කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය බලවේග කට්ටල 39ක් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි වීම හේතුවෙන් කාර්යාල දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පෙන්වා දෙන්නේ, ආපදා තත්ත්වයට පෙර දින රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, මහනුවර, හලාවත,  පුත්තලම සහ ගනේවත්ත යන දුම්රිය ස්ථාන වෙත ධාවනය වූ දුම්රිය බලවේග කට්ටල 39ක් දුම්රිය මාර්ගවලට දැඩි හානි සිදු වීම හේතුවෙන් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවය.

ඒ හේතුවෙන් පවතින මගී ධාරිතාවට සරිලන පරිදි දුම්රිය ධාවනය කිරීම ඉතා අපහසු කාර්යයක් වී ඇති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කර බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්,1 (1)

හිටපු ඇමති සී.බී. රත්නායක රිමාන්ඩ්….

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB රත්නායක මහතා එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ අද (02) පස්වරුවේ ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වසා දැමුණු වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් හෙට (03) සිට විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව විල්පත්තු ජාතික උද්‍යානය (හුණුවිලගම පිවිසුම), යාල ජාතික උද්‍යානයේ පළවෙනි කොටස (පලටුපාන පිවිසුම), මින්නේරිය ජාතික උද්‍යානය හා කවුඩුල්ල ජාතික උද්‍යානය මෙලෙස විවෘත කිරීමට නියමිතය.

අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම උද්‍යානවල ඇතැම් මාර්ග මේ වන විටත් ජලයෙන් යටවී ඇති බැවින් මාර්ග පද්ධතියෙන් වාහන ගමනාගමනය සඳහා සුදුසු කොටස් පමණක් සංචාරකයින් සඳහා විවෘත වන බවය.

මීට අමතරව සංචාරක නිවාස කිහිපයක්ද හෙට සිට විවෘත කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ අනුව කුමන ජාතික උද්‍යානය – තුම්මුල්ල හා කිරිගල්බේ සංචාරක නිවාස, හෝටර් තැන්න ජාතික උද්‍යානය – ගිනිහිරිය හා මහ එළිය සංචාරක නිවාස, විල්පත්තුව ජාතික උද්‍යානය – මරදන්මඩුව වන නිවහන, මින්නේරිය ජාතික උද්‍යානය – රඹවිල සංචාරක නිවාසය, යාල ජාතික උද්‍යානය – I කොටස හීන් වැව, ඔන්ඩච්චි පරණ බුතව, නව බුතව, මහා සීලව, යන සංචාරක නිවාස හෙට දින සිට විවෘත වනු ඇත.

නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල රු.25,000 දක්වා ඉහළට….

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය කඩිනම්ව යථාවත් කිරීම සඳහා ගංවතුරෙන් යටවූ නිවාස හා දේපොළ පවිත්‍ර කිරීමට දෙනු ලබන ආධාර මුදල රුපියල් 10,000 සිට 25,000 දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි  මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව  මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂන සූරියප්පේරුම මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

මෙම ආධාර මුදල් ලබාදීම  සඳහා රුපියල් බිලියන 7.5ක මුදලක් වෙන්කර ඇති බවද එම මුදල වෙන්කරනු ලැබුවේ ආපදා කළමනාකරණය වෙනුවෙන් අයවැයෙන් වෙන් කර තිබූ රුපියල් බිලියන 30ක මුදලෙන් බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේය.

මහා භාණ්ඩාගාරය විසින් පවත්වාගෙන යන මූල්‍ය කළමනාකරණයේ  සාර්ථකත්වයත්, දූෂණය පිටුදකිමින් ගෙන යන වැඩපිළිවෙළත්  නිසා  මෙම වැඩිපිළිවෙළ වඩාත් සාර්ථකව සිදුකළ හැකිව ඇති බවද මුදල් ආමත්‍යංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙලෙස ප්‍රතිපාදන ලබාදීමට සමගාමීව එමගින් පුරවැසියන්ගේ  ජනජීවිතය යථාවත් කර ගැනීම කඩිනම් වනු ඇතැයි  ලේකම්වරයා බලාපොරාත්තු පළ කළේය.

