ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි…..

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ලබන 25 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර ශෂී විරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.

එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, එම නඩුවේ සාක්ෂි මෙහෙයවීමට පෙර නඩුකරයට අදාළව පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීමට තමාට අවශ්‍ය බවය.

සාක්ෂි ආඥා පනත යටතේ තමන්ට එවැනි ප්‍රවේශයක් මේ දක්වා ලබාදී නොමැති බැවින් මෙම නඩුව ඉදිරියට විභාග කළ නොහැකි බව නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නේ මෙම නඩු විභාග ආරම්භ කිරීමට පෙර සාක්ෂි වශයෙන් යොදාගන්නා ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා විත්තියට අවකාශ ලබා දෙනවා ද ඒ පිළිබඳ ස්ථාවරය මීළඟ දින දැනුම්දෙන ලෙසත් දන්වා සිටින ලෙසය.

ඉන් අනතුරුව මෙම නඩුකරය මේ මස 25 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ත්‍රිකුණාමලයේ බිලිඳු මරණයට වෘත්තීය ක්‍රියාමාර්ගවල කිසිදු සම්බන්ධයක් නෑ -GMOA….

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියට කිසිදු අවස්ථාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වෘත්තිය සමීති ක්‍රියාමාර්ගවල සම්බන්ධයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (11) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පවසා සිටියේ, සූතිකාගාර ප්‍රතිකාර යනු හදිසි ප්‍රතිකාර බැවින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලදී කිසිදු විටකදී වෛද්‍යවරුන් හදිසි ප්‍රතිකාරවලින් ඉවත් වීමක් සිදුනොකරන බවය.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් යම් පිරිසක් විසින් සිතාමතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනා එල්ල කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනී යන බවත්, අදාළ වෛද්‍යවරුන් වැඩතහනමකට ලක්වූ බව මාධ්‍ය මඟින් දැනගැනීමට ලැබුණද ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් මෙතෙක් සිදුකර නොමැති බවත් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම අදාළ වෛද්‍යවරු රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද ඔවුන් පෞද්ගලික සේවයේ නිරත වී ඇත්තේ, තමන්ගේ සේවා කාලයෙන් පිටත අවස්ථාවක බවද වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා තවදුරටත් සඳහන් කළේය.

පසුගිය අප්‍රෙල් 9 වෙනිදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියකට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික විමර්ශනයට අනුව එම රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුගේ රාජකාරි වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ, රාජකාරි කාලසීමාවේ සිය රාජකාරී පැහැරහැරීම සහ පෞද්ගලික සේවාවල නියැලීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළවය.

එලෙස වැඩ තහනම් කර ඇත්තේ එම මහරෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේය.

අදාළ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් සූතිකාගාරයට පැමිණෙන්නැයි දැනුම්දෙමින් රෝහලේ නේවාසික වෛද්‍යවරිය අදාළ විශේෂඥ වෛද්‍යවරයාට සහ වෛද්‍යවරියට අවස්ථා ගණනාවකදී ඇමතුම් ලබාදී ඇතත් ඔවුන් එම අවස්ථාවේ නොපැමිණි බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අදාළ වෛද්‍යවරු දෙදෙනා එම අවස්ථාවේ පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමකට  සහභාගී වී සිට ඇති බවටත් චෝදනා එල්ල වී තිබූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකර ඇත.

ඒ අනුව අනාවරණ වී ඇත්තේ අදාළ වෛද්‍යවරු දෙදෙනා රාජකාරි වේලාව තුළ පෞද්ගලික අංශයේ සේවයේ යෙදී සිට ඇති අතර එම අවස්ථාවේ රෝහලේ රාජකාරි කර ඇතැයි රාජකාරි දිනපොතේ අසත්‍ය සටහන් ද යොදා තිබූ බවය.

ඒ හේතුවෙන් එම වෛද්‍යවරු දෙදෙනාගේ රාජකාරි වැඩතහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර, මෙම සිදුවීම සිදුව ඇති අප්‍රෙල් 09 වෙනිදා රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝහලේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ දිනයකදීය.

එමෙන්ම රාජකාරි පැහැරහැරීම හේතුවෙන් වැඩතහනමට ලක්වූ විශේෂඥ වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රාදේශීය මට්ටමේ සභාපතිවරයෙක්ද වේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳ විධිමත් විනය පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

නිසි යෝග්‍යතා සහතික නැති වාහනවලට එරෙහිව දැඩි නීතිමය පියවර…..

මෝටර් වාහනවල අන්තරාදායක කොටස් සවිකිරීම, සයිලන්සර මඟින් අධික ශබ්දය පිටකිරීම සහ විවිධ නීති විරෝධී නවීකරණයන් සිදුකළ රථවාහන සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර ඇත.

මෑත කාලීනව සිදුවූ රිය අනතුරු විශ්ලේෂණය කිරීමේදී, විශේෂයෙන්ම නවීකරණය කරන ලද බස් රථ නිසි යෝග්‍යතා සහතික නොමැතිව ධාවනය කිරීම නිසා මාරාන්තික අනතුරු සිදුවන බව නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.

ප්‍රධාන නීති විරෝධී ක්‍රියා ලෙස අවිධිමත් නවීකරණය, අමතර උපාංග, පෙනුම වෙනස් කිරීම සහ අන්තරාදායක සවි කිරීම් පොලීසිය පෙන්වා දෙයි.

ඒ අතර,

සයිලන්සරයේ හැඩය වෙනස් කර පරිසරයට අධික ශබ්ද පිටකිරීම.

විවිධ වර්ණ සහිත නිවි නිවී දැල්වෙන (Strobe lights) පහන් සහ නීති විරෝධී නලා සවිකිරීම.

වාහනවල වර්ණය වෙනස් කිරීම, චිත්‍ර, මෝස්තර සහ ඉෂ්ට රූප ප්‍රදර්ශනය කිරීම.

මාර්ගය භාවිතා කරන්නන්ට අනතුරු හෝ කරදර සිදුවිය හැකි අයුරින් අමතර යකඩ කොටස් සවිකිරීම. යන වැරදී පෙන්නා දී තිබේ.

එමෙන්ම, මාර්ගයේ ධාවනය වන වාහනවලින් කළු දුම පිටවීම නිරීක්ෂණය වන්නේ නම්, ඒ පිළිබඳ තොරතුරු (වාහන අංකය, ස්ථානය සහ දිනය) 070 350 0525 යන වට්ස්ඇප් (WhatsApp) අංකයට යොමුකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෝටර් වාහන ආඥා පනත ප්‍රකාරව, යම් වාහනයක් මාර්ගය භාවිතා කරන්නන්ට හෝ දේපළවලට අනතුරක් නොවන මට්ටමක පවතින්නේ නම් මිස එය මාර්ගයේ ධාවනය කිරීම නීති විරෝධී වේ.

සියලුම රථවාහන හිමිකරුවන් සහ රියදුරන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, මහමඟ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කරයි.

අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙක් බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් බිමට වැටී මරුට……

වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු ගොඩනැගිල්ලකින් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුව සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ අයෙකි.

මරණකරු ගොඩනැගිල්ලෙන් ඇදවැටීමෙන් අනතුරුව ඔහු රෝහල් ගත කර කිරීමට පියවර ගෙන තිබේ.

ඉන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් – පළාත් රැසකට තද වැසි…..

බස්නාහිර, සබරගමු, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම මීට හේතුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාව අශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනයවී මේ වනවිට දිවයිනට ඊසාන දෙසින් පවතින බව සඳහන්ය.

මෙම පද්ධතියේ බලපෑම මත, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

‍ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට……

“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සඳහා 2026 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 25,000ක  ප්‍රතිපාදනවලින්, මේ වන විටත් රුපියල් මිලියන 23,000 ක සංවර්ධන ව්‍යාපෘති අනුමත කර, ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජීවනෝපාය සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාවට අදාළව ප්‍රජා සංවර්ධන සභා මගින් ප්‍රමුඛතාගත කළ ව්‍යාපෘති වෙනුවෙන් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇති බව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරයේ මෙතෙක් ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ බව අනාවරණය වී තිබේ.

ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සහ ග්‍රාමීය ප්‍රජාව නඟා සිටුවීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා ව්‍යාපෘතිය, ඉන් ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය සහ ජන ජීවිතය නංවාලීම වෙනුවෙන් එය කොපමණ දායක වන්නේද යන්න පිළිබඳ නිරන්තර පසු විපරමකින් කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දී ඇත.

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රජා සංවර්ධන සභා 13,977ක් මේ වන විට පිහිටුවා අවසන් බව මෙහිදී  පෙන්වා දුන් නිලධාරීහු එම ප්‍රජා සංවර්ධන සභා වෙනුවෙන් ලබා දී ඇති මුල්‍ය ප්‍රතිපාදන පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී දැනුවත් කර ඇත.

“ප්‍රජා ශක්ති” ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති ඒකකවලට අවශ්‍ය පහසුකම් සැපයීමට ගෙන ඇති පියවර සහ ප්‍රජා සංවර්ධන සභාවල නිලධාරින් දැනුවත් කිරීම සඳහා  දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ බව සඳහන් වේ.

මෙරටට රැගෙන ආ ‘බටුවත්තේ චාමර’මෙහෙය වූ ඝාතන රැසක තොරතුරු හෙළිවෙයි…..

ගනේමුල්ල සංජීව ඝාතනය සඳහා ඉෂාරා සෙව්වන්දිට ගිනි අවිය ලබාදීම ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර මෙරටට රැගෙන එනු ලැබීය.

ඒ අසර්බයිජානයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.

දිගු කලක් ඩුබායිහි සැඟවී සිට මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළාගොස් සිටියදී මෙරට අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර පසුගිය අප්‍රේල් 07 වෙනිදා එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනුණි.

ඒ එරට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ඔහුගේ පෙම්වතිය බව කියන අසර්බයිජාන කාන්තාවක් සමග සිටියදීය.

එරට රැඳවුම් කඳවුරක රඳවා සිටි සැකකරු මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් අසර්බයිජානය බලා පිටව ගොස් තිබුණි.

සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු අනාවරණ කර ඇත්තේ ඩුබායිවල සිටින අපරාධකරුවන් අත්අඩංගුවට පත්වන බැවින් අසර්බයිජානය ආරක්ෂිත යැයි සිතා එරටට ගිය බවය.

සැකකරු රැගත් ගුවන් යානය ගුවන්ගතවීමට මොහොතකට පෙර ඔහු, “මම හාට් පේෂන් කෙනෙක්, මගේ පපුව රිදෙනවා මට ඉස්පිරිතාලේ යන්න ඕනේ, මාව මේගොල්ලෝ මරන්න ගෙනියන්නේ, මට බෙහෙත් දෙන්නෙත් නැහැ. මාව ඉස්පිරිතාලේ ගෙනියන්න.” යනුවෙන් කෑගැසූ බව විමර්ශකයින් පවසයි.

කෙසේවෙතත්, ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ යූ.එල්.196 දරන ගුවන්යානයෙන් ඊයේ (10) රාත්‍රී 10.10 ට පමණ සැකකරු කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.

මෙලෙස දිවයිනට රැගෙන ආ බටුවත්තේ චාමර වරාය පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා භාවිත කළ බව කියන රිවෝල්වරය ඉෂාරා සෙව්වන්දිට ලබාදීම සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කළ සිද්ධිය මෙහෙයවීම යන අපරාධ පිටුපස මෙම සැකකරු සිටින බවට විමර්ශකයින් සැක පළ කරයි.

ඊට අමතරව මොහුට අපරාධ චෝදනා රැසක් එල්ලව ඇත.

රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේදී උපුල් අමරජිත් හෙවත් ආමි උපුල් නැමැත්තාගේ ඝාතනය මෙහෙයවීම, ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී තමිල්නාඩු සුනීතා හෙවත් කුඩු සුනීතා නැමැත්තිය සහ ඇගේ සහායකයා ඝාතනය  මෙහෙයවීම,ගම්පහ, ජාඇල පෑලියගොඩ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම යන චෝදනා ඊට අයත් වේ.

සැකකරු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සමගත් සබඳතා පවත්වා ඇති අතර, ඉන්දියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ඊබ්‍රහිම් ඩාවුඩ් කල්ලියේ මෙරට නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇතැයි සැකයක් පවතින බව විමර්ශකයින් සඳහන් කරයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සැකකරු සම්බන්ධ ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය.

රෝද පුටුවෙන් ආ කෙහෙළිය…..

ප්‍රමිතියෙන් තොර Immunoglobulin ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් පද්ධතියට සැපයීම, මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව මේ දිනවල විභාගයට ගැනේ.

මෙම නඩු විභාගය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පවත්වනු ලබයි.

ඖෂධ මිලදී ගැනීමේදී රජයේ මුදල් අවභාවිත කිරීම, රජයට පාඩු සිදුකිරීම සහ ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ බෙදාහැරීමට කටයුතු කිරීම ඇතුළු චෝදනා රැසක් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇත.

මෙම සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ලේකම්වරයා සහ වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු ද විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

අදාළ එන්නත් ලබාගත් රෝගීන්ට අසාත්මිකතා සහ විවිධ සංකූලතා ඇතිවූ බවට වාර්තා වීමත් සමඟ මෙම මහා පරිමාණ ඖෂධ වංචාව පිළිබඳ විමර්ශන ආරම්භ විය.

‘දක්ෂිණා ප්‍රභා’ ජාතික වෙසක් මංගල්‍යය ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්….

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ.

ඊට අදාළ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

“අභිත්ථරේථ කල්‍යාණේ” තේමාව යටතේ 2026 මැයි 27 සිට ජුනි 01 දක්වා මාතර නගරය සහ තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් “දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය සංවිධානය කරනු ලැබ තිබේ.

ශ්‍රී ලාංකේය බෞද්ධ පුනරුදයේ ප්‍රබලතම කේන්ද්‍රස්ථානයක් වන මාතර පුරවරය සම්බුදු සසුන ආලෝකමත් කළ මහා යතිවරයන්වහන්සේ රැසක් බිහිකළ පින්බිමක් වන අතර මාතර පුරවරය කවියෙන් සහ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරෙන් ජාතියට දායාද කළ දහම් පණිවිඩය අදටත් සජීවිව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එබැවින් අතීත බෞද්ධ උරුමයේ අසමසම අභිමානය ලොවට විදහා දැක්වීමටත්, එම ප්‍රෞඩ ආධ්‍යාත්මික පණිවුඩය යළිත් ජාතියට සිහිපත් කිරීමත් අරමුණු කර ගනිමින් මෙවර ජාතික වෙසක් මංගල්‍යය සඳහා මාතර පුරවරය තෝරා ගැනීම විශේෂත්වයකි.

“දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිස පූජා කලාපය යනුවෙන් වෙසක් කලාප දෙකකින් සමන්විත  අතර, මාතර ඓතිහාසික කොටු පවුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපය සහ මාතර නගරය සහ වෙරළ උද්‍යානය ආශ්‍රිතව ආමිස පූජා කලාපය පැවැත් වේ.

ප්‍රතිපත්ති පූජා කලාපය තුළ සර්වඥ  ධාතු ප්‍රදර්ශනය, ප්‍රවීණ දේශකයන් වහන්සේලා සහභාගී වන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මෙන්ම, කවි බණ සහ, දාන, ශීල භාවනා වැඩසටහන්ද සංවිධානය කරනු ලැබ ඇත.

කොටු පවුර සහ නගර මධ්‍යයේ ඉදිවන දැවැන්ත තොරණ, මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වෙන නිර්මාණාත්මක පහන් කූඩු තරගය සහ පරෙවි දූපත අසල මුහුදු වෙරළේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඉදිරිපත් කරන භක්ති ගීත ප්‍රසංග සහ දකුණේ සාම්ප්‍රදායික කලාව ප්‍රදර්ශනය කෙරෙන රූකඩ සංදර්ශන සහ සංස්කෘතිකාංග රැසකින් ආමිස පූජා කලාපය සමන්විතය.

එමෙන්ම සුවිශේෂී ආකර්ෂණීය අංග කිහිපයකින් ද මෙය විචිත්‍රවත් කෙරෙන අතර අහසේ මැවෙන බෞද්ධ සංකේත සහ රටා සහිත AI තාක්ෂණය යොදා ගනිමින් සිදු කෙරෙන නවීන තාක්ෂණික සංදර්ශනය, දකුණට ආවේණික රූකඩ කලාව මගින් ජාතක කථා ඉදිරිපත් කිරීම, LED තිර ප්‍රදර්ශන මගින් නගරය පුරා ඩිජිටල් ජාතක කථා සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිදු කිරීමට නියමිතය.

වෙසක් කුඩු තරගය විවෘත, පාසල් වශයෙන් සහ භක්ති ගීත රාජ්‍ය අංශය සහ පාසල් අංශය යටතේ පැවැත්වෙන අතර නිර්මාණශීලිත්වය සහ ගුණාත්මකභාවය ඇගයීම සඳහා ප්‍රවිණ විනිශ්චය මණ්ඩලයක් මගින් ජයග්‍රාහකයින් තෝරා ගැනේ.

මැයි 27 වන දින රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ වන අතර මැයි 30 දිනට යෙදෙන වෙසක් පොහෝ දින දාන, සීල, භාවනා සහ ආගමික වැඩසටහන් පැවැත් වේ.

ජූනි 01දායින් රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මීට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ස්වේච්ඡා සංවිධානවල සහයෝගය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලුදෙනා දායක කර ගනිමින් මෙම වෙසක් මහෝත්සවය සාර්ථක කර ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.‍

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා සංඝරත්නයද, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න යන මහත්වරුන්ද, මාතර දිස්ත්‍රික්කයේ අදාළ රාජ්‍ය නිලධාරීන්, වෙළෙඳ ප්‍රජාව සහ අනුග්‍රාහක භවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ ඝාතනයේ යතුරුපැදිකරු අත්අඩංගුවට……

පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු පැමිණි යතුරු පැදිය පැදවූ පුද්ගලයා වසර තුනකට පසුව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ සහෝදරයා වන, දැනට එම කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන එස්.එෆ්. රාජුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු අනුවය.

සැකකරු අනාවරණ කර ඇත්තේ කරන්දෙණිය සුද්දා විසින් මෙහෙයවූ ඝාතන පිළිබඳ තොරතුරු අදාළ පොලිස් නිලධාරියා සතුවීම හේතුවෙන් ඔහුව ඝාතනය කළ බවය.

වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු ප්‍රහාරයෙන් අනතුරුව කරන්දෙණිය සුද්දා විසින් ඩුබායි රාජ්‍යයට ගෙන්වාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලීසිය පවසයි.

දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ එම සැකකරු ඩුබායිහි මත්ද්‍රව්‍ය සොයාගත නොහැකිව සියදිවි හානි කර ගෙන ඇති බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් අනාවරණ කළ බවත් එම තොරතුරු සත්‍යයද යන්න පිළිබඳ සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය සඳහන් කළේය.

මේ අතර, රාජුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී කරන්දෙණිය සුද්දාට අයත් ටී 56 ගිනි අවියක්, මැගසීනයක් සහ උණ්ඩ 15ක් මීටියාගොඩ ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය සොයාගෙන තිබුණි.

මෙම ගිනි අවිය සොයාගැනීමත් සමග කරන්දෙණිය සුද්දා සතුවූ බවට පැවසෙන ටී 56 ගිනි අවි 8න් 6ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණයෙන්, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන්, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරිවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබයි.