මහින්ද බලන්න රනිල් කාල්ටන් නිවසට යයි…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදීය.

එහිදී තමන් සිරගත කළ අවස්ථාවේදී කළ කාර්යභාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පළ කළේය.

එමෙන්ම කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සැප සනීප සම්බන්ධයෙන්ද විමසා බැලීමට පියවර ගනු ලැබීය.

ආයතන 457ක නියෝජිතයින්ට කෝප් කමිටුවෙන් කැඳවීමක්…..

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අදාළ සියලු ආයතන වෙත කෝප් කමිටුවෙන් කැඳවීමක් සිදුකර තිබේ.

ලබන ඔක්තෝබර් මස 02 වන දින මෙම කැඳවීම සිදුකර ඇති බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේය.

කෝප් කමිටුවේ සිදුවන කාර්යය භාරය සහ එහි කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම කැඳවීම සිදුකර ඇත.

මේ වන විට පොදු ව්‍යාපාර පිළිබඳ කාරය සභාව හෙවත් කෝප් කමිටුවට රාජ්‍ය ව්‍යාපාර 457ක් අයත් වන අතර එම ආයතනවල ලේකම්වරුන්ට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ ආයතනවල විගණනයන් පිළිබඳව සහ ඒ වායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලිකව තොරතුරු ලබා ගැනීම මෙහිදී සිදු කිරීමට නියමිතව තිබේ.

ඔක්තෝබර් මස 02 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ජනපති අද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි….

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝහිදී අද (28) පස්වරුවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතය.

සිය තෙදින ජපාන නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඊයේ (27) දිනයේදී ජපානයට පැමිණියේය.

එහිදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා, ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ජනාධිපතිවරයාව හරසරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව ජපානයේ ඔසාකාහි පැවැත්වෙන “එක්ස්පෝ 2025” සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27) සහභාගී විය.

ඊයේ පැවති වැඩසටහන්වලින් අනතුරුව අද (28) උදෑසන Shin- Osaka දුම්රියපොළින් ටෝකියෝ බලා පිටත් වූ ජනාධිපතිවරයා අද පස්වරුවේ ටෝකියෝහිදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතය.

සිය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වීමට නියමිත අතර, ජපාන අග්‍රාමාත්‍ය  ෂිගෙරු ඉෂිබා මහතා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරු කිහිප දෙනෙක් හමු වී ද්වී-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

එමෙන්ම, ශ්‍රී ලංකා සහ ජපාන වාණිජ මණ්ඩල ඒකාබද්ධව ටෝකියෝහිදී සංවිධානය කර තිබෙන ශ්‍රී ලංකා ආයෝජන සංසදය සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටී.

සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම එක්ලක්ෂ විසි හයදහස ඉක්මවයි….

සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ විසි හයදහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරියේ වාර්තාවට අනුව සැප්තැම්බර් මාසයේ 24 වැනි දින වන විට පැමිණ ඇති සංචාරකයින් ගණන 126,379කි.

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය 37,179කි.

දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් පැමිණ ඇති අතර එම අගය 8,9.7ක් වේ.

ජර්මනියෙන් සංචාරකයින් 7,799ක්, චීනයෙන් සංචාරකයින් 7,226ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 7,049ක් ද මෙම මාසය තුළදී මෙරටට පැමිණ තිබේ.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,692,902ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය 362,774ක් බවත් එම අධිකාරියේ වාර්තාවේ සඳහන්ව තිබේ.

එමෙන්ම එක්සත් රාජධානියෙන් 160,078ක්, රුසියාවෙන් 121,452ක්, ජර්මනියෙන් 105,443ක් ද  ලෙසින් සංචාරකයින් වසරේ එම කාලය තුළදී සංචාරය සඳහා මෙරටට පැමිණ තිබේ.

රත්ගම දී මාරක අනතුරක්….

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ කාන්තාවගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ගාල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 77ක් වූ බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය ගාල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

රත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ජනතාවට වග කියන සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමති කියයි…

ජනතාවගේ සුවතාවය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය භාර ගන්නා සේම ජනතාවට වගකියන සෞඛ්‍ය සේවාවක් මෙරට ස්ථාපිත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමිනි.

