ප්‍රමිතිය විකෘති කළ වාහන අංක තහඩුවලට තහනමක්……

නිල වාහන අංක තහඩු මේ දක්වා නිකුත් නොකළත්, ප්‍රමිතිය විකෘති අංක තහඩු සවිකර රථ වාහන ධාවනය සිදුකළ නොහැකි බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසීය.

කෙසේවෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුව ‘A4’ ප්‍රමාණයේ කොළයක මුද්‍රණය කළ අංක තහඩුවක් ප්‍රදර්ශනය කිරීමට කිසිදු බාධාවක් නොමැති බව හෙතෙම පවසයි.

සැපයුම්කරුවෙකු නොමැතිවීමෙන් මාස 10ක පමණ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන අංක තහඩු නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතරවූ අතර, ඒ හේතුවෙන් අංක තහඩු ලක්ෂ 4ක් පමණ මුද්‍රණය කිරීමට නොහැකි වී ඇතිබව සඳහන්ය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දී සිටින්නේ, අංක තහඩු නිකුත් කිරීම ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම ආරම්භවීමට නියමිත බවය.

මෙවන් පසුබිමක අලුතින් ලියාපදිංචිවන වාහන, පිටස්තර වෙළෙඳසැල්වලින් විවිධ වර්ණයන්, ප්‍රමාණයන් සහ විවිධ හැඩයෙන් යුතු අංක තහඩු සවිකර ධාවනය කරන ආකාරය මේ වනවිට සුලබවී තිබේ.

බොහෝදෙනා මැසිවිලි නගන්නේ එවන් අංක තහඩු සහිත වාහන සඳහා පොලිසිය දඩ නියම කරන බවය.

සෝමාවතිය රක්ෂිතයේ වළදමා තිබූ T-56 ගිනිඅවියක් පොලිස් භාරයට…..

සෝමාවතිය ජාතික රක්ෂිතය තුළ ගසක් මුල වළදමා තිබූ T-56 වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) සමත්ව තිබේ.

එම කොට්ඨාසයේ විමර්ශන ඒකක 5හි නිලධාරීන් කණ්ඩායමක් අද (24) දිනයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම ගිනිඅවිය සොයාගෙන ඇත.

පෞද්ගලික තොරතුරුකරුවෙකුගෙන් පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබේ.

කෙසේ නමුත් මෙම ගිනිඅවියේ නිශ්චිත අයිතිකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලිසිය සැක කරන්නේ මෙය පසුගියදා වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කළ අවස්ථාවේ, පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාට මෙය අයත්ව තිබෙන්නට ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වාහන සඳහා වන ලීසිං ණය සීමාව දැඩි කරයි…….

ලියාපදිංචි නොකල වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු මෙරට තුල වසරකට වඩා අඩු කාලයක් ලියාපදිංචි කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසීං පහසුකම් හෙට(25)සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතිකයක්(LVT Ratios) පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

සංශෝධිත උපරිම ණය සීමාවන් අනුව වාණිජ වාහන (Commercial Vehicles) සඳහා වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වා ඉහළ දමා තිබේ.

එමෙන්ම මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් 40%ක් දක්වා ඉහළ දමා ඇත.

ඒ අනුව ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60%ක මුදලක් ගැනුම්කරු විසින් දැරිය යුතුය.

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම සහ අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින් මෙලෙස මෝටර් රථ සඳහා ලබාදෙන ණය සීමාවන් තවදුරටත් දැඩි කිරීමටත් මහ බැංකුව පියවර ගෙන ඇත.

මහ බැංකුවේ බලතල ප්‍රකාරව ගනු ලැබූ මෙම තීරණයට ප්‍රධානම හේතුව වී ඇත්තේ, මෝටර් රථ සඳහා දැනට පවතින උපරිම ණය වටිනාකම් සීමාවන් තවදුරටත් වැඩිකිරීමය.

නැගෙනහිර ඉඩම් ආරක්ෂා කර ගැනීමට කමිටුවක් පත් කිරීමට සැලසුම්…..

නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ දේශපාලන බලය භාවිත කරමින් ඉඩම් අල්ලා ගැනීම හේතුවෙන් නැගෙනහිර පළාතේ ගැටලු රැසක් මතුව ඇති බවය.

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

අධ්‍යාපන කාර්යාල සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල වැනි පරිපාලන ව්‍යූහයන් පිහිටූවීම දේශපාලන කාර්යයක් නොව පරිපාලන කාර්යයක් බව ද අම්පාර දිස්ත්‍රික්කයේ ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ 21දෙනා ගැන තවත් කරුණු……

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (22) අලුයම මෙරටට රැගෙන ආ අපරාධකරුවන් 21 දෙනා ගැන තොරතුරු රැසක් හෙළිකර ගැනීමට පොලීසියට හැකිව තිබේ.

මෙලෙස පිටුවහල්කළ පිරිස අතර මෙරට පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘මහවත්තේ චාමර’ හා ‘වනාතේ කුඩු දුමින්ද’ ද සිටී.

එරට පැවැති සාදයක් අතරතුරදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අතරින් කුඩු දුමින්ද 2025 වසරේ අගෝස්තු මස 8වනදා බොරැල්ලේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය මෙහෙයවා ඇති අයෙකු බව පොලිසිය පැවසීය.

සැකකරු මේ වනවිට වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

එමෙන්ම කුඩු දුමින්දගේ සමීපතමයන් පස්දෙනෙකු ඊයේ මෙරටට පිටුවහල් කළ පිරිස අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නමැත්තාව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී තිබේ.

ඔවුන් හැරෙන්න සෙසු සැකකරුවන් පිරිසෙන් බහුතරයක් ඩුබායිහීදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉරානය විසින් ඩුබායි රාජ්‍යයට එල්ලකළ ප්‍රහාර වීඩියෝගත කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම හේතුවෙන්ය.

ඒ අනුව ඔවුන් සතුව තිබූ මුදල් හා රන් භාණ්ඩ ඇතුළු සියලු දේ එරට ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර, පසුව ඔවුන් හැඳසිටි ඇදුමින්ම ගුවන් ගමන් බලපත්‍රය පමණක් ලබාදී මෙරටට එවා ඇති බව පොලිසිය පැවසීය.

පිටුවහල් කළ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින අතර, ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ඔවුන්ට චෝදනා එල්ලවී ඇති පොලිස් ස්ථානවෙත ඊයේ (23) පස්වරුවේ භාරදී තිබේ.

වසර 20කට ආසන්න නඩු විභාගයකින් පසු 5කට මරණ දඬුවම….

පොලු මුඟුරුවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ සැකකරුවන් 5දෙනෙකුට වසර 19ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම ලබාදීමට බලපිටිය මහධිකරණය ඊයේ (22) නියෝග කර තිබේ.

මෙසේ මරණ දඩුවම නියම කර ඇත්තේ, එකම පවුලේ පියා,පුතුන් ඇතුලු ඥාතීන් පස්දෙනෙකුටය.

විත්තිකරුවන් අතින් ඝාතනය වී තිබුණේ බටපොළ, බටදූව පදිංචිකරුවෙක්ය.

2007 ජූලි මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පවුල් ආරවුලකට විත්තිකරුවන් විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, එය සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන බව පවසමින් බලපිටිය මහාධිකරණ විනිසුරුවරයා මෙම මරණ දඬුවම ලබාදීමේ නියෝගය ලබාදී තිබේ.

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ…..

මොනරාගල පොලිස් වසමට අයත් මිල්ල කැලේවත්ත පාලාරුව ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රි කාලයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එහිදී මිය ගොස් ඇත්තේ, මිල්ල කැලේවත්ත බිබිල පාර, මොණරාගල ලිපිනයේ පදිංචි උලගනාදන් දිලීප් මදුශංක නමැති 28 හැවිරිදි අයෙකි.

පුද්ගලයින් දෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් ඊට හේතුව බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.

මරණකරු තුවාල ලැබීමෙන් අනතුරුව මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

සැකකරු ද මේ වන විට බරපතල තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොනරාගල පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

සියලු රජයේ ආයතනවලට මැයි 31න් පසු තහනම් වෙන තනි ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය…..

සියලුම රාජ්‍ය ආයතනයන් හි තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය එළැඹෙන මැයි 31 දින සිට නතර කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දන්වා තිබේ.

අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව දැනුවත් කරමින් පසුගිය 15 වැනිදා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දන්වා ඇත.

ඒ අනුව එළැඹෙන මැයි 31 වැනි දිනෙන් පසුව සියලුම රාජ්‍ය ආයතනයන් හී ප්ලාස්ටික වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන් තහනම් වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවය.

එමෙන්ම 2023.07.19 දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයද අනුවද තහනම් කර ඇති ප්ලාස්ටික් භාවිතය රාජ්‍ය ආයතන තුළ භාවිතයෙන් වැළැක්වීම සඳහා ආයතන ප්‍රධානීන් අවශ්‍ය කටයුතු කළ යුතු බවද අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය මගින් දන්වා තිබේ.

පරිසර අමාත්‍යාංශයේ එකඟතාව මත මෙම චක්‍රෙල්ඛය නිකුත් කර ඇති අතර ප්ලාස්ටික් භාවිතය අවම කිරීම මෙහි මූලික අරමුණ වේ.

අංක 2341/30 අති විශේෂ ගැසට් පත්‍රය අනුව පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත බීම බට සහ කලතන, ගුවන් ගමන්වලදී හැර තනි භාවිත ප්ලාස්ටික් ආහාර බහාලුම්, පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි, මල් මාලා, ඉඳි ආප්ප වට්ටි භාවිතය තහනම් කෙරිණි.

එමෙන්ම අංක 2034/37 දරන අති විශේෂ ගැසට් පත්‍රය අනුව සියලුම ආකාරයේ පොලිතින්, පොලිප්‍රොපිලින් නිෂ්පාදන දේශපාලන, සාමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික වෙනත් යම් උත්සව හෝ අවස්ථාවලදී සැරසිලි සඳහා භාවිතයද තහනම් කෙරුණි.

පරිසර දූෂණය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා මින් පෙර පැවැති රජයන් ද විවිධ පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 2023 වසරේ එවකට පැවැති රජය විසින් ඉහත සම්බන්ධ කරුණු කෙරෙහි අවධානය යොමු කර 2023 වසරේ ඔක්තෝම්බර් 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එක්වරක් පමණක් භාවිත කෙරෙන ප්ලාස්ටික් අයිතම 09ක් රට තුළ නිෂ්පාදනය කිරීම හෝ අලෙවිය තහනම් කිරීමටද පියවර ගැනුණි.

අවිධිමත් ලෙස ප්ලාස්ටික් සහිත නිෂ්පාදන බැහැර කිරීම මේ වන විට දැඩි පාරිසරික බලපෑමක්ද එල්ල වී ඇති අතර සෞඛ්‍ය ගැටලු බොහොමයක් ඇතිවීමටද අවිධිමත් ප්ලාස්ටික් භාවිතය හේතු වී තිබේ.

මේ අතර එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් සැරසිළි සඳහා සහ දන්සැල් සම්බන්ධයෙන්ද ප්ලාස්ටික් භාවිතයෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය පසුගියදා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

එම අධිකාරිය පැවසුවේ මිනිසා සහ සතුන් ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියම රැකගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවය.

වෙසක් පහන් කූඩු, සැරසිලි සහ දන්සැල්වලදී බහුලව භාවිත වන පහත සඳහන් ද්‍රව්‍ය විකිණීම, ප්‍රදර්ශනය හෝ භාවිතය රජය විසින් නීතියෙන් තහනම් කර තිබේ.

පොලිතීන් හා ප්ලාස්ටික් අක්‍රමවත්ව බැහැර කිරීම නිසා ඇළ දොළ ගංගා අපවිත්‍ර වීම, සතුන් එම ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් මියයාම සහ මයික්‍රො ප්ලාස්ටික් ශරීරගත වීමෙන් මිනිසාට බරපතළ සෞඛ්‍ය සංකූලතා ඇති විය හැකිය.

විශේෂයෙන් මේවා විවෘත පරිසරයේ දහනය කිරීමෙන් විෂ වායු පරිසරයට මුදා හැරෙන අතර එම විෂ වායු මිනිසාට සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය වීමේ අවදානමක්ද පවතී.

හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ රැසක් සොරකම් කරලා…..

දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන මහනුවර, හන්තාන සඳගිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ ගර්භය වෙත පිවිසෙන දොරටු ද්විත්වය බිඳ ගර්භ බුද්ධ මන්දිරයේ තැන්පත් කර තිබූ රන්මාල, මැණික් ඇතුළු පූජා භාණ්ඩ කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබේ.

සඳගිරි සෑය විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි සඳහන් කරනුයේ මෙම සිදුවීම පිළිබඳව තමන්වහන්සේ අද (23) උදෑසන දැනගත් වහාම පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි,

“උදේ චෛත්‍ය බලන්න ගිය අය දැනුවත් කළේ දොර කඩලා කියන එක අපිට ලොකු සැකයක් තිබුණේ දොර කැඩුවානම් අනිවාර්යයෙන්ම ඇතුළේ තියෙන ප්‍රධාන රන් කරඬුව, සහ මට ගොඩක්ම බය තිබුණේ සඳගිරි සෑයේ තැන්පත් කරලා තිබුණ සර්වඥ ධාතූන්වහන්සේ ගැන. ආරක්ෂක අංශයේ නිලධාරීන් එක්ක අපි ගිහින් බලනකොට ඇතුළ් වෙන ප්‍රධාන දොරටු තුනේ ලොක් තුනක් තියෙනවා ඒ ටික සම්පූර්ණයෙන් කඩලා ඇතුල් වෙලා තියෙන්නේ. ඒ අයට වටිනා කියන දේවල් මග හැරිලා තියෙනවා… ආපු පිරිස විසින් අරගෙන ගිහින් තියෙන්නේ ධාතු කරඬුව ඇතුළේ රට වටින් වන්දනා කරන්න පැමිණි සැදැහැවතුන් විටින් විට පූජා කරපු වටිනා ද්‍රව්‍ය තිබුණා. මැණික් ගල් කිහිපයක් තිබුණා ඒවා අරගෙන ගිහින් තිබුණා. ඒ වගේම ධාතු නිදානොත්සවයෙන් අනතුරුව සැදැහැවතුන් අරගෙන ආපු රන් මාල 10-12ක් ප්‍රමාණයක් පලන්ඳලා තිබුණා. ඒවා තමයි පැහැරගෙන ගිහින් තිබුණේ”

අපරාධකරුවන් 226 දෙනෙකුට එරෙහිව පොලිසිය රතු නිවේදන ලබාගෙන…..

විදෙස්ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 226 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.

එම පිරිස අතර සංවිධානාත්මක අපරාධකරුවන් 90කට ආසන්න පිරිසක් සිටින බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියේය.

“මේ අවස්ථාව වනවිට රතු නිවේදනය ලබාගෙන සැකකරුවන් 35ක්. වෙනත් වැරදි ආකාරයෙන් වැරදිකරුවන් 33ක් වගේම සැකකරුවන් 68කට 70කට ආසන්න ප්‍රමාණයක් දිවයිනට රැගෙන ඇවිත් තියෙනවා වර්තමාන රජය බලයට පත්වීමෙන් පස්සේ. ඒ වගේම  තවත් රතු නිවේදන 226ක් පමණ අරගෙන තිබෙනවා. 

මොවුන් අතර සංවිධානාත්මක අපරාධකරුවන් 90කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් රතු නිවේදන අරගෙන තිබෙන්නේ. ඩුබායි, ඉන්දියාව, රුසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රාජ්‍යයන්වල ඔවුන් සිටින බවට හඳුනාගෙන සිටිනවා. ඔවුන්ව ළඟදී ලංකාවට රැගෙන ඒමේ කාර්යයෙන්ම ඉෂ්ට කරනවා.”