නව පොලිස්පති ජනපති හමුවෙයි….

නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර පොලිස්පතිවරයා ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වා තිබේ.

නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා වන අතර, මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයාද වේ.

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය…..

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (15) සිය සහතිකය සටහන් කළේය.

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත  පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී  සම්මත විය.

ඒ අනුව මෙම විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත  2025 අංක 13  දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත ලෙස බලාත්මක වන අතර  මෙම  පනත මගින් 82 වන අධිකාරය වූ විනිමය පත්‍ර ආඥාපනත නවීකරණය කර සමකාලීන බැංකු කටයුතු සමඟ සමගාමී කිරීම අරමුණු කොට ඇත.

මෙම පනත මගින් වංක හා වැරදි සහගත චෙක්පත් අණකරුවන් සම්බන්ධයෙන් සාපරාධී වගකීම් පැනවීමට හැකියව පවතී. එමෙන්ම, නීත්‍යානුකූලව අවසරලත් ආකාරයට එදිනෙදා ව්‍යාපාරික කටයුතුවලදී නව්‍ය ලෙස හා නීතියට අනුකූල වන පරිදි විනිමය බිල්පත් භාවිතා කිරීම පිණිස පහසුකම් සලසන අතර චෙක්පත් ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීමට අදාළ විධිවිධාන සලසා ඇත.

මෙම සංශෝධනයේ ප්‍රධාන අංග අතරට තත්කාලය සඳහා අදාළ වන නෛතික අනුප්‍රමාණයට අනුව බිල්පතක පොළිය ගණනය කිරීම සඳහා විධිවිධාන සැලසීම, ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය කිරීම මගින් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් අගරු කිරීමේ නිවේදන ලබා දීම සදහා විධිවිධාන සැලසීම, අභාවිත පරිචයන් ඉවත් කිරීම සහ වර්තමාන කෙටුම්පත් කිරීමේ පරිචයන්ට අනුකූල වන පරිදි නීතිය සකස් කිරීම ඇතුළත් වේ.

එමෙන්ම ගෙවීම සඳහා චෙක්පතක් ඉදිරිපත් කිරීමේදී ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය කිරීම මගින් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රමවලින් චෙක්පතක අනුරූපයක් අණලත් බැංකුව වෙත යැවීමට බැංකුකරුට හැකියාව ලබා දීම, චෙක්පතක කවර හෝ එක් පසෙක රේඛනය කිරීමේ පරිචය පිළිගැනීම, “ආදායකයාගේ ගිණුමට” යනුවෙන් රේඛනය කිරීම (“පමණි” වචනය සමඟ හෝ නොමැතිව) ව්‍යවස්ථානුකූලව පිළිගැනීම, ගෙවීම් සිදු කරන බැංකු සඳහා ආරක්ෂණය වැඩි කිරීම, චෙක්පත් අගරු කිරීම සඳහා දඬුවම් සහ ඒ සම්බන්ධ විධිවිධාන සැලැස්වීම සහ ආදායකයාගේ නම වෙනස් කිරීම වාස්තවික වෙනස් කිරීමක් ලෙස සැලකීම යන විධිවිධාන ද ඇතුළත් වේ.

ඉතිහාසයේ පළමු වරට ASPI ඒකක 20,000 ඉක්මවා නතරවෙයි

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ඓතිහාසික කඩඉමක් පසුකරමින්, අද (15) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත්වුණි.

ඒ අනුව දිනය තුළ ඒකක 289.69 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 20,218.36 ක් ලෙසින් සටහන් විය.

මීට පෙර පසුගිය අගෝස්තු 04 දින ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාව ඉක්මවා යාමට සමත් වුවද, එදින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 20,000 සීමාවෙන් පහළට ඇවිත් නතර වී තිබුණි.

අද දින රු. බිලියන 9.54ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

මෝදි විවෘත කළ දඹුල්ලේ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ලයිට් කපලා….

