ශිෂ්‍යත්ව විභාගයට අදාළ නියෝගයක් කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්…..

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම කර තිබේ.

ඊට අමතරව රුපියල් මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල, එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බව නඩු තීන්දුවේ දැක්වේ.

5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළ බව චෝදනා කරමින් වග උත්තරකාර ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර තිබිණි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ……

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා  සැකකටයුතු ලෙස මිය ගොස් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසේ ආරක්ෂ කැමරා පද්ධතියේ දත්ත ගබඩාවී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාස අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම්දී තිබේ.

ඒ පිළිබඳ කරුණු වාර්තා කරමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ, එම නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියද, එහි දත්ත ගබඩාවීමක් සිදුනොවන බව විමර්ශනයේදී අනාවරණය වූ බවය.

සැකකටයුතු ලෙස මරණයට පත්වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද (14) දෙවැනි දිනටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කෙරිණි.

සිදුකෙරෙමින් පවතින විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳට අයත් නිවසක් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව ඉකුත් 12 වැනිදා සෝදිසියට ලක්කළ බවත්, එම නිවසෙහි තිබී Laptop පරිගණක 02ක් සහ ලිපිගොනු කිහිපයක් නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගත් බවත් එම නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නහ.

එහිදී “මරණකරු මියගොස් සිටි නිවසේ සියලු CCTV කැමරා දර්ශන මේ වනවිට විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත්ද” යන්න මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරියා සඳහන් කළේ, අදාළ නිවසේ CCTV කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියද, එහි දත්ත ගබඩාවීමක් සිදුනොවන බව සිදුකළ විමර්ශනයේදී අනාවරණ වූ බවය.

එබැවින් එම නිවසට අදාළව විමර්ශනයට යොදාගත හැකි CCTV දර්ශන  හමුනොවූ නමුත්, ආසන්න නිවාස 02ක CCTV කැමරා පද්ධතිවලින් 2026 මැයි 06 වැනිදා සිට මැයි 08 වැනිදා දහවල් දක්වා වූ කාලයට අදාළව ඉදිරිපස හා පැති දර්ශන ඇතුළත් CCTV දර්ශන සිය භාරයට ගෙන ඇති බව විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළේය.

එහිදී “මරණකරු රැඳීසිටී නිවසේ ප්‍රවේශ දොරටු කීයක් තිබේද?” යන්න මහේස්ත්‍රාත්වරයා යළි විමසා සිටියේය.

අදාළ නිවසට ප්‍රවිෂ්ටවීමට එක් ප්‍රවේශ දොරටුවක් පමණක් ඇති බවට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා සඳහන් කළේ, නිවසට ඇතුල්වන සහ පිටවන පුද්ගලයින් සම්බන්ධයෙන් වූ දර්ශන දැනට සිය භාරයට ගෙන ඇති CCTV දත්ත පද්ධතිය තුළ ඇතුළත් බවය.

අනතුරුව සැකකටයුතු ලෙස මියගොස් සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරික්ෂණයේ දෙවැනි දින සාක්ෂි විමසීම ආරම්භ විය.

එහිදි අරවින්ද සිල්වා මහතාගේ නිවසේ කාමරයක් තුළ කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටී දර්ශනය මුලින්ම දැක තිබූ නීතිඥ ප්‍රියන්ත අමරසිංහ මහතා සාක්ෂි ලබා දුන්නේය.

