විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ…..

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව ඒ බව දැනුම් දී ඇත.

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 21 වනදා නිකුත් කෙරුණි.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සඳහා අත්සන් තබා ඇත.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර තිබේ.

වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත් කෙරේ….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සඳහා වැඩබලන අමාත්‍යවරුන් තිදෙනෙක්ද එම සංචාරයට එක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා මෙලෙස එක් වැඩබලන අමාත්‍යවරයෙක් පත් කරනු ලැබ ඇත.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද, ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු , විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද පත් කර තිබේ.

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල දිවි ගමනට සමුදෙයි….

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද (23) උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දීය.

මියයන විට ඒ මහතා 56 වන වියේ පසුවු අතර, ඔහු දෙදරු පියෙකි.

නලීන් ප්‍රදීප් උඩවෙල මහතා, වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද සිය රංගන හැකියාවන් ලාංකීය ප්‍රේක්ෂකයාට උරුමකර දුන් දක්ෂ කලාකරුවෙකි.

අ.ඩො.බිලියනයක වන්දිය ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම ප්‍රතික්ෂේප කරයි….

2021 දී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල ගෙවීම   X-Press Feeders නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ප්‍රංශ පුවත් සේවය (AFP) සමග පැවති සංවාදයකදී එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ෂුමෙල් යෝස්කොවිට්ස් පවසා ඇත්තේ, මෙම වන්දිය ගෙවීමක් කළහොත් එයින් පවතීන සමුද්‍රීය සම්මුතීන්ට දැඩි බලපෑමක් ඇති කරන බවය.

එමෙන්ම සමුද්‍රීය වෙළෙඳාම්, නැව්ගත කිරීම් සහ ප්‍රවාහනය යන කටයුතුවලදී සිදුවන අනතුරු සඳහා සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව වන්දි ගෙවීම් සිදුකරණ නමුත් මෙම වන්දි ඉල්ලීම අදාළ සීමාවන් පැන ඇති බව ඔහු සංවාදයේදී පවසා ඇත.

මෙම ගෙවීම සිදුකළහොත් එය අනෙකුත් රටවලට ද වැරදි පූර්වාදර්ශයක් සපයන බවද ඔහු එහිදි පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, සිදු වූ හානීය සම්බන්ධයෙන් කනගාටු වන අතර මෙම අනතුර වෙනුවෙන් වන්දි ගෙවීම කිසිවිටෙකත් පැහැරහැරීමක් සිදුනොකර නමුත් එම වන්දි ගෙවීම් සිදුකරන්නේ අදාළ සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව සමස්ත අවසන් වන්දි ගෙවීම් මුදලක් ගණනය කිරීමෙන් පසුව බවය.

පසුගිය ජූලි මස 24 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු වූ හානිය වෙනුවෙන් අදාළ නෞකා සමාගමට අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙසට නියම කර තිබුණි.

එමෙන්ම පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 250ක් ගෙවිය යුතුය බවත් අධිකරණය නියම කළ හැකි පරිදි අනාගතයේදී “වෙනත් සහ තවත් ගෙවීම්” කිරීමටද එය සමාගමට නියෝග කර ඇති බව සඳහන් වේ.

එම වන්දි මුදල් මෙරට භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් ය.

ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබුණි.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම් ලා  තිබූ ‘එම්.වී එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ 2021 මැයි මස 20වන දාය.

නෞකාව දිගින් මීටර් 186ක් සහ පළලින් මීටර 34කි.

නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යෑම  ආරම්භ කළත් එය ගෙන යා හැකි වූයේ මීටර 500ක දුරකට පමණි.

නෞකාවේ පිටුපස කොටස ක්‍රමයෙන් මුහුදු ජලයෙන් යටවීම නිසා අතරමග එම උත්සාහය අත්හැර දැමුණි.

සායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන අඩංගු බහාලුම් 1,486ක් මේ නෞකාවේ ප්‍රවාහනය කෙරෙමින් පැවති අතර නයිට්‍රික් අම්ල මෙට්‍රික් ටොන් 25, ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 78ක් ඊට ඇතුළත් විය.

තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය උනාකූරුවේ ශාන්තගේ බවට සැකයක් – වටිනාකම රු මි 10,000කට ආසන්නයි….

තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රු මිලියන 9,888ක් පමණ බව පොලීසිය විසින් තහවුරු කර තිබේ.

එමෙන්ම සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ  අයිස් කිලෝග්‍රෑම් 420.976ක් ඇතුළුව සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 705.91ක් බව ද පොලීසිය විසින් තහවුරු කර ඇත.

මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව ද වාර්තා වේ.

මේ අතර, තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මෙම මත්ද්‍රව්‍ය, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන එක් පුද්ගලයෙකුට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වන විට අනාවරණය වී තිබේ.

විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ‘උනාකූරුවේ ශාන්ත’ නැමැති අපරාධකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අභිරහස් ලෙස මියයෑමත් සමග පොලීසියට ලැබුණු තොරතුරුවලට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමක දී ලොරි රථ 3ක සඟවා තිබූ අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගය ඊයේ (22) සොයාගනු ලැබීය.

එම මත්ද්‍රව්‍ය තොගය මෙරට තුළ එක් දිනක දී සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය ලෙස ද සැලකේ.

එම මෙහෙයුමේ දී මත්ද්‍රව්‍යවලට අමතරව ටී – 56 වර්ගගේ ගිනිඅවියක් සහ පිස්තෝල වර්ගයේ ගිනිඅවි 5ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක මළ සිරුරු දෙකක් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවක දී එම නිවස අසල නවතා තිබූ කුඩා ලොරි රථක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් සොයාගනු ලැබීය.