රජයේ සුවපත් රටක් උදෙසා නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂය තුළදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන 100ක් ජනගත කිරීමට නියමිත අතර ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ලෙසද නම් කර තිබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ අතීතයේ පටන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග රැසක් පැවතිය බවත් එම අභියෝග ජයගෙන සුවතාවට පවත්වාගෙන යාමේ අභියෝගය ජය ගැනීමට කටයුතු කරන බවත්ය.

මේ සඳහා සියලු ප්‍රජාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය පවද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයද ලබා දෙමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ජනතාවට පහසුවෙන් සෞඛ්‍ය සේවා ලබා දීමට කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.

මෙම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන තුළ බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර සහන, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුප්ථාපන සේවා මෙන්ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායනාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමක සෞඛ්‍ය සත්කාර සේවා රාශියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම මෙම සෑම මධ්‍යස්ථානයකටම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමටද නියමිත අතර ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මූලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයන්ට සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආවේනික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතුවන සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන්ද ස්ථාපිත කිරීමට යෝජිතය.

 ගාල්ල – රවීන්ද්‍ර

ලක්ෂ 60ක් වටිනා රන් ආභරණ කොල්ලකෑ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට…

ගණේමුල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහරදී රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාළව සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විශේෂ විමර්ශනයක් ඔස්සේ මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 17ක සහ 20ක තරුණයින් දෙදෙනෙක් වන අතර ඔවුන් කැන්දලියද්දපාලුව හා ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදි මොවුන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ උණු කර සකස් කරන ලද ග්‍රෑම් 121 මිලිග්‍රෑම් 350ක් සහ ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 15ක් බර රන් කැබලි දෙකක් ද සොයාගෙන ඇත.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් තුවාල ලබා සිටි තවත් හිමිනමක් අපවත් වෙයි….

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ.

උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත.

ඒ අනුව මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම සිද්ධියෙන් තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

එම ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී අනතුරක් සිදුවූයේ පසුගිය 24 වැනිදා රාත්‍රියේය.

අනතුර සිදුවන අවස්ථාවේදී එම ඩක්කුවේ භික්ෂුන් වහන්සේලා 13 නමක් සිට ඇති බවත් වාර්තා විය.

අනතුරින් අපවත් වූ හිමිවරුන් තිදෙනෙකු විදෙස් ජාතික හිමිවරුන් වූ අතර එම හිමිවරුන් ඉන්දියාව, රුමේනියාව සහ රුසියානු රටවල වාසය කළ හිමිවරුන් විය.

ඩක්කුව කඩා වැටෙන අවස්ථාවේදී එහි සිටි භික්ෂුන් වහන්සේලා 13 නමකගෙන් දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබුණි.

නා උයන ආරණ්‍ය සෙනසුනේ අපවත් වූ හිමිවරුන්ගේ භූමදාන පූජෝත්සවය අද….

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේදී අනතුරකට ලක්වීමෙන් අපවත් වී වදාළ හිමිවරුන්ගේ දේහ පිළිබඳ භූමදාන පූජෝත්සවය අද (27) පස්වරුවේ සිදුකෙරේ.

භික්ෂූන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය, සැදැහැවතුන් ඇතුළු විශාල පිරිසක්  ආරණ්‍ය සේනාසනය වෙත පැමිණ සිටී.

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ ගමන් පහසුව සඳහා යොදාගත් ඩක්කුවක් කඩාවැටී හිමිවරු 07 නමක් පසුගිය 24 වැනිදා අපවත් වූහ.

පූජ්‍ය රුමේනියාවේ ධම්මරන්සි හිමි, පූජ්‍ය රුසියාවේ ධම්මරක්ඛිත හිමි, පූජ්‍ය ඉන්දියාවේ ධම්මගවේෂි හිමි, පූජ්‍ය නුගේගොඩ විපස්සි හිමි, පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි, පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි සහ පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි යන භික්ෂූන් වහන්සේ මෙලෙස අපවත් වූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊයේ (26) රාත්‍රියේද, සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද පෙරවරුවේද මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනය වෙත පැමිණ අපවත් වූ භික්ෂූන් වහන්සේට අවසන් ගෞරව දැක්වූහ.

