දැදුරුඔය, රාජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කෙරේ…..

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි දෙක දක්වා වැඩි කර විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ධාරා ප්‍රදේශයට ලැබෙන වර්ෂාව හේතුවෙන් මෙම තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව ජලාශයෙන් තත්පරයට ජලය ඝන අඩි 5500 බැගින් දැදුරු ඔයට නිකුත් කෙරේ.

මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තිබේ.

ඒ අනුව වාන් දොරටු හතරක් අඩි හය බැගින් ද වාන් දොරටු හතරක් අඩි පහ බැගින් ද සෙසු වාන් දොරටු 4ක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ජලාශයෙන් තත්පරයට ජලය ඝන අඩි 14,565 බැගින් කලා ඔයට නිකුත් කෙරෙන බව සඳහන්ය.

එමෙන්ම අංගමුව ජලාශයෙන් වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ජලය ඝන අඩි 653 බැගින් කලා ඔයට නිකුත් කෙරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

පරිගණක අපරාධ සම්බන්ධයෙන් විදේශිකයින් 54ක් පොලීසියට කොටු වෙයි……

පරිගණක අපරාධවලට සම්බන්ධ බවට සැකපිට විදෙස් ජාතිකයින් 54 දෙනෙකු හික්කඩුවේ සංචාරක හෝටලයකදී විශේෂ කාර්ය බලකාය විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය ජාතිකයන් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 19 දෙනෙක්.

විදෙස් ජාතිකයන් පිරිසක් පරිගණක අපරාධ සඳහා හික්කඩුව, දොඩන්දූව ප්‍රදේශයේ රැඳී සිටින බවට පසුගියදා බූස්ස යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ වැටලීම් ඒකකය හා හික්කඩුව පොලීසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණේ අද පස්වරුවේදීය.

එහිදී, පරිගණක අපරාධවලට සම්බන්ධ බවට සැකපිට විදෙස් ජාතිකයින් 54 දෙනෙකු හික්කඩුව පොලිස් වසමේ දොඩන්දූවේ පිහිටි සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම විදෙස් ජාතිකයන් අතර ඉන්දීය ජාතිකයන් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 19 දෙනෙකු සිටින බව එම නිලධාරින් සඳහන් කළේය.

ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන දෙසියයකට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිගණක 25ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් පිරිස සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හික්කඩුව පොලීසිය සහ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් ක්‍රියාත්මක කරයි.

කොළඹ වරායට නුදුරු මුහුදේ නාඳුනන මළසිරුරක්……

කොළඹ වරායට නුදුරු මුහුදේ මෘත ශරීරයක් ඇති බවට කොළඹ වරාය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත කොළඹ වරාය පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවය.

ඔහු උස අඩි 05 අඟල් 06ක් පමණ වන කොණ්ඩය කොටට කපා රැවුල වවා ඇති පුද්ගලයෙකු වන අතර කළු පැහැති කොට කලිසමක් සහ දුඹුරු පැහැති කමිසයක් හැඳ සිටි බවද සඳහන්.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්…..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිදුකර තිබූ කැඳවීම පිළිගන්නා අතර අදාළ දිනයේ දී ඒ සඳහා පෙනී සිටීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළැඹෙන 12 වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ලිපියක් මගින් දැනුම් දී තිබුණි.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වුණි.

විමර්ශන අතරතුර අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණයට පැවසුවේ මෙම ගනුදෙනුවේදී තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 20ක් එවක සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද, රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ලබාදුන් බව කපිල චන්ද්‍රසේන පැවසූ බවය.

නමුත් ඊට විරෝධය දැක්වූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශ ලබාගෙන ඇති බවය.

තමිල්නාඩු නව මහ ඇමති විජේට ජනපති අනුරගෙන් සුබ පැතුම්…..

තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දුන් සී. ජෝසප් විජේ හට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක් කර තිබේ.

X සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර ඓතිහාසික, සංස්කෘතික සහ ව්‍යවසාය සහ පාරම්පරික සබඳතාවලින් බැඳි ඇති බවය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වඩාත් සමීප සබඳතා සහ ශක්තිමත් හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට අඛණ්ඩව සිදු කරන බැවින් අනාගතයේදී අතිමහත් ආර්ථික පොරොන්දුවක් මෙන්ම අවස්ථාවන් පවතින බව එහි දැක්වේ.

