නිල සංචාරයක් සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති දිවයිනට…..

රුසියානු රජයේ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද (31) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඒ මහතා සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.

ඔවුන් අද දින සවස 04.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඔවුන් පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු , ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

දිවයිනට පැමිණි ඔවුන් දින 05ක් මෙරට රැදී සිටීමටද නියමිතය.

මාර්තු ගෙවුණු දින 29ට සංචාරකයින් 175,661ක් මෙරටට ඇවිත්….

මාර්තු මාසයේ ගෙවී ගිය දින 29 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 175,661ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 45,650ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 26%ක් වේ.

එමෙන්ම, රුසියාවෙන් 15,579ක්, ජර්මනියෙන් 12,603ක්, එක්සත් රාජධානියෙන් 17,030ක්, චීනයෙන් 13,449ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 10,219ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට මාර්තු 29 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 732,316ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 145,390ක්, රුසියාවෙන් 65,812ක් සහ එක්සත් රාජධානියෙන් 77,358ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

හිටපු ඇමතිවරයෙක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි……

1999 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ සිදුවූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) ඉවත දැමීමට තීන්දු කර තිබේ.

අදාළ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබුණි.

ප්‍රියන්ත ප්‍රනාන්දු, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

1999 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් 2015 වසරේ හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණි.

එම චෝදනා පත්‍ර බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය 2020 වසරේ නොවැම්බර් මස 20 තීන්දුවක් ලබාදෙමින් නීතිපතිවරයා විසින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබුණි.

අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇත.

ඇපෑල ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ අභියාචනාධිකරණයේ තීන්දුව දෝෂ සහගත බවය.

ඒ අනුව සියලු කරුණු පරීක්ෂා කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තීන්දු ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව වැරදි සහගත බවය.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඉවත දමන බවත් නීතිපතිවරයාගේ අභියාචනය ගාස්තුවට යටත්ව පිළිගන්නා බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට….

නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බහාළු බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් මෙම යාත්‍රාව නාවික හමුදා භාරවට ගෙන ඇති අතර ඒ සමග සැකකරුවන් 6 දෙනෙකුද නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් 6 දෙනා ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බවද වාර්තා වේ.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කලාපයන් ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර ඒ අනුව මෙම යාත්‍රාව සිය භාරගෙන ගෙන ඇති බවත් සඳහන් වේ.

කහවත්ත මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනයට අයෙකු අත්අඩංගුවට….

කහවත්ත මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ පිහිටි ලඳු කැලෑවක සැකකරු සැඟව සිටියදී දෙල්වල පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව විශේෂ පොලිස් කණ්ඩායම් රැසක් යොදවා සිදුකළ සෝදිසියකින් අනතුරුව සැකකරු අත්අඩංගුනට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහවතුකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලීසිය පැවසීය.

පසුගිය 29 වැනිද දින කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙකු අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

එහිදී පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පසුගිය 28 වැනි දින අදාළ ව්‍යාපාරිකයා කහවත්ත – නීලගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කර ඇති බවටය.

පසුව ඔහුගේ එම යතුරුපැදිය කහවත්ත නීලගම මාර්ගයේ වංගුවක් අසළ නවතා තිබියදී හමුවූ අතර පසුගිය 29 වැනි දින ඔහුගේ ජංගම දුරකථනයද එම මාර්ගයේම තේ වතුයායක තිබී සොයාගෙන තිබුණි.

එහිදී සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශනය කළ පොලීසිය අතුරුදන්වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර පතල් වළක තිබී ඊයේ (30) දිනයේදී සොයා ගෙන තිබුණි.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන දෙල්වල පොලීසිය විසින් සිදුකරනු ඇත.

ගාල්ල දුම්රිය අංගනයේ ගාල් කර තිබූ භාවිතයෙන් ඉවත් කර දුම්රිය මැදිරි දෙකක ගින්නක්…..

ගාල්ල දුම්රිය ස්ථානය අසලදී භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි දෙකක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි 04 කට අයත් ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල් කොට තිබූ අතර ඉන් මැදිරි 2 කි.

මේ වන විට අදාළ ගින්න නිවීමේ කටයුතු ගිනි නිවීමේ හමුදාව විසින් සිදු කරන අතර ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්….

පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම 75%ක අගයක පවතින බවය.

මේ හේතුවෙන් මෙවර කන්නය සඳහා ජලය ලබා දීමේ හැකියාව පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

“ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම් මේ වන විට පහළ මට්ටමක පවතින්නේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ජලාශ 73න් බොහෝ ජලාශවල ජල මට්ටම සාමාන්‍ය අගයක 75% ඉක්මවා තිබෙනවා. ඒ නිසා මෙවර කන්නය සඳහා ජලය ලබා දීමට හැකියාව පවතිනවා. පානීය ජල අවශ්‍යතාවයන් සඳහා ගංගාවලින් ජලය ලබා ගන්නා ස්ථානවල කරදිය ඇතුල්වීමේ හැකියාව පවතින්න පුළුවන්. විශේෂයෙන්ම නිල්වලා, කැලණි සහ කළු යන ගංගාවල. ඒ නිසා ජනතාව හැටියට ජලය ඉතාම පරිස්සමින් පරිහරණය කරන්න.”

තැපෑලේ නමින් වෙන මහා පරිමාණ වංචාවක් ගැන හෙළිදරව්වක්….

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කර සිදුකරමින් පවතින වංචාවක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ නිල අඩවිය සහ නාමය අවභාවිත කරමින් ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබා ගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා එම මුදල Online Payment ක්‍රමය හරහා බැංකු කාඩ්පත් භාවිතයෙන් ගෙවීමට පාරිභෝගිකයින් ඉලක්ක කරන Phishing Scam ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

මෙම වංචනික ක්‍රියාවලිය යටතේ පාරිභෝගිකයින් විසින් Payment Gateway හරහා තම බැකු කාඩ්පත් විස්තර ඇතුළත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කර ගැනීම මෙහිදී සිදුවනු ඇති බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මේ පිළිබඳව අගතියට පත්වූ හා අදාළ කෙටි පණිවුඩ ලද මහජන පැමිණිලි බොහොමයක් ලැබී ඇති බවත් මෙම Phishing Scam පිළිබඳව මීට පෙර පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දන්වා ඇත.

මේ හේතුවෙන් මහජනතාව මෙම වංචාකාරී කෙටි පණිවිඩ සහිත සබැඳි (SMS Links) ව්‍යාජ වෙබ් අඩවි සහ මාර්ගගත ගෙවීම් ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් නොහඳුනන Links මත Clicl නොකරන ලෙසත් තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශ්ව පුද්ගලයින් හෝ වෙබ් අඩවි වෙත ලබා නොදෙන ලෙසත් තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක්ද සිදුකර තිබේ.

අයහපත් කාලගුණය නිසා කටුනායක ගුවන් මෙහෙයුම්වල ප්‍රමාදයන්…..

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා කිහිපයක් ප්‍රමාදයන් සහිතව ගොඩබෑමට සූදානම් බව වාර්තා විය.

අයහපත් කාලගුණ තත්ත්වය සහ දුර්වල දෘශ්‍යතා තත්ත්වයන් හේතුවෙන් මෙලෙස ගුවන් යානා ප්‍රමාදයන් සහිතව ගොඩබෑමට සූදානම් කර ඇත.

මේ අතර, චයිනා ඊස්ටන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කටුනායකට ගොඩබෑමට නොහැකිව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ බවද වාර්තා වේ.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ…..

2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

2025 උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වුණි.

විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 281,810ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 221,413ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 60,397ක් ඇතුළත්ය.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 176,527ක් සුදුසුකම් ලබා තිබේ.

ඊට පාසල් අයදුම්කරුවන් 146,405ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 30,122ක් ඇතුළත් බවද විභාග දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.