සෝ සුසුම් මැද අවසන් ගමන් ගිය කපිල චන්ද්‍රසේන……

මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී පෙරේදා (08) උදෑසන හමුවිය.

ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි සැක කෙරුණු මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

මේ අතර චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත්කරනු ලැබීය.

ඒ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ලබාදුන් නියෝගයට අනුවය.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී ඊයේ (09) පෙරවරුවේ සිදුකෙරුණි.

එහිදී ඔහුගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

තරුණයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර…..

රත්නපුර – බලන්ගොඩ මාර්ගයේ බත්ගම්ගොඩ හන්දිය අසලදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බලන්ගොඩ දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක්, පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැණ් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වූ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පැල්මඩුල්ල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මාස 02දී තෙල් බැරල් බිලියනයක් වෙළෙඳපොළට සැපයීමට තිබූ අවස්ථාව අහිමි වෙයි…….

පසුගිය මාස දෙකක කාලය තුළ, බොරතෙල් බැරල් බිලියනයක පමණ ප්‍රමාණයක් ලෝක වෙළෙඳපොළට සැපයීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බව Saudi Aramco සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අමීන් නසාර් පවසයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින නාවික ගමනාගමන බාධාවන් හේතුවෙන් බලශක්ති වෙළෙඳපොළ දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.

අද (10) විශේෂ ප්‍රකාශයක් කරමින් අමීන් නසාර් සඳහන් කළේ, තෙල් සැපයුම් මාර්ග යළි විවෘත කළද, අඩාල වූ වෙළෙඳපොළ යථා තත්ත්වයට පත්වීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවය.

අමෙරිකා – ඊශ්‍රායල යුද්ධයත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම දැඩි ලෙස සීමා වී තිබේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළෙඳපොළේ තෙල් මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

“සැපයුම් මාර්ග යළි විවෘත කිරීම සහ බැරල් බිලියනයක් අහිමි වූ වෙළෙඳපොළක් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම යනු කරුණු දෙකක්,” යැයි නසාර් මහතා අවධාරණය කළේය.

හෝමුස් සමුද්‍ර සන්ධිය මඟහරිමින් රතු මුහුද හරහා බොරතෙල් ප්‍රවාහනය කිරීම සඳහා Aramco සමාගම සිය “නැගෙනහිර-බටහිර නල මාර්ගය”  භාවිත කරන බවත්, මෙම ගෝලීය සැපයුම් අර්බුදය අවම කිරීම සඳහා එය තීරණාත්මක මෙහෙවරක් ඉටු කරන බවත් ඔහු පැවසීය.

මෙම අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවද, Aramco සමාගම සිය පළමු කාර්තුව සඳහා ශුද්ධ ලාභයේ 25% ක වර්ධනයක් වාර්තා කර තිබේ.

සැපයුම් මාර්ගවල වෙනස්කම් සිදු වුවද, ආසියානු කලාපය තවමත් තම සමාගමේ ප්‍රධානතම ඉලක්කය සහ ගෝලීය ඉල්ලුමේ කේන්ද්‍රස්ථානය බව නසාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැල්ලවාය – කොළඹ මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි……

වැල්ලවාය සහ අවට ප්‍රදේශවලට අද (10) රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැල්ලවාය – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් වැල්ලවාය ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ.

වැල්ලවාය ගංගාරාම විහාරස්ථානය සහ ඇතිලිවැව යන ප්‍රදේශ මෙලෙස ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවී ඇත.

දිට්වා සහන පැකේජය කඩිනම් කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වෙයි…..

පසුගිය වසරේ ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ස්වභාවික ව්‍යසනයෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාව විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට දෙරට එකඟ වී තිබේ.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර පැවති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

“ඩොලර් මිලියන 450ක පශ්චාත් දිට්වා ප්‍රතිසංස්කරණ පැකේජය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට එකඟ වූ බව” මහ කොමසාරිස් ජා මහතා X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

පසුගිය වසරේ නොවැම්බර් 27 වන දින ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මිලියන තුනකට අධික ජනතාවක් පීඩාවට පත් වූ අතර පුද්ගල මරණ 640කට අධික සංඛ්‍යාවක් වාර්තා විය.

එහිදී ශ්‍රී ලංකාවට සහාය වූ පළමු රට ලෙස ඉන්දියාව නොවැම්බර් 28 වන දින සහන සේවා සඳහා ‘සාගර් බන්දු’ මෙහෙයුම දියත් කළේය.

දෙසැම්බර් 23 වන දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් මෙම ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජය ප්‍රකාශයට පත් කළේය.

අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය පහසුකම්.

අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදානයන්.

මෙම හමුවේදී දැනට ක්‍රියාත්මක අනෙකුත් ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද අවධානය යොමු කර ඇත.

නිවාස, සෞඛ්‍ය, ජලය, යටිතල පහසුකම් සහ තාක්ෂණික ක්ෂේත්‍රයන්හි ඉන්දීය ව්‍යාපෘති රැසක් දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.

මීට අමතරව, නවීන මූල්‍ය රාමු සහ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කරගත් බව මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

‘බටුවත්තේ චාමර’ දිවයිනට රැගෙන එයි……

අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් ‘බටුවත්තේ චාමර’ අද (10) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය.

සැකකරු ඉන්දියාව හරහා මෙරටට රැගෙන ආ බව වාර්තා වේ.

ඔහු රැගෙන ඒම සඳහා මෙරට පොලිස් කණ්ඩායමක් පසුගිය 7වනදා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

මුහුදු වෙරළේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි…..

කිරින්ද පොලිස් වසමේ ගුරුගොඩැල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ තිබී ඊයේ (08) සවස කාන්තා මළ සිරුරක් ඇති බවට කිරින්ද පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු  40 ක් පමණ වූ උස අඩි 05 අගල් 02ක් වන උඩුකයට සහ යටිකයට දුඹුරු වර්ණයෙන් යුත් ඇදුම් හැද සිට ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය තිස්සමහාරාම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

යල කන්නයේ කිසිදු භෝගයකට පොහොර හිඟයක් නැති බව කෘෂි ඇමති කියයි…..

මෙවර යල කන්නයේදී කිසිදු භෝගයකට පොහොර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති පොහොර ක්ෂේත්‍රයට අදාළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දැනට යල කන්නයට අවශ්‍ය පොහොර තොග රට තුළ පවතින අතර, ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහැරීම සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, රජයේ ඉල්ලීමක් මත තාවකාලිකව නතර කර තිබූ පෞද්ගලික අංශයේ පොහොර බෙදාහැරීම්ද යළි සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවද ඔහු පැවසීය.

යම් ප්‍රදේශවල බෙදාහැරීමේ ප්‍රමාදයන් පවතින නමුත්, ඒවා විසඳා ඉදිරියේදී කිසිදු බාධාවකින් තොරව පොහොර සැපයීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම පොහොර සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන ප්‍රකාශ පතුරුවන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි මාස් කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය මේ වනවිට ලබාදී ඇති අතර, රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව එම කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තවද, වැඩි ඵලදායීතාවක් සහිත නව පරම්පරාවේ පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ පස පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොහොර යෙදීම තවදුරටත් පුළුල් කිරීමටද මෙහිදී තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහළ යාමක්……

2026 අප්‍රේල් මාසය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම යළිත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 මට්ටමින් පහළ වැටී තිබේ.

මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව, 2026 මාර්තු මාසය අවසානයේ ඩොලර් මිලියන 7,026ක් ලෙස වාර්තා වූ සමස්ත නිල සංචිත වත්කම් ප්‍රමාණය, අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,759ක් දක්වා පහළ ගොස් ඇත.

සංචිත වත්කම්වල ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතයද අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 6,800 සිට ඩොලර් මිලියන 6,505 දක්වා පහත වැටී ඇති බව දත්ත පෙන්වා දෙයි.

එමෙන්ම මහ බැංකුව සතු රන් සංචිතයද ඩොලර් මිලියන 222 සිට ඩොලර් මිලියන 219 දක්වා අඩු වී තිබේ.

වසර පහහමාරකට පසු ප්‍රථම වරට 2026 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගිය අතර, එම මාසය අවසානයේ එය ඩොලර් මිලියන 7,284ක් ලෙස වාර්තා විය.

කෙසේවෙතත්, මාර්තු මාසයේදී එය ඩොලර් මිලියන 7,026 දක්වා සියයට 3.5කින් පහළ ගොස් තිබූ අතර, ඒ අනුව අඛණ්ඩව දෙවන මාසයටත් නිල සංචිත පහළ යාමක් අප්‍රේල් මාසයේදී වාර්තා වී තිබේ.

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළට…..

2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඒකක 180ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බව  එම කොමිෂන් සභාව සඳහන් කළේය.

විදුලි පිරිවැය ඉහළයෑම හේතුවෙන් රුපියල් බිලියන 38ක පමණ හිඟයක් මෙම කාර්තු සහ ඉදිරි කාර්තුවට බලපෑම සහ ප්‍රධාන කාරණා 3ක් මුල්කර ගනිමින් විදුලි ගාස්තුව 18%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

කෙසේවෙතත් රු. බිලියන 15ක සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟවීමත් සමග 5%කට පමණ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට පමණක් මෙම වැඩිවෙන විදුලි ගාස්තුව බලපැවැත්වෙන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව 95%ටම මෙම විදුලි ගාස්තු වැඩිවීම අදාළ නොවන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ගාස්තු ඉහළ නැංවීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදුවන බව සඳහන් වෙයි.

18%ක විදුලි ගාස්තු වැඩිවීම සිදුවන අයුරු…

ගෘහස්ථ පාරිභෝගික ඒකක 0 – 180 අතර, විදුලි ගාස්තු වැඩිවීමක් නොමැති අතර, 180ට වැඩි නම් 18%ක්

පොදු කාර්යය (GP 1/) ඒකක 180ට අඩු කාණ්ඩ සඳහා ගාස්තු වැඩිවීමක් නොමැති අතර, GP 2/GP 3 කාණ්ඩ සඳහා  18%ක්

සියලුම රාජ්‍ය ආයතන සඳහා 18%ක්

හෝටල් ක්ෂේත්‍රයේ H1 සහ H2 සඳහා ගාස්තු ඉහළ යෑමක් නොමැති අතර, පරිභෝජනය වැඩිනම් 18%ක්

සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා ගාස්තු වැඩිවීමක් නොමැති අතර, විශාල ප්‍රමාණයේ කර්මාන්ත සඳහා18%ක්

විදුලි පරිභෝජනය ඒකක 180ට අඩු පූජනීය ස්ථාන සඳහා ගාස්තු ඉහළ යෑමක් නොමැති අතර,

ඒකක 180ට වැඩි නම් 18%ක්