හිටපු අමාත්‍ය ජොන්ස්ටන් හෙට FCIDයට නාවොත් වරෙන්තු ?

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට (5) දිනය තුළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙසත්, නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා  අධිකරණ වරෙන්තුවක් ලබාගන්නා බවත් පොලීසියෙන් දැනුම්දීමක් කර තිබේ.

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර ඒ මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමලල මහතා අද (4) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

සතොස ආයතනයේ ලොරි රථයක් හිටපු ඇමතිවරයාට අයත් බව කියන එතනෝල් සමාගමක රාජකාරි සඳහා යෙදවීමට ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුට කූඨ ලේඛන සකස්කර දුන් බවට එල්ලවූ චෝදනාව මත ඔහු එළෙස රක්ෂිත බන්ධනාගාරව ඇත.

20 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කළ කොරතොට වෙඩිතැබීමේ සම්පූර්ණ කතාව…

නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් 20 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

ඔහු සමග සිටි තවත් දෙදෙනෙක් වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

බොරැල්ලේ ‘කුඩු දුමින්ද’ නම් අපරාධකරුගේ පාර්ශ්වයේ පිරිසක් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ, බොරැල්ලේ ‘කුඩු චතූගේ’ පාර්ශ්වය ලෙස සැක කරන බව පොලීසිය පැවසුවේය.

නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේ කුලී නිවසක සිටි පිරිසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබුණි.

ඒ ඊයේ රාත්‍රී 9.30ත් 10ත් අතරදීය.

නිවසේ තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව අනෙක් දෙදෙනා මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

වත්තෙහි වූ වැටක් කපාගෙන වෙඩික්කරුවන් දෙදෙනෙකු නිවසට පැමිණ ඇති බවත් වෙඩි තැබීමට පිස්තෝලයක් භාවිත කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

ජීවිතක්ෂයට පත් වූ තරුණයා සංකල්ප නමැති 20 හැවිරිදි අයෙක් වන අතර බොරැල්ලේ පදංචිකරුවෙකි.

තුවාල ලැබූ දෙදෙනා අම්බලන්තොට හා දෙමටගොඩ පදිංචිකරුවන්ය.

පොලීසිය පැවසුවේ, ඝාතනය වූ තරුණයා ඉකුත් නොවැම්බර් 14 වනදා බොරැල්ල, සරණ පාර ප්‍රදේශයේදී තවත් අයෙක් සමග එක්ව කාන්තාවකගේ අතක් වෙන්වන්ටම කපා දමා ඇති බවයි.

ඇය බොරැල්ලේ කුඩු චතූ නැමැත්තාගේ සමීපතමයෙක් වන අතර ඔහුගේ උපදෙස් මත බොරැල්ලේ ඩම්ප් එක වත්ත පාර ප්‍රදේශයේදී පසුගිය ජුනි 24 වැනිදා පුද්ගලයෙකුට වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු හා යතුරුපැදිකරු ඇයගේ නිවසේ සිට පැමිණ තිබූ බව පොලීසිය පැවසුවේය.

එහිදී වෙඩික්කරුගේ ඉලක්කය වූ පුද්ගලයා දිවගොස් දිවි බේරාගත් අතර පසුව ඔහු හා ඊයේ රාත්‍රියේ ඝාතනය වූ තරුණයා එක්ව අදාළ කාන්තාවගේ අත කපාදාමා තිබුණි.

ඔවුන් දෙදෙනා කුඩු චතූ නැමැත්තාගේ ප්‍රතිවාදි කල්ලිය වන ‘කුඩු දුමින්ද’ නම් අපරාධකරුගේ සමීපතමයකි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා පොලීසිය අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් කළ ද ඔවුන්ව සොයාගැනීමට හැකි වුණේ නැහැ.

කෙසේවෙතත් කුඩු චතූගේ පාර්ශ්වයට අදාළ තරුණයා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මෙම ඝාතනය සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ එක් අයෙක් ඉකුත් ජූනි මාසයේ එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් දිවි බේරාගත් පුද්ගලයාගේ මස්සිනා බව පොලීසිය පැවසුවේය.

