ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ….

මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදුනොවේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645කි.

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්….

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව අත්සනින් එම නිවේදනය නිතුක් කර ඇත.

2023 මාර්තු මස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ නියුතු උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත ව තිබු තරග විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩු කටයුතු කිහිපයක් මේ වන විට අවසන්ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එහෙත් අභියාචනාධිකරණයේ විභාග වන නඩු කටයුත්ත මේ වන විටත් අවසන් ව නොමැති හෙයින් එම නඩුවේ ද තීන්දුව ලබා දීමෙන් පසුව ඉහත විභාගය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවකට චෝදනා භාරදෙයි…

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (01) සංශෝධිත අධිචෝදනා පත්‍ර භාරදුන්නේය.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම සංශෝධිත අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ භාරදීම සිදුවුණි.

සංශෝධිත අධිචෝදනා පත්‍රය යටතේ මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු ලෙස හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ බව කියන අනුර සෙනෙවිරත්න නමැත්තෙකු නම් කරන බවත් පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නේය.

එම විත්තිකරුට අදාළ චෝදනා භාරදීම සඳහා මෙම නඩුව යළි ඔක්තෝම්බර් මස 29 වනදා කැඳවන ලෙසත් විසුරුවරයා නියම කළේය.

මාස 08ට ඩොලර් බිලියනයක වාහන ගෙන්නලා…

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී, මෙරටට වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025 අගොස්තු විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

මෙහිදී මෙම වසරේ තනි මාසයක් තුළ සිදුකළ වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වන අතර එය ඩොලර් මිලියන 255.7ක් වේ.

2025 වසරේ මේ දක්වා එක් එක් මාසය තුළ දී මෙරටට වාහන ආනයනය සඳහා දරා ඇති වියදම පහතින් දැක්වේ.

(ඩොලර් මිලියන වලිනි)

ජනවාරි  – 29.1

පෙබරවාරි – 22.3

මාර්තු – 54.0

අප්‍රේල් – 145.6

මැයි – 125.2

ජූනි – 169.6

ජූලි – 206.0

අගෝස්තු – 255.7

කෙහෙළිය පවුලට එරෙහි නඩුවට දින දෙයි….

රුපියල් මිලියන 97කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (01) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙහිදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන 12ක් මේ දක්වා පැමිණිල්ල විසින් තමන්ට ලබාදී නොමැති බව කියා සිටියේය.

අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව හදිසියේ අධිචෝදනා පත්‍ර ගොනුකළත් ඊට අදාළ ලේඛන විත්තියට භාරදීමක් නොකරන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙය වැරදි පූර්වාදර්ශයක් බවත් සඳහන් කළේය.

ඒ අනුව නඩු විභාගයට මුහුණදීම සඳහා තම සේවාදායකයාට ලේඛන 12ක් අවශ්‍ය තිබෙන බවත් ඒවා මෙතෙක් ලැබී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන පිළිබඳ සොයා බලා ඒවා කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළාය.

විත්තිය විසින් ඉල්ලා සිටින ඇතැම් ලේඛන මේ වනවිටත් පැවැත්වෙන විමර්ශනවලට අදාළ වන බවත් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ, නඩු විභාගය සඳහා එම ලේඛන විත්තියට ඉතා වැදගත් බවය.

ඒ අනුව අදාළ ලේඛන කඩිනමින් විත්තිය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වෙත දැනුම් දුන් විනිසුරුවරයා මෙම නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 15 වනදා කැඳවන ලෙස නියම කළේය.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යංශවල කටයුතු කළ සමයේ අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

අණ නොතැකූ වෑන් රථයට පොලීසියෙන් වෙඩි…..

නිට්ටඹුවේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් ලුහුබැඳ ගොස් පොලීසියෙන් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (01) අලුයම 1.15ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ කොට්ඨාශ පොලිස් යතුරුපැදි ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් නිට්ටඹුව – කටුනායක මාර්ගයේ උදම්මිට හංදියේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිට තිබුණි.

පසුව සැකකටයුතු ලෙස වේයන්ගොඩ දෙස සිට නිට්ටඹුව දෙසට වෑන් රථයක් ගමන් කර තිබේ.

