රන් මිල අදත් රු 10,000කින් පහළට….

මෙරට රන් මිල පසුගිය සතියට සාපේක්ෂව රු 77,000කින් පමණ පහළ ගොස් ඇති අතර, අද (23) දී පමණක් රන් මිල රු 10,000කින් පහළ ගොස් ඇත.

ඒ අනුව අද (23) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 302,300ක් දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය සිකුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය.

මේ අතර සිකුරාදා දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 330,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2025 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 13කට ආසන්න වෙයි….

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයනය සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.

මෙය 2024 අදාළ කාලය හා සසඳන විට 7% වැඩිවීමකි.

2025 සැප්තැම්බර් මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයන යන දෙකම ඇතුළත් සමස්ත අපනයන ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,469.75ක් දක්වා ළඟා වී ඇත.

එය 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 12.33%ක වර්ධනයකි.

මෙමගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාව පෙන්නුම් කර ඇත.

අපනයන අංශයේ ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා,

“අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය මගින් ගෝලීය වෙළඳාමට ශ්‍රී ලංකාව ගැඹුරින් ඒකාබද්ධ වීම සහ අපනයන තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ වෙළඳපොළ අවස්ථා විවිධාංගීකරණය කිරීමට අප ගන්නා අඛණ්ඩ උත්සාහයන්ගේ සාර්ථකත්වය පිළිබිඹු කරයි. ගෝලීය අභියෝග හමුවේ අපගේ අපනයනකරුවන් නැවත වරක් කැපී පෙනෙන ස්ථාවරත්වය පෙන්නුම් කර ඇත.

2025 සැප්තැම්බර් වන විට සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 13 ට ළගාවීම අපගේ අපනයන ප්‍රජාවගේ ශක්තිය සහ අධිෂ්ඨානය සනාථ කරන සාක්ෂියකි. තුන්වන කාර්තුව අවසන් වන විට අපගේ වාර්ෂික අපනයන ඉලක්කයෙන් 72%කට වඩා දැනටමත් අත්පත් කර ගෙන ඇති හෙයින් අඛණ්ඩ සහයෝගීතාව සහ උපායමාර්ගික ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාව 2025 අපනයන ඉලක්කයට සාර්ථකව ළඟා වන බවට අපි විශ්වාසයෙන් සිටිමු.”

රජයේ නිලධාරීන්ට බලපෑම් කළ කළමණාකරුවෙකු අත්අඩංගුවට අල්ලස් දැලේ….

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධාරීන්ගේ නිල කාර්යය ඉටු කිරිමට බලපෑම් කිරීමේ චෝදනාව මත පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා කොමිෂන් සභාවේ නිල හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් ද සකස් කරමින් මෙසේ රජයේ නිලධාරීන්ගේ රාජකාරී සඳහා බාධා කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවැනි ආකාරයට ව්‍යාජ නිල හැඳුනුම්පත් ඉදිරිපත් කර හෝ ව්‍යාජ ලේඛන භාවිතා කරමින් ක්‍රියා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව කොමිෂන් සභාව වෙත (1954) දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දන්වා සිටී.

වැලිගම ඝාතකයින් ගැන සාර්ථක තොරතුරක්….

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතන සැකකරුවන් ගැන සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අද (23)  පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි දින දෙක තුන තුළ ඔවුන් අත්අඩංගුවට ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“පොලිස් කණ්ඩායම් 4ක් යෙදෙව්වා. මේ වනවිට තොරතුරු ලැබී තියෙනවා. දින 2ක් 3ක් ඇතුළත මේකට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්නවා. ඒ සඳහා නියෝගයක් ලබාදීලා තියෙනවා. ඒ ගැන තොරතුරු ලැබෙමින් තියෙනවා. අපි කනගාටු වෙනවා එතුමා ඝාතනයට ලක්වීම ගැන. මම ඊයෙත් කිව්වා මේක පාතාලය, නීතිවිරෝධී කටයුතු කරන කෙනෙක් ද වෙනත් කෙනෙක් ද කියන එක අපිට අදාළ නෑ. හැම ජීවිතයක්ම ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා.”

ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඔහුගේ නිල කාර්යාලය තුළ නාඳුනන තුවක්කරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

සුදු පැහැති කමිසයකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැලඳගෙන වෙඩික්කරු සභාපතිවරයාගේ කාර්යාලය තුළට පැමිණ තිබුණි.

එහිදි වෙඩික්කරු නිල ආසනයේ සිටි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පලා යන අයුරු CCTV දර්ශනවල පටිගතව තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණි.

පොලීසිය පැවසුවේ වෙඩිවැදීමෙන් ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ හිසට, ගෙලට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්ය.

මේ අතර  බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින මිදිගම රුවන්ගේ පාර්ශවය විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපල කරයි.

තමාට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ලසන්න වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් ද යොමුකර ඇති බව සඳහන්ය.

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්…..

රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්‍ෂාණී නමැත්තිය ලබන 31 වෙනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකාරියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රත්වරයා මෙම නියෝගය කළේය.

වැලිගම සභාපතිගේ දේහය නිවසට රැගෙන එයි….

වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

ඊයේ (22) රාත්‍රීයේ ඒ මහතාගේ දේහය නිවසට රැගෙන විත් තිබුණි.

සභාපතිවරයාගේ දේහය ඉදිරියේ “අනේ මගේ රන්කඳ මාව දාලා යන්න එපා…මට දරාගන්න අමාරුයි. හිත හදාගන්න එක පාරක් මට කතා කරන්න. මම කොච්චර ආදරෙන් ද මෙයාව බලාගත්තේ. මට මෙච්චර වේදනාවක් දීලා ගියා. අනේ මගේ රන්කඳ එන්නකෝ මා ළඟට එකපාරක්…මම එනකල් පොඩ්ඩක් පණ අල්ලගෙන ඉන්න තිබුණානේ…” යනුවෙන් හඬා වැළෙපෙමින් ඔහුගේ බිරිඳ සංවේදී වන අයුරු ‘අද දෙරණ’ කැමරාවේ සටහන්ව තිබුණි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ (22) උදෑසන 10.30ට පමණ සභාපතිවරයා ඔහුගේ කාර්යාලය තුළ පුටුව මත දීම වෙඩි තබා ඝාතනය කෙරුණි.

සභාපතිවරයාගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර තිබූ බව පොලීසිය පවසයි.

එහිදී වෙඩික්කරු ද සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සුදුපැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළඳ ඔවුන් අතර රැඳී සිට තිබුණි.

ඒ අතරතුර කාන්තාවක් සභාපතිවරයාගේ නිලකාමරයට ගොස් ඔහු ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණීමේදී වෙඩික්කරු නිල කාමරය තුළට ඇතුළුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරු යතුරුපැදියකින් පලාගොස් තිබේ.

සභාපතිවරයාගේ හිසට හා ගෙලට වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී තිබුණු බව පොලීසිය පැවසීය.

2026 වසරේ සිට සියලුම පෙරපාසල් සඳහා එකම විෂයමාලාවක්…

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22)  පාර්ලිමේන්තුවේ දී රැස් විය.

මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, 2026 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව ය.

ඇයපැවසූවේ, පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් ව ඇති අතර, දහනවදහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ  නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිත ව ඇති බව ය.

එහි දී සෑම පළාතක ම ගුරු පුහුණුවීම් සිදු කරන අතර, එමගින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බව ද අග්‍රාමාත්‍යවරිය පැවසී ය.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළේ, පාසල් කිසිවක් නොවසන බවත්, පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බවත් ය.

මෙය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය හා සැමට සම අවස්ථා ලබා දීමේ අරමුණින් සිදු කරන බවත් ඇය සඳහන් කළා ය.

හමුදා පරිහරණයේ තිබූ උතුරු – නැගෙනහිර ඉඩම් අක්කර 700කට අධික ප්‍රමාණයක් නිදහස් කෙරේ…..

2025 වසරේ මේ දක්වා වූ කාලය තුළ උතුරු – නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 706ක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර මහතා පැවසීය.

අද (23) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ හෙළිදරව් කරමින් පවසා සිටියේ, උතුරේ නිදහස් කළ ඉඩම් අතරට පුද්ගලික ඉඩම් අක්කර 86.24ක් සහ හමුදා පරිහරණයේ තිබූ ඉඩම් අක්කර 586ක් ද ඇතුළත් බවය.

අදාළ ඉඩම් පිළිබඳ තොරතුරු ආරක්ෂක කවුන්සිලයට සහ ආරක්ෂික ආංශික සභාවට ද ඇතුළත් කර මෙම නිදහස් කිරීම සිදුකළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

නැගෙනහිර පමණක් රජයේ ඉඩම් අක්කර 34.58ක් නිදහස් කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලොකු ලූනු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට COPF අනුමැතිය…

2025 යල කන්නය සඳහා දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) වැඩි කිරීමට අදාළව 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 21වනදා පාර්ලිමේන්තුවේදී  රැස්වූ අවස්ථාවේදීය.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කිරීමට නියමිතව තිබුණද, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා රජය එය දිගටම භාවිතා කරන බව  මෙහිදී අනාවරණය වී තිබේ.

ඒ අනුව, 2025 අගෝස්තු 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 කින් (රු. 40 සිට රු. 50 දක්වා) සහ ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20 කින් (රු. 60 සිට රු. 80 දක්වා) වැඩි කිරීමට පියවර ගෙන ඇත.

මෙහිදී අදහස් දැක්වූ නිලධාරීන් ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය තිරසාර, සරල, විනිවිද භාවයෙන් යුත් සහ වෙළෙඳුන්ට නිවැරදී පුරෝකථනයක් කළ හැකි විය යුතු බව ප්‍රකාශ කළ ඇත.

ඒ අනුව මෙයට අනුකූලව,  පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය විසින් පවතින නීති ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සමඟ ඒකාබද්ධ කරන ලෙස කාරක සභාව  නිර්දේශ  කරන ලදී.

මෙහිදී කාරක සභාව විසින් යෝජිත තීරුබදු ක්‍රමවල වෙනස්කම්වල බලපෑම පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් සිදු කරන ලෙසත්  එයට තීරු හතරේ බදු ක්‍රමයකට (Four- band import duty) මාරුවීම , සහ 2027 සිට 2030 දක්වා පැරා තීරුබදු (SCL සහ CESS) ක්‍රමානුකූලව ඉවත් කිරීම පිලිබඳ තොරතුරු ඇතුළත්  කරමින්  2026 මාර්තු මස අවසන් වන විට යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශවලට නියෝග කරන ලදී.

කන්න අනුව පනවන  තීරුබදු මත රඳා පැවතීම අඩු කිරීමට ලොකු ළූණු වගාව සඳහා ඉහළ අස්වැන්නක් ලබා දෙන  නව තාක්ෂණික භාවිතයන් පුළුල් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ට ව්‍යාපෘතියක්  සකස්  කරන ලෙසත්,  එම ව්‍යාපෘතිය වසර පහක් තුල ලංකාවේ මුළු වගාබිම් ප්‍රමාණය  සඳහාම භාවිතාකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.

මෙය පසු අස්වනු පාඩු අවම කිරීම සහ ගොවීන් සඳහා මිල ස්ථාවර කිරීම සඳහා “ප්‍රභාෂ්වර” වැනි ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය පාලනය කරන ලද ගබඩා, ආපසු මිලදී ගැනීමේ ගිවිසුම් (buy-back agreements)  සහ  අනාගත කොන්ත්‍රාත්තු (futures contracts)ඇතුළත් පුළුල් උපාය මාර්ගික කොටසක් විය යුතු බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය.

තවද, මත්පැන් නිෂ්පාදනය සඳහා තීරුබදු ගෙවීමට අදාළ සුරාබදු ආඥාපනත (52 වන පරිච්ඡේදය) යටතේ ඇති රීති ද, කාරක සභාවේදී සළකා බලා අනුමත කර තිබේ.

ඒ අනුව නව නීති මගින් දින 30 ඇතුළත අදාල බදු නොගෙවන්නන්ගේ නිෂ්පාදනය නතර කරනු ලබන අතර,  දින 90 ඇතුළත සියලුම බෙදාහැරීම් සහ විකුණුම් නතර කරනු ලබන බව නිලධාරීත් පවසා ඇත.

සුරාබදු පනතෙහි ශක්තිමත් බදු අයකර ගැනීමේ යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් නොගෙවූ ගාස්තු සඳහා දැනට පවතින 3% පොලී දඩ මුදල  ප්‍රමාණවත් නොවන බැවින්, මෙය බලාත්මක  කිරීමේ වැදගත්කම කාරක සභාව  අවධාරනය කර තිබේ.

වැලිගම සභාපති ඝාතනය පිටුපස පාතාල ක්‍රියාකාරකම් ?

වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයත් සමඟ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යළි කතා බහක් මතුව තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අද (22) උදෑසන 10.20ට පමණ වැලිගම ප්‍රාදේශීය සභාවේ ඔහුගේ කාමරය තුළදී ඝාතනයට ලක් විය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ලිපියක් අත්සන් කරගැනීමට යන මුවාවෙන් කාමරය තුළට ගොස් වෙඩි තබා පලාගොස් තිබුණි.

එහිදී බරපතළ තුවාල තැබු සභාපතිවරයා මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකය තුළදී ජීවිතක්ෂයට පත්විය.

මෙම ඝාතනයත් සමග සමාජය තුළ යළිත් වරක් පාතාල කල්ලි අතර ඝාතනයන් සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ.