මේ අතර අදාළ ඝාතනයට ‘කුඩු දුමින්ද’ සූදානම් වන බවට ලද තොරතුරකට අනුව බොරැල්ල ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් ද යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක්  සඳහන් කළේය.

මෙම වෙඩිතැබීම මේ වසරේ සිදු වූ පළමු වෙඩිතැබීම වීම විශේෂත්වයකි.

මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ….

මහනුවර මහ නගර සභාව මීට පෙර දැනුම් දී තිබූ පරිදි මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීමේ කටයුතු අද (02) පෙරවරුවේ සිදුකෙරුණි.

කෙසේ වෙතත් පදික වෙළෙඳුන් පවසන්නේ, ඒ වෙනුවෙන් තමන්ට ලබාදී ඇති විකල්ප ස්ථානයේ වෙළෙඳාම් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවය.

මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කරන බවට මහනුවර මහ නගර සභාව දැනුම් දී තිබුණේ පසුගිය ජූලි මාසයේ සිටයි.

ඒ අනුව මහනුවර නගරයේ මෙන්ම පේරාදෙණිය හා කටුගස්තොට නගරවලද අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීම නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, මහනගර සභා නිලධාරීන් සහ පොලිසියේ මැදිහත් වීමෙන් අද පෙරවරුවේ සිදුකෙරුණි.

කෙසේ වෙතත්, වෙළෙඳුන් පවසන්නේ තමන්ට විකල්පයක් ලෙස බෝගම්බර ප්‍රදේශයේ ස්ථානයක් ලබාදුන්නද එම ප්‍රදේශය ජනාකීර්ණ නොවන බවය.

පසුගිය 2025 වසරේදී කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලින් වාර්තාවක්…..

පසුගිය 2025 වසරේදී කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සිදුකළ බහාලුම් ප්‍රමාණය වරාය ඉතිහාසයේ වැඩිම බහාලුම් සංඛ්‍යාව වූ බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

මෙම වසරේ එම ප්‍රමාණය බහාලු 8,290,000කි. මෙම වාර්තාගත මෙහෙයුම කොළඹ වරාය තුළ ඇති බහාලු පර්යන්ත වන, වරාය අධිකාරිය සතු ජයබහලු පර්යන්තය (JCT), නැගෙනහිර බහාලු පර්යන්තය සහ අනෙකුත් පර්යන්තයන්ගේ සාමුහික ප්‍රයත්නයක් ලෙස සැලකිය හැකිය.

2024 වසරේ කොළඹ වරායේ මෙහෙයුම් සිදු කල බහාලු ප්‍රමාණය හැත්තෑහත් ලක්ෂයක් පමණ වන බවත් 2025 වසරේදී එම ප්‍රමාණය (6%) ක වර්ධනයක් පෙන්නුම් කළ බවත් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙම වාර්තාගත මෙහෙයුම් ඇගයීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩසටහනක්ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තයේ දී පැවැත්වුණු අතර මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , අමාත්‍යාංශ ලේකම් W.W.S. මංගල යන මහත්වරුන් ද වරාය අධිකාරියේ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සමඟ අනෙකුත් බහාලු පර්යන්ත ප්‍රධානීන් ද එක්ව තිබේ.

එමෙන්ම කොළඹ වරාය කේන්ද්‍රීය වරායක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් 2026 වසරේ දී ප්‍රති නැව්ගත කිරීම් හා ලොජිස්ටික් පහසුකම් වැඩි දියුණු කිරීමට ද සැලසුම් කර ඇත.

එමෙන්ම 2026 වසරේදී වරාය අධිකාරිය සතු නැගෙනහිර බහාලු පර්යන්තය සහ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකිවීමත් සමඟ 2026 වසරේ දැවැන්ත බහාලු ප්‍රමාණයක් මෙහෙය වීමට කොළඹ වරායට හැකි වනු ඇති බවත් අමාත්‍යාංශය අපේක්ෂා කර තිබේ.

අමාත්‍යාංශය සඳහන් කළේ 2026 වසරේ රටේ ආර්ථික වර්ධනයට එය දායකත්වයක් වනු ඇති බවත්  මේ වන විට ලෝකයේ ප්‍රමුඛතම නාවික සමාගම් රැසක් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු ගැන සිය ප්‍රසාදය පල කර ඇති බවය. මේ තුළින් එම නැව් සමාගම් ද කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලට එක් වීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

රුපියල් මිලියන 34කට අධික කුෂ් සමගින් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට….