මේ අතර  අපවත් වී වදාළ ඉන්දියානු සහ රුමේනියානු හිමිවරුන්ගේ දේහ එම හිමිවරුගේ ඥාතීන්ගේ ඉල්ලීම මත මහ කොමසාරිස් කාර්යාලවල සම්බන්ධීකරණයෙන් එම රටවල් වෙත වැඩම කරවීමට නියමිතව ඇත.

රුසියානු ජාතික භික්ෂුවගේ අවසන් කටයුතු මෙරටදී සිදුකිරීමට උන්වහන්සේගේ පාර්ශ්වයෙන් කැමැත්ත පළකිරීමත් සමග එම දේහය ඊයේ රාත්‍රියේ ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කෙරුණි.

ඒ අනුව අපවත් වූ මෙරට භික්ෂූන් වහන්සේ සිව්නමගේ සහ රුසියානු ජාතික භික්ෂුවගේ දේහය භූමදානය අද ප.ව. 4ට පන්සියගම සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.

සුළං බලාගාරයෙන් උණුසුම් වූ මන්නාරම….

මන්නාරම නගරයේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ ඊයේ (27) රාත්‍රියේ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව දැඩි විරෝධයක් පලකර තිබේ.

සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ මන්නාරම නගරයට රැගෙන නොඑන ලෙසට ඉල්ලීම් කරමින් ජනතාව විරෝධතාවල නිරත වූ බව සදහන්ය.

කෙසේවෙතත් පොලිස් කැරලි මර්දන කණ්ඩායම් උපයෝගී කරනගනිමින් මන්නාරම නගරය වෙත සුළං බලාගාරට අවශ්‍ය ටර්බයින් හා අනෙකුත් උපකරණ රැගත් වාහන රැගෙන ඒම සිදුකළ බව සදහන් වෙයි

මන්නාරම දූපත සීමාවේ සුළං බලාගාර ඉදිකිරීම නතර කරන ලෙසට හා මන්නාරම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැනීම නවත්වන ලෙසට ඉල්ලීම් කරමින් මන්නාරම ජනතාව අඛණ්ඩව 55 වන දිනටත් ඊයේ මන්නාරම නගරය මධ්‍යයේ විරෝධතාවල නිරත විය.

කෙසේවෙතත් සුළං බලාගාරයට අවශ්‍ය ටර්බයින් හා අනෙකුත් උපකරණ රැගෙන ඒමත් සමග එම විරෝධතා උත්සන්න වූ අතර, උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණි.

එහිදී විරෝධතාකරුවන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, ජනතාව චෝදනා කරන්නේ පොලීසිය විසින් එම පහරදීම් සිදුකළ බවය.

සිදුවීම සම්බන්ධයෙන් මන්නාරම පොලීසියෙන් සිදුකළ විමසීමේදී පැවසුවේ මන්නාරම නගරය වෙත සුළං බලාගාර ඉදිකිරීමේ උපකරණ රැගෙන එන අවස්ථාවේ ජනතාව පිරිසක් විරෝධතාවක් පැවැත්වූ බවය.

එහිදී පොලීසිය මැදිහත්ව තත්වය පාලනය කළ බවත්, කිසිදු අවස්ථාවක සිවිල් වැසියන්ට පහරදීමක් සිදු නොකළ බවත්ය.

මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් වන ගැටලුව වෙනුවෙන් මන්නාරම ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පසුගිය අගෝස්තු 13 වැනිදා සාකච්ජාවක් ද පැවැත්වීය.

එහිදී මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් නැවත සළකාබලන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුවත්, අදාළ පොරොන්දු ඉටුකිරිමට කටයුතු නොකළ බවයි.

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් වැසි සමයේ නගරයේ වැසි ජලය ගලාගෙන යාමට නොහැකි වන බවත්, ඒ හේතුවෙන් මන්නාරම නගරයේ බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්ව හටගන්නා බවත් විරෝධතාකරුවන් පැවසීය.