ඊට හේතු වී ඇත්තේ මොහු ‘ශන්ෂයින් සුද්දා’ නැමැති අපරාධ කල්ලි සමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්ව තිබීමය.

මොහුට විරුද්ධව අධිකරණය තුළ නඩු 06ක් පවතින අතර මොහු අත්හිටවූ සිරදඬුවම් මත සිට ඇති බවද පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම ලසන්ත වික්‍රමසේකර මහතා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පැවසෙන මේවන විට බන්ධනාගාර ගතව සිටින නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බවට ද අනාවරණය වී ඇත.

හරක් කටාගේ කල්ලියේ ප්‍රධානීන් වන ‘මිදිගම චූටි’ හා මිදිගම රුවන් සමග ද ඔහු සමීප ඇසුරක් පවත්වා ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබේ.

පසු කලෙක මිදිගම රුවන් එම කණ්ඩායමෙන් වෙන් වී ඇති අතර අනතුරුව ඔහුගෙන් වික්‍රමසේකර මහතාට මරණ තර්ජන එල්ලවී ඇති බව පොලීසිය පැවසීය.

බන්ධනාගාරගතව සිටින මිදිගම රුවන් එහි සිට ෆේස්බුක්හි පෝස්ටුවක් පළකළ තිබුණි.

”ගරු සභාපතිතුමෝ, ඔයා දැන් සුදු ඇන්දට අමතක කරන්න එපා ඔයා කළු අඳින කාලේ අපි ඔක්කොම එකගොඩේ හිටිය වග. බොරු කියලා නාට්ටි දාලා මගේ එක කොල්ලෙක් හරි හිරකරන්න හැදුවොත් මම ඇත්ත කියලා ඔයාගේ සුදු රෙද්ද ඔළුවෙන් ගලවලා දාන්න දෙපාරක් හිතන්නේ නැහැ. අනික උඹට මම ගහන්න ඉන්නවා කියකියා එක එකාට කියන්න එපා. මම ප්‍රතිපත්තියක් වශයෙන් හරක් මරන්නේ නෑ.” යනුවෙන් එහි සටහන් කර තිබිණි.

එලෙස එල්ල වූ තර්ජන හමුවේ ලසන්න වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් යොමුකර ඇත.

එහි දැක්වෙන්නේ තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවය.

“මා අධිකරණයට පැමිණෙන අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බවට මා හට විශ්වාසයක් පවතින බව සැළකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මා හට තර්ජන එල්ලකර ඇත. ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට මා හට, විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැළකර සිටිමි. සමාජ මාධ්‍යයන් ඔස්සේ මාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් මිදිගම රුවන් හෙවත් රුවන් ජයසේකර නැමැති පුද්ගලයා විසින් මුහුණුපොත හරහා පෝස්ටුවක් පළකර ඇති ආකාරයක් මාහට දැනගැනීමට හැකියාව ලැබුණා. මෙම සියලු තත්ත්වයන් හේතුවෙන් මාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවට මා හට දැනෙන බැවින්ද, ඒ බවට දැන් දැන් සිදුවන තර්ජන ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බැවින්ද මාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමර්ගයෙක් ගැනීමට කටයුතු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.”

කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය පිළිබඳව එම වකවානුවේදී තර්ජනයක් එල්ල වී නොතිබූ බව පොලීසිය සඳහන් කළේය.

නමුත් සභාපතිවරයා විවිධ ස්ථානවල සැඟවී සිටිමින් සිට ඇති අතර සභාවාරයන් සඳහා පමණක් වැලිගම ප්‍රාදේශීය සභාවට පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ සභික නීතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට ඉකුත් ජූලි මස 16 වනදා වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේද ලසන්න වික්‍රමසේකර මහතාටය.

එයද මිදිගම රුවන්ගේ පාර්ශ්වය විසින් සිදුකර එහි චෝදනා ඔහු වෙත එල්ලකීරීමට උත්සාහ දරා ඇති බව පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනයේදී හෙළිවී ඇත.

ඒ අනුව පොලීසිය සැක පළකරන්නේ ලසන්න වික්‍රමසේකර මහතාව මිදිගම රුවන්ගේ පාර්ශ්වය විසින් ඝාතනය කර ඇති බවය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණය යටතේ කණ්ඩායම් 04ක් විසින්  සිදු කරනු ලබයි.

මේ අතර ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග වැද ජයග්‍රහණය කළ අතර ඔහු එහි සභාපති ධූරයට පත්වූයේ ඒ සඳහා පාර්ශ්ව දෙකක් අතර පැවති මතභේදාත්මක තත්ත්වයකින් පසුව වීමද විශේෂත්වයකි.