අදාළ නිවසේ සිටි තවත් පුද්ගලයෙකු ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්ය.

පොලීසියට ලද බුද්ධි තොරතුරකට අනුව තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේ නවතා තිබූ තවත් ලොරි රථයක් පරීක්ෂා කිරීමේ දී එම ලොරි රථය තුළ ද ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ගිනිඅවි කිහිපයක් සොයාගනු ලැබීය.

එම මෙහෙයුමෙන් අනතුරුව නැවත වරක් පොලිසීය පුද්ගල මළසිරුරු දෙකක් හමුවූ නිවසේ නවතා තිබූ තවත් ලොරි රථයක් පරීක්ෂා කර ඇති අතර එහි තිබී ද කිලෝග්‍රෑම් 400කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව වාර්තා වුණි.

මෙම මත්ද්‍රව්‍ය අදාළ නිවසේ සිට බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය බවට පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.

මියගොස් ඇති පුද්ගලයින් තිදෙනා ද එම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ පුද්ගලයින් බවට පොලීසිය සැක පළ කරයි.

ඔවුන් මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන් තවත් පිරිසක් සමග පෙරේදා රාත්‍රී මත්පැන් පානය කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනවරණය වී තිබේ.

මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) සිදුකිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථයක රියදුරෙකු සහ එහි හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මහජන ආරක්ෂක ඇමතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්…..

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (22) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු මත ඒ බව අනාවරණය වෙමින් පවතින බවය.

පසුගිය දේශපාලන සංස්කෘතිය හේතුවෙන් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය වර්ධනය වී ඇති බවත් වත්මන් ආණ්ඩුව මේ වනවිට ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, තංගල්ලේ දී විශාල මත්ද්‍රව්‍ය වැටලීම් තුනක් අද දිනයේ දී සිදුකර ඇති බව ද පැවසීය.

“අපි රටේ ජනතාවට විශේෂයෙන් කාරණයක් කියන්න ඕනේ. විශේෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දේශපාලන සබඳතා තිබෙන බවට මේ වනවිට යම් යම් තොරතුරු අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දකුණේ දේශපාලනඥයින් මෙයට සම්බන්ධ බවට. විශේෂයෙන් මහජනතාව මේ වනවිට තොරතුරු ලබාදෙමින් තිබෙනවා. පොලීසිය සක්‍රීයව රාජකාරිය ඉටුකරමින් ඉන්නවා. බුද්ධි අංශ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. මහජනතාවට අයාචනා කරනවා ඔබ දන්නා තොරතුරු පොලීසියට ලබාදෙන්න. ඒ තොරතුරු සහ පුද්ගලයාගේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා.”

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සහ අනෙක් පාතාල අපරාධකරුවන්ගෙන් මේ වනවිට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

ජාතික උද්ධමනය 1.5%ක් දක්වා ඉහළට….

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ.

2025 ජූලි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 0.7% ක් ලෙසිනි.

ජූලි මාසයේ දී 2.2% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේ දී 2.9% ක් දක්වා වැඩි වී ඇති අතර ජූලි මාසයේ දී -0.6% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේ දී 0.4% ක් දක්වා වැඩි වී ඇත.

මනම්පේරිට නවාතැන් දුන් CEB සේවකයෙක් අත්අඩංගුවට….

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින සම්පත් මනම්පේරිට නවතාන් පහසුකම් සැපයු බවට වූ චෝදනාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු කළුතර ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී බැංකු කාඩ්පත් කිහිපයක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

විදුලි සේවක වෘත්තීය සමිති අවසන් තීන්දුව බදාදා….

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති මේ වන විට ආරම්භ කර ඇති ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව එළැඹෙන බදාදා දක්වා සිදුකිරීමට තීරණය කර තිබේ.

අද (22) පැවති මාධ්‍ය හමුවකදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා ඒ බව සඳහන් කළේය.

ඔවුන් පවසා සිටියේ, සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබා නොදුනහොත් ලබන 24 වන දින ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්න්ධයෙන් තීරණයකට එළැඹෙන බවය.

“24 වනදා දහවල් නැවතත් වෘත්තීය සමිති 25 රැස්වෙලා මේ දින දෙකෙහි යහපත් සාකච්ඡාවක් නැත්නම් අපි අනිවාර්යෙන්ම අන්තිම අදියරය වන වැඩවර්ජන තීන්දුවක් අපි අනිවාර්යෙන්ම බදාදාට ගැනීමට නියමිතයි. ඒක දිනක වැඩවර්ජනයක්ද, සංඛේත වැඩවර්ජනයක්ද, අඛණ්ඩ වැඩවර්ජනයක්ද කියන එක අපි පැහැදිලිව බදාදා දින ප්‍රකාශය කරනවා.”  

තවත් කිලෝ 200ක අයිස් මත්ද්‍රව්‍ය ලොරියක් සීනිමෝදර….

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

එම ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් අද (22) උදෑසන හමුවු අතර ඒ ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මෙලෙස මත්ද්‍රව්‍ය තිබී ඇත.

මීට පෙර පොලීසිය සඳහන් කළේ, සිදුකළ විමර්ශනයේ දී එම නිවස අසල පිහිටි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් ද සොයා ගත් බවය.

මේ අතර, අද දහවල් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන්ම සොයා ගැණුනි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ ලොරි රථයක තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවය.

අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට හැකිව තිබුණි