” ස්වාමිනි, 2026 මැයි මස 08 වැනිදා මම අරවින්ද සිල්වා මහතාගේ නිවසට ගියේ ඊට පෙර දින රාත්‍රියේ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කරපු දැනුම් දීමකට අනුව. පෙර දින රාත්‍රී 9.30ට විතර රියෙන්සි සර් මට කතා කරලා කිව්වා,”කපිල චන්ද්‍රසේනව අධිකරණයට ඉදිරිපත් කරන්න තියෙනවා. සර්ගේ චේම්බර් එකේ මෝෂන් එක හදලා තියෙන්නේ. උදේම ගිහිල්ලා මෝෂන් එක දාලා සර් එනකල් නඩුව Keep Down කරන්න” කියලා. ඒ වගේම “කපිල රිමාන්ඩ් වෙයි කියලා බයේ ඉන්නේ, ගිහින් කපිලව හම්බවෙලා මේ මෝසම දාන්නේ වරෙන්තුව ආපසු කැඳවන්න කියන එක පැහැදිළි කරන්න” කියලාත් කිව්වා. පස්සේ එදා රෑ 11ට විතර Mr. රියෙන්සි කතා කරන්න කිව්වා කියලා අරවින්ද ද සිල්වා මට කතා කළා. ඒ වෙලාවේ කපිලත් එතන ඉන්නවා කියලා  අරවින්ද මට කිව්වා. “31 ද 21 ද මන්දා Section එකක් ගැන කපිල හැමවෙලේම කියවනවා, ඒක කියකිය රිමාන්ඩ් වෙයි කියලා බයේ ඉන්නේ” කියලත් අරවින්ද මට කිව්වා. පස්සේ මම අරවින්දට කිව්වා “පහුවෙනිදා උදේ 7.15ට විතර එයාගේ නිවසට එන්නම්” කියලා. පහුවෙනිදා උදේ 7.15ට විතර නිවසට ගිහිල්ලා Call කරපුවාමයි අරවින්ද ඇහැරුණේ. මම නිවස ඇතුළට ගියාම අරවින්ද උඩ තට්ටුවේ ඉඳලා පහළට බහින ගමන් කියාගෙන ආවා “මම කපිලට Call කළා Answer කරන්නේ නැහැ” කියලා. පස්සේ මම කිව්වා “දොරට තට්ටු කරලා බලන්න” කියලා. අරවින්ද උඩට ගිහින් දොරට තට්ටු කරලා ඇවිල්ලා කිව්වා “දොර අරින්නේ නැහැ” කියලා. පස්සේ මමයි, අරවින්දයි, බිරිඳයි උඩට ගියා. අරවින්ද Wash Room එකට ගියාම මම ඔහුගේ බිරිඳගෙන් ඇහැව්වා “Master Key එකක් තියෙනවාද” කියලා. බිරිඳ Master Key එක ගෙනල්ලා දොර ඇරියා. එතකොට 7.35 වගේ වෙන්න ඇති. දොර අරද්දිම මම දැක්කා ඇඳේ ඇතිරිල්ල ගුලිවෙලා වගේ තියෙනවා. කවුරුත් ඇඳේ නැති නිසා වම්පස බැලුවා. එහි දොරක උඩ ටයි පටියක් වගේ එකක් එල්ලිලා තිබුණා. ඊට පහළ බිම නිල්පාට වගේ පුටුවක් උඩ තට්ටය සහිත ඔළුවක් දැක්කා. දොර උඩ තිබ්බ පටියේ කොටසක් බෙල්ලෙත් තියනවා නිරීක්ෂණය කළා. පස්සේ මම අරවින්දගේ නෝනාව අතින් පිටිපස්සට කරගෙන කාමරයෙන් එළියට ආවා. ඒ වෙලාවේ අරවින්ද එතනට ආවා. මම අරවින්දට කිව්වා “මැරිලා වගේ, දන්න ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න” කියලා. ඒක අහපුගමන් ඔහුත් බියට පත්වුණ බව මම දුටුවා. පස්සේ ඔහු Call ගද්දිත් කලබලවෙලා කියලා මට පේන්න තිබුණා “

අනතුරුව සැකකටයුතු ලෙස මියගොස් සිටී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය මුල්වරට පරික්ෂා කළ පෞද්ගලික රෝහලක වෛද්‍ය යශෝදා ලක්ෂානි ලියනගේ ද මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂි ලබාදුන්නාය.