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය දා විවෘත කරන්නට යෙදුණ දඹුල්ලේ, උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා ආරම්භයට පෙරම රු 8,409,000ක විදුලි බිලක් ලැබී ඇතැයි අද (15) අනාවරණය වුණි.

ඒ අද හිටපු මන්ත්‍රීවරු පිරිසක් එහි සංචාරයක නියැලුණු අවස්ථාවේ දීය.

අදාළ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මේ වනවිට එම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ විදුලිය විසන්ධි කර ඇතැයිද වාර්තා වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ යෝජනාවකට අනුව මීට වසර කිහිපයකට ඉහතදී ඉන්දියානු රජයේ ආධාර ඇතිව මෙම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව ඉදිකර තිබුණි.

ඒ අනුව එහි විවෘත කිරීම පසුගිය අප්‍රේල් මස 5 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමින් විවෘත කරන්නට යෙදුණි.

එදා සිට අද දක්වාම එහි සේවා කටයුතු සිදුනොවීම පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මම්පිල, සංජීව එදිරිමාන්න, ප්‍රේමණාත් සී දොළවත්ත, සුගීෂ්වර බණ්ඩාර, නිමල් පියතිස්ස, දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු පිරිසක් බස් රථයකින් එහි පැමිණියහ.

එහිදී කෘෂිකර්ම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ගේට්ටු වසා දමා තිබෙනු දක්නට ලැබුණු අතර, පසුව එහි මුරකරු සම්බන්ධ කරගනිමින් හිටපු මන්ත්‍රී පිරිස ගබඩා පරිශ්‍රයට ඇතුළු වී තිබේ.

නිධන් හෑරු DIG බිරිඳ ඇතුළු 8ක් රිමාන්ඩ්….

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වැනිදා තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව එම ස්ථානයට ගිය පොලිසිය මෙලෙස කාන්තාවක් ඇතුළු 8ක් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් බදුල්ල, මාලිගාතැන්න, පදවි ශ්‍රීපුර, ගිරාඳුරුකෝට්ටේ, වරකාපොල හා අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඇය කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක් බවය.

සිය නිවසට ආරක්ෂාවක් කරගැනීම සඳහා තමන් මෙම ස්ථානයට පැමිණි බව ඇය ප්‍රකාශ කර තිබුණි.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර කපුමහතෙකු ද සිටින බවය.

සැකකරුවන් ඊයේ (14) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට එජාපයේ විරෝධය…..

ඉන්දියාවේ 79වන නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පළ කරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ හමුවකදී දැඩි අවධානය යොමුවී තිබේ.

හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකුද සහභාගී වූ මේ හමුවේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් සකස් කරනු ලදුව මුද්‍රිත මාධ්‍ය ආයතන සඳහා නිකුත් කරනු ලැබූ දැන්වීම් අතිරේකයේ  ඡායාරූප යෙදීම සහ ඒවා තෝරා ගැනීම පිළිබඳව විශේෂයෙන්ම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇත.

දැන්වීම් අතිරේකයට යොදාගත් සෑම පිටුවකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එකට සිටින ඡායාරූප පළකිරීම සාමාන්‍යයෙන් සිදු නොකරන්නක් බව ඉහත සාකච්ඡාවට සහභාගී වූ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයන් පෙන්වා දී තිබේ.

එසේම හිටපු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් හෝ සටහනක් හෝ පළ නොකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමුවී තිබුණි.

ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් මහ කොමසාරිස් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පළ කෙරුණු දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ බලවත් අප්‍රසාදය මේ වනවිටත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පළකර ඇතැයිද වාර්තා වෙයි.

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි…..

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය.

මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.

ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරියෙක් ගිනිඅවි සමග කොටුවෙයි….

මිනුවන්ගොඩ රෝහල ආසන්න ප්‍රදේශයේ නිවසක තිබී ටී – 56 ගිනිඅවි සහ පතරොම් රැසක් සමඟ සැකකරුව‍ෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරුතුරක් මත අද (15) දිනයේ දී සිදුකළ වැටලීමකදී මෙම ගිනිඅවි සහ පතරොම් සොයාගෙන තිබුණි.

සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන අතර, ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 හැවිරිදි අයෙකි.

සැකකරු සන්තකයේ තිබී ටී – 56 ගිනිඅවියක්, ටී – 56 ගිනි අවියට යොදන මැසිමක්, ටී 56 පතොරම් 14ක්, පිස්තෝල අවි 01ක් හා එම මැගසින් 01ක්, 2.5 mm පතොරම් 09ක්, 9mm පතොරම් 09ක්, පිස්තෝල හා රිවෝල්වරි වර්ගයේ ගිනිඅවි  02ක්, කඩු 03ක් සහ කිනිසි 02ක් සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කීරි සම්බා හිඟයක් ? විසඳුමක් නැත්නම් ආදේශන ආනයනයට තීරණයක්….

රි සම්බා සහල් හිඟයක් මෙරට තුළ කෘතීමව ඇති කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඔහු පවසන්නේ ඊට විසඳුමක් නොලැබුණහොත් කීරි සම්බා ආදේශන සහල් ආනයනය කිරීමට තීරණය කර ඇති බවය.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

“සහල් වෙළෙඳපොළේ ප්‍රශ්නයක් තියෙනවා නම් කීරි සම්බාවල අඩුවක් විතරයි තියෙන්නේ. ඒ අනුව ගේනවානම් ගේන්න තීරණය කරලා තියෙන්නේ කීරි සම්බා ආදේශන ප්‍රමාණයක් විතරයි.

නමුත් අපි තවම අවසන් තීරණය අරන් නෑ. මොකද මේ යල කන්නය කැපෙන නිසා. හැබැයි නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වෙනකොට කීරි සම්බා හිඟය තවදුරටත් උග්‍ර කරන්න හදනවානම් කීරි සම්බා ආදේශන ‘GR11’ කියන සහල් මෙට්‍රික් ටොන්  40,000ක් ගේන්න තීරණය අරන් තියෙනවා. එය ක්‍රියාත්මක කර නෑ.

අපි හිතනවා පොළොන්නරුවේ ගබඩාවල විතරක් මෙට්‍රික් ටොන් 85,000ක් තියෙනවා කිරී සම්බා විතරක්. ඒ ටික කොටලා මාර්කට් එකට දැම්මොත් මේක විසඳෙයි. නැතිවුනොත් අපිට කීරි සම්බා ගේන්න වෙයි.

අනෙක් සහල් ගේන්න අවශ්‍යතාවක් දැනට නෑ. මේ යල කන්නයේ වී අස්වැන්න ගිය කන්නයට වඩා වැඩිවෙලා තියෙන්නේ. වගාකළ ප්‍රමාණයත් හෙක්ටයාර 80,000කින් වැඩිවෙලා තියෙන්නේ.

ඒ නිසා සහල් මිල රුපියල් 230ට අඩුවෙන් දෙන්න සැලසුම තියෙන්නේ” යනුවෙන් පැවසීය.

මෙරට සිසුන් 30කට පශ්චාද් සහ ආචාර්ය උපාධි සඳහා චීනයෙන් ශිෂ්‍යත්ව…..

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු සඳහා චීන රජය විසින් පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමේ නිල උත්සවයට සහභාගී වෙමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ‍නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මේ බව පැවසීය.

2025 වර්ෂය වනවිට මෙරට සිසුන් 165කට අධික ප්‍රමාණයක් මෙම ශිෂ්‍යත්ව වැඩසටහනින් ප්‍රතිලාභ ලබා තිබේ.

ඉංජිනේරු තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, කළමනාකරණය සහ කලා යන ක්ෂේත්‍රවලින් එම ශිෂ්‍යයත්ව හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.