අදාළ වෑන් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් සංඥා කිරීමේ දී වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරීන් වෑන් රථය පසුපස හඹා ගොස් නිට්ටඹුව නගරයේ ආලෝක සංඥා වැටී තිබිය දී වෑන් රථයේ ඉදිරිපස හා පිටුපස දකුණු ටයරයට ටී 56 ගිනිඅවියෙන් වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

අනතුරව වෑන් රථයේ සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධික ලෙස බීමතින් සිට ඇති බවත් පොලීසිය පැවසීය.

එහි රියදුරු ලෙල්ලොපිටිය පදිංචිකරුවෙකු බවත් සෙසු පිරිස රත්නපුරේ පදිංචිකරුවන් බවත් අනාවරණය වී තිබේ.

සැකකරුවන්ට තුවාල ඇත්තැයි පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙතයොමු කර ඇති අතර, සැකකරුවන්ව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වෑන් රථය නතර කිරීමෙන් අනතුරුව එහි රියදුරුව පොලිස් නිලධාරීන් විසින් මහ පාරේ දණ ගස්වා සිටින අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ද අද දෙරණට ලැබී තිබේ.

ජපන් සංචාරය නිමකරමින් ජනපති දිවයිනට….

ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 22 වන දින දිවයිනෙන් පිටව ගියේය.

පසුව ජපාන රජයේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 27 වනදා පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු  එක්ව සිටියහ.

ඒ අනුව සංචාරය නිම කරමින් ඔවුන් සියලුදෙනා අද උදෑසන 09.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

වෙහෙරගල ජලාශයෙන් ආයුධ ගෝනි 2ක් ගොඩගනී…..

කතරගම වෙහෙරගල ජලාශයේ තිබී T.56 මැගසින් 74 ක්, LMG ඩ්‍රම්ස් 35 සහ MPMG ඩ්‍රම්ස් බොක්ස් 05 ක් ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් සොයාගෙන තිබේ.

තවද මෙම ස්ථානයේ තිබී පතොරම් සහිත බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් ද සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත විමර්ශනය කර මෙම ආයුධ සොයාගෙන ඇත.

මෙම සංග්‍රාමික උපකරණ තොගය වෙහෙරගල ජලාශයේ ජලය අඩු වීම හේතුවෙන් නිරීක්ෂණය වී ඇති අතර මෙම සංග්‍රාමික උපකරණ හමු වූ ස්ථානය ගෝනගංආර පොලිස් වසමට අයත් බැවින් වැඩිදුර විමර්ශන සඳහා ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම වැව් බැම්මේ සොරොව්ව ආසන්නයේ ජලය තවදුරටත් පවතින බැවින් එම ස්ථානය නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව පරීක්ෂා කිරීමට නියමිතව බව පොලීසිය පවසයි.

ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි….

ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවී තිබේ.

ඒ ඊයේ  (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය  මන්දිරයේදී ය.

ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව සුහද පිළිසඳරකද නිරත විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම අවස්ථාවට එක්විය.

උරුමය ඔප්පු දෙන බව පවසා රු කෝටි 10කට ආසන්න මුදලක් වංචා කරලා….

‘උරුමය’ වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, වංචාවට සම්බන්ධ යැයි සැක 43 හැවිරිදි බකමූණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය 26 වෙනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය කිරිබත්ගොඩ තාවකාලික ලැගුම්හලක පදිංචිව සිට ඇති බව සඳහන්ය.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ අනෙක් 55 හැවිරිදි සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුව පසුගිය 29 වනදා අත්අඩංගුවට ගෙන කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සැකකාරිය විසින් කල්මුණේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් 164 දෙනෙකුට “උරුමය” වැඩසටහන යටතේ ඔප්පු නොමති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබදෙන බව පවසා තමා නීතීඥවරියක් බව පවසමින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 6 බැගින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

පොලීසිය පැවසුවේ කල්මුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් 50 දෙනෙකු සිරිකොත පක්ෂ මූලස්ථානයට සහ කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකට කැඳවා දේශපාලන කරුණු සාකච්ඡා කර රැවටීමට ලක්කරමින්  ඔප්පු ලබා දෙන බව පවසා වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවය.

විමර්ශන නිලධාරීන් විසින් සැකකරු භාරයේ තිබූ වංචනිකව ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ 20ක් අත්හිටුවීම සඳහා අධිකරණයෙන් නියෝග ලබා ගැනීමටද කටයුතු කර තිබේ.