” මැයි 08 වැනිදා උදේ 7.45ට විතර අපේ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ලද ඇමතුමකට අනුව කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක් සමඟින් මම 7.50ට විතර එම ස්ථානයට ගියා. Lawyer කෙනෙක් කියලා හඳුන්වාදුන්න කෙනෙක් අපිව එක්කගෙන ගියා නිදන කාමරයකට. ඇඳ හිස්ව තිබුණේ. වම් පස කොණේ දොරක් තිබුණා. දොර ඉදිරිපස පුටුවක් දොර පැත්තට හරවලා තිබුණා. එතැන පුද්ගලයෙක් වැටිලා හිටියා. පස්සේ මම ඒ පුද්ගලයාගේ ජීවය තියෙනවාද දැනගන්න “Signs of Life” පරික්ෂා කළා. හුස්මගැනීම නතරවෙලා මුහුණේ පැත්තක් පුටුවට තදවෙලා තිබුණේ. නාඩි වැටීමත් නැවතිලා තිබුණා. මගේ පැත්තට වැටිලා තිබුණ දකුණු අත මම උස්සලා බලනකොට බාගෙට ගල්වෙලා තිබුණා. දකුණු ඇසේ කළු ඉංගිරියාව විශාලවෙලා ස්ථිරව නොසෙල්වී තිබුණා. ඒ කියන්නේ මම පරික්ෂා කරනවිටත් ඒ පුද්ගලයා මැරිලා හිටියේ.” 

වෛද්‍යවරිය මරණකරු පරික්ෂාවට ලක්කළ මොහොත හා බැලීමේදී ඊට කොපමණ වේලාවකට පෙර මරණය සිදුවී තිබුණේද යන්න මෙහිදී සාක්ෂි මෙහෙයවූ පොලිස් නිලධාරියා විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දුන් වෛද්‍යවරිය ” පැයක් – දෙකක් ඇතුළත වෙන්න ඕනේ ” යැයි සඳහන් කළාය.

අනතුරුව අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදුන් කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසේ සේවය කළ සේවකයෙකු වන මනතුංග මුදියන්සේලාගේ සෝමදාස නැමැත්තෙකු මහේස්ත්‍රාත්වරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ, කපිල චන්ද්‍රසේන මහතා ඇප ලබා මැයි මස 06 වැනිදා බාන්ස් ප්‍රදේශයේ නිවසට පැමිණි මොහොතේ සිට මැයි මස 07 වැනිදා යළි අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට පිටව යන මොහොත දක්වා ඔහු හමුවීමට කිසිවකු නිවසට නොපැමිණි බවය.

අනතුරුව කපිල චන්ද්‍රසේන මහතාගේ බාන්ස් පෙදෙසේ පිහිටි නිවසේ සේවය කළ සේවිකාවක් වන සුබ්‍රහිම් ප්‍රමිලා නම් තැනැත්තියද සාක්ෂි ලබාදුන්නාය.

” මැයි 06 වැනිදා කපිල සර් නිවසට ආවේ සවස 05ට විතර. රෑ 08.30ට විතර කෑම කාලා අපි සනීපෙන් ඉන්නවාද, බල්ලන්ට කන්න දුන්නාද වගේ දේවල් පොඩ්ඩක් කතා කරලා ඇඟට අමාරුයි කියලා ගිහින් නිදාගත්තා. පහුවෙනිදා සවස 3.30ට විතර සර් කාර් එකෙන් ගෙදරින් ගියාට ආයේ ගෙදරට ආවේ නැහැ. අරවින්ද සර්ගේ Driver නැවත කාර් එක ගෙනැල්ලා අපේ ගෙදර දාලා මට යතුර දුන්නා. කපිල සර් රෑ 11.30ට විතර මට Call කළා. ඉස්සෙල්ලාම කිව්වේ “රෑට අදින්න ඇඳුමක් බෑග් එකකට දාන්න” කියලා. පස්සේ දෙවැනි පාර ආයෙත් Call කරලා “කන්නාඩි කුට්ටම් 02යි, බෙහෙත් ටිකයි, නිල්පාට බෙල්ට් එකකුයි දාන්න” කිව්වා. “සරම යට නිල්පාට බෙල්ට් එක තියෙනවා” කිව්වා. ඒක සර් Exercise කරන්න පාවිච්චි කරන බෙල්ට් එකක්. සර් ඒක ගන්න වාහනයක් එවනවා කිව්වා. පස්සේ වාහනයක දෙන්නෙක් ආවා. මම ඔවුන්ට එක දුන්නා. පසුදින සර් ආපු නැති නිසා මම උදේ 6.40ට විතර Call කළා. එත් සර් Answer කළේ නැහැ. සර් උසාවියට යන්න ඕන කිව්ව නිසයි මම Call කළේ. “

