බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජනපතිගෙන් උපදෙස්….

මෙරට දෛනික බලශක්ති පරිභෝජනය වැඩිම කාල පරාසය වන පස්වරු 6  සිට 10 දක්වා කාලය තුළ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කරමින්, ඔවුන්ගේද දායකත්වය ඇතිව රටේ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටක්ම මුහුණදී ඇති බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අභියෝගය හමුවේ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කරමින් රට හමුවේ ඇති අභියෝගය ජය ගැනීමට උපරිම දායකත්වය ලබා දීම ආයතනික සහ පුද්ගලයන් වශයෙන්ද මේ වන විට සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් තවදුරටත් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය සති කිහිපය තුළ බලශක්තිය කළමණාකරණය පිළිබඳ රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රායෝගික තලයට ගෙන එමින් විශේෂයෙන් රාජ්‍ය සේවාවට ලබා දිය යුතු මාර්ගෝපදේශ පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම, පළාත් පාලන ආයතන මට්ටමින් බලශක්ති පරිභෝජනය විධිමත් කළමණාකරණයකට ලක් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එම ආයතන සමඟ සාකච්ඡා කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන අතර එය සීමා කිරීම තුළින් රටේ විදුලි පරිභෝජනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවද මෙහිදී සඳහන් කෙරිණි.

නාගරික වශයෙන් පවතින අත්‍යවශ්‍ය නොවන වීදි ලාම්පු භාවිතය අවම කර ගැනීම සහ බලශක්තිය කළමණාකරණය වෙනුවෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

ඊට අදාළව අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේදයක් පිළිබඳ අදාළ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර කඩිනම් ක්‍රියාමාර්ගයකට එළැඹීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

වැඩතහනමකට ලක්ව සිටින රේගු අධිකාරිවරයෙකු අල්ලස් දැලේ…..

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශය මඟින් සිදුකරන ලද විමර්ශනයක් අනුව මේ වනවිට වැඩතහනමකට ලක්ව සිටින රේගු අධිකාරිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර බවට  හා ඖෂධ පරීක්ෂක විසින් නිර්දේශ කරන ලද ෆාම් ඔයිල් අඩංගු බහාලුම් 5ක් විනාශ කිරීම සඳහා නියෝග ලබාදී තිබියදී, එම ෆාම් ඔයිල් අඩංගු බහාලුම් පුද්ගලික අංගනයකට රැගෙන ගොස් එක් බහාලුමක තිබූ ෆාම් ඔයිල් රු ලක්ෂ 40කට විකුණා තිබේ.

පසුව අදළා බහාලුම්වල අඩංගු ෆාම් ඔයිල් විනාශ කළ බවට ලේඛන ඉදිරිපත් කර එකී ගොනුව තමා සන්තකයේ තබාගනිමින් යම් තැනැත්තෙකුට වාසියක් කිරීම තුළින් දුෂණය නම් වරද සිදුකර ඇතැයි යන චෝදනාව මත මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුව‌ට ගෙන ඇත්තේ, පිළියන්දල, සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචි රේගු අධිකාරීවරයෙකි.

වැඩිකළ බස් ගාස්තුව ප්‍රමාණවත් – හෙට සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි….

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් වැඩිකළ නව බස් ගාස්තුව මේ මොහොතේදී ප්‍රමාණවත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව හෙට (24) දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් ධාවන කටයුතු සිදුකරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු මිල 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනු ගොස් ඇති අතර, අවසන් ගාස්තුව ලෙස පැවති රු 2,159 බස් ගාස්තුව රු 2,422ක් දක්වා රු 263කින් ඉහළ ගොස් ඇත.

මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව පමණක් අයකරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවකයින් වෙත දැනුම් දෙන අතර, නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන අයවළුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකළහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ද ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක්…

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් හෙට (24) දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවාවන් ක්‍රයාත්මක නොකිරීමට තීරණය කර තිබේ.

දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා….

දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා සහ ආම්පන්න ලබාදීම අද (23) ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්සේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කුණාටුවෙන් පූර්ණ හානි වූ යාත්‍රා 11ක් වෙනුවෙන් යාත්‍රා පිරිනැමීම සංකේතාත්මකව ආරම්භ කළ අතර, අලුත්වැඩියා කරන ලද යාත්‍රා 14ක් සහ නව දැල් ආම්පන්න ධීවරයින් වෙත ලබාදී ඇත.

දිට්වා හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව නගා සිටුවීම සඳහා රජය විසින් දැවැන්ත සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ සඳහා ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, භාණ්ඩාගාරය විසින් ඒ සඳහා රුපියල් 865ක් වෙන් කර ඇති බවය.

මෙම සහන වැඩපිළිවෙළ යටතේ පීඩාවට පත් ඉස්සන් වගාකරුවන් සඳහා 3% ක අවම පොලියක් යටතේ රුපියල් මිලියන 25ක් දක්වා ණය පහසුකම් ලබාදීමට ද කටයුතු කර ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

මඩකලපුවේ පාළු ළිඳකට දමා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට රැඳවුම් නියෝග….

මඩකලපුව, කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීම සහ රන් ආභරණ කොල්ලකෑම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු දින හතරක් රඳවා තබා‌ගෙන ප්‍රශ්න කිරීමට මඩකලපුව අධිකරණය අවසර ලබාදී තිබේ.

