තැන තැන සිදු වූ අනතුරුවලින් සිව් දෙනෙකු මරුට…..

බිංගිරිය පොලිස් වසමේ හමන්නාපහුව දළුපොත මාර්ගයේ ගුරුළුවෙල ප්‍රදේශයේදී මාරක අනතුරක් සිදුව තිබේ.

දළුපොත දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පැදිකරු මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම මාතර තිස්සමහාරාම මාර්ගයේ දංදෙනිය ප්‍රදේශයේදී තිස්සමහාරාම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව විරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කරෙයිනගර් කැරුම්කාලී වෙල් යාය මාර්ගයේ කරෙයිනගර් ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට පත්විය.

ඇරැව්ව හන්දිය දෙස සිට කලභූමී දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

කයිට්ස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

නෙදුන්කේනි ඔඩ්ඩුසුඩාන් මාර්ගයේ පන්ඩාරිකුලම් ප්‍රදේශයේදී ඔඩ්ඩුසුඩාන් දෙස සිට නෙදුන්කේනි දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරු පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් වූ නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුපැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මුලතිව් රෝහලට මාරු කර යවා ඇති බව පොලීසිය පැවසුවේය.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් රතු එළියක්…..

සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෙට දිනයේ සිට තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

එහි විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සදහන් කළේ ඒ අනුව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් සමඟ සිදුකරන වැඩකටයුතු හෙට දිනයේ සිට නතර කරන බවය.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බව ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සදහන් කළේය.

මේ අතර යළිත් වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය ගෙන යන වැඩපිළිවෙලට විරෝධය පළ කරන බව විදුලිය පාවිච්චිකරන්නගේ සංගමය පවසයි.

එහි සභාපති එම්.ඩී ආර් අතුල මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.

කිසිසේත් මේ මොහොතේ විදුලි ගාස්තු ඉහළ දැමීමට අවශ්‍යතාවක් නොමැති බව ද ලංකා විදුලි බල මණ්ඩල නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේය.

එමෙන්ම විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු කළහොත් එය ඉදිකිරීම් ක්ෂේත්‍රයට බරපතළ ගැටලුවක් සිදුවිය හැකි බව ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා පෙන්වා දුන්නේය.

ඇල්පිටිය ඕමත්ත කනිෂ්ඨ විද්‍යාලය අසල නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවෙයි….

අද රාත්‍රී නමයි තිහට පමණ ඇල්පිටිය පොලිස් වසමේ ඕමත්ත කනිෂ්ඨ විද්‍යාලය අසල නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.නාදුන්න පුද්ගලයකු විසින් එම නිවසේ ජනේලයකට වෙඩි තබා ඇත.එම අවස්ථාවේ නිවෙස් හිමියන් නිවස තුළ සිට ඇත. වෙඩි තැබූ අය යතුරුපැදියකින් පලා ගොස් ඇති බවට සැක කරන බව පොලිසිය සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධව නිශ්චිත තොරතුරක් අනාවරණය නොවන අතර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු පොලිසිය වෙත දැනුම් දීම සම්බන්ධව මෙසේ වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.ඇල්පිටිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි

අම්බලංගොඩ – අනුරාධ

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ජයග්‍රාහී මාවතක…..

ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථික වර්ධනය මේ වනවිට 5%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව පැවසුවාය.

එහිදී කොසැක් මහත්මය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවය.

තවදුරටත් අදහස් දැක්වූ කොසැක් මහත්මිය,

“ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මට කිව හැකි දේනම් එය අඛණ්ඩව ආකර්ෂණීය ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. උද්ධමනය තවමත් අඩු මට්ටමක පවතින අතර, රජයෙන් ආදායම් රැස්කිරීම වැඩිදියුණු වෙමින් පවතිනවා. 

ඒ වගේම ජාත්‍යන්තර සංචිත එකතු වෙමින් පවතිනවා. 2024 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 5%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කැපී පෙනෙන ජයග්‍රහණයක්. 

අයවැයේ ආදායම්-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය 2022 පැවති 8.2% සිට 13.5% දක්වා වැඩිදියුණු වෙලා තිබෙනවා. එය සැලකිය යුතු වැඩිවීමක්. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝදුරට සම්පූර්ණ වෙලා තිබෙනවා. 

සමස්තයක් ලෙස වැඩසටහන් කාර්ය සාධනය ඉතා ශක්තිමත් බව කිව හැකියි. රජය විස්තීර්ණ අරමුදල් වැඩසටහනේ අරමුණු සඳහා කැපවී සිටින බවත් කිව හැකියි. 

විස්තීර්ණ අරමුදල් පහසුකමෙහි පස්වන සමාලෝචනය පැවැත්වීම සඳහා අපේ කණ්ඩායම දැන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව පස්වැනි සමාලෝචනයේ කාලවකවානු පිළිබඳව අපේ කණ්ඩායම ඉදිරියේදී දැනුම් දේවි” ඇය පවසයි.

විදුලි ගාස්තු සංශෝධනය ගැන PUCSL අවසන් තීරණය ඉදිරි සති දෙක තුළ…..

පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ තීරණය මෙම මස දෙවන සතිය අවසානයේ ලබා දීමට කටයුතු කරන බව එම කොමිසම පවසයි.

විදුලි ගාස්තු ඉහළ සියයට 6.8කින් ඉහළ නංවන ලෙස යෝජනා කරමින් පසුගිය සැප්තැම්බර් මාසයේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබීය.

ඒ අනුව එම කොමිසම විසින් ඊට අදාළ වාචිකව මහජන අදහස් ලබාගැනීම පසුගිය මස 18 වනදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කරනු ලැබීය.

