ශ්‍රමදානයක් අතරතුර රෝගී වූ දරුවන් 40ක් රෝහලට…..

මැදිරිගිරිය මණ්ඩලගිරිය ජාතික පාසලේ සිසු දරු දැරියන් 40කට අධික පිරිසක් ශ්‍රමදානයක් අතරතුර හදිසියේ රෝගීවීම හේතුවෙන් අද (30) උදෑසන මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

උදෑසන පාසලේ පන්ති කාමර අවට පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මෙම දරු දැරියන් කැසීමේ රෝග ලක්ෂණ ඉස්මතු කර ඇති අතර, පසුව ඔවුන්ගේ කිහිපදෙනෙකුට මෙම රෝග ලක්ෂණ කැපී පෙනීම හේතුවෙන් රෝහල්ගත කර ඇත.

මේවන විට දරුවන් පස් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරින් අනෙක් දරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධව මේ වන විටත් පාසලේ විදුහල්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයෙන් සරසවි කටයුතු අඩාළයි…..

තම ගැටලුවලට රජයෙන් විසඳුම් නොලැබුණු බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද (30) සියලු විශ්වවිද්‍යාලවල එක්දින වැඩවර්ජනයක නිරත වේ.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල දේශන ඇතුළු කටයුතු ක්‍රියාත්මක කෙරුණේ නැත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැරයාම මෙන්ම ඔවුන් නිසි ලෙස බඳවා නොගැනීමේ පසුබිම තුළ මතුව ඇති ආචාර්යවරුන්ගේ හිඟය, වැටුප් ගැටලුව, විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් වැඩිදියුණු නොවීම, පර්යේෂණ වෙනුවෙන් වන ප්‍රතිපාදන තවදුරටත් පහළ මට්ටමක පැවතීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන්නේ තම ගැටලු පිළිබඳව අවස්ථා ගණනාවකදී රජයේ බලධාරීන් සමග සාකච්ඡා කළද මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් ලැබී නොමැති බවය.

එක්දින වැඩවර්ජනය හේතුවෙන්, කොළඹ, පේරාදෙණිය, රුහුණ, රජරට, යාපනය ඇතුළු දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක දේශන පැවැත්වීම ඇතුළු සියලු අධ්‍යයන කටයුතු අඩාල වී තිබේ.

මේ අතර, තම ගැටලුවලට කඩිනමින් විසඳුම් දෙන්නැයි ඉල්ලා ආචාර්යවරුන් අද දහවල් විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත වුණි.

ජනපති අනුර ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතයි….

ජපන් – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේ පැවති ජපන්- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමිනි.

විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී පැවති මෙම හමුවට ජපානයේ  ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ 200 කට ආසන්න පිරිසක් එක්ව සිටී අතර ජපාන බාහිර වෙ‍ෙළඳ සංවිධානය (JETRO), ආර්ථික, වෙ‍ෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (METI), සමඟ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාර සහයෝගීතා කමිටුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) එක්ව මෙය සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ජාතික ඩිජිටල්කරණය ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා රජයේ උපායමාර්ගික මුලපිරීම් පෙන්වා දී ඇත.

දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) වැනි ක්ෂේත්‍රවල වර්ධනය සඳහා පවතින අවස්ථා පෙන්වා දුන්නේය.

මීට අමතරව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් ජපන් ආයෝජන සඳහා ප්‍රමුඛතාවය දී ඇති ප්‍රධාන අංශ වන නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී පැහැදිලි කරන ලදී.

එමඟින් ශක්තිමත් ප්‍රතිපත්තිමය සහාය සහ විධිමත් ක්‍රියාවලීන් හරහා ආයෝජන අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාවේ සූදානම අවධාරණය කෙරිණ.

ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිතයින් සහ ජපන් ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් අතර කේන්ද්‍රීය ජාලකරණ සැසියක්ද මීට සමගාමීව පැවැත්විණි.

මීට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ JETRO හි සභාපති ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko) මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සම්බන්ධතාවය සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සඳහා දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර පාලමක් ලෙස කටයුතු කිරීමට ඇති කැපවීම JETRO හි සභාපතිවරයා මෙහිදී නැවත තහවුරු කළේය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්…..

අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ඔක්තෝබර් මස 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරුට බන්ධනාගාර රෝහලේ දී සහ වෙනත් රෝහල්වලදී ලබා දුන් ප්‍රතිකාර පිළිබඳ පූර්ණ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරවරයාට නියම කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර රුපියල් 8,850,000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින්  පොදු දේපළ  පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති ජාතික තත්ත්ව යටිතල පද්ධතියක් ඉදිරියේදී…..

ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති ජාතික තත්ත්ව යටිතල පද්ධතියක් ඉදිරියේ දී සංවර්ධනය කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය  සමඟ සහයෝගීතාවෙන් හා යුරෝපා සංගමයේ තාක්ෂණික දායකත්වයෙන් සංවිධානය කළ නියාමන බලපෑම් ඇගයීම සහ ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතිය ශක්තිමත් කිරීම හා සංවර්ධනය පිළිබඳ දෙදින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට ඊයේ (29) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් ලෙස ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතිය සංවර්ධනය කිරීම වෙනුවෙන් 2025 වර්ෂයට අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබේ.

ඹෟෂධ, ආහාර ඇතුළු මෙරට නිපදවන භාණ්ඩ හා සේවාවන්හි ප්‍රමිතිය ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම මෙන්ම ආනයන හා අපනයන භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම වෙනුවෙන් ගුණාත්මක යාන්ත්‍රණයක් නිර්මාණය මින් ආපේක්ෂා කරනු ඇත.