කපිල චන්ද්‍රසේන උසාවියට යන්න අවශ්‍ය බව පැවසුවේ කිනම් අවස්ථාවකද යන්න මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය.

පෙර දින ඇඳුම් ඇතුළු භාණ්ඩ ගෙන්වාගැනීමට ඇමතූ අවස්ථාවේදී “මට හෙට උසාවි යන්න තියෙනවා. සුදු ඇඳුමක් අයන් කරලා තියන්න” යැයි පැවසූ බවට ඇය පිළිතුරු දුන්නාය.

මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් සේවිකාව සඳහන් කළේ, මැයි මස 08 වැනිදා උදෑසන 7.25ට පමණ CID යැයි කියමින් පැමිණි 05 දෙනෙකුගෙන් යුත් පිරිසක් නිවස පරික්ෂාකිරීමේ සෝදිසි වරෙන්තුවක් පෙන්වා නිවස පරික්ෂා කළ බවය.

එහිදී “සර්, ගෙදර ඉන්නවා නේද, බොරු කියන්න එපා, ඔයාවත් ගෙනියනවා” යනුවෙන් පැවසූ බවද සේවිකාව කියාසිටියාය.

පෙ.ව. 8.15ට පමණ ඔවුන් පිටවයාමෙන් පසු තමන් කපිල චන්ද්‍රසේන මහතා මියගොස් ඇතැයි දැනගත් බවද එම සේවිකාව අධිකරණය හමුවේ සඳහන් කළාය.

මෙහිදී කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසේ සිට අරවින්ද සිල්වා මහතාගේ නිවසට කපිල චන්ද්‍රසේන මහතාගේ ඇඳුම්, බෙහෙත් සහ බෙල්ට් පටිය ඇතුළත් බෑගය රැගෙන ගිය අරවින්ද ද සිල්වා මහතාගේ රියදුරන් දෙදෙනාගෙන්ද සාක්ෂි සටහන් කරගන්න ලදී.

වැඩිදුර සාක්ෂි විමසීම මැයි 19 වැනිදා දක්වා කල් තැබුණි.

වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී…….

ශ්‍රී ලංකා රුපියල මත තිබෙන පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් අද දිනයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329 යි ශත 92ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම අගය 2023 ‍දෙසැම්බර් 27 වැනිදායින් පසු ඩොලරයක් වෙනුවෙන් මෙරට වාර්තා වූ ඉහළම මිලයි.

2022 මාර්තු 07 දක්වා රුපියල් 202.99ක ස්ථාවර අගයක පැවති පැවති අමෙරිකානු ඩොලරයේ රුපියල් වටිනාකම, 2022 මාර්තු 08 දින සිට රුපියල පා කිරීමට ගත් තීරණයත් සමගින් ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස 2022 මැයි 12 වන විට රුපියල් 377.49ක් දක්වා ඩොලරයේ විකුණුම් මිල ඉහළ ගියේය.

කෙසේවෙතත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හමුවේ ක්‍රමයෙන් රුපියල අවප්‍රමාණය පාලනය වූ අතර 2023 වසර අවසානය වන විට රුපියල් 328.77ක් දක්වාත් පහළ ගියේය.

