විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති හදන්න කමිටුවක්…..

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අදාළව නීති සංශෝධනයට අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වත්මන් මැතිවරණ පහක් යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් හෝ ඒ සඳහා නීති සකස් වී නොමැති අතර, ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි අයුරින් නීතිමය ක්‍රමෝපායන් සකස් වී තිබීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව, විදෙස්ගත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරදීම සඳහා පවත්නා නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංඩල සහ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල එකඟත්වය හිමිව තිබේ.

නාමල් රාජපක්ෂ සහ සන්තෝෂ් ජා අතර හමුවක්…..

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඒ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදීය.

එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළ බවත්  ඉදිරියටත් දෙරට අතර පවතින හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීමටද බලාපොරොත්තු වන බව නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

පොලිස්පති චීන සංචාරයක….

චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඊයේ(15) රාත්‍රිය් දී පොලිස්පතිවරයා චීනය බලා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව පොලිස්පතිධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර ඇත.

ප්‍රියන්ත වීරසූරිය මහතා  චීනයේ පැවැත්වෙන සමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අදාළ සංචාරවය නිමකරමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ලබන 20 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්….

මෙරට චීන තානාපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

පසුගියදා මෙම හමුව සිදුව තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදීය.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන තත්ත්තවය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.

චීන තානාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද හමුවී ඇති බව සඳහන්ය.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට අදාළ ලියකියවිලි ලැබීමෙන් පසු නිල නිවස භාරදීමට කටයුතු කරන බව පසුගියදා පැවසීය.

GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි….

GovPay හරහා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ඩිජිටල් ගෙවීම් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පලාත බවට පත්ව තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ GovPay හරහා රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී ඇති සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගගත ගෙවීම් පිළිගැන්වීම ඊයේ (15) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වූ බවය.

ඒ අනුව GovPay හරහා පළාතක් යටතේ එන සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල් ගෙවීම් මගින් සවිබල ගැන්වූ පළමු පළාත ලෙස දකුණු පළාත පත් වනු ඇත.

මෙමගින් දකුණු පළාත පුරා විහිදී ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල 3කට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 53කට GovPay හා සම්බන්ධ තම බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ / ජංගම බැංකුකරණ සේවා මගින් හෝ GovPay හා සම්බන්ධ ඕනෑම FinTech යෙදුමක් හරහා ක්ෂණිකව මෙන්ම පහසුවෙන් සහ සුරක්ෂිතව ඕනෑම මොහොතක ඕනෑම තැනක සිට මාර්ගගත ක්‍රමයට ගෙවීම් කිරීමේ පහසුව දකුණු පළාතේ ජනතාවට සැලසී තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ මේ අනුව GovPay හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව මේ වන විට 132 දක්වා ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම මේ වසරේ පෙබරවාරි මස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කළ GovPay හරහා මේ වනවිට රාජ්‍ය සේවා 1,767ක් සඳහා රුපියල් මිලියන 110කට අධික වටිනාකමකින් යුත් ගෙවීම් සිදුකර ඇති අතර බැංකු 14ක් හා FinTech යෙදුම් 6ක් මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වී ඇති බවද එම අමාත්‍යාංශය පැවසීය.

ලෝක බැංකු නියෝජිතයෝ ජනපති හමුවෙති…..

දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පැවසීය.

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් (Johannes Zutt)මහතා ඇතුළු ලෝක බැංකු නියෝජිත කණ්ඩායම ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ ලෝක බැංකු නියෝජිතයෝ ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ද යෝජනා කළහ.

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

ශ්‍රී ලංකා රජය විසින් ලෝක බැංකුව වෙත ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ සඳහා ආධාර අනුමත කිරීම සිදුකර තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පත්වාගෙන යමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා, දූෂිත රටක් ලෙස  ජාත්‍යන්තරය තුළ ලේබල් වී තිබු ශ්‍රී ලංකාව වත්මන් රජය ගෙන යන  විනිවිඳභාවයෙන් යුත් වැඩපිළිවෙළ හේතුවෙන් ආර්ථික, දේශපාලනික හා සමාජිය වශයෙන් කෙමෙන් ස්ථාවර වෙමින් තිබෙන බවද ප්‍රකාශ කළේය.

ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ ආංශික අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen),ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා කළමනාකරු ගෙවෝර්ග් සාර්කිසියන් (Gevorg Sargsyan) යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදුලි ඉංජිනේරු සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවත් තීව්‍ර වෙයි…

ලංකා විදුලි බල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අද (16) සිට තීව්‍ර කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මෙතෙක් අකුරට වැඩ කිරීමට ගෙන තිබූ පළමු ක්‍රියාමාර්ගය ඊයේ දිනෙන් අවසන් වූ බවත් අද සිට එහි දෙවන පියවරට එළැඹීමට සිය සංගමය තීරණය කළ බවත්ය.

කෙසේ නමුත් අදාළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයන් රජයට දැනෙන අයුරින් සිදු කිරීමට සැලසුම් කළ බවය.

ඒ අනුව ඉදිරියේදී රැකියාවට අමතරව ටෙන්ඩර් කමිටු සඳහා සම්බන්ධ වීම, අනෙකුත් කමිටුවලින් ඉවත් වීමට මේ අනුව කටයුතු කරන බවත් පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ මෙමගින් අදාළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමේ පණිවිඩය රජය වෙත දන්වන බවය.