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3 ග්‍රෑම් 419ක් සමගින් ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35ක අයෙකු වන අතර සැකකරු විසින් මෙරටට ගෙන ආ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 34.19ක් වන බවද රේගු නිලධාරීන් පැවසීය.

සැකකරු බැංකොක් සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මෙරටට පැමිණ තිබේ.

සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබේ.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025 වර්ෂයේදී….

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදන 2025 වර්ෂයේදී සිදු කිරීමට සමත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ගතවූ වසරේදී ඖෂධ පෙති සහ කරල් මිලියන 3,625ක් නිෂ්පාදනය කිරීමට ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත්ව ඇති බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මාසයක් තුළ සිදුකළ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025 වසරේ මාර්තු මාසය තුළ සිදු කිරීමට ද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත්ව ඇති අතර එම මාසයේ ඖෂධ පෙති සහ කරල් මිලියන 385ක් නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ.

ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සැපයුම් අංශය ලබා දුන් සියලු ඇනවුම් හිඟයකින් තොරව සැපයීමට ද කටයුතු කර ඇති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2025 වර්ෂයේදී නව ඖෂධ නිෂ්පාදන 05ක් වෙළදපොලට හදුන්වාදීමට ද කටයුතු කර ඇත.

කෙසේවෙතත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ 2025 වර්ෂයේ සංස්ථාවේ සමස්ත ආදායම රුපියල් බිලියන 27.06ක් ලෙස ද සටහන් වී ඇති බවය.

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහන ජනපතිගේ අධීක්ෂණයට….

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නිසි කාල සීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම එම ව්‍යාපෘතිවල කටයුතු එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ” තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

2026 අයවැය ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 10,200ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය සහ යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 5000ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ සැලසුම්, වත්මන් තත්ත්වය සහ අවසන් කිරීමට නියමිත කාල රාමු පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී නිරීක්ෂණය කළේය.

එමෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ පෙර වසරවලදී වැඩ ආරම්භ කරන ලදුව, මෙතෙක් වැඩ අවසන් කර නොමැති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්….

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සභාපතිවරයා අද (02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

සිය රාජකාරියට සභාපතිවරයා විසින් බාධා සිදුකරන බවට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකළ අතර ඒ අනුව පොලීසිය විසින් සැකකාර සභාපතිවරයා අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණය සිදු කෙරේ….

මාවනැල්ල දනාගමවත්ත ප්‍රදේශයේ දී සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණය මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිසේදා කුමාරි කරුණාතිලක මහත්මිය විසින් අද (02) සිදුකරනු ලැබිය.

ඝාතනයට ලක් වූ මාවනැල්ල, දනාගමවත්ත පදිංචි 58 හැවිරිදි කාන්තාව සිය නිවසේ තනිවම සිටියදී පිහියකින් ඇන ඝාතනය කර ඇති අතර, එම ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිදි කාන්තාව ද සිය නිවසේ තනිව සිටියදි පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට එහිදී අනාවරණය වී තිබේ.

එමෙන්ම එහි පදිංචි 51 හැවිරිදි පස් දරු පියා ද ඔහුගේ නිවසේ නිදා සිටිය දී මෙලෙස පිහියකින් ඇන ඝාතනය කර ඇති බව හෙළි වී ඇත.

මාවනැල්ල මූලික රොහලේ තැම්පත් කර තිබු මළසිරුරු පරික්ෂා කිරිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට වැඩබලන මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබේ.

CEB යෝජනාවට අනුව මහජන අදහස් විමසීම ජනවාරි 2වන සතියෙන් ඇරඹේ….

2026 ජනවාරි සිට මාර්තු මාසය දක්වා වන කාලය සඳහා අපේක්ෂිත පිරිවැය රුපියල් මිලියන 137,016ක් වන බවත්, පවතින ගාස්තු යටතේ ලැබෙන ආදායම රුපියල් මිලියන 113,161ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති බවත් විදුලිබල මණ්ඩලය සිය යෝජනාවලිය මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟයක් පවතින බැවින් සමස්ත විදුලි ගාස්තුව 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බව විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.