ඉන් පසු මේ දක්වා වාර්තා වූ ඩොලරයක අඩුම විකුණුම් මිල 2024 දෙසැම්බර් 13 වෙනිදා වාර්තා වුණි.

ඒ රු. 294.49ක් ලෙසින්ය.

මෙවන් පසුබිමක 2023 ‍දෙසැම්බර් 27 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම විකුණුම් මිල අද දිනයේදි වාර්තා වී තිබේ.

ඒ රුපියල් 329.92ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව 2026 වසරේ ජනවාරි 01 සිට මැයි 08 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.6කින් අවප්‍රමාණය වී තිබේ.

රුපියල දිගින්දිගටම යළි අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා මෙලෙස කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මූල්‍ය ප්‍රතිපත්ති රාමුව අනුව විනිමය අනුපාත සකස්වීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්ත්වයක්. නමුත් මේ වසරේ අපට දක්නට ලැබෙන්නේ බාහිර තත්ත්වයන් වෙනස්වීම, හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල විතරක් නෙවෙයි, අනෙක් ඊට සමාන විනිමයත් අව ප්‍රමාණය වීම සහ අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමයි. ගෝලීය අවිනිශ්චිතභාවයයි ඊට හේතු වී තිබෙන්නේ. උදාහරණයක් විදියට ඇතැම් මාධ්‍ය අද වාර්තා කරල තිබුණා. ඉන්දීය රුපියල ඉතිහාසයේ දුර්වලම මට්ටමට දැන් පත්වී ඇතිබව. ඒක සිදුවෙලා තිබෙන්නේ ඉන්දීය සංචිත බැංකුව සතුව ඩොලර් බිලියන 700ක විදේශ සංචිත තිබියදීයි. පිලිපීන මහ බැංකුව, තායිලන්ත මහබැංකුව ගත්තොත් එම රටවල විනිමයත් අවප්‍රමාණවීමත් එක්ක ඔවුනුත් යම් මට්ටමකට මැදිහත්වෙමින් විනිමය අනුපාත නිශ්චිත මට්ටමක පවත්වාගන්න කටයුතු කරනවා. අපේ විනිමයට අද සිදුවෙලා තිබෙන්නේ ඇත්තටම බාහිර කම්පනයට මුහුණ දීමට සිදුවීමයි”

රුපියල දිගින්දිගටම අවප්‍රමාණය පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කරන ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය ඩොලර් ඉල්ලුම මත වැඩි බලපෑමක් සිදු කිරීම මේ තත්ත්වයට බලපා ඇති බවයි.

එමෙන්ම බොරතෙල් වෙළඳපොළේ අස්ථාවරත්වය හා නැව් ගාස්තු ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වි තිබේ.

ඇඩ්වොකාටා ආයතනය තවදුරටත් පෙන්වා දෙන්නේ සෘජු ලෙස ආනයනවල මිල ක්‍රමයෙන් ඉහළ යෑමටත් අපනයන ආදායම වැඩිවීමටත් මෙම තත්ත්වය බලපාන අතර , ණය ගෙවීමේදි මෙලෙස රුපියල අවප්‍රමාණය වීම යම් අවාසිසහගත බලපෑමක් ඇති කරන බවය.

අත්තනගලු ඔයේ පහත්බිම්වලට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක්……

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබී ඇති සැලකිය යුතු වර්ෂාපතනය සහ එම ද්‍රෝණිය තුළ ස්ථාපිත ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණයට අනුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

ඒ අනුව දිවයිනේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මෙම අවදානම පවතින බව සඳහන්ය.

එමෙන්ම එම පහත්බිම් ප්‍රදේශ හරහා වැටී ඇති ඇතැම් මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමේ අවදානමක්ද පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන වාහන රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇති අතර, අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙතද දැනුම් දී තිබේ.

