IOC ඉන්ධන වර්ග කිහිපයක මිල යළිත් ඉහළට…

අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා  IOC සමාගම ඉන්ධන වර්ග කිහිපයක මිල යළි තවදුරටත් ඉහළ නංවා තිබේ.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 572ක් දක්වාද ඉහළ දමා තිබේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 487ක් දක්වාද ඉහළ නැංවීමටද පියවර ගෙන ඇති අතර එමෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල 398කි.

මේ අතර Xtra Green Diese මිල රුපියල් 588ක්ද, XtraMile Diesel මිල 551ක්, මෙන්ම XtraPremium පෙට්‍රල් මිල 465ක් ලෙසද ඉහළ දැමීමට ලංකා IOC සමාගම පියවර ගෙන තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් කෘෂි ක්ෂේත්‍රයටත් දැඩි බලපෑම්….

ඉන්ධන මිල ඉහළ දැමීම කෘෂි ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ගොවි සංගම් පෙන්වා දෙයි.

කැප්පෙටිපොළ එළවළු වෙළෙඳුන් පවසන්නේ එළවළු තොග ප්‍රවාහනය සඳහා වැය වෙන මුදල ඉහළ ගොස් ඇති බවය.

එබැවින් ඇතැම්විට ඉදිරියේ දී උඩරට එළවළු වෙළෙදාම සම්පුර්ණයෙන්ම අඩපන විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර සහල් නිෂ්පාදකයන් පවසන්නේ සහල් මිලද ඉදිරියේදී ඉහළ දැමීමට සිදුවන බවය.

සහල් නිෂ්පාදනයේ දී මෙන්ම ප්‍රවාහනයේදී ද ඉන්ධන මිල ඉහළ යාම දැඩි ලෙස බලපෑම් ඇති කරන බව ඔවුන් පවසයි.

එබැවින් ඉදිරියේදී සහල් කිලෝවක මිල ද රුපියල් 10කට වැඩි මිලකින් ඉහළ දැමීමට සිදුවන බව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට එකඟතා…..

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටය ඊයේ (20) කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

මේ සඳහා අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා සහ බ්‍රසීලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් ලේකම්, තානාපති සුසන් ක්ලිබෑන්ක් එක්ව ඇත.

මෙහිදී එළැඹෙන 2030 වන විට ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

තවද පරිණාමය වෙමින් පවතින ගෝලීය ආර්ථික වෙනස්වීම්වලට ප්‍රතිචාර ලෙස සම්බන්ධතා පුළුල් කිරීමේ වැදගත්කමද මෙහිදී දෙපාර්ශ්වය විසින් අවධාරණය කරනු ලැබීය.

සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍රවල අපේක්ෂිත අවබෝධතා ගිවිසුම් සහ ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමේ වැදගත්කම හඳනා ගනිමින් ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීම, මිනිස් ජාවාරම සහ ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මැඩපවැත්වීම, සාම්ප්‍රධායික සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව පිළිබඳ ප්‍රධාන නීතිමය මෙවලම් අවසන් කිරීමට ඇති කැපවීම පාර්ශ්වයන් ප්‍රකාශ කළහ.

තාක්ෂණික සහයෝගීතා රාමුව යටතේ කිරි පශු සම්පත් ව්‍යාපෘතිය සහ උක් ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත් බ්‍රසීල සහයෝගීතා ඒජන්සියේ සහාය ඇතිව නුරුදු අනාගතයේදී ඒ සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දෙපාර්ශ්වය සතුට පළ කළහ.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර‍ ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ….

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ හමුවක් පැවැත්විණි.

එම හමුව පසුගිය බදාදා (18) ටෝකියෝ නුවර පිහිටි එරට ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදී.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සහ ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්පිරෝ කොයිසුමි මහතා අතර මෙම හමුව පැවැත්වී ඇති අතර, සමුද්‍රීය ආරක්ෂාව, ආපදා කළමනාකරණ හැකියාවන් සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය වර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.

මෙහිදී “නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික්” දැක්ම යටතේ කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම ජපාන පාර්ශවය විසින් අවධාරණය කර ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ජයසේකර මහතා, ඉන්දීය සාගර කලාපයේ ශ්‍රී ලංකාව සතු භූගෝලීය වැදගත්කම සහ සමුද්‍රීය ආරක්ෂාව සුරැකීමේ කාර්යභාරය අවධාරණය කරමින්, ජාත්‍යන්තර නීති සහ සම්මුතීන්ට අනුකූලව කලාපීය සාමය සඳහා කැපවී සිටින බව පෙන්වා දී ඇත.

එමෙන්ම, මෑතකදී ජපාන සමුද්‍රිය ස්වයං ආරක්ෂක බළකායේ JS Onami නෞකාව කොළඹ වරායට පැමිණ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වූ නාවික අභ්‍යාසය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ඉදිරියේදී ඒකාබද්ධ නාවික අභ්‍යාස, නෞකා සංචාර, පුහුණු වැඩසටහන් සහ මානුෂීය ආධාර හා ආපදා සහන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇත.

ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති තාක්ෂණික සහාය, විශේෂයෙන් සමුද්‍රීය ආරක්ෂාව සහ කාලගුණ අනාවැකි පද්ධති ශක්තිමත් කිරීම සඳහා දායක වූ වැඩසටහන් පිළිබඳවද මෙහිදී කෘතඥතාව පළ කර තිබේ.

ජනාධිපති හා පක්ෂ නායකයින් අතර හමුවක්….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

ඊයේ (20) පස්වරුවේ මෙම පක්ෂ නායක හමුව පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම හමුවේදී මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් මතුවී තිබෙන බලශක්ති අර්බුදය සහ එය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට මෙන්ම ආර්ථිකයට ඇති කරන බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.

එමෙන්ම, එම අර්බුදයට මුහුණ දීම සඳහා රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයින්ට පැහැදිලි කර ඇත.

මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රාවුෆ් හකීම් මහතා, මනෝ ගනේෂන් මහතා ඇතුළු පක්ෂ නායකයින් රැසක් සහභාගී වූහ.

ජනතාවාදී රජයක් ගොඩනැගීමට එජාපය සහ සජබ එක්වෙනවා – සජිත්….

ජනතාවාදී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකට එකතුවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 84 වන ජන්ම දින සැමරුමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙරට කෘතහස්ත දේශපාලඥයෙකු වූ දිවංගත ගාමිණි දිසානායක මහතාගේ 84 වන ජන්ම දින සැමරුම ඊයේ (21) පස්වරුවේ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට ගාමිණි දිසානායක පිළිරුව අභියසදී සිදු කෙරුණි.

මහා සංඝරත්න ඇතුළු ආගමික නායකයින් හා දේශපාලන නියෝජිතයින් පිරිසක් සහභාගි වූ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“පොදුජන කඳවුර ශක්තිමත් කිරීමට කාලය එළඹිලා තිබෙනවා. පොදුජන න්‍යාය මත පදනම් වුණු දැවැන්ත එකතුවකට සමගි ජන බලවේගයත් එක්ක එක්සත් ජාතික පක්ෂයත් මුල පුරනවා. අවසානයේ ජයග්‍රහණය කළ යුත්තේ පොදු ජනතාවමයි” 

මඩකලපුවේ පාළු ළිඳකින් හමුවූ කාන්තාවගේ දියණිය වෙල්යායකින් හමුවෙයි…

මඩකලපුව නෙල්ලික්කාඩු ප්‍රදේශයේදී පාළු ළිඳක වැටී සිටියදී කාන්තාවක් සොයාගත් සිද්ධියේ තවත් කරුණු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.

ප්‍රදේශවාසියෙකුට එම ළිඳ තුළින් ඇසුණු කෙඳිරිලි හඬක් හේතුවෙන් සිදුකළ සෝදිසියකදී අදාළ කාන්තාව ඊයේ (20) හමුවිය.

මේ වනවිට එම කාන්තාව මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත්කර, හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

වයස අවුරුදු 26ක්වූ එම කාන්තාව කිසියම් පිරිසක් පසුගිය 19 වැනිදා ඇය පැහැරගන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

එම කාන්තාව පැහැරගන්නා අවස්ථාවේ දිවි බේරාගෙන පලාගොස් සිටි ඇගේ දියණිය කොතියපුලෙයි වෙල්යායේ සිටියදී සොයාගෙන ඇත.

ඇයද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

මේ අතර අදාළ කාන්තාව මුදාගන්නා අවස්ථාවේදී එම ළිඳ තුළ තිබී සොයාගත් කාන්තා මළ සිරුර මේ වනවිට මඩකලපුව ශික්ෂණ රෝහලේ තබා තිබේ.

එහි පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, කොක්කඩිචෝලෙයි පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

දින 3ක් තුළ මෙරට රත්‍රං මිල සීඝ්‍රයෙන් පහළට…..

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලේ සීඝ්‍ර පහළ යෑමක් හේතුවෙන් මෙරට රන් වෙළෙඳපොළ තුළ ද දින තුනක් ඇතුළත සැලකිය යුතු මිල අඩුවීමක් වාර්තා වී තිබේ.

ඒ අනුව බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ අද (21) යන දිනවලදී සමස්තයක් ලෙස රන් මිල රුපියල් 29,000කින් පමණ පහළ ගොස් ඇත.

පෙරේදා 19 දින රන්මිල රුපියල් 13,000කින් පහළ ගොස් ඇති අතර, ඊයේ (20) රුපියල් 6,000කින් සහ අද දින තවත් රුපියල් 10,000කින් අඩුවී තිබේ.

මෙම අඩුවීමට ප්‍රධාන හේතුව ලෙස ලෝක රත්‍රං මිල ඩොලර් 5,000 සීමාවෙන් පහළට වැටීම බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයට ඇති බලපෑම්, ආයෝජන ක්‍රියාකාරකම් අඩාල වීම සහ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමද රත්‍රං මිල පහළ යාමට බලපා ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය තාවකාලික එකක් වන අතර, තෙල් මිල ස්ථාවර වූ පසු රත්‍රං මිල නැවත ඉහළ යාමේ හැකියාවක් පවතින බවය.

ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට….

ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු පයාගල මැටියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බවය.

සැකකරුවන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර් වර්ගයේ ගිනිඅවි දෙකක්, උණ්ඩ 10ක් සහ අත්විලංගුවක් සොයා ගෙන තිබේ.

ඔවුන් 55 හා 61යන වයස් සීමාවේ පසුවන පයාගල සහ කලගෙඩිහේන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය පැවසීය.

ගාල්ල බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසිකිරීමට ගිය අයෙකු අත්අඩංගුවට….

ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසි කිරීමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ගාල්ල කන්දේවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑස් 2යි මිලිග්‍රෑම් 590ක් සොයාගෙන ඇත.

ඊට අමතරව දුම්කොල ග්‍රෑම් 110ක්, දුම්කොල නැටි ග්‍රෑම් 540ක්, ජංගම දුරකථන 4ක් සහ ජංගම දුරකතන චාජර් 23ක් සොයාගත් බව සදහන්ය.

අදාළ ද්‍රව්‍ය ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට විසි කිරීම සඳහා සූදානම් කර තිබූ බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි වියේ පසුවන ගාල්ල කන්දේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.