2026 වසරේ පළමු කාර්තුව සඳහා වූ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබේ.

එහිදී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබේ.

යෝජිත සංශෝධනයට අනුව ගෘහස්ථ කාණ්ඩයේ පළමු විදුලි ඒකක 60 දක්වා අදියර දෙකක් යටතේ ගාස්තු සංශෝධනය වේ.

මුල් ඒකක 30ට අදාළව එක් විදුලි ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 4.50ක ගාස්තුව රුපියල් 5.29ක් දක්වා වැඩිවීමට යෝජිතය.

එම කාණ්ඩයේ මාසික ගාස්තුවද රුපියල් 80 සිට රුපියල් 94.11 දක්වා රුපියල් 14.11කින් ඉහළ යනු ඇත.

ඒකක 31 සිට 60 දක්වා, එක් ඒකකයකට අයකෙරෙන රුපියල් 8ක ගාස්තුව රුපියල් 9.41 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

එහි මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 37.03 කින් ඉහළ යන අතර එහි යෝජිත  ගාස්තුව රුපියල් 247.03කි.

ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ඒකකයකට දැනට අයකරන රුපියල් 18.50ක ගාස්තුව රුපියල් 21.76 දක්වා වැඩි කිරීමට යෝජිතය.

එමෙන්ම ඒකක 91 සිට 120 දක්වා ඒකකයකට අය කරන රුපියල් 24ක ගාස්තුව ද රුපියල් 28.23 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ඒකකයක් සඳහා අයකරන රුපියල් 41ක ගාස්තුවද රුපියල් 48.23ක් දක්වා ඉහළ දැමීමට යෝජිතය.

ඒකක 181 හෝ ඊට වැඩි ඒකකයක් සඳහා පැවති රුපියල් 61ක ගාස්තුව ඉහළ නැංවීමට යෝජනා කර ඇත්තේ රුපියල් 71.76 දක්වාය.

මෙම කාණ්ඩවල මාසික ස්ථාවර ගාස්තු ද මීට සමගාමීව ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

මීට සමගාමීව ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා විදුලි ගාස්තුද ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබේ.

එහි පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකරන රුපියල් 4.50ක ගාස්තුව රුපියල් 5.29 දක්වා ඉහළ දැමීමට යෝජිත අතර, රුපියල් 75 ක්ව පැවති මාසික ගාස්තුව ද , රුපියල් 88.23 දක්වා ඉහළ නැංවීමට යෝජිතය.

ඒකක 31 සිට 90 දක්වා ඒකකයක මිලද ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර එම කාණ්ඩයේ මාසික ගාස්තුව ද රුපියල් 35.27 කින් ඉහළ නැංවීමට ඉල්ලා තිබේ.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 9.41 දක්වාත්, ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 22.35 දක්වාත් ඉහළ නැංවීමට යෝජිතය.

ඒකක 181 හෝ ඊට වැඩි නම් ඒකකයක මිල ඉහළ නැංවීමට ඉල්ලා ඇත්තේ රුපියල් 26 සිට 30.59 දක්වාය.

මීට සමගාමීව කර්මාන්ත සහ හෝටල් සඳහා විදුලි ගාස්තුද ඉහළ දැමීමට ද යෝජනා කර ඇත.

ඒ අනුව ඒකක 300 හෝ 300ට අඩු කාණ්ඩය සඳහා රුපියල් 8ක් ලෙස පවතින ඒකකයක මිල රුපියල් 9.41 දක්වාත්, ඒකක 300ට වැඩි ඒකකයක මිල රුපියල් 17 සිට රුපියල් 20 දක්වාත් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානවල ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොවන බවද වාර්තා වේ.

මේ අතර විදුලිබල මණ්ඩලයේ මෙම යෝජනාවලිය අධ්‍යයනය කොට ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.

ඒ අනුව ජනවාරි දෙවන වන සතිය වන විට මහජන අදහස් ලබාගැනීම ආරම්භ කෙරෙන අතර සති 6ක කාලයක් තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය දැනුම්දීමට නියමිතයි.