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි – ජනතාවටත් දැනුම්දීමක්……

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද (14) පස්වරු 7.30 වනවිට ධාරා ප්‍රදේශවලට රදේශයට ලැබෙන වර්ෂාව හේතුවෙන්  දැදුරුඔය ජලාශයේ  වාන් දොරටු 2ක් යළි විවෘත කර ඇති බව වාරියපොළ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව එම වාන් දොරටු දෙක අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 1,400ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරෙමින් පවතින බව සඳහන්ය.

මේ අතර ඉඟිනිමිටිය ජලාශයේද අද පස්වරු 7.00 වනවිට වාන් දොරටු කිහිපයක් විවෘත කර ඇති බව වාරිමාර්ග ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා පවසයි.

ඒ අනුව වාන් දොරටු 2ක් අඩි 3 බැගින් සහ තවත් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 5,000ක ජල ප්‍රමාණයක් මී ඔයට මුදාහැරෙමින් පවතී.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක්ද විවෘත කර ඇති අතර, ඉන් දොරටු 4ක් අඩි 3 බැගින් සහ තවත් දොරටු 4ක් අඩි 2 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 4,400ක ජල ප්‍රමාණයක් මී ඔයට නිකුත් කෙරෙන බවද සඳහන්ය.

මේ හේතුවෙන් ඉඟිනිමිටිය සහ තබ්බෝව ජලාශවල පහළ ප්‍රදේශවල, විශේෂයෙන් මී ඔය ආශ්‍රිතව ජීවත්වන ජනතාව ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මේ අතර  නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට අද පපස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ශාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන් ගෙන ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසීය.

විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දැමිමත් සමග කෙසෙල්ගමුඔයේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවන් තව දුරටත් පැවසීය.

හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්……

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට හෙට (15) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි, හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස එම කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී තිබේ.

එමෙන්ම අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් හෙට දින පාසලට කැඳවීමෙන් වළකින ලෙස දැනුම්දී ඇත.

ශ්‍රී ලංකාවට ලබාදෙන IMF සහාය අඛණ්ඩව……

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත් වීමේ උත්සාහයන් සඳහා තවදුරටත් පූර්ණ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළිත් අවධාරණය කර තිබේ.

අද (14) පැවති මාධ්‍ය හමුවකදී IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ, මෑත කාලයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික පීඩනයක් ඇති කළ ප්‍රබල කම්පන දෙකකට මුහුණ දී ඇති බවයි.

ඇය පෙන්වා දුන්නේ ඉන් පළමුවැන්න “දිට්වා” සුළි කුණාටුව වන අතර, එය ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් එල්ල කළ ස්වභාවික විපතක් බවය.

දෙවැනි කම්පනය ලෙස මැද පෙරදිග යුද්ධයේ අඛණ්ඩ බලපෑම ඇය සඳහන් කළාය.

එවැනි අභියෝග හමුවේද ශ්‍රී ලංකාවේ ජනතාව සහ ආර්ථිකය “සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවක්” පෙන්නුම් කර ඇති බව කොසැක්  පැවසුවාය.

IMF සහාය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ මේ වනවිට ප්‍රතිඵල ලබාදීමට ආරම්භ කර ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

බලධාරීන්ගේ ශක්තිමත් කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය දියුණු වෙමින් පවතින බවද ඇය සඳහන් කළාය.

තවද, ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් ඉදිරියේදී ලබාදිය හැකි සහාය පිළිබඳව තීරණය කරන බවත්, ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා IMF තවදුරටත් දැඩි කැපවීමකින් පසුවන බවත්  ජූලි කොසැක් මහත්මිය අවධාරණය කළාය.

හැකරුන් ගැන මහබැංකු අධිපති පළමුවරට කටඅරී…..

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසු නැවත එවැන්නක් සිදුනොවිම සඳහා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සමීපව කටයුතු කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (13) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්  බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මේ සිද්ධියෙන් පස්සේ මුදල් අමාත්‍යාංශය එකක් ළඟින් කටයුතු කරනවා. කොහොමඳ මේ ක්‍රමටය ශක්තිමත් කරන්න පුළුවන්, අපේ තියෙන පලපුරුද්ද දැණුම පාවිව්චිකරලා මෙවැනි දෙයක් ඉදිරියට නොවීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා.”

ප්‍රශ්නය –   මහ බැංකුව කොහෙදී හරි Cross check වගකීමක් එනවද ?

“නැහැ. සරල උදාහරණයක් තමයි මගේ බැංකු ගිණුමෙන් අහවලාගේ ගිණුමට ගෙවන්න කියලා බැංකුවට නියෝගයක් දෙනකොට බැංකුවට තියෙන එකම දේ තමයි ගිණුම් අංකය හරිනම්, පද්ධතිය හරහා ගෙවීම් සිදුවෙනවා නම්. ගෙවීම් කරන එක. එතනින් එහාට බැංකුවට අයිති නැහැ උපදෙස් වෙනස් කරන්න. අපිත් බංකුකරු විදිහට අපිට දීලා තියෙන උපදෙස් වෙනස් කිරීමට අයිතියක් නැහැ. ගෙවීම කරාට පස්සේ ගෙවීම සිදුවෙනවා. එතකොට අනිත්පැත්තේන් ගෙවීම වුණාද නැද්ද කියන එක Statement බලන එක අපිට හැකියාවක් නැහැ. ඒක තියෙන්නේ ඔසේට්‍රේලියාවේ අදාළ ආයතනයටනම් ඒ Statement ලැබෙන්නේ ඕනේ.”

ඉන්ධන, පොහොර සහ කෘෂි යෙදවුම්වල මිල ඉහළ යාම හමුවේ ගොවීන්ට විශේෂ වැඩසටහනක් හෙට සිට…..

‍ඉන්ධන, පොහොර සහ කෘෂි යෙදවුම්වල මිල ඉහළ යාම හමුවේ ඒ සඳහා යොදා ගත හැකි විකල්ප මොනවාද යන්න සම්බන්ධයෙන් ගොවීන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් හෙට (14) ආරම්භ කිරීමට නියමිතව තිබේ.

යළ කන්නය ඉලක්ක කර ගනිමින් ‘ඉසුරු ගෙනෙන යලක්’ ජාතික කෘෂිකර්ම වැඩසටහන යටතේ ගොවීන් මෙලෙස දැනුම්වත් කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසා තිබේ.

එහි පුහුණු හා ව්‍යාපෘති අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා පවසා ඇත්තේ මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

“යල කන්නය ඉලක්ක කර ගෙන ජාතික කෘෂිකර්ම වැඩසටහන යටතේ ඉන්ධන, පොහොර සහ කෘෂි යෙදවුම්වල මිල ඉහළ යාම හේතුකොටගෙන ඒ සඳහා යොදා ගත හැකි විකල්ප මොනවාද යන්න ඒ වැඩසටහන් මාලාව ගොවීන් දැනුවත් කරනවා. ඒත් එක්කම පස් පරීක්ෂණ කරලා පොහොර යොදන විදිහ, ඒ වගේම රසායනික පොහොර භාවිතය අවම කරගෙන කොහොමද වගා කරන්නේ, අඩු පොහොර ප්‍රමාණයක්ගෙන් වැඩි අස්වැන්නක් ලබන්නේ කොහොමද, නවතම තාක්ෂණයක් කොහොමද මේ අර්බුදය හමුවේ ලබාගෙන ශ්‍රම වියදම ලබාගන්නේ, මේ සියල්ල පිළිබඳ ගොවි මහත්වරු දැනුවත් කරන ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් තමයි ‘ඉසුරු ගෙනෙන යලක්’ කියලා හදුන්වා දෙන්නේ. කවුපි, මුං, මිරිස්, ළුණු වැනි බෝග ප්‍රවර්ධනය කරලා ආර්ථිකය සවිබල ගන්වන්නත් ආනයනය සීමා කරන්නත් බලාපොරොත්තු වෙනවා මේ වැඩ සටහන තුළින්”

ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ඉඟියක්…..