ඒ සඳහා වන යාන්ත්‍රණය දැනටමත් සකසා ඇති බවද ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරී සම්බන්ධීකරණය කරගනිමින්  විපතට පත්ව සිටින සාමාන්‍ය ජනතාවටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මෙම  මුදල් ප්‍රතිපාදන ලබාගත හැකි බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

තවදුරටත් යම් සහනයක් අවශ්‍ය වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබෙන නිර්දේශයන්ට අනුව ප්‍රතිපාදන නිකුත් කිරීමට සුදානම් බවද ලේකම්වරයා පැවසුවේය.

සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….

සියදිවි හානි කර ගැනීම සඳහා මල්අතු ඔයට පැන්න මවක් සහ දරුවන් දෙදෙනෙකු සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ වන විට ප්‍රදේශවාසීන්ගේ හා ජීවිත ආරක්ෂක කණ්ඩායමේ සහායෙන් එම මවගේ ජීවිතය බේරා ගැනීම්ට හැකිව තිබෙන අතර දරුවන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.

මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් පමණ වයසේ පසුවන දෙදරු මවක් සහ අවුරුදු 4 හමාරක් සහ අවුරුදු 8 ක් වන දැරියක් සහ පිරිමි දරුවකු අද (02) උදෑසන 6.30 ට පමණ අනුරාධපුර නගරය ආසන්නයෙන් මල්අතු ඔයට පැන ඇති බව පොලීසිය පවසයි.

මෙම දෙදරු මවගේ සැමියා විදේශගතව සිටින බවත් පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු අනාවරණය වන බව පොලීසිය සඳහන් කළේය.

කාන්තාවක් කෑ ගසන හඬ මල්අතු ඔය අසබඩ සිටි පුද්ගලයෙකුට ඇසී පසුව ප්‍රදේශවාසීන්ගෙන් ද සහාය ඇතිව එම පුද්ගලයා විසින් කාන්තාව බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගෙන යෑමට කටයුතු කර තිබේ.

මේ වන විට දරුවන් දෙදෙනා සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක අංශය මෙහෙයුම සිදුකරනු ලබයි.

නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….

පසුගිය 27 වනදා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් නායයෑමකට ලක්වූ මහනුවර, උඩත්තව, නෙළුම්මල ප්‍රදේශයේ පවුල් 13කට අයත් පුද්ගලයින් 31 දෙනෙකුගේ අවසන් කටයුතු සිදුකර තිබේ.

ජීවිතේ කිසිවෙකු නොසිතූ නිමේෂයක කිලෝ මීටර් 5ක පමණ දුරක් කඳු මුදුනේ සිට කඩා වැටුණු මහා පස් කන්දක් මෙම ගම්මානය වසා ගෙන තිබුණි.

ඉතා සුන්දර වෙල්යායකට මැදිව පිහිටා තිබූ මෙම ගම්මානයට උඩින් පිහිටා ඇති යහන්ගල කඳු වැටිය හා නක්ල්ස් කඳු වැටියෙන් කොටසක් මෙලෙස කඩා වැටී තිබුණි.

විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට පත් වූ ජනතාව වෙත ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්…..

දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල්, සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් විවිධ විමසීම් කර ඇත.

 

ඒ අනුව, ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු සහ ගාස්තුවලින් (Import Taxes and levies) තොරව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය වඩා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා  www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්ද, මෙසේ පරිත්‍යාග කළ හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර  www.donate.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

 

විදේශීය පරිත්‍යාගශීලීන්ට  ඕනෑම ප්‍රවාහන ක්‍රමයක් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව වෙත මෙම ද්‍රව්‍යමය ආධාර එවීමට අවසර ඇති අතර එම භාණ්ඩ සියලු තීරුබදු සහ අය කිරීම්වලින් තොරව නිශ්කාෂණය සඳහා පහසුකම් ලැබීමට නම් සියලුම භාණ්ඩ පහත ලිපිනය වෙත යොමු කළ යුතුය.

 

ලේකම්,
ආරක්ෂක අමාත්‍යාංශය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (
DMC),
විද්‍යා මාවත, කොළඹ 07

 

 

තවද මෙරට වෙනත් පුද්ගලයෙකු හෝ සංවිධානයක නමට මෙම ද්‍රව්‍යමය පරිත්‍යාග එවනු ලබන අවස්ථාවක බදු නිදහස් කර ගැනීමක් අවශ්‍ය නම්, එම පරිත්‍යාගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත බාර දීමට අදාළ පාර්ශවය එකඟතාව පළ කළ යුතුය. එසේ නැතහොත්, සාමාන්‍ය නිශ්කාෂණ ක්‍රියාවලියට අනුගතව සිදු කළ යුතු වේ.

 

www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්  හෝ  +94 70 475 2823 Hotline අංකය ඔස්සේ හෝ relief25@customs.gov.lk ඊමේල් අංකය මගින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ නිශ්කාෂණය කෙරෙන සියලුම භාණ්ඩ රජය විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, බලපෑමට ලක් වූ ප්‍රජාව වෙත නිසි පරිදි කඩිනමින් බෙදා හැරීම සිදු කිරීමත්, පරිත්‍යාග සඳහා පරිත්‍යාගශීලින් දිරි ගැන්වීමත් රජය මෙමගින් අපේක්ෂා කරයි.

අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය වෙළද ඇමති හමුවෙයි….

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ ස්වභාවික ආපදා තත්වය හේතුවෙන් වෙළෙඳපොළ තුළ හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය සමඟින් වූ සාකච්ඡාවක් අද (01) දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේදී ඇති වී තිබෙන ගැටලු, හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට අදාළ කටයුතු, සහන සැලසීම වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය ලබා දීම, සංචාරක කර්මාන්තයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම වැනි අවශ්‍යතාවයන් පිළිබඳව සහ පාරිභෝගිකයා අපහසුතාවයට පත් නොකොට එම ආහාර ද්‍රව්‍ය සාධාරණ මිල ගණන් යටතේ ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා විය.

දිවයින පුරා සැපයුම් ක්‍රියාවලිය සිදු කිරීමේදී ආපදා තත්වය හේතුවෙන් ළඟා වීමට නොහැකි ප්‍රදේශයන් වෙත ආරක්ෂක අංශයන් හි සහාය ලබා ගනිමින් එම සැපයුම් ක්‍රියාවලිය සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.

මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලෙන්තිරරාජා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්, පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති, ලංකා සතොස ආයතනයේ සභාපති, රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති සහ අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හ වෙළෙඳුන්ගේ සංගමයේ පිරිසක් සහභාගී වූහ.

ජල ගැලීම් වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීමට SLT-MOBITEL වෙතින් නොමිලේ ‘247 උපකාරක සේවාවක්…..

දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා, SLT-MOBITEL විසින් කොළඹ විශ්ව විද්‍යාලය ද සමඟ සහයෝගීතාවයෙන් යුතුව නොමිලේ ‘247 උපකාරක සේවාව‍ේ හඳුන්වා දී තිබේ.

මෙම හදිසි උපකාරක සේවාව පැය 24 පුරාම වෛද්‍ය උපදෙස් සහ හදිසි උපකාරක සහාය ලබා දීම සඳහා ස්ථාපනය වී තිබේ. පවතින අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ, සතියේ දින හතේ පැය 24 තුළම සක්‍රියව සේවයට කැපවූ වෛද්‍ය වෘත්තිකයින් කණ්ඩායමක් සමග සහය ඇවැසි ඇමතුම් ලබාදෙන්නන්ව වෛද්‍ය උපදෙස් සඳහා සම්බන්ධ කිරීම මෙම සේවාව මගින් සිදුවනු ඇත.

ජල ගැලීම් හේතුවෙන් සිදුවී ඇති තුවාල, උණ රෝගී තත්වයන්, ජලයෙන් බෝවන රෝග, හුස්ම ගැනීමේ අපහසුතා හෝ ජල ගැලීම් හේතුවෙන් පැන නගින වෙනත් ඕනෑම සෞඛ්‍ය ගැටළුවක් නිසා පීඩාවට පත්ව සිටින ඕනෑම අයෙකුට ක්ෂණිකව අවශ්‍ය වෛද්‍ය උපදෙස්, 247 අංකය අමතා ලබා ගැනීමේ හැකියාව මෙම සේවාව ඔස්සේ ලැබෙනු ඇත.

ආපදාවට ලක්වූ සියලු දෙනා හටම ප්‍රවේශය ලබාගැනීමට හැකියාව සලසමින්, ශ්‍රී ලංකාවේ සියලුම දුරකථන ඇමතුම් ජාල හරහා මෙම සේවාව වෙත ප්‍රවිෂ්ඨ වීමට හැකියාව ඇත.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL, මෙම අභියෝගාත්මක කාලය තුළදීත් ශ්‍රී ලාංකිකයින්ට සහාය ලබාදීමට නිරන්තරයෙන්ම කැපවීමෙන් කටයුතු කරයි.

විශේෂයෙන් සෑම පුරවැසියෙකුම ආරක්ෂිතව සිටින බවත්, ඔවුන්ට සිය ආදරණීයයන් සමඟ මෙන්ම හදිසි සේවාවන් සමඟද සම්බන්ධතාවය පවත්වා ගැනීමට හැකියාව තිබෙන බවත් සහතික කර ගැනීම සඳහා SLT-MOBITEL ඇප කැප වී සිටී. ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසී හවුල්කරුවෙකු ලෙස සෑම විටම ඔවුන් සමඟ එක්ව සිටගන්නා SLT-MOBITEL, මෙම සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමෙන් නැවත නැගී සිටීම සඳහා ජාතිය එක්ව කටයුතු කරන අතරතුර, අත්‍යවශ්‍ය සන්නිවේදන සහාය සහ වෛද්‍ය සහාය ලබා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී සිටී.

මෙම අභියෝගාත්මක කාලය තුළ අවධානයෙන් පසුවන ලෙසටත්, ප්‍රජාවක් ලෙස එකට එක්ව සිටින ලෙසටත්, එකිනෙකා ගැන සොයා බලමින්, ආරක්ෂිතව සහ සාමූහිකව සිටින ලෙසටත් SLT-MOBITEL විසින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

ප්‍රීමා සමූහ ව්‍යාපාරයෙන් රුපියල් මිලියන 300 කට අධික වියළි සලාක ගංවතුර සහන කටයුතු වෙනුවෙන් ‌ ප්‍රදානය කරයි…

ශ්‍රී ලාංකිකයන් මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ප්‍රජාවට සහය වීම සඳහා ප්‍රීමා සමාගම වෙතින් රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින් යුත් ප්‍රීමා නිෂ්පාදන සහනාධාර ලෙස ප්‍රදානය කර තිබේ. ආපදාවට ලක් පවුල්වලට අත්‍යවශ්‍යය වූ මෙම සහනාධාර බෙදා හැරීම ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ දියත් කර ඇත.

ප්‍රීමා නිෂ්පාදන අඩංගු මෙම වියළි සලාක තොගය පසුගිය නොවැම්බර් 30 වන දින ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කරන ලදී. ආපදා තත්වය හමුවේ වැඩිම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක කිහිපයක් වෙත එම අමුද්‍රව්‍ය තොගය බෙදා හැරීමට නියමිතය. මෙම සහනාධාරය එදිනෙදා ජන ජීවිතය තර්ජණයට ලක් වූ විශාල ජන පිරිසකගේ මූලික අවශ්‍යතා තෘප්තිමත් කිරීමට සහය වන බව විශ්වාසයි.

මෙම පරිත්‍යාගය භාරදීම ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා විසින් එම පරිත්‍යාගයන් භාර ගන්නා ලදී. ප්‍රීමා සමූහ ව්‍යාපාරය නියෝජනය කරමින් සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් හි සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා සහ සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් පීඑල්සී හි සාමාන්‍යාධිකාරී සංජීව පෙරේරා මහතා යන මහත්වරුන් මෙම වියළි සලාක තොගය භාරදීමට සහභාගී වූහ.

ප්‍රීමා සමූහ ව්‍යාපාරය වසර 40 කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය ජනතාව සමඟ සිටින අතර, මෙම පරිත්‍යාගය අතිශය අසීරු හා අභියෝගාත්මක කාලවලදී ජාතිය කෙරෙහි ඇති හෘදයාංගම කැපවීම පිළිබිඹු කරයි. දිවයින පුරා සහන මෙහෙයුම් රැසක් අඛණ්ඩව සිදුවන මේ මොහොතේ රාජ්‍ය බලධාරීන් සමඟ එක්ව සහයෝගයෙන් විපතට පත් පවුල්වලට ඔවුන්ගේ ජන ජීවිත යළි ගොඩනඟා ගැනීමට උපකාර කිරීම සහ අඛණ්ඩ සහන සැලසීමේ ක්‍රියාවලියට සහාය වීම ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ මූලික අරමුණ වේ.