ශක්තිමත් ඉන්දු – ලංකා හවුල්කාරිත්වය තුළ, වැඩි සමෘද්ධියක් සහ ප්‍රගතියක් සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

යාල්දේවී දුම්රිය හෙට සිට නැවත ධාවනය ආරම්භ කරයි……

කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය හෙට (11) දින සිට නැවත ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ගමන් කරනු ඇත.

කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා යාල් දේවී දුම්රිය ධාවනය කරනුයේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල පමණය.

වායු සමනය කළ පළමු පංතියේ මැදිරි 04කින් මෙම දුම්රිය සමන්විත වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් හෝ ආසන වෙන්කිරීමේ පහසුකම සලසා ඇති දුම්රිය ස්ථානයකට පැමිණීමෙන් ප්‍රවේශ පත්‍ර වෙන්කරගත හැකිය.

විදුලි බිල 18%කින් ඉහළ නැංවීම හෙට සිට……

මෙම වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි පරිභෝජනය ඒකක 180ට වැඩි කාණ්ඩවලට සියයට 18කින් විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම සිය අනුමැතිය ලබා දී ඇත.

හෙට (11) සිට මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකවීමට නියමිතව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් විරෝධය ද එල්ල වී තිබේ.

2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රෙල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය ලබා දුන්නේය.

එහිදී සියයට 8ත් – සියයට 14.4ත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු ඉහල දැමීමට පියවර ගැනුණි.

මෙවන් පසුබිමක යළිත් වරක් මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුවක්, නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණේ පසුගිය අප්‍රේල් 27 වැනිදාය.

ඒ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම මෙම විදුලි ගාස්තු ඉහළ නැංවීමේ ඉල්ලීමට හේතුව වී ඇති බව සඳහන් කරමිනි.

කෙසේවෙතත් විදුලි ගාස්තු ඉහළ යෑමෙන් විදුලි පාරිභෝගිකයින් පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා රුපියල් බිලියන 15ක සහනාධාරයක් ලබාදීමට රජය ලිඛිතව කොමිසමට එකඟ වී තිබේ.

ඒ අනුව මෙවර විදුලි ගාස්තු වැඩිවීම මෙරට විදුලි පාරිභෝගිකයන් සියයට 95කටම අදාළ වන්නේ නැත.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට ඒකක 180 දක්වා කිසිදු ගාස්තුවක් වැඩිවන්නේ නොවේ.

නමුත් ඒකක 181 ට වැඩි එනම් ඒකක 210ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙකුගේ මෙතෙක් පවතින රු.9570 ක ගාස්තුව රු. 11,330ක් දක්වා රුපියල් 1,760කින් ඉහළ දමා ඇත.

එමෙන්ම ඒකක 240ක් භාවිත කරන අයෙකුගේ මෙතෙක් පවතින රු.12,120ක බිල්පත රු.2,210කින් ඉහළ දමා ඇති අතර එහි නව ගාස්තුව රු.14,330ක් වේ.

ඒකක 270ක් භාවිත කරන ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තුව රුපියල් 2,660කින් සහ ඒකක 300ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙක්ගේ බිල්පත රු.3,110කින් ඉහළ ‍යන බවද සඳහන්.

සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රීවරයෙක්……

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂමව ජනතාව වෙත සමීප කරවීම මෙන්ම එම කටයුතුවලදී සිදුවන අඩුපාඩු අවම කරගනිමින් ප්‍රමුඛතා අනුව සම්පත් කාර්යක්ෂමව යෙදවීම ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව මෙරට සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතියද හිමිවිය.

මධ්‍යම රජය සහ පළාත් සභා මගින් පාලනය වන සෞඛ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණ දුර්වලතාද මගහරවා ගනිමින් වඩා කාර්යක්ෂම රෝග නිවාරණ හා ප්‍රතිකාර සේවා වර්ධනය කිරීම මෙම පියවරෙහි මූලික අරමුණ වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනුයේ මීට පෙර පැවති ක්‍රමය යටතේ ප්‍රාදේශීය මට්ටමේ සෞඛ්‍ය ගැටලු නිසි ලෙස හඳුනා ගැනීම සහ ඒවා ජාතික සැලසුම්වලට ඇතුළත් කිරීමේදී යම් යම් ප්‍රායෝගික දුෂ්කරතා මතුවී තිබීම මෙවන් පත් කිරීමක් සිදු කිරීමට මූලික වී ඇති බවය.