ඉන්ධන පරිභෝජනය අඩුකිරීම රජයේ ඉලක්කය වන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ආදී තීන්දු තීරණවලට එළැඹුණු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීම හමුවේ මෙරට ඩීසල් ලීටරයක මිල රු 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

එහෙත් රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා රු 100ක මුදලක් වැය කරමින් රු 392ක මුදලකට ජනතාවට ලබාදීමට කටයුතු කිරීම තුළ ද සංස්ථාව පාඩු ලබමින් සිටින අතර, එය දීර්ඝ කාලීනව සිදුකළ නොහැකි බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

පෙබරවාරි මාසයේ දී අපට තෙල් අනායනයට වැය වී තිබුණේ, ඩොලර් මිලියන 98යි. මාර්තු මාසයේ දී අපිට වැයවෙලා තියෙනවා ඩොලර් මිලියන 216ක්. අප්‍රේල් මාසයේ දී අපට වැයවෙලා තියෙනවා ඩොලර් මිලියන 368ක්. මැයි මාසයේ දී අපි ගණනය කරා අපිට වැයවෙනවා ඩොලර් මිලියන 522ක්. පෙබරවාරිය හා සංසන්දනය කරලා බලද්දි 6 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් තෙල් ආනයනය සිදුවෙලා තියෙනවා. අපිට යම් අභියෝගයක් සමඟ තමා ආර්ථිකය කළමනාකරණය කරන්න වෙන්නේ. 

තෙල් වියදම බැලුවොත් පෙට්‍රෝලියම් එකෙන් කියලා තිබුණා ආසන්න වශයෙන් ඩීසල් ලීටරයක මිල රු 720ක් වෙනවා කියලා. හැබැයි ඩීසල් ලීටරයක් ලබාදෙන්නේ 392කට. අපි ආණ්ඩුවෙන් රු 100ක වැයබරක් දරනවා. එතකොට තෙල් සංස්ථාවට ලැබෙන්නේ රු 492යි. එතනත් ඔවුන්ට විශාල පාඩුවක් තියෙනවා. ඒ පාඩුව පියවා ගන්න අවශ්‍යයි. තෙල් සංස්ථාවේ විශාල පාඩුවක් ආණ්ඩුව අරන් තියෙන්නේ. ඒ පසුගිය කාලයේ ආණ්ඩු නිසි කළමනාකරණයක් නොකළ නිසා. බිලියන 84ක පාඩුවක්. සංස්ථාව භාණ්ඩාගාරයට පවරා ගෙන තියෙන්නේ. 

විදුලි බිලත් එහෙම තමා. තෙල් වැඩිවීම නිසා අද බලපෑමක් එල්ල වෙලා තියෙනවා. අපි ඒකටත් යම් සහනයක් දෙන්නම්. විදුලි බිල 18%කින් වැඩි වෙද්දි 95%කට වැඩිවීම බලපාන්නේ නැති ආකාරයකට. 5%කට වගේ තමා විදුලිබිල වැඩි වුණේ. 

නමුත් දිගටම අපිට තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙමින් පවත්වාගෙන යන්න බෑ. ඒවා කාර්යක්ෂම කරගන්න ඕනේ. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විදියට අනිත් දේවල් කළමනාකරණය කරන්න ඔ්නේ. 

ඉන්ධන පරිභෝජනය අඩුකිරීමේ ඉලක්කයක් තියෙනවා. මොකද වැඩි මිලකට ඉන්ධන මිල ඉහළ ගියාම පරණ පරිභෝජනය තිබුණොත් ඩොලර් ගලාගෙන යන ප්‍රමාණය වැඩිවෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට අපි පරිභෝජනය අඩුකිරීමේ අවශ්‍යතාවයෙන් තමා අපි යම් තීන්දු තීරණ අරන් තියෙනවා. අපි උත්සාහ කරනවා ඉන්ධන සම්බන්ධයෙන් විසඳුම් ඉක්මනින් ලබාදෙන්නම්.