මේ වන විට දිවයිනේ පළාත් 8ක් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගෙන ඇති අතර, පුද්ගලයින් 500කට අධික ප්‍රමාණයක් ඊට සහභාගි වූ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.

මහජන අදහස් ලබා ගැනීමේ අවසන් සැසිය එළඹෙන 8 වනදා බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

අදාළ මහජන අදහස් උපයෝගීතා කොමිසම විසින් අධ්‍යයනය කරමින් සිටින අතර එහිදී විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ජනන වියදම, ඉන්දන බලාගාරවලින් ඉන්ධන මිලදී ගැනීමේ වියදම, බෙදා හැරීමේ වියදම හා ණය ගෙවීමට විදුලිය ගාස්තුවලින් අරමුදල් ලබා ගැනීම යන කරුණු පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත.

ඒ අනුව සියලු කරුණු සලකාබැලීමෙන් අනතුරුව විදුලි ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව නිකුත් කිරීමට නියමිතය.

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්….

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද (04) රාත්‍රී 11 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත් සහ කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනාධිපති ලේකම්ගේ නියමයෙන් මහින්දගේ වෙඩි නොවදින රථයත් භාරදෙයි…..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයනේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ, ඊයේ (3) දිනයේ දී අදාළ සමාගම හරහා එම රථය භාරදීමට කටයුතු කළ බවය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ක්‍රියාත්මක වීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා ඉකුත් සැප්තැම්බර් 24වනදා 5වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වාහන සියල්ල හා නිල නිවස යළි භාරදෙන ලෙස දැන් වූ බව මනෝජ් ගමගේ මහතා පැවසීය.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරී ගමන්ගන්තා රථය ද භාරදීමට කටයුතු කළ බව හෙතෙම පැවසීය.

ඒ අනුව මනෝජ් ගමගේ මහතා පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අවදානමකට ලක්ව ඇති බවයි.

“අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි සතියේදී පොලිස්පතිතුමා, ආරක්ෂක ලේකම් හා ආරක්ෂක ප්‍රධානීන් හමුවෙලා මහින්ද රජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් එම අවශ්‍ය රථ යළි ලබාගැනිමේ ඉල්ලීමක් කරන්න” යනුවෙන් මනෝජ් ගමගේ මහතා වැඩදුරටත් පැවසීය.

වැඩි මිලට කීරි සම්බා අලෙවි කළ වෙළෙඳුන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂයක දඩයක්….

කීරි සම්බා සහල් පාළන මිල ඉක්මවා අලෙවි කළ පානදුර හා කළුතර ප්‍රදේශවල වෙළෙඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට අධිකරණය මගින් රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කර තිබේ.

කීරි සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 300ක මිලකට අලෙවි කළ පානදුර සරික්කන්මුල්ල ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියෙකුට සහ  කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 310ක මිලකට අලෙවි කළ කළුතර නාගොඩ ප්‍ර දේශයේ වෙළදසැල් හිමියෙකුට මෙලෙස දඩ නියම වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

මීට අමතරව කීරි සම්බා සහල් පාලන මිලට අලෙවිය සිදු නොකර සගවා තබා ගත් හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියෙකුට ද හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 20,000ක දඩයක් නියම කර තිබේ.

එමෙන්ම එහිදී ඔහු සතුව තිබූ කිලෝ ග්‍රෑම් 5 කීරි සම්බා ඇසුරුම් 25ක් රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කර ඇති බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.

දෙහිවල වෙඩිතැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට….

දෙහිවල, දුම්රියපොළ අසලදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමට සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජුලි 18 වනදා දෙහිවල දුම්රියපොළ අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකෙරුණි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කල විමර්ශනයකින් අනතුරුව අදාළ වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කළ සැකකරු අතුඅඩංගුවට ගෙන තිබේ.

එහිදි සැකකරු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, කඩු 05ක් සහ කිනිස්සක් සොයාගෙන ඇති අතර, ඔහු 34  හැවිරිදි ගල්කිස්ස සීවලි පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

තම කුඹුරේ පිදුරුවලට ගිනිතැබූ ගොවි මහතෙකු එම ගින්නටම හසුවෙයි….

හිඟුරක්ගොඩ, වරාහේන ප්‍රදේශයේ ගොවි මහතෙකු විසින් තම කුඹුරේ පිදුරුවලට තබන ලද ගින්නක් පැතිර ගොස් එම ගින්නට හසුවීමෙන් කුඹුරු තුළ ඊයේ (3) දහවල් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

මෙලෙස ගින්නට හසුව ඇත්තේ හිඟුරක්ගොඩ, බෝගස් හංදිය ප්‍රදේශයේ පදිංචි තෙදරු පුද්ගලයෙක්ය.

ගොවි මහතා ඊළඟ කන්නයට සිය කුඹුරු බිම සූදානම් කිරීම සඳහා තම කුඹුරේ අස්වැන්න නෙලීමෙන් පසු කුඹුර තුළ ඉතිරිව තිබූ පිදුරුවලට හා ඉපනැල්ලට ගිනිතබා තිබේ.

එහිදී මේ දිනවල පවත්නා අධික උණුසුම් කාලගුණික තත්ත්වය හා සුළග හේතුවෙන් ගින්න පැතිර ගොස් ඔහු ඊට හසුව තිබේ.

මෙම පුද්ගලයා ගින්නට හසුව සිටින අයුරු ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබදව අනෙකුත් අය දැනුම්වත් කළද ඒ වනවිටත් ඔහු ගින්නට හසුව දරුණු ලෙස තුවාල ලබා මිය ගොස් සිට ඇත.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය පොලොන්නරුව මහ රෝහල වෙත රැගෙන යනු ලැබීය.

මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු හිඟුරක්ගොඩ පොලීසිය විසින් සිදු කරනු ලැබීය.