ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය ගැන අමරපුර මහා නිකායෙන් නිවේදනයක්….

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් පොලීසිය විසින් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානාහිමි විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මෙම විහාරස්ථානය 1951 වසරේ සිට පවත්වාගෙන එන ලබන විහාරස්ථානයක් වන අතර, එය බෞ.කො./විහා දේ / 15/15/009 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ ලියාපදිංචි කරන ලද විහාරස්ථානයක් බව අදාළ ලිපියේ සඳහන් වේ.‍

ඒ අනුව 2014 වර්ෂයේ දී මෙම විහාරස්ථානය පිහිටි ඉඩමට එවක ජනාධිපතිවරයා විසින් දීමනා පත්‍රයක් මඟින් හිමිකම් තහවුරු කර ඇති බව ද අදාළ ලිපියේ දැක්වේ.

කරුණු එසේ තිබියදීත්, ඒ හිමිකම් දීමනා ප්‍රදානයන් හා රජයේ ලියාපදිංචිව ඇති මෙම විහාරස්ථානයට හා භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති තර්ජන අභියෝග මහා සංඝරත්නයේ සේම බෞද්ධ ජනතාවගේ ද සිත් තැවුලට හේතු වී ඇති බව ද ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

විශේෂයෙන්ම ඊයේ (16) දින සිදු වූ සිද්ධීන් පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින බව ද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමියන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.

විහාර භූමියේ බුදුපිළිම ඉවත් කිරීමට හා භික්ෂූන් වහන්සේලාට පහරදීමට පොලීසිය කටයුතු කළේ, කවරෙකුගේ වුවමනාවන් වෙනුවෙන් දැයි ප්‍රශ්න සහගත බවද එම පහරදීම හේතුවෙන් විහාරාධිපති හිමියන්ට රොහල් ගත වෙන්න සිදු වී ඇති අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ද අදාළ ලිපියේ තවදුරටත් සඳහන් වේ.

පොලීසියේ එම අනීතික හැසිරීම තරයේ හෙළා දකින අතර, ජනාධිපතිවරයාගේ අවධානය මේ පිළිබඳව කඩිනමින් යොමුකොට දැනට කඩා ඉවත් කිරීමට යෝජනා කර ඇති ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙසත් විහාර භූමියේ, විහාරස්ථානයේ හා භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ අංශ දැනුවත් කොට කඩිනම් පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සටහන්ව තිබේ.

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමත් සමඟ ඊයේ රාත්‍රියේ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණි.

කෙසේවෙතත් අද දහවල් පොලීසිය විසින්ම බුද්ධ ප්‍රතිමාව යළි වැඩම කර, පැවති ස්ථානයේම තැන්පත් කිරීමට පියවර ගත්තේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, බුද්ධ ප්‍රතිමාවට හානි සිදුවනු ඇති බවට ලද තොරතුරක් හේතුවෙන් එහි ආරක්ෂාව සහතික කිරීමට පොලීසිය අදාළ ක්‍රියාමාර්ගය ගත් බවය.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය 1951 වසරේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බෞද්ධ විහාරස්ථානයකි.

එහි පවත්වාගෙන ගිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ අතර යළි එහි කටයුතු ආරම්භ කිරීමට විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංසතිස්ස හිමියන් සහ දායක පිරිස් තීරණය කර තිබුණි.

ඊයේ උදෑසන ඊට අදාළව මුල්ගල තැබීම සිදුකර පස්වරුව වන විට එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමටද පිරිස කටයුතු කර තිබුණේ ඒ අනුවය.

නමුත් මෙම ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පැමිණ ස්වාමීන් වහන්සේ දැනුවත් කර තිබුණි.

මෙවැනි පසුබිමක එම භූමියේ තැන්පත් කෙරුණු බුද්ධ ප්‍රතිමාව ඉවත්කිරීමට පොලිසිය ඊයේ රාත්‍රියේ කටයුතු කර තිබේ.

ඒ හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට එහිදී එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේය.

සිද්ධියෙන් තුවාල ලද බව පවසමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් පසුව රෝහල්ගත වුණි.

මේ අතර සිද්ධිය වූ ස්ථානයට අද පැමිණි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමන මහතාට එහි සිටි පිරිසගෙන් විරෝධය එල්ලවුණි.

ගල්කිස්සේ මත් ස්ටිකර් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්…..

ගල්කිස්ස ප්‍රදේශයේ ඩිජිටල් මුද්‍රණ ආයතනයක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇසුරැම් කිරිමට යොදාගන්නා ස්ටිකර් හා ඊට භාවිත කළ මුද්‍රණ යන්ත්‍ර සමග කොළඹ මධ්‍යම අපරාධ ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවටගත් එහි හිමිකරු හෙට (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද (17)  එම නියෝගය දුන් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

මෙලෙස චෝදනා එල්ල වන්නේ, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඊයේ පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීම සඳහා භාවිත කරන සලකුණු නිර්මාණය කරන ගල්කිස්සේ පිහිටි ස්ථානයක් පිළිබඳව පසුගියදා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ස්ථානය පසුගිය 14 වනදා පස්වරුවේ වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනුණි.

සොයාගත් ස්ටිකර් ගල්කිස්ස හා බඩෝවිට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් බහුලව භාවිත කර ඇතැයි සැක කරයි.

ලොව ප්‍රකට කාටුන් සහ රූපවාහිනී කතා මාලාවන්හි එන චරිත යොදාගෙන සැකසූ ස්ටිකර් තොගයක්ද ඒ අතර වේ.

දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්….

දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (17) ප.ව. 7:00 සිට හෙට (18) ප.ව. 7:00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය.

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
හල්දුම්මුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:
අරණායක

ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
බණ්ඩාරවෙල
හපුතලේ

කළුතර දිස්ත්‍රික්කය:
වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය:
ගඟවට කෝරළය
උඩුනුවර
උඩපලාත
තුම්පනේ
පාතහේවාහැට
⁠උඩුදුම්බර
ගඟ ඉහළ කෝරළය
⁠පස්බාගෙ කෝරළය
⁠යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
රඹුක්කන
⁠මාවනැල්ල
දැරණියගල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
මාවතගම
⁠මල්ලවපිටිය

මොනරාගල දිස්ත්‍රික්කය:
බිබළ

නුවරඑළිය දිස්ත්‍රික්කය:
අඹගමුව
හගුරන්කෙත
වලපනේ
නෝර්වුඩ්
කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:
කිරිඇල්ල
⁠බලන්ගොඩ
කලවාන
කොලොන්න
රත්නපුර

මීටියාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව මරුට……

මීටියාගොඩ,  කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (17) රාත්‍රි 8.30ට පමණ සිදුවු මෙම වෙඩිතැබීමෙන් අවන්හලේ මුදල් අයකැමිවරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

යතුරුපැදියකින් පැමිණි දෙන්නෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇතැයි පොලීසිය සැක පළ කරයි.

මීට මාස 4කට පමණ පෙර ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරියට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා වුණි.

කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වු අතර, එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි ද සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

ඒ අනුව වසරේ මේ දක්වා සිදුව ඇති වෙඩි තැබීම් ගණන 106 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පුද්ගලයන් 54 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලබා තිබේ.

අම්බලංගොඩ – අනුරාධ ප්‍රියදර්ශන

GMOA වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණයක්…..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇත.

එම සංගමය පැවසුවේ මේ සම්බන්ධව රජයේ පාර්ශ්වයන් දැනුවත් කළ බවත් මීට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට සිය සංගමය පියවර ගත් බවය.

ඒ අනුව හෙට සිට උදෑසන 8 සිට දිවයින පුරා පිහිටි රෝහල්වල මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1115ක් අත්අඩංගුවට…..

විෂ ‍මත්ද්‍රව්‍ය මුලිනුපා දැමීමේ “රටම එකට“ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (15) සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 1000කට අදික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ වැටලීම් 1131ක් සිදුකර ඇති අතර එහිදි සැකකරුවන් 1115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 531ක් ද, අයිස් ග්‍රෑම් 754ක්, ගංජා කිලෝ 08යි ග්‍රෑම් 953ක්, මත්පෙති 249ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙ ඇත.

එමෙන්ම සැකකරුවන් 31 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර තවත් 63දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමුකර ඇති බව පොලීසිය පැවසුවේය.

වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අද……

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ සිංහ තරුකාරාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව සිදුවන බැවින් එය ලියෝනිඩ්ස් වශයෙන් නම්කර ඇති බවය.

එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව හෙට පෙරවරු 4.00 – 5.00 දක්වා කාලයේ දී ඉතා හොඳින් නිරීක්ෂණ විය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා,

”අද රාත්‍රී කාලයේදී සහ හෙට අලුයම් කාලයේදී අපිට වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මේ උල්කාපාත වර්ෂාව තමයි අපි ලියෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව කියලා නම් කරන්නේ. මේක කියලා නම් කරන්න හේතු වෙලා තියෙන්නේ මේක අපිට සාමාන්‍යයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ ලියෝ එහෙම නැත්නම් සිංහ කියන තාරුකාරාශිය ආශ්‍රිතව වීම නිසයි. වල්ගා තරුව ගමන් කරපු මාර්ගය හරහා පෘථිවිය ගමන් කරද්දී ඒ වල්ගා තරුවෙන් ඉවත් වෙලා ගිය කුඩා දූවිලි කොටස් වගේ දේවල්, පෘථිවි වායුගෝලය සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් තමයි මේ උල්කාපාත වර්ෂාව ඇති වෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධ විශේෂ කරුණක් තමයි, මේ උල්කාපාත වර්ෂාව ඇතිවන ඒ දූවිලි කොටස්වල වේගය ටිකක් වැඩියි. ඒක හින්දා මේ උල්කාපාත වර්ෂාවේදී එම කොටස් පෘථිවි වායුගෝලය සමඟ වැඩි වේගයකින් ඝට්ටනය වෙන හින්දා, අපිට මේ උල්කාපාත වැඩි දීප්තියකින් යුතුව බලන්න පුළුවන් වෙනවා. නැගෙනහිර දිශාවෙන් මේක මතුවෙලා රාත්‍රි කාලයේ ඒ කියන්නේ අලුයම් කාලය වෙද්දි මේක අහසේ දුරට ගමන් කරනවා. ඒක හින්දා මේ උල්කාපාත වර්ෂාව බලන්න සුදුසුම වෙලාව වෙන්නේ සාමාන්‍යයෙන් උදේ 4.00 සහ 5.00 වගේ කාලය. මේ කාලය ඇතුළත අපිට මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරනවා නම්, සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 15ක් 20ක් වගේ අතර ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා.”

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක අනතුරක්….

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු ව තිබේ.

අනතුර සිදු වන අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ පුද්ගලයන් තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් ඔවුන් තිදෙනාම තුවාල ලබා ඇත.

බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු රෝහල් ගත කරන විටත් මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ ඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වන පුද්ගලයකු බව පොලිසිය පැවසීය.

තුවාල ලැබූ අනෙක් දෙදෙනා වැල්ලවාය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

නතරවී තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යළි ඇරඹෙයි….

මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබේ.

පසුගිය සතියේ සිට එම කටයුතු ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව දෛණිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇත.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ 350,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති බව වාර්තා වේ.

එම මුද්‍රණ කාඩ්පත් සපයා ගැනීමත් සමඟ අදාළ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණය කර අවසන් කිරීමට සැළසුම් කර ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර ඉදිරියේදී රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර දින 14ක් ඇතුළත එය නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ.

ඒ සඳහා සියලුම දිස්ත්‍රික්ක මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ කිරීමට සැළසුම් කර ඇති අතර මේ වන විටත් දිස්ත්‍රික්ක කිහිපයක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කළේය.

වේරහැර ප්‍රධාන කාර්යාලයට අමතරව හම්බන්තොට, අනුරාධපුර යන දිස්ත්‍රික්ක කාර්යාලවලද රියදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවන අතර ඉදිරියේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්….

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (16) පස්වරු 12.30ට නික්තුකරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට ආසන්නව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.