ඒ අනුව පත්කරනු ලබන දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් වෙත පැවරීමට යෝජිත කාර්යභාරය සහ වගකීම්ද යෝජනා කර ඇති අතර ඒ යටතේ,

• ජන සහභාගිත්වය ප්‍රමුඛ කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමේ සෞඛ්‍ය අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවා ප්‍රමුඛතා අනුව සකස් කිරීම,
• එම අවශ්‍යතා  ජාතික හා පළාත් සෞඛ්‍ය සැලසුම් සමඟ ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සැලසීම,
• රේඛීය හා පළාත් සෞඛ්‍ය ආයතන අතර සම්පත් කාර්යක්ෂම භාවිතා කිරීම සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම,
• අමාත්‍යාංශ ප්‍රතිපත්ති අනුව ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධීකරණය කිරීම,
• ප්‍රමුඛ ව්‍යාපෘති හඳුනා ගෙන අමාත්‍යාංශයට නිර්දේශ කිරීම,
• දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කර ඒවා නියමිත කාල රාමුව තුළ සාර්ථකව නිම කිරීමට සහාය වීම, ඇතුළු කරුණු ගණනාවක් වේ.

මෙම ව්‍යුහය හරහා පුළුල් ජනගහණයකට සෞඛ්‍ය සේවා සපයනු ලැබුවද රේඛීය හා පළාත් පරිපාලන පද්ධති වෙන්ව ක්‍රියාත්මක වීම හේතුවෙන් දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධීකරණයේ අඩුපාඩු ඇතිවීම, සම්පත් පරිභෝජනයේ අකාර්‌යක්ෂමතාව සහ ප්‍රාදේශීය අවශ්‍යතා සම්පූර්ණ ලෙස ජාතික සැලසුම්වලට පිළිබිඹු නොවීම වැනි ගැටළු නිරීක්ෂණය වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් මෙම කරුණු දක්වා ඇත.

විශේෂයෙන්ම ජන සහභාගීත්වය සීමිත වීම හේතුවෙන් ප්‍රාදේශීය මට්ටමේ සෞඛ්‍ය ගැටළු හඳුනාගැනීම සහ විසඳීම ප්‍රමාණවත් ලෙස සිදු නොවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ඒ අනුව මෙලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස පහත නම් සඳහන් මන්ත්‍රීවරුන් අදාළ දිස්ත්‍රික් සඳහා එම කැබිනට් පත්‍රිකාව මඟින් නම් කර ඇත.

අනුරාධපුර – සුසන්ත කුමාර නවරත්න , බදුල්ල – රවින්ද්‍ර බණ්ඩාර , මඩකලපුව – කන්දසාමි ප්‍රභු , කොළඹ – වෛද්‍ය නජිත් ඉන්දික , දිගාමඩුල්ල /අම්පාර එම්.එම්. සුගත් රත්නායක , ගාල්ල – වෛද්‍ය නිශාන්ත සමරවීර , ගම්පහ – ධර්මප්‍රිය විජේසිංහ , හම්බන්තොට –  වෛද්‍ය සදරුවන් මදරසිංහ , යාපනය –  වෛද්‍ය එස්. ශ්‍රී භවනන්දරාජා , කෑගල්ල – ආර්.එම්. සමන්ත රණසිංහ , කළුතර – වෛද්‍ය නිහාල් අබේසිංහ , මහනුවර – තනුර දිසානායක , කුරුණෑගල – වෛද්‍ය ජගත් ගුණවර්ධන , මාතලේ – දීප්ති නිරංජනී වසලාගේ මෙනවිය, මාතර – ලාල් ප්‍රේමනාත් , මොණරාගල – එච්.එම්. සරත් කුමාර , නුවරඑළිය – ටී. මංජුල සුරවීරආරච්චි,  පොළොන්නරුව – පද්මසිරි බණ්ඩාර , පුත්තලම – ගයාන් ජනක , රත්නපුර – වෛද්‍ය ජනක සේනාරත්න , ත්‍රිකුණාමලය – රොෂාන් අක්මීමන , වන්නි – සෙල්වතම්බි තිලකනාදන් යන මහත්ම මහත්මීන් වේ.

මෙම නව ක්‍රමවේදය හරහා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, ජනතාවට වඩාත් පහසු සහ විශ්වාසනීය සෞඛ්‍ය සේවාවක් ලබා දීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කර තිබේ.

මුදල් කාරක සභා වාර්තාව ආණ්ඩුවේ වැරදි වහන ‘බළල් අතක්’-ෆ්‍රී ලෝයර්ස් සංවිධානය…..

මහ බැංකුව සහ භාණ්ඩාගාරය සම්බන්ධ ආන්දෝලනාත්මක මුදල් ගෙවීම පිළිබඳව පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මඟින් සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය චෝදනා එල්ල කරයි.

පිටු 8 කින් සමන්විත මෙම වාර්තාව මඟින් ඉහළ නිලධාරීන් ආරක්ෂා කර, වරද පහළ මට්ටමේ නිලධාරීන් සහ පරිගණක පද්ධති මත පැටවීමට උත්සාහ කර ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ මුදල් කමිටුවට පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීම මෙම වාර්තාව මඟින් පැහැර හැර ඇති බවත්, මෙය හුදු කරුණු වාර්තා කිරීමක් පමණක් බවත් නීතිඥ සංවිධානය පවසයි.

වංචාවට සම්බන්ධ බලධාරීන්ට තම වැරදි වසා ගැනීමට සහ ලේඛන සකස් කර ගැනීමට මාසයක පමණ අතිරික්ත කාලයක් ලබා දීම මඟින් මුදල් කමිටුව අගතියක් සිදු කර ඇති බවට ඔවුහු චෝදනා කර තිබේ.

දින 30 ක් ගත වී ඇතත් මහ බැංකුවේ පාලන අධිකාරිය මේ පිළිබඳව මුනිවත රකින බවත්, මහ බැංකුවේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට කමිටුව කටයුතු කර ඇති බවත් නිවේදනයේ සඳහන් වේ.

මහා භාණ්ඩාගාරය, විදේශ සම්පත් සහ ණය කළමනාකරණ යන අංශ එකිනෙකට සම්බන්ධීකරණයක් නොමැතිව ස්වාධීන පරිගණක පද්ධති තුනක් භාවිතා කිරීම මෙම අර්බුදයට හේතු වී ඇති බව මෙහි සඳහන් වේ.

මුදල් රෙගුලාසි 135 යටතේ මුදල් බලය පැවරීමේදී, ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා ලෙස මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා නිසි දැනුවත්භාවයකින් කටයුතු කර නොමැති බව ‘ෆ්‍රී ලෝයර්ස් සංවිධානය’ පවසයි.

මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක වගකීම තනි අධ්‍යක්ෂවරයෙකු වෙත පැවරීම අයහපත් පරිපාලන ව්‍යවහාරයක් බව ඔවුහු පෙන්වා දෙති.

“රජයේ අවශ්‍යතාවය වන සැබෑ අපරාධකරුවන් සැඟවීම සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව සිය නිල මුද්‍රාව ලබාදී තිබීම පිළිබඳව දැඩි කණස්සල්ල පළ කරන බව එම සංවිධානය අවධාරණය කරයි.

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්…..

මැයි පළමු වනදා සිට ක්‍රියාත්මක වනු ලබන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් එක්ව ගනු ලැබූ තීරණයකට අනුව රක්ෂණ ආයතන මඟින් මෙලෙස මෝටර් රථ රක්ෂණ සහතික පත්‍ර වෙනුවට, ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් හඳුන්වා දී ඇත.

ඒ අනුව ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය හඳුන්වා දී ඇති අතර, එයට පහත සඳහන් ක්‍රම මඟින් ප්‍රවේශ විය හැක.