ප්‍රමිතීන්, නිවැරදි මිනුම්, අනුකූලතාව සහ සහතික කිරීම යන මූලික ස්ථර හතරක් මත මෙම පද්ධතිය පෙළගස්වා ඇති අතර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීම හා සම්බන්ධකරණයෙන් කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය සහ පේෂකර්ම දෙපාර්තමේන්තුව මෙම වැඩසටහනට දායකත්වය දෙන සෙසු ආයතන ලෙස නම් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ අපනයන ආර්ථිකයක් සංවර්ධනය කිරීම රජයේ ඉලක්කය වන බවත් එම කාර්යයේදී නිවැරදි ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අනුකූලතාවන් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය වන බවය.

ඒ සඳහා වර්තමානයේ භාවිත කරන ක්‍රමවේදයන්ට වඩා දියුණු හා ඉහළ පිළිගැනීමක් ඇති ගුණාත්මක තත්ත්ව පද්ධතියක් සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 750ක් වෙන් කර ඇති බවත් ඒ හරහා වගකිව යුතු ආයතනවල පරීක්ෂණාගාර උපකරණ ඇතුළු පහසුකම් සංවර්ධනය කිරීමටද බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

හක්කා පටස් සහ චීන පටස් සොයා දිවයින පුරා මෙහෙයුම්….

නීතිවිරෝධීව නිෂ්පාදනය කරනු ලබන හක්කා පටස් සහ චීන පටස් භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, රතිඤ්ඥා හා ගිනිකෙළි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවලට නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය භාවිත කරමින් හක්කා පටස් සහ චීන පටස් නැමති නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සිදුකරනු ලබන බවට තොරතුරු ලැබී ඇති බවය.

වගාබිම්වලින් වනසතුන් පළවා හැරීම සඳහා බහුලව භාවිතා වන මෙම නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය මඟින් පසුගිය කාල සීමාව තුළ පුද්ගල මරණ කිහිපයක් ද වාර්තා වී තිබේ.

ඊට අමතරව මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් සැලකිය යුතු පාරිසරික සහ සංරක්ෂණ අභියෝග ද මතුවී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දෙයි.

මේ වන විටත් තහනම් කර ඇති හක්කා පටස් සහ චීන පටස් නැමැති මෙම පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධ ක්‍රියාකාරකම් තවදුරටත් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බැවින් එම ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

පොලීසිය සමඟ ඒකාබද්ධව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම නීතිවිරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

එමෙන්ම රතිඤ්ඥා සහ ගිනිකෙළි නිෂ්පාදනයේ නියැලී සිටින පුද්ගලයින් මින් ඉදිරියට මෙවැනි නීතිවිරෝධී නිෂ්පාදන කටයුතුවල නියැලී සිටින බව හෝ ඒ සඳහා ආධාර අනුබල දී ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට නිකුත් කර ඇති රතිඤ්ඥා සහ ගිනිකෙළි නිෂ්පාදන බලපත්‍ර අවංලගු කිරීමට ද කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්….

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී අද (30) සිට බලපැවැත්වෙන පරිදී නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස අද සිට මෙම ක්‍රියාවලිය ආරම්භ කරන බවත් රියදුරු බලපත්‍රයේ යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය නොවන්නේ නම් තාවකාලික රියදුරු බලපත්‍රය එම ආයතනයෙන් ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොළඹින් සැකකටයුතු මළසිරුරු දෙකක් – පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි….

සැකකටයුතු මළසිරුරු දෙකක් කොළඹ ප්‍රදේශ දෙකකින් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ එක් සිරුරක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමෙන් සහ අනෙක් සිරුර දෙහිවල පොලිස් වසමෙන් හමු වූ බවය.

ඊයේ (29) සවස් කාලයේ ග්‍රෑන්ඩ්පාස්, ඉඟුරුකඩේ හන්දිය අසල ඇති ජාඩි ඇලේ තිබී එක් මළසිරුරක් හමු වී ඇති අතර පොලීසිය පැවසුවේ මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර එම සිරුර වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකුගේ බවය.

එමෙන්ම එම පුද්ගලයා අඩි 05 අඟල් 04 ක් පමණ වන බවත් කළු පැහැති කොට කලිසමක් හා උඩු කයට කළු පැහැති ටීෂර්ට් එකක් හැඳ සිට ඇත.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අනෙක් සිරුර ඊයේ රාත්‍රියේ දෙහිවල, සිරිවර්ධන පාර ප්‍රදේශයේ නිවසකින් හමු වී ඇත.

එම සිරුරද පිරිමි පුද්ගලයෙකුගේ වන අරත මරණකරු වයස අවුරුදු 23 ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර ඇති අතර දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මට්ටක්කුලියේ සිදුකළ වැටලීමකින් තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී….

හැෂ් මත්ද්‍රව්‍ය, හෙරොයින් හා මත්පෙති සමඟ සැකකරුවෙකුව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29) දහවල් කාලයේ මට්ටක්කුලිය පොලිස් වසමේ සිරිවර්ධන පාර ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත.

එහිදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 33 ග්‍රෑම් 270 ක්, හෙරොයින් ග්‍රෑම් 408 ක්, මත්පෙති 200 ක් හා විකිණීම සඳහා සකස් කර තිබූ හෙරොයින් (චරස්) කෑලි 7,400 ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන මට්ටක්කුලිය පොලිස් ස්ථානය  වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරු වයස අවුරුදු 38 ක් වන සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතයෙකු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මෙරට අපරාධවලට සම්බන්ධ තිදෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට…..

මෙරට අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුව ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරේෂ් හසන්ක, සුගත් සමින්දු සහ දිලීප් හර්ෂණ යන අය බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත.

මෙම සැකකරුවන් තිදෙනා මෙරට අපරාධවලට සම්බන්ධ වී පසුගිය වසරේ දී ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වී ඇති බව සඳහන් වේ.