එමෙන්ම හෙට (17) සහ අනිද්දා දිනයේදී සියලු සේවකයින් කණ්ඩායම් දෙකක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත බවත් එම දින දෙක තුළ රජය විසින් ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමටද තීරණය කළ බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

කෙසේ නමුත් අදාළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු අයුරකින් කාර්යාල වැසීමක් හෝ අනෙකුත් කිසිදු ක්‍රියාවලීන් සඳහා බාධා සිදු කිරීමක් සිදු නොකරන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

රජයේ ඉදිරි ආර්ථික සැලසුම් නියෝජ්‍ය ඇමති හෙළිකරයි…

2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 6% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, ඒ සඳහා රජයේ වාර්තාගත ප්‍රාග්ධන වියදම් හරහා අර්ධ වශයෙන් දායක විය හැකි නමුත්, අයවැය සම්මත කිරීම ප්‍රමාද වීම මෙම වසරේ එහි ක්‍රියාකාරිත්වයට බාධාවක් විය හැකි බවය.

2022 දී ඇති වූ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ එන විට, නිදහසින් පසු එහි දරුණුතම තත්ත්වය වන ශ්‍රී ලාංකිකයින් සහ ආයෝජකයින් බලාපොරොත්තු සහගත විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කළේය.

2024 දී ශ්‍රී ලංකාව 5% ක ආර්ථික වර්ධනයක් වාර්තා කළේය. අයවැය සම්මත කිරීම ප්‍රමාද වීම නිසා රජයේ වියදම් මන්දගාමී වූ බැවින්, මෙම වසරේ දී එය 4% සිට 4.5% දක්වා මන්දගාමී වීමට ඉඩ ඇති බව රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අනිල් ජයන්ත මහතා පවසා සිටියේ ය.

2026 දී රජය සිය ප්‍රාග්ධන වියදම 8% කින් වාර්තාගත රුපියල් ට්‍රිලියන 1.4 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට ඇප ලබා දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මෙම වසරේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 3.3% ක් සහ 2026 සඳහා 5.2% ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

2025 දෙවන කාර්තුවේදී ආර්ථිකය වසරින් වසර 4.9% කින් වර්ධනය වූ බව සඳුදා නිල දත්ත පෙන්වා දුන්නේය.

රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්…..

රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට  ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන හඳුනාදීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි.

ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණු බවත් ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත පරිදි ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල සිටින නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය ක්‍රියාවලිය  මෙහිදී ආරම්භ විය.

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන ප්‍රකාරව LankaPay ආයතනය ඩිජිටල් අත්සන සහිතක කිරීමේ අධිකාරිය වේ.

මේ අනුව ලිපි මඟින් කටයුතු කිරීමේදී ඇතිවෙන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවන සේම වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසා ගත හැකියි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර , ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය රෝෂිණී දිසානයක, ඒ.ජී. නිශාන්ත, චිත්‍ර තිලකරත්න, ධම්මික මුතුගල, ඔමාලි විමලරත්න, මෙන්ම  ප්‍රධාන මුල්‍ය නිලධාරී ජේ. ඩී. ඒ. පී ජයසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු යූ. එල්.ඒ. නසාර්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගීගනගේ යන මහත්ම මහත්මීන් සහ ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිධාරීන් රැසක් එක සිටියහ.

හිටපු ජනපති මහින්දගෙන් සංවේදී ෆේස්බුක් සටහනක්…..

හැඟීම්වලින් රටවැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තමා කාල්ටන් නිවසට පැමිණි මොහොතේ සිට මේ දක්වා තමා වෙත පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහා සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාවය පිරිනමන බවය.

– උපුටාගැනීම –

මාගේ ජීවිතයෙන් වැඩිම කාලයක් ගෙවුනේ ජනතාව අතරය. අද ද එසේමය. ධුර කාලයක් අවසන් විය හැකිය, නමුත් ජනතා ආදරය ධුර කාලය ඉක්මවයි. එය අවසන් නොවේ. බලය ඇති දා මෙන්ම බලය නොමැති දා ද ජනතාව මහින්ද රාජපක්ෂ සමඟ සිටියහ. 

හිතවත්කම්, බැදීම් ගමේ අපිට හුරුය. කුඩා දරුවන්ගේ කතාබහ මා සතුටට පත් කරයි. කුඩා දරුවන් කතා බස් කරන්නේ හිටපු ජනාධිපති කෙනෙකු සමඟ නොවන නිසාම මෙම කතා බහ රසවත්ය. එනිසාම මම එය විඳිමි. 

හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැක. 

කාල්ටන් නිවසට පැමිණි දින සිට මේ මොහොත දක්වාම පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහ සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාව පිරිනමමි. එමෙන්ම පැමිණ සුව දුක් විමසන ආදරණීය ජනතාවට ද, දේශපාලන සගයින්ට ද, විවිධ වෘත්තිකයින්ට ද මාගේ ස්තුතිය ප්‍රකාශ කරමි. 

ජාති ආගම් භේදයක් නොමැතිව ජන බලය කේන්ද්‍ර වූ ජනතා නායකයෙකු ද, ඔබේ අසල්වැසියෙකු ද, ඔබේ සමීපතමයෙකු ද වීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙමි.

– උපුටාගැනීම අවසන් –