ජනාධිපති ලේකම්ගේ නියමයෙන් මහින්දගේ වෙඩි නොවදින රථයත් භාරදෙයි…..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයනේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ, ඊයේ (3) දිනයේ දී අදාළ සමාගම හරහා එම රථය භාරදීමට කටයුතු කළ බවය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ක්‍රියාත්මක වීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා ඉකුත් සැප්තැම්බර් 24වනදා 5වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වාහන සියල්ල හා නිල නිවස යළි භාරදෙන ලෙස දැන් වූ බව මනෝජ් ගමගේ මහතා පැවසීය.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරී ගමන්ගන්තා රථය ද භාරදීමට කටයුතු කළ බව හෙතෙම පැවසීය.

ඒ අනුව මනෝජ් ගමගේ මහතා පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අවදානමකට ලක්ව ඇති බවයි.

“අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි සතියේදී පොලිස්පතිතුමා, ආරක්ෂක ලේකම් හා ආරක්ෂක ප්‍රධානීන් හමුවෙලා මහින්ද රජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් එම අවශ්‍ය රථ යළි ලබාගැනිමේ ඉල්ලීමක් කරන්න” යනුවෙන් මනෝජ් ගමගේ මහතා වැඩදුරටත් පැවසීය.

වැඩි මිලට කීරි සම්බා අලෙවි කළ වෙළෙඳුන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂයක දඩයක්….

කීරි සම්බා සහල් පාළන මිල ඉක්මවා අලෙවි කළ පානදුර හා කළුතර ප්‍රදේශවල වෙළෙඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට අධිකරණය මගින් රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කර තිබේ.

කීරි සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 300ක මිලකට අලෙවි කළ පානදුර සරික්කන්මුල්ල ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියෙකුට සහ  කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 310ක මිලකට අලෙවි කළ කළුතර නාගොඩ ප්‍ර දේශයේ වෙළදසැල් හිමියෙකුට මෙලෙස දඩ නියම වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

මීට අමතරව කීරි සම්බා සහල් පාලන මිලට අලෙවිය සිදු නොකර සගවා තබා ගත් හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියෙකුට ද හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 20,000ක දඩයක් නියම කර තිබේ.

එමෙන්ම එහිදී ඔහු සතුව තිබූ කිලෝ ග්‍රෑම් 5 කීරි සම්බා ඇසුරුම් 25ක් රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කර ඇති බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.

දෙහිවල වෙඩිතැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට….

දෙහිවල, දුම්රියපොළ අසලදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමට සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජුලි 18 වනදා දෙහිවල දුම්රියපොළ අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකෙරුණි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කල විමර්ශනයකින් අනතුරුව අදාළ වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කළ සැකකරු අතුඅඩංගුවට ගෙන තිබේ.

එහිදි සැකකරු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, කඩු 05ක් සහ කිනිස්සක් සොයාගෙන ඇති අතර, ඔහු 34  හැවිරිදි ගල්කිස්ස සීවලි පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

තම කුඹුරේ පිදුරුවලට ගිනිතැබූ ගොවි මහතෙකු එම ගින්නටම හසුවෙයි….

හිඟුරක්ගොඩ, වරාහේන ප්‍රදේශයේ ගොවි මහතෙකු විසින් තම කුඹුරේ පිදුරුවලට තබන ලද ගින්නක් පැතිර ගොස් එම ගින්නට හසුවීමෙන් කුඹුරු තුළ ඊයේ (3) දහවල් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

මෙලෙස ගින්නට හසුව ඇත්තේ හිඟුරක්ගොඩ, බෝගස් හංදිය ප්‍රදේශයේ පදිංචි තෙදරු පුද්ගලයෙක්ය.

ගොවි මහතා ඊළඟ කන්නයට සිය කුඹුරු බිම සූදානම් කිරීම සඳහා තම කුඹුරේ අස්වැන්න නෙලීමෙන් පසු කුඹුර තුළ ඉතිරිව තිබූ පිදුරුවලට හා ඉපනැල්ලට ගිනිතබා තිබේ.

එහිදී මේ දිනවල පවත්නා අධික උණුසුම් කාලගුණික තත්ත්වය හා සුළග හේතුවෙන් ගින්න පැතිර ගොස් ඔහු ඊට හසුව තිබේ.

මෙම පුද්ගලයා ගින්නට හසුව සිටින අයුරු ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබදව අනෙකුත් අය දැනුම්වත් කළද ඒ වනවිටත් ඔහු ගින්නට හසුව දරුණු ලෙස තුවාල ලබා මිය ගොස් සිට ඇත.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය පොලොන්නරුව මහ රෝහල වෙත රැගෙන යනු ලැබීය.

මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු හිඟුරක්ගොඩ පොලීසිය විසින් සිදු කරනු ලැබීය.

හැටන් නගරයේ පදික වේදිකාවේ වෙළෙඳාම් තහනම්….

එළැඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරිමට වෙන්කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාවට රුපියල් ලක්ෂ 36 (රු. 36,68000)කට වැඩි ආදායමක් උපයාගැනීමට හැකිව තිබේ.

අදාළ ටෙන්ඩර් කැඳවීම පිළිබඳ අදහස් දක්වමින් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා ඊයේ (03) මේ බව පැවසීය.

දීපාවලී උත්සව සමයේ දී හැටන් නගරය තුළ පදික වේදිකාවේ වෙළදාම් කිරිමට අවසර නොමැති අතර, ඒ සඳහා හැටන් තරු චතුරශ්‍රයේ සහ ශක්ති ශාලාව අසළ භූමිය ව්‍යාපාර කටයුතු කිරිම සඳහා වෙන්කර ඇත.

එම ඉඩම් කැබලි සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් වාර්ථාවක් කැඳවා ටෙන්ඩර් පත් කැඳවා තිබේ.

එසේ කැදවූ ටෙන්ඩර් පත් ඊයේ නගර සභාවේ ලේකම් ශ්‍යාමලී රූපසිංහ, මුදල් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ අධීක්ෂණය යටතේ විවෘත කිරිමෙන් අනතුරුව මෙම ආදායම උපයා ගැනීමට හැකිව ඇත.

මෙම ටෙන්ඩර් පත් මගින් තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරිමට ඉඩම් ලබාගත් අයගෙන් එම ටෙන්ඩර් මුදලට අමතරව කැලි කසල බද්ද සහ ව්‍යාපාරික බද්දක් අයකර ඇති අතර, නගර සභාව විසින් ලබාදෙන නිර්ණායක යටතේ ව්‍යාපාර කටයුතු සිදු කල යුතුය.

අද පස්වරුවේ මිලිමීටර් 100 ඉක්මවන තද වැසි…..

අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඒ බව පවසයි.

එබැවින් ඇති වියහැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දෙයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1න් පමණ පසු තැනින් තැන  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

කෙහෙල්බද්දර පද්මෙට අයත් තවත් ගිනිඅවියක් ඌරගස්මංහන්දියෙන් හමුවෙයි….

කෙහෙල්බද්දර පද්මෙට අයත් යැයි කියන තවත් ගිනිඅවියක් ඌරගස් මංහන්දිය ප්‍රදේශයෙන් අද (03) සොයා ගෙන තිබේ.

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ අතුරු මාර්ගයක සඟවා තිබියදී මෙම ගිනිඅවිය සොයා ගත් බව පොලීසිය පැවසුවේය.

ඒ අනුව එහි සඟවා තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් හා පතරොම් ගැබක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ මව විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ සිය පුත්‍රයාට එරෙහිව නිකුත් කරන ලද රැඳවුම් නියෝගය නීතිවිරෝධී බව ප්‍රකාශ කරමිනි.

ඒ අනුව ඇය විසින් හබයාස් කෝපස් සහ රිට් අධිකරණ බලය මගින් නියෝගයක් ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර තිබේ.

පෙත්සමේදී ඇය විසින් නඩුව අවසාන තීරණය ගන්නා තෙක් රැඳවියා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවෙන් පිටත ඕනෑම ස්ථානයකට මාරු කිරීම වැළැක්වීම සඳහා අතුරු සහනයක් ඉල්ලා ඇත.

ඒ අනුව මෙම කාරණය විභාගයට ගත් විට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට සහතික වී ඇත්තේ නඩුවේ කරුණු පරීක්ෂා කර තහවුරු කරන තුරු රැඳවියා වෙනත් ස්ථානයකට මාරු නොකරන බවය.

රැඳවියා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රඳවා සිටින අතරතුර අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන සියලුම පරීක්ෂණ කටයුතු පවත්වන බවත් නීතීඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

මෙම පෙත්සම චමීර හපුතන්ත්‍රී මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න, සෙනාල් මතුගන, නාලක සමරකෝන්, රජින්ද්‍ර කන්දෙගෙදර යන මහත්වරු පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටින අතර නඩුව එළැඹෙන 23 වැනිදා කැඳවීමටද නියමිතය.

නිවාස කොල්ල කෑ අම්මයි පුතයි කොටුවෙයි….