මෙමඟින් මෝටර් රථ රක්ෂණයේ වලංගුභාවය පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව ද දන්වා ඇත.

i). USSD Code: *1338# ඔස්සේ පහත පියවර අනුගමනය කළ හැකි බව දැනුම් දී ඇත.
ඕනෑම ජංගම දුරකථන සම්බන්ධතාවක් මඟින් *1338# අංකයට ඇමතීම.
වාහන අංකය හෝ රක්ෂණ සහතික අංකය ඇතුළත් කිරීම.
අදාළ රක්ෂණ ඔප්පුවෙහි වත්මන් තත්ත්වය ක්ෂණිකව ලබාගත හැකි බව සඳහන් කර ඇත.

ii). SMS: 1338 කෙටි පණිවිඩ සේවාව.
ඕනෑම ජංගම දුරකථනයක් මඟින් වාහන අංකය හෝ රක්ෂණ පත්‍ර අංකය කෙටි පණිවිඩයක් මඟින් 1338 වෙත යොමු කළ හැක.
එවිට රක්ෂණ ඔප්පුව සක්‍රීයව වලංගුව පවතින්නේ ද යන්න කෙටි පණිවිඩයක් මඟින් ක්ෂණිකව පිළිතුරු ලබා ගැනීමට හැකියාව ඇති බව දන්වා ඇත.

iii). ක්ෂණික දුරකථන අංකය වන 1338 අංකයට ඇමතීම.
ඇමතුම ලබා ගත් පසුව ලැබෙන උපදෙස් අනුව අදාළ රක්ෂණ ආයතනය තෝරා ගන්න.
එවිට අදාළ රක්ෂණ සමාගමේ පාරිභෝගික සේවා අංශය වෙත යොමු වේ.
අදාළ රක්ෂණ සමාගම වෙත රක්ෂණ ඔප්පුවේ අංකය හෝ වාහන අංකය ලබා දෙන්න.
ඔවුන් විසින් රක්ෂණයේ වලංගුභාවය තහවුරු කරනු ඇත.

*1338# මඟින් සහ කෙටි පණිවිඩ මඟින් තොරතුරු ලබා ගැනීම සඳහා වාහන අංකය ඇතුළත් කිරීමේදී වාහන අංකයේ මුල් අකුරු හෝ ඉලක්කම්, කෙටි ඉර, අංක හතරකින් සමන්විත ඉලක්කම ඇතුළත් කළ යුතු වේ. 

වාහන අංකය ඇතුළත් කිරීමේ දී අකුරු හෝ ඉලක්කම් අතර ඉඩ තැබිය යුතු නැත.

යම් මෝටර් වාහනයක අංකය “ශ්‍රී” වශයෙන් පවතින විට එම අක්ෂරය “SRI” ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු වේ.

ඉහත ක්‍රම මඟින් මෝටර් රථයක රක්ෂණය පරීක්ෂා කරන අවස්ථාව වන විට වලංගුව පවතින්නේ ද නැද්ද යන්න ක්ෂණිකව දැන ගත හැකි අතර කෙටි පණිවිඩ සේවාව මඟින් වඩා පහසුවෙන් මෙම තොරතුරු ලබා ගත හැකිය.

1338 කෙටි දුරකථන අංකයට ලබා ගන්නා ඇමතුම් හෝ කෙටි පණිවිඩ සඳහා ගාස්තු අය කිරීමක් සිදු නොකරන බව දැනුම් දී ඇත.

රක්ෂණ සමාගම් මඟින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කළ ද තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම තවදුරටත් සිදු කරනු ලබයි.

ඉදිරියේදී තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම නතර කිරීමට අපේක්ෂා කර ඇති අතර එතෙක් තාවකාලික රක්ෂණ ආවරණ පෙර පරිදි ම වලංගුව පවතින බව තවදුරටත් දන්වා ඇත.

මැයි 01 දින සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පමණක් නිකුත් කිරීම සිදු කළ ද මේ දක්වා නිකුත් කර ඇති රක්ෂණ කාඩ්පත්වල එහි වලංගු කාලය අවසන් වන තුරු එලෙසම වලංගුව පවතී.

යම් රියදුරෙකු විසින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අවස්ථාවකදී ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ මුද්‍රිත ඡායා පිටපතක් ඉදිරිපත් කරන අවස්ථාවක දී, කෙටි දුරකථන අංකය භාවිතයෙන් හෝ කෙටි පණිවිඩ සේවාව මඟින් එම රක්ෂණයේ වලංගුභාවය තහවුරු කර ගැනීමට හැකියාව පවතී.

2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ II පරිච්ඡේදයේ 3 වන වගන්තිය ප්‍රකාරව මෙම ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම, එහි බලපෑම හෝ වලංගුභාවය අහිමි කළ නොහැක.