6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අවුල්සහගත පිටුව ගලවා ඉතිරිය බෙදීමේ යෝජනාවක්….

ආන්දෝලනයට තුඩුදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයේ මොඩියුලය මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 61කට ආසන්න මුදලක් වියදම් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

එබැවින් එය යළි මුද්‍රණය කරනවාද, නැතිනම් වියදම අවම විකල්ප ක්‍රියාමාර්ගයකට යොමුවනවාද යන්න පිළිබඳ මේ වනවිට අවධානය යොමු වී ඇති බව අප කළ විමසීමකදී අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදි අනුගමනය කළ හැකි එක් විකල්පයක් ලෙස අදාළ මොඩියුලයේ ප්‍රශ්නගත පිටුව ඉවත්කර බෙදාහැරීම කෙරෙහිද අවධානය යොමු වී ඇති බව කලුවැව මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර වත්මන් ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල පැවැත්වෙන වේලාව මිනිත්තු 30කින් දීර්ඝ කිරීම 2026 වසරේ සිට ක්‍රියාත්මක වන බව දැනුම්දී තිබුණ ද අධ්‍යාපන අමාත්‍යාංශය අද (02) නිවේදනය කළේ පාසල් පවත්වන වේලාව දීර්ඝ කිරීම ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බවය.

රට තුළ උද්ගතවූ ආපදා තත්ත්වය නිසා පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති හානි සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2026 වසරේ ද 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් පවත්වන කාලය පෙ.ව. 7.30 සිට පස්වරු 1.30 දක්වා නොවෙනස්ව පවතිනු ඇත.

2026 පළමු වාරය සඳහා රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් ජනවාරි 05වන දින ආරම්භ කිරීමට නියමිතය.

එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙම වසරේදී 1 ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

ඒ යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු විධිමත් ලෙස ආරම්භ කිරීම ජනවාරි 21වැනිදා සිදුකෙරෙනු ඇත.

පළමු ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනාගැනීම ජනවාරි 05 වැනිදා ආරම්භ වන අතර විධිමත් ලෙස අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම ජනවාරි 29 වනදා ද සිදුකිරීමට නියමිතය.

ඒ අනුව පළමු ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පෙර සිසුන්ට බෙදාදී අවසන් කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

මේ අතර දිට්වා සුළි කුණාටුව නිසා අතරමඟ නැවතුණු 2025 උසස්පෙළ විභාගයේ ඉතිරි අදියර මෙම වසරේ ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

2026 පාසල් කාලසටහන සංශෝධනය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්….

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය උපයෝජනය කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය විසින් උපදෙස් සංග්‍රහය නිකුත් කර තිබේ.

ඒ අනුව 2026 වසර තුළ දී පාසල් පැවැත්වෙන වේලාව දැනට ක්‍රියාත්මක වන පරිදි ම පෙ.ව. 7.30 සිට ප.ව 1.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මින් පෙර ලබා දුන් උපදෙස් පරිදි, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 වර්ෂයේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක කළ යුතු බව ද එහි සඳහන්.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්….

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා අද (02දා) නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කළේය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතින් ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබා ගනු ලැබීය.

පත්වීම් ලබා ගැනීමෙන් අනතුරුව, ඒ මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සිය ප්‍රථම නිල හමුව අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි ඩන්කන් වයිට් ශාලාවේදී පවත්වන ලදී.

එහිදී මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ඒ මහතා නිලධාරීන් දැනුවත් කළේය.

පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය පනී

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර්  බිලියනය ඉක්මවා ගොස් තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,033.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83% ක කැපී පෙනෙන වර්ධනයකි.

මෙම ජයග්‍රහණයේ සුවිශේෂීත්වය වන්නේ, හුදෙක් පොල් ගෙඩි පිටරට පැටවීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන (Value-added products) කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමය.

මේ යටතේ දියරමය පොල් කිරි, වර්ජින් පොල් තෙල්, පොල් ක්‍රීම්, විජලනය කළ පොල් (DC), ඇක්ටිවේටඩ් කාර්බන් (Activated Carbon) සහ කොකෝ පීට් (Coco Peat) වැනි නිෂ්පාදන සඳහා ඉහළ ගෝලීය ඉල්ලුමක් නිර්මාණය වී ඇත.

මේ වන විට මෙරට සමස්ත අපනයන ප්‍රමාණයෙන් 7.2% ක්ම නියෝජනය කරනු ලබන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්ය.

මෙම සාර්ථකත්වය පොල් කර්මාන්තකරුවන්ගේ සමූහ අධිෂ්ඨානයත්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතනවල සම නායකත්වයෙන් කළ උත්සාහයෙනුත්, විශේෂයෙන්ම දේශීය නාස්තිය අවම කර අපනයන වෙත පොල් යොමු කිරීමේ විද්‍යාත්මක අවශ්‍යතාව තේරුම් ගත් ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගයත් වැදගත් විය.

අනාගත ඉලක්ක සහ තිරසාර වර්ධනය රජයේ ඉදිරි සැලසුම් අනුව 2030 වසර වන විට පොල් ක්ෂේත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක අපනයන ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කර ඇත.

මේ සඳහා දීර්ඝකාලීන පියවරක් ලෙස “උතුරු පොල් ත්‍රිකෝණය” ස්ථාපිත කර ඇති අතර, එහි අක්කර 16,000 ක් ද ඇතුළුව සමස්තයක් ලෙස අලුතින් පොල් අක්කර 36,000ක් වගා කිරීමේ කටයුතු සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් එම පියවරවල ප්‍රතිඵල දැක ගත හැක්කේ මධ්‍යම හා දිගු කාලීනව වුවද කෙටි කාලීන වශයෙන් දේශීය පරිභෝජනය රටා වෙනස් කිරීම වෙනුවෙන්, ගෘහස්ථ මට්ටමේදී පොල් භාවිතය වඩා කාර්යක්ෂම කර ගැනීම (පොල් වතුර, පොල් කටු, පොල් ලෙලි), දෛනික පරිභෝජනය සඳහා විකල්ප නිෂ්පාදන භාවිතයට ගැනීම (පිටි හා කිරි), දේශීය නාස්තිය අඩු කිරීම සඳහා සරල තාක්ෂණ භාවිතය මෙන්ම පොල් අපනයනකරුවන්ට නැවත අපනයනය සඳහා පමණක් සීමා කරමින්, පොල් කිරි සහ පොල් ගෙඩි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට අවසර ලබා දීම වැනි තීරණ කිහිපයක් රජය විසින් ගන්නා ලදි.

මෙලෙස ආනයනය කළ ප්‍රමාණය ඉතා සීමිත වුවද, මෙම කාලෝචිත ප්‍රතිපත්ති තීරණය මඟින් දේශීය වෙළඳපොළේ හිඟයක් ඇති නොවීමටත්, එකවරම අපනයන කර්මාන්තයේ ගමන්මග ආරක්ෂා කිරීමටත් හැකි වී තිබේ.

මෙම සාර්ථකත්වය පොල් කර්මාන්තකරුවන්ගේ සමූහ අධිෂ්ඨානයත්, වැවිලි හා ප්‍රජා යටිතලපහසුකම්  අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සමනායකත්වයෙන් කළ උත්සාහයෙනුත්, විශේෂයෙන්ම දේශීය නාස්තිය අවම කර අපනයන වෙත පොල් යොමු කිරීමේ විද්‍යාත්මක අවශ්‍යතාව තේරුම් ගත් ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගයත් වැදගත් විය.

කෙසේ වුවද මෙම ඉලක්කය පිළිබඳව 2025 ජනවාරි මස පැවති මාධ්‍ය හමුවක දී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා කියා සිටියේ 2025 වසර අවසානයේ ඩොලර් බිලියනය ඉක්මවූ අදායමක් බලාපොරොත්තු වන බවත් ඒ සඳහා හැකි අයුරින් පොල් පරිභෝජන රටාව සහ නාස්තිය අවම කරගන්නා ලෙසත