කොල්ලකන ලද රන් භාණ්ඩ මිල ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයින් දෙදෙනා ලබන 27වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පසුගිය 20වෙනිදා කාන්තාවක් පැහැරගෙන ගොස් ඇයගේ රන් ආභරණ කොල්ල කා ඇයව පාළු ළිඳක දමා ගිය සිද්ධියක් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමකට අනුව එම කාන්තාව බේරාගැණුන අතර එම ළිඳෙහි තිබූ කාන්තා මළ සිරුරක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

සිද්ධිය පිළිබඳව සිදු කළ විමර්ශන අනුව සිද්ධියට ඍජුව සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් සහ රන් ආභරණ මිලදී ගත් බව කියන තවත් දෙදෙනෙකු  පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පිරිස අද (23) දින මඩකලපුව මහේස්ත්‍රාත්වරිය හමු‌වේ ඉදිරිපත් කළ අතර එහිදී සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් නිලධාරින් අවසර ඉල්ලා සිටියහ.

එය සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රධාන සැකකරුවන් බව පැවසෙන තිදෙනා දින හතරක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන් අතර සෙසු සැකකරුවන් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

ඒ අනුව මෙම නඩු විභාගය ලබන 27 වෙනිදා සිදු කිරීමට නියමිතය.

තෙවන ලෝක යුද්ධයක අඳුරු සෙවනැලි මකන සතර බ්‍රහ්ම විහරණයේ මහා බලය….

ලෝක බෞද්ධ ප්‍රජාවේ සාමයේ පියසටහන්

වර්තමාන ලෝකය පසුවන්නේ අතිශය තීරණාත්මක කඩඉමකය. මැදපෙරදිග අහස මිසයිල ආලෝකයෙන් ඒකාලෝක වෙද්දී, ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය වැනි රටවල් අතර පවතින අර්බුදකාරී තත්ත්වයන් පුළුල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි තර්ජනයක් ලෝකය හමුවේ පවතී. මෙම ගැටුම් මැද අසරණ වන අහිංසක ජීවිත දෙස බලා ලෝකවාසී සැබෑ මනුෂ්‍යයින්ගේ සිත් කම්පාවට පත්වීම ස්වභාවිකය. ප්‍රචණ්ඩත්වයෙන් උපදින ජයග්‍රහණය යනු තවත් එක් ඛේදවාචකයක් පමණි. සැබෑ ජයග්‍රහණය වන්නේ වෛරය වෙනුවට මනුෂ්‍යත්වයත්, කෝපය වෙනුවට කරුණාවත් තෝරා ගැනීමයි. දේශසීමා වෙනුවට මිනිසුන් අතර පාලම් ගොඩනැගිය යුතු යුගයක, තෙවන ලෝක යුද්ධයක් වළක්වාලීම උදෙසා ලෝක බෞද්ධ ප්‍රජාව (World Buddhist Community) පසුගිය දෙවසර පුරාවටම ඉටුකරමින් සිටින්නේ සුවිශේෂී ආධ්‍යාත්මික මෙහෙවරකි.

“ජීවිතය අයිති නසන්නාට නොව, සුරකින්නාටය”

ලෝක බෞද්ධ ප්‍රජාවේ මෙම සාම මෙහෙයුමේ මූලික දර්ශනය අපූරුවට පැහැදිලි වන්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ ළමා අවධියේ සිදුවූ එක්තරා සංවේදී සිදුවීමකිනි. දිනක් දේවදත්ත කුමරු විසින් විදින ලද ඊතල පහරකින් තුවාල ලබා බිමට වැටුණු අහිංසක හංසයෙකු, සිද්ධාර්ථ කුමාරයා විසින් සියතට ගෙන, උගේ තුවාල වලට බෙහෙත් ගල්වා ආදරයෙන් සුවපත් කරන ලදී. පසුව හංසයාගේ අයිතිය පිළිබඳව දෙදෙනා අතර ඇතිවූ මතභේදයේදී පැනනැගුණු තීන්දුව වූයේ, “ජීවිතයක අයිතිය හා වටිනාකම ඇත්තේ එය නසන්නාට නොව, එය සුරකින්නාට” බවයි.

අද දවසේ ලෝකයට අවශ්‍ය වී ඇත්තේ ද එම පණිවිඩයයි. ආයුධ බලයෙන් ජීවිත විනාශ කරනවාට වඩා, මෛත්‍රියෙන් හා කරුණාවෙන් මිනිස් ජීවිත සුරැකීම උත්තරීතර බව ලෝක බෞද්ධ ප්‍රජාව මුළු ලෝකයටම පෙන්වා දෙයි.

ආරම්භක පියවර – බුද්ධගයාවෙන් නැගුණු සාමයේ හඬ

මෙම මහා ආධ්‍යාත්මික මෙහෙයුමේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වූයේ මීට දෙවසරකට පෙරය. ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලදී විශේෂ පිරිත් පිංකමක් සංවිධානය කෙරිණි.

ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල් නියෝජනය කරමින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා සියයකට අධික පිරිසක් මෙන්ම, ගිහි පිරිස් සහ පාසල් දරුවන් රැසක්ද මීට එක්වූහ. එහිදී ඔවුන් එකමුතුව පිරිත් සජ්ඡායනා කරමින් ලෝක සාමය උදෙසා සද්ධර්මයේ අසීමිත ශක්තිය මුදා හැරියහ.

“අපේ පරම පවිත්‍ර අරමුණ තෙවන ලෝක යුද්ධයක් ඇති වීම වළක්වා ගැනීමයි. ඒ සඳහා බුදු දහමේ ඉගැන්වීම් හා සාමූහික ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් ඔස්සේ, යුද්ධයට පදනම් වන අකුසල සිතිවිලි වෙනුවට සාමය හා සහජීවනය වර්ධනය කරන කුසල සිතිවිලි ජනිත කළ යුතුයි.”හීරියමුල්ලගේ බුද්ධික ප්‍රසන්න මහතා (සභාපති, ලෝක බෞද්ධ ප්‍රජාව) එදින සිදු කළ ප්‍රකාශය.