නිවාසවලට සේවිකාවන් සපයන ආයතනයක සේවය කරමින් සිය පුතු සමගින් එක්ව එම නිවාස මංකොල්ලකෑමේ ජාවාරමක නිතරව සිටි මව්-පුතු දෙපළක් බෙම්මුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ කාන්තාව කලක සිට තම පුතු මෙහෙයවන කොල්ල කණ්ඩායමක් යොදවා නිවාස මංකොල්ලකෑමේ ජාවාරමේ නිරත වී තිබේ.

අවසන්වරට ඔවුන් බෙම්මුල්ල ප්‍රදේශයේ නිවසක සිදුකළ කොල්ලයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරව හසුකරගැනීමට පොලීසියට හැකිව ඇත.

මෙම කාන්තාව මීගමුවේ පිහිටි නිවාසවලට සේවිකාවන් සපයන ආයතනයක සේවය කර ඇති අතර, ඒ හරහා බෙම්මුල්ලේ නිවසේ ගෘහ සේවයට පැමිණ තිබේ.

පසුව සිය පුතු මෙහෙයවනු කොල්ලකල්ලිය හා එක්ව රාත්‍රී කාරයේදී නිවැසියන් බැඳදමා රුපියල් ලක්ෂ 15කට අධික  ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් ඇත.

අත්අඩංගුවට ගත් මව්-පුතු දෙපළ හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් ඇතුළු කොල්ලකල්ලිය පැය 24ක් ගතවීමට පෙර අත්අඩංගුවට ගැනීමට බෙම්මුල්ල පොලීසිය සමත්විය.

එහිදී ඔවුන් සතුව තිබී සොරකම්කරන ලද ස්වර්ණාභරන, හෙරොයින් ග්‍රෑම් 3ක් සිය භාරයට ගෙන ඇත.

මෙම කොල්ලකල්ලිය දිවයින පුරා කොල්ලත් කෑම් 10ක් පමණ සිදුකර ඇති බවට හෙළි වී ඇති අතර, අදාළ කාන්තාවගේ පුත්‍රයා සංඝයා වහන්සේ නමක් අපවත් කිරීමක් සම්බන්ධවද චෝදනා ලබා අධිකරණයෙන් ඇපමත මුදාහැර සිටින පුද්ගලයෙක් බවද හෙළි වී තිබේ.

සැකකරුවන් ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ළමයින්ට දඬුවම් කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත සංශෝධනය ගැන අධිකරණ ඇමතිගෙන් නිවේදනයක්…

ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වු) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණ අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වුවා මිස එය පාර්ලිමේන්තුව මඟින් නීතියක් ලෙස සම්මත කර නොමැති බවය.

ඉහත සඳහන් කළ දණ්ඩ නීති සංග්‍රහය සං‍ශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 24 වනදා පැවැත් වුණි.

එය විවාදයක් පමණක් මිස නීතියක් ලෙස සම්මත කර ගැනීමකින් තොරව කල්තැබූ බවත් අදාළ පනත් කෙටුම්පත සම්මත කරනු නොලැබුවේ එම සංශෝධනය බලාත්මක වීමට නම් ඊට සමානව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේද සංශෝධනයක් සිදුවිය යුතු බැවින් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එමෙන්ම මෙම පනත් කෙටුම්පත මෙතෙක් නීතියක් ලෙස සම්මත කර නොමැති අතර, මේ සඳහා සංශෝධන ඉදිරිපත් කළ යුතු නම් අදාළ සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ද අධිකරණ අමාත්‍යවරයා අදාළ නිවේදනය මඟින් දැනුම් දී තිබේ.

ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය  කිරීම සඳහා වු මෙම පනත මේ දක්වා නීතියක් බවට පත්ව නොමැති බව අධිකරණ අමාත්‍යවරයා සිය නිවේදනයෙන් තවදුරටත් අවධාරණය කර සිටී.

මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම විමසීමට දින දෙයි….

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් මෙම පෙත්සමට අදාළ ලිඛිත විරෝධතා අධිකරණයට ඉදිරිපත් කළාය.

එහිදී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය ඉල්ලා සිටියේ, මෙම විරෝධතාවලට පිළිතුරු ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය.

ඒ අනුව එම ලිඛිත පිළිතුරු ලබන අඟහරුවාදා ගොනුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා ජනාධිපති නීතිඥවරයාට නියම කළේය.

ඉන් අනතුරුව මෙම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස නියම කළේය.

ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන අතර ඊට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත තමන්ව මුදාහරින ලෙස ඉල්ලා හිටපු ඇමති මනුෂ නානායක්කාර මහතා විසින් මෙම අපේක්ෂිත ඇප පෙත්සම ඉදිරිපත් කර තිබේ.