසා ඇතැයි වාර්තා වේ.

එම ඉරාන ජාතිකයන් තිදෙනා මේ වනවිට රටින් පලාගොස් ඇතැයි ද සැකකරු පවසා ඇත.

නිවස පරික්ෂා කළ අවස්ථාවේ එහි තීබි අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නේ යැයි සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හමුවී ඇති බව පොලිසිය පැවසුවේය.

එහි එක් කාමරයක් විද්‍යාගාරයක් සේ සකස් කර තිබී ඇති අතර එහි තීබි සොයාගත් ද්‍රව්‍ය අතරට මත්ද්‍රව්‍ය සැකසීමට භාවිත කළැයි සැකකෙරෙන සුදු යකඩ කල්දේරම් 04ක්, ප්ලාස්ටික් බකට් 06ක් සහ තවත් භාණ්ඩ කිහිපයක් ද අයත් වේ.

නිපදවූ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර එය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ නමට ලියාපදිංචි කර ඇති බවත් එය මීට පෙරද පොලිස් නිලධාරියෙක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් භාරයට ගෙන පසුව මුදාහැරුණු මෝටර් රථයක් බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් ක්‍රියාත්මකය.

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගිය සැප්තැම්බර් 06 වනදා සොයා ගැනුණි.

එහි සාම්පල පරික්ෂා කළ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේ ලබාගත් සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ඇතැයි තහවුරු වූ බවය.