මෙම උතුම් මෙහෙවරට නායකත්වය ලබා දෙන හීරියමුල්ලගේ බුද්ධික ප්‍රසන්න මහතා දූරදර්ශී නායකයෙකි. වසර 25කට අධික කාලයක් පුරා ආයතනික උපදේශන, මූල්‍ය කළමනාකරණය සහ විධායක පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළ අත්දැකීම් සහිත ඔහු, සමාජ සාධාරණත්වය සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඇපකැප වී ක්‍රියා කරයි. සැබෑ ප්‍රගතිය ළඟා කර ගත හැක්කේ සියලු දෙනාට සමානව සලකන, කරුණාවෙන් පිරි සමාජයක් තුළින් බව ඔහු දැඩිව විශ්වාස කරයි. ඔහුගේ මෙම උතුම් මානුෂීය ගුණාංග, ගෝලීය සමගිය ගොඩනැගීමේ ලෝක බෞද්ධ ප්‍රජාවේ මෙහෙවර සමඟ මැනවින් බද්ධ වී ඇත.

“සැබෑ නායකත්වය රඳා පවතින්නේ ජනතාවට සවන් දීම, ඔවුන්ගේ අභියෝග අවබෝධ කර ගැනීම සහ තිරසාර විසඳුම් සෙවීම සඳහා සාමූහිකව කටයුතු කිරීම තුළයි” යන්න ඔහුගේ නායකත්ව දර්ශනයයි.

අඛණ්ඩ මෙහෙයුම – දේශ දේශාන්තර පුරා පැතිරෙන සෙත් පිරිත

බුද්ධගයාවෙන් ඇරඹි මෙම උතුම් කටයුත්ත එතැනින් නතර වූයේ නැත. ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ලෝකවාසීන්ගේ හදවත් තුළ මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ගුණ වගා කිරීම උදෙසා අඛණ්ඩ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක විය.

  • පූජනීය ස්ථාන කේන්ද්‍ර කරගත් ආශිර්වාද: ශ්‍රී ලංකාවේ අතිපූජනීය රුවන්වැලි මහා සෑ රදුන් අබියස, කැළණිය පුදබිම ඇතුළු දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථානවල මෙන්ම, යළි යළිත් ඉන්දියාවේ බුද්ධගයා පුදබිම කේන්ද්‍ර කරගනිමින්ද විශේෂ පිරිත් සජ්ඡායනා සහ ධර්ම වැඩසටහන් අඛණ්ඩව පැවැත්විණි.
  • විශ්වීය මෛත්‍රිය: මෙම වැඩසටහන් හුදෙක් බෞද්ධයින්ට පමණක් සීමා නොවීය. ලොව පුරා වෙසෙන අන්‍යාගමික ලෝකවාසීන් හටද මෛත්‍රිය පතුරවමින්, සියලු දෙනාගේ සිත් සුවපත් කිරීම මෙහි මූලික අරමුණ විය.

ලෝක නායකයින් වෙත සාමයේ පණිවිඩය

ආධ්‍යාත්මික වැඩසටහන්වලට සමගාමීව ලෝක බෞද්ධ ප්‍රජාව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින්ද මැදිහත් විය. ලෝක බලවතුන් සහ රාජ්‍ය නායකයින් වෙත විශේෂ ලිපි යවමින්, යුද්ධයේ ඇති නිශ්ඵලභාවයත්, සාමයේ ඇති වටිනාකමත් ඔවුන්ට පෙන්වා දෙන ලදී. හංසයාගේ කතා පුවතින් පැහැදිලි වන ලෙසටම, සැබෑ බලය ඇත්තේ ආයුධ අතට ගැනීමේ නොව, ආයුධ බිම තබා ජීවිත සුරැකීම තෝරා ගැනීමේ බව ලෝක නායකයින්ට දැඩිව අවධාරණය කරන ලදී.

පෙරට යන ගමන

මිනිස් සිත් තුළ ඇතිවන ද්වේශය නම් වූ ගින්න නිවා දැමිය හැක්කේ මෛත්‍රිය නැමති සිහිල් දිය දහරාවෙන් පමණි. ධර්මයේ අගය ලොවට කියාදෙමින්, තෙවන ලෝක යුද්ධයක් ඇති නොවීම පිණිස ලෝක බෞද්ධ ප්‍රජාව සිදුකරන මෙම අප්‍රහත ආධ්‍යාත්මික මෙහෙවර, සමස්ත මානව වර්ගයාගේම පැවැත්ම උදෙසා දල්වන ලද ආලෝකයක් බඳුය.

 

රාජපක්ෂලා ඩොලර් බිලියන 18 ක් හොරකම් කලා කිවුවා රුපියල් මිලියන විස්ස විස්ස එකතු කලත් ආණ්ඩුවට ඒ ගාන හදාගන්න මේ ආත්මෙට බෑ- නාමල් රාජපක්ෂ…

අද ලෝක වෙළඳපොලේ මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් තමයි ඩීසල් මිලදී ගන්නේ ලෝක වෙළඳපොලේ මිලටත් වඩා වැඩියෙන් 45ක් ගෙවලා මිලදී ගන්නේ හැබැයි කලින් කිව්වේ මිත්‍රශීලී රටවල් එක සාකච්ඡා කරලා අඩුවට තෙල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා හැබැයි එහෙමවත් කරන්න උත්සාහයක් දක්වන්නෙ නැතුව ජනතාවට එක කාරණයක් කියලා වෙන කාරණයක් කරන්න පෙළඹෙන ආණ්ඩුව තවදුරටත් අපිට මඩ ගැහුව කියල ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. රාජපක්ෂලා ඩොලර් බිලියන 18ක් හොරකන් කලා කිවුවා.හැබැයි ඉතින් ඔහොම රුපියල් මිලියන විස්ස විස්ස හදාගෙන යන්න ගියොතින් ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ අවුරුදු පහට නෙවෙයි ඊළඟ ආත්මෙටවත් බෑ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්‍ රාජපක්ෂ පැවසීය.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“ආණ්ඩුව පැහැදිලිවම තමන්ගේ නොහැකියාව වහගන්න තමන් ගල් අඟුරු වලින් කරපුු වංචාවල් කැබ් ගනුදෙනුවලින් සීනි ගනුදෙනුවලින් අද ආණ්ඩුව කරපු වංචාව අද ලුණු ඇටේ ඉඳලා පිටරටින් ගෙන්වන තැනට මේ රටේ ජාතික ආර්ථිකය ඇතුලෙ තියෙන ව්‍යාපාර වට්ටපු ආණ්ඩුව ,තවමත් උත්සහ කරනවා පරණ තමන් කියපු බොරු ටිකක් අධිකරණය ලව්වා නැත්නම් මේ රටේ තියෙන ස්වාධීනයි කියන ආයතන ලවා ඔප්පු කරවන්න.ඉතින් ඒ හන්දා බය කරලා කට උත්තර ලියාගන්නවා ඉතින් මේක තමයි මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩු යහපාලන කාලය ආණ්ඩුවෙන් ගත්ත අත්දැකීම්. මොකද යහපාලන ආණ්ඩුවේත් දූෂණ මර්දන කමිටුවල හිටපු අයනේ මේ ආණ්ඩුවේ ඉන්නේ. ඉතින් මට තියෙන කණගාටුව මේ රටේ ස්වාධීන ආයතන නීතිය ආරක්ෂා කරන්න තියෙන ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ කරන්න තියෙන ආයතනවලට තියෙන ගෞරවය සහ විශ්වාසය කඩන් වැටෙනවා. ඉතින් පොලිස්පතිවරයා තීන්දු කරන්න ඕන තවත් දුරටත් පැලවත්තේ මාලිමාවේ පොලිස්පතිවරයා විදියට වැඩ කරනවද නැත්තං අවංකවම ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා විදියට වැඩ කරනවද සාධාරණයක් කරනවද කියන එක ගැන. ඉතින් ඔහොම මිලියන විස්ස විස්ස හදාගෙන යන්න ගියොතින් ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ.මේ අවුරුදු පහට නෙවෙයි ඊළඟ ආත්මෙටවත්. ඒකෙන්ම පැහැදිලියිනේ ඉතින් දැන් කලින් කිව්වේ ඩොලර් බිලියන 18 ගැනනේ.දැම්මේ ඩොලර් බිලියන 18 ට හදන්න යන ගමන යන්නේ මිලියන විස්ස විස්ස එකතුකරන්.ඉතිං අපි ආණ්ඩුවට කියන්න තියෙන්නේත් කරුණාකරල මේ බංකළොත් දේශපාලනය නවත්වන්න. ඔබට පොරොන්දු වෙච්ච දේවල් කරගන්න බැරි වෙනකොට මේ තියෙන අභියෝගවලට මුහුණ දෙන්න බැරිවෙනකොට තමන්ගෙ ගල් අඟුරු වංචාවෙන් දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කතා කෙරුවා. හැබැයි ගල්අඟුරු ගැන එක වචනයක්වත් කතා කරේ නෑනේ ඉතිං පැහැදිලිවම බාල ගල් අඟුරු ගෙනාව බවට අද මුළු රටම ලෝකයම දන්නවා අවසානයේ ඒකෙන් වෙච්ච පාඩුව වහගන්න තෙල් වල මිල වැඩි කරලා ඒක ජනතාවගේ පිටට දානවා. විදුලි බිල වැඩි කරලා ඒකත් ජනතාව ට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා.දැන් කලින් කිව්වේ කොහොමද තමන්ට හිතවත්තු ඉන්නවයි කිව්වා.ඒ අය එක්ක සාකච්ඡා කරනවා කිව්වා තෙල් මිලදී ගන්න හැබැයි අද මිලදී ගන්නේ කොහොමද අද ලෝක වෙළඳපොලේ මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් තමයි ඩීසල් මිලදී ගන්නේ ලෝක වෙළඳපොලේ මිලටත් වඩා වැඩියෙන් 45ක් ගෙවලා මිලදී ගන්නේ හැබැයි කලින් කිව්වේ මිත්‍රශීලී රටවල් එක සාකච්ඡා කරලා අඩුවට තෙල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. හැබැයි එහෙමවත් කරන්න උත්සාහයක් දක්වන්නෙ නැතුව ජනතාවට එක කාරණයක් කියලා වෙන කාරණයක් කරන්න පෙළඹෙන ආණ්ඩුව තවදුරටත් අපිට මඩ ගැහුව කියල ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ.දැන් කාගේ ගාවටද යන්නේ, රටේ වගකිවයුතු නිලධාරීන් මරණ තර්ජනය කරලා කට උත්තර ලියාගන්නවනම් පොලිස්පතිවරයාත් ඒකට සහයෝගය දෙනව නම් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් ඒ පිටිපස්සේ නම් ඉන්නේ අපි කාගේ ගාවටද යන්නේ? ඉතින් එතනින් එහාට අපට සාධාරණයක් ගන්න මොන ආයතනය ද තියෙන්නේ ඒ හින්ද තමයි මම පැහැදිලිවම කියන්නේ මේ කරන වැඩෙන් වෙන්නේ මේ සෑදීන ආයතනය කෙරෙහි තියෙන විශ්වාසය බිඳවැටෙනවා අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණාකරලා සාධාරණව පරීක්‍ෂණ කටයුතු කරන්න.දැන් එක් පුද්ගලයෙක් එල්ලිලා මැරිච්ච කාරණාවකුත් ඒ සම්බන්ධව සඳහන් වෙනවා. එල්ලිලා මැරෙන තැනට යනකම් පීඩනයක් දීලා තියෙනවා .එල්ලිලා මැරෙන තැනට ඔහුව තල්ලු කරලා තියෙනවා.අර අසූ අට අසූ නමය වගේ දැන් රජයේ ස්වාධීන ආයතන තුළත් එවැනි පීඩනයක් දීලා බොරු සාක්ෂි හදාගන්න හදනවානම් ඒ කාරණය පෙන්නලා තවත් කෙනෙක්ව බිය ගන්නවන්න උත්සාහ කරනවනම් ඉතින් එතනින් එහාට මේ රටේ රාජ්‍ය ආයතන සහ ස්වාධීන ආයතන වල තියෙන විනිවිද භාවය ගැන කාටද අපි කියන්නේ? පැහැදිලිවම අපි ගතයුතුයි නීතිමය ක්‍රියාමාර්ග හා දැනුම් දිය යුතු හැම ආයතනයටම අපි දැනුම් දෙනවා .හැබැයි ඉතින් අවසානයේ තමන් හදපු බොරු සාක්ෂි තමයි අධිකරණවල නඩු අහන්න වෙන්නේ. ඉතින් මෙහෙම නම් යුද්දේ ඉවර කරල මේ රට ගොඩනගපු ජනාධිපතිවරයාටත් සලකන්නේ ඉතින් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාව ඉටුකරන්නේ නැති අයට මේ ආයතන කොහොම හැසිරෙනවද කියලා හිතාගන්න පුළුවන්නේ.එක පැත්තකින් මේ ආණ්ඩුවට ඩයස්‌පෝරාවේ අවශ්‍යතාවය ඉටු කරන්න ඕන.ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත අපි දැක්කා සුරේෂ් සලේව අරගෙන තියෙනවා ඒ වගේම නොයෙක් කාරණා ක්‍රියාත්මක වෙනවා අවසානයේ මෙහෙම නම් පරීක්ෂණ කටයුතු වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටවත් මේ රටේ ජනතාවටවත් මේ ආණ්ඩුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ආයතන වල අධිකරණ වල හා පොලිසියෙන් සාධාරණයක් නම් වෙන්නේ නෑ හැබැයි ඉතින් අපි ඕන එකකට ලෑස්තියි.ඒකත් මතක තියාගන්න.

ආණ්ඩුව මේ තෙල් කාරණයට සූදානම් වීම පිළිබඳව රටේ ජනතාව සෑහීමකට පත්වෙනවද නැද්ද කියන කාරණය පිළිබඳව ජනතාව වෙලාවට උත්තරයක් දෙයි.හැබැයි ඉතින් ආණ්ඩුවට ඕන තරම් වෙලාවක් තිබ්බා මේකට සූදානම් වෙන්න.ලෝකයේ හැම රටකම මේකට සූදානම් වෙද්දි ආණ්ඩුව මේක විහිළුවකට ගත්තා.ඒ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ මතක් කරාම අපිට දවස් හතළිස් පහකට තෙල් තියෙනවා කලබල වෙන්න ඕනෙ නෑ කිව්වා.හැබැයි අනිත් හැම රටක්ම මේකට සූදානම් වුණා.අනිත් කාරණයේ ආණ්ඩුව දැන් ලෝක වෙළඳපොලේ මිලටත් වඩා ඩොලර් 45 ක් වැඩියෙන් ගෙවලා තමයි ඩීසල් ගන්නේ.ඒ කියන්නේ ආණ්ඩුවේ සූදානම ගැන හිතාගන්න පුළුවන්නේ.පහුගිය කාලයේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික හදන්න යනකොට ඒකට විරුද්ධ උනා.LNG බලාගාරය ගේනකොට ඒකටත් විරුද්ධ උනා.සුලං විදුලි බලාගාරය ගේනකොට ඒකට විරුද්ධ උනා විතරක් නෙවෙයි ආයෝජකයාගේ ආයෝජනය අහෝසි කරලා ඔහුව හරවලා යැව්වා.අඩුම ගානේ සුළං විදුලි බලාගාරයෙන් මෙගාවොට් පන්සියයක් වත් මේ වෙලාවේ හදල තිබ්බනම් ආණ්ඩුවට විදුලි බිල වැඩි කරන්නවෙන්නේ නැහැ.ඒ සුළං විදුලි බලාගාර ආයෝජකයා කොහෙන්ද මොන රටෙන්ද ආව කියන එක නෙවෙයි ආයෝජනයක්නේ. හැබැයි ඒ ආයෝජනය යථාර්ථයක් වුනා නම් විදුලිබිල වැඩි කරන්න වෙන්නේ නැහැ.එහෙම උනෙත් නෑ. ආණ්ඩුවට බලයට ඇවිල්ලා කරෙත් ඒක.අඩුම ගානේ හරි ගල් අඟුරු ටික ගෙනවා නම් බාල ගල් අඟුරු ගේන්නේ නැතුව හරි ගල් අඟුරු ටික ගෙනාව නං. ඒත් මේ බර ජනතාව මත පටවන්න අවශ්‍ය වෙන්නේ නැහැ.දැන් මොකක්ද කරන්නේ ආණ්ඩුවේ නොහැකියාව වහගන්න වෙච්ච පාඩුව වහගන්න ආණ්ඩුවේ හොරකම වහගන්න ලෝක වෙළඳපොලේ මිලටත් වඩා ඩොලර් 45 ක් වැඩියෙන් තෙල් මිලදී ගන්නවා. මම හිතන්නේ එදා ජනාධිපතිතුමා කිව්වනේ සීගිරිය කඩලා ගේන්න වෙයි කිව්වනේ පෝට්සිටිය හදන්න.අපි ඒ ප්‍රශ්නය දැන් ඔබතුමාගෙන් අහන්නේ නැහැ.ඒ නිසා පෝර්ට් සිටියේ ප්‍රයෝජනය මේ වෙලාවේ උපරිමයෙන් ගන්න.ඩුබායි සහ මැද පෙරදිග ආයෝජන මේවෙලාවේ වෙනත් බැංකුකරණ සඳහා ලෝකයේ වෙනත් ස්ථාන හොයනවා ඒකට හොඳම සහ සුදුසුම තැන තමයි කොළඹ වරාය නගරය.අපි එදා කොළඹ වරාය නගරය ඉදිකළේ බැංකුකරණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන්න. දැන් තමයි වෙලාව අඩුම ගානේ ඒ ආයෝජකයන්ට බදු සහනයක් හරි දීලා ලෝකේ හැම රටක්ම දෙනවා අඩුම ගානේ විදේශ රටවල උපයන ආදායමට ලංකාවේ බද්ද අයින් කරලා හරි පෝර්ට් සිටියේ උපරිම ප්‍රයෝජනය ගන්න එක.ඒ වගේම මත්තල ගුවන්තොටුපල ගැන මේ වෙලාවේ ලෝකයේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒ ගුවන් සමාගම් එක්ක සාකච්ඡා කරන්න.තව අවුරුද්දක් මාස කිහිපයක් ගියාට පස්සේ ඒ අය විකල්ප හොයා ගන්නවා.ඒ අය විකල්ප හොයාගන්න කලින් අපේ වරාය නගරයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලත් මේ ශ්‍රී ලංකාවේ තියෙන භූගෝලීය පිහිටීමත් එක්ක තියෙන වාසිය උපරිමය ගන්න ඕන.ඒ නිසා ආණ්ඩුව දැන්වත් වැඩ කරොත් හොඳයි.ආණ්ඩුව දැනුවත් තේරුම් ගත යුතුයි රාජපක්ෂලාට වඩා ආණ්ඩුවට ප්‍රශ්න තියෙනවා කියලා.මොකද ආණ්ඩුවට තියෙන ලොකුම ප්‍රශ්නය රාජපක්ෂලානේ. ඊට වඩා ලොකු ප්‍රශ්නයක් මේ රටේ ලෝකයෙ දැන් තියෙනවා කියලා තේරුම්ගතොත් හොඳයි.

මේක අලුත් දෙයක් නෙවෙයි අපිට යහපාලන ආණ්ඩුදත් එකයි ජේ.වී.පී ආණ්ඩුවත් එකයි.අදටත් එහෙමයි යුද්දේ ඉවර කරනකොට බැලුවත් මහින්ද රාජපක්ෂ එදා පාර්ලිමේන්තුවේ කරපු කතාවේ කිව්වා මට විතරක් නෙවෙයි මගේ පවුලේ අයට විතරක් නෙවෙයි මගේ දරුවන්ගේ දරුවන්ටත්. මේ ගත්ත තීන්දුව මත යම් අභියෝග එල්ල වෙයි කියලා.ඒ තීන්දු අපි දැනගෙන තමයි ගත්තේ ඒ හින්දා පසුතැවෙන්නෙත් නෑ පසු බහින්නෙත් නෑ.

ප්‍රතික්ෂේප කරලා නම් ඒ යුධමය ගුවන් යානයක් නම් යුදමය කටයුත්තක් සඳහා නම් තෙල් ගොඩ බාන්න අවසර ඉල්ලලා තියෙන්නේ ඒක ප්‍රතික්ෂේප කරපු එක හොඳයි.හැබැයි මේ ප්‍රකාශයේ වලංගුභාවය දැනගන්න තව ටික දවසක් ඉන්න වෙයි.මොකද අපි දැක්කා සබ්මැරීන් ප්‍රහාරය සම්බන්ධයෙන් නාවික හමුදාවේ ප්‍රකාශකවරයා ඉස්සෙල්ලාම ඇවිල්ල කිව්වා මේක සබ්මැරීම් ප්‍රහාරයක් නෙවෙයි කියලා.ටික වෙලාවක් යනකොට ඇමරිකාවෙන් කිව්වා ඒක සබ්මැරීන් ප්‍රහාරයක් කියලා. තවත් තානාපති කාර්යාලයක් එක්ක සාකච්ඡා කරා විදේශ රැකියා සම්බන්ධයෙන්.තානාපති කාර්යාලයේ නම කියන්න යන්නේ නෑ. හැබැයි ටික වෙලාවකින් ඒ අය කිව්වා අපිත් එක්ක සාකච්ඡා කළේ නෑ කියලා. තවත් මෑතක තවත් තානාපති කාර්යාලයත් එක්ක සාකච්ඡා කරා තෙල් සම්බන්ධයෙන් ඒ තානාපති කාර්යාලයෙනුත් කිව්වා එහෙම දෙයක් වුණේ නැහැ කියලා.ජනාධිපතිතුමා මේ ප්‍රකාශය සද්භාවයෙන් කරාද නැත්තං සිංහල තේරෙන්නේ නැති නිසා කවුරුවත් තේරුම් ගන්නෙ නැති වෙයි කියලා කරාද කියලා මම දන්නේ නෑ.ඒ හින්දා ඔය සම්බන්ධයෙන් අවංකව ජනාධිපතිවරයා එවැනි තීන්දුවක් අරගෙන තියෙනවනම් ඒක හොඳයි.හැබැයි ඒ ප්‍රකාශය වලංගුභාවය දැනගන්න තව ටික දවසක් ඉන්න වෙයි.

පැහැදිලිවම යූඑස් ඒඩ් ආයතනය කලාපයේ රෙජිම් චේන්ජ් වෙනස් කිරීම සඳහා මුදල් වැය කරා කියන පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැහැදිලිවම කරපු ප්‍රකාශයක් ඒක නාමල් රාජපක්ෂගේ ප්‍රකාශයක් නෙවෙයි ඒ වගේම තමයි මේ රටේ විද්වතුන් කරපු සමීක්ෂණවලදී මේ කලාපය තුළදී එවැනි දෙයක් වෙලා තියනවා කියන පිළිබඳව ලිපි පලවෙලා තියෙනවා පොත් ලියලා තියෙනවා ඒ වගේම වාර්තා වැඩසටහන් හදලා තියෙනවා. සහ ඒක දේශපාලන භූමිකාවේ තියෙන ප්‍රසිද්ධ රහසක් ඒක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාම ප්‍රසිද්ධියේ කියලා තියෙනවා. කවුරුහරි කියනවා නම් ඒක නාමල් රාජපක්ෂ කියපු හින්දා විදේශ කටයුතුවලට බාධාවක් වෙයි කියලා ඒක ට්‍රම්ප් ජනාධිපතිවරයත් එක්ක බේරගන්න.මගේ මතය මම කියනවා.

ඉතින් ආණ්ඩුව මිල වැඩි කරනවා කරලා පරිභෝජනය අඩු කරනවා එහෙම කරලා පෝලිම් අඩු කරනවා එහෙම නැතුව තෙල් ලබා දීලා පෝලිම් අඩු කරන්නේ නෑ පරිභෝජනය අඩු කරලා තමයි පෝලිම් අඩු කරන්නේ.හැබැයි ඉතින් මේකෙන් තව පැත්තක් තියෙනවා සංචාරක ව්‍යාපාරයට දැඩි පහරක් එල්ල වෙනවා කුඩා හා මධ්‍ය පරිපාලණ ව්‍යාපාරිකයන් අපහසුතාවයකට පත් වෙනවා.කෘෂි අස්වැන්න නෙලන ගොවීන් විශාල අර්බුදයකට පත්වෙනවා. දැන් පොහොර සම්බන්ධයෙන් තාම ආණ්ඩුව ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද.පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුවේ විකල්පය මොකක්ද..අර තෙල් ඩොලර් හතළිස් පහක් ගෙවලා ගත්ත වගේ ඩොලර් ගණනාවක් වැඩියෙන් ගෙවලා පොහොර ගන්නවද එහෙම නැත්නම් මිත්‍රශීලී රටක් එක්ක සාකච්ඡා කරලා තියෙනවද වී වලට ආණ්ඩුව ලබාදෙන මිළ කීයද ඒ වී ගොවියාගෙන් සාධාරණව මිලදී ගන්නා ක්‍රමය මොකක්ද නැතිනම් තවදුරටත් පහුගිය කන්න කරපුවා වගේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක්ට විතරක් මිලදී ගන්නා විදියට බලාගෙන ඉන්නවද.මේ කාරණා පිළිබඳව ආණ්ඩුව විසඳුමක් හොයන්න ඕන කාරණා වගේම සූදානම් වෙන්න ඕන කාරණා

ඉතින් පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕනා කියල කියපු අය පාර්ලිමේන්තුව ගිනි තියන්න කියලා රටේ ජනතාවට ආරාධනා කරපු අය පාර්ලිමේන්තුවා ආවම ඉතිං පාර්ලිමේන්තුව ගැන ගරුත්වයක් නෑනේ ඉතින් තමන්ට ගරුත්වයක් නෑනේ ඉතින් ගිනි තියන්න හිටපු තැනනේ..තමන් ගිනි තියන්න හිටපු තැන ඇවිල්ල වාඩි වුණාම ගරුත්වයක් නෑ මොකද මේ රටේ උත්තරීතම තැන තමයි පාර්ලිමේන්තුව.ඉතින් ඒක ගිනි තියන්න ආපු අය පාර්ලිමේන්තුව ඒගොල්ලන්ගේ හිතේ තියෙන්නේ මේක ගිනි තියන්නමයි..මොනවා කරන්නද ඉතින්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ වැටලීම් මාලාවක්….

එළ‌ඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සමය තුළ විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩපිළිවෙලක් මාර්තු 20 වෙනිදා සිට ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වෙළෙඳපොළ තුළ  පාරිභෝගිකයින් අසාධාරණයට ලක්වීම වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාවලිය සිදු කෙරේ.

වත්මන් මැදපෙරදිග අර්බුදය ඇතුළු ගෝලීය දේශපාලනික හා ආර්ථික අස්ථාවරත්වය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින්, ඇතැම් වෙළෙඳුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස් සහ ඉන්ධන සැඟවීම මගින්  කෘත්‍රිම හිඟයක් වෙළෙඳපොළ තුළ මවාපෑමටත්, භාණ්ඩ මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමටත් පෙළඹීමේ තත්ත්වයන් වැළැක්වීම ‍මෙහි අරමුණ වේ.

එමෙන්ම උත්සව සමයේ ඇති විය හැකි වෙළෙඳපොළ අක්‍රමිකතාවයන් වැළැක්වීම සඳහා ද අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී ද අඛණ්ඩව රාජකාරියේ යෙදවීමට කටයුතු කිරීමට නියමිතය.

මෙම විශේෂ වැඩපිළිවෙල යටතේ ගබඩා සහ තොග අලෙවිසැල් නිරන්තර පරීක්ෂාවට ලක්කිරීම හා භාණ්ඩ සඟවා තබන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම කෙරෙහි දැඩි අවධානය යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඊට අමතරව උපරිම සිල්ලර මිල ඉක්මවා හෝ භාණ්ඩවල සටහන් කර ඇති මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිය, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවිය සහ බිල්පත් නිකුත් නොකිරීම ඇතුළු වෙළඳ විෂමාචාර සමබන්ධව වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම  ගෑස් බෙදාහරින්නන් සහ ඉන්ධන පිරවුම්හල් නිරන්තර අධීක්ෂණයට ලක් කරමින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ සැපයුමක් ලබාදීමට ද මැදිහත් වන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.

ඒ අනුව, එළඹෙන උත්සව සමය තුළ අදාළ නීති උල්ලංඝනය කරන වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනත යටතේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස සියලුම විමර්ශන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

පාරිභෝගිකයින්ට සිදුවන යම් අසාධාරණයක් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතාවයක් පිළිබඳව කාර්යාලීය වේලාවන් තුළ 1977 යන කෙටි ඇමතුම් අංකය ඔස්සේ මෙම  අධිකාරිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස…..

ඩීසල් මෙ.ටො. 37,000ක් රැගත් නෞකාවක් එළැඹෙන මාර්තු 25වනදා දිවයිනට ළඟවීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

“මාර්තු 7,8 දිනවල පෙට්‍රල් මෙ.ටො. 37,000ක නැවක් ලංකාවට ගෙන්වා ගත්තා. ලෝක වෙළෙඳපොලේ මිල ගණනන් වැඩිවීම මේකට ඇතුළත් වෙලා තියෙනවා.

ඒ වගේම මාර්තු 25වනදා ඩීසල් මෙ.ටො. 37,000ක නැවක් පැමිණීමට නියමිතයි” යැයි පැවසීය.

මාර්තු 17 වෙනිදා යොමුකළ ටෙන්ඩරයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳව අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.

අප්‍රේල් 6,7,8 – ඩීසල් මෙක්ට්‍රින් ටොන් 37,000ක නැව් දෙකක්
අප්‍රේල් 12 සහ 13 – දැවි තෙල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්
අප්‍රේල් 10 සහ 11 – ජෙට් A1 මෙක්ට්‍රින් ටොන් 35,000
අප්‍රේල් 16 සහ 17 – පෙට්‍රල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්

අප්‍රේල් මාසයට නියමිත මෙක්ට්‍රින් ටොන් 30,000 බොරතෙල් නැව පැමිණෙන්නේ නැති අතර, ඒ වෙනුවට ජූනි මාසයේ දී මෙක්ට්‍රින් ටොන් 30,000ක බොරතෙල් නෞකාවක් පැමිණීමට නියමිතයි.

ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල වැඩිකිරීම තුළ ඩීසල් ලීටරයකට රු 100ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20ක් රජය විසින් දරාගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් මාසයකට රුපියල් බිලියන 20ක් රජය දරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

රජයට මෙම බර සම්පූර්ණයෙන්ම දැරීමට සිදුවන්නේ නම් වසරකට රජයට ඩොලර් බිලියන 1.5ක අමතර වැය බරක් දැරීමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේ සිදුවුවහොත් තෙල්වලට පමණක් නොව සමස්ත ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“යුද්ධය ගැන කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකියි. ඇමෙරිකාවට, ඊශ්‍රායලයට, ඉරානයට හෝ තදාසන්න රටවලට යුද්ධය අවසන් වෙන්නේ සතියකින්ද දෙකකින්ද කියන්න පුළුවන් කමක් නෑ. අපේ අපේක්ෂාව යුද්ධය හැකි ඉක්මනින් අවසන් වේවා යන්නයි. යුද්ධය හෙට අවසන් වුවත් විශේෂයෙන් ආර්ථිකයට, තෙල් නිෂ්පාදනයට, යටිතල පහසුකම්වලට එල්ල වෙලා තියෙන බලපෑම අනුව, අපේ ආර්ථිකයට යුද්ධයෙන් වෙන බලපෑම එක රැයෙන් එක මොහොතින් අවසන් වෙන්නේ නෑ. එය අප මතක තබා ගතයුතුයි.”

නිසැක වශයෙන්ම අප රටක් ලෙස ඉන්ධන පරිභෝජනය අවම කළ යුතු බවත්, එයට පිළියමක් ලෙස QR කේතය හඳුන්වා දුන් බවද පැවසු අමාත්‍යවරයා, ගතවූ දින කිහිපය තුළ පුද්ගලයින් 5,995,365ක් බවද පැවසීය.

මෙයින් නව ලියාපදිංචිවීම් මිලියන දෙකක් වාර්තා වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද දින සිට වාහන සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කළද  සියලුදෙනා සවිඥානිකව මේ ලෙස සිතාබලා කටයුතු කළ යුතුව ඇති බවත්, රජය මේ සම්බන්ධයෙන් ආදර්ශය ලබාදෙමින් බලශක්ති පරිභෝජනය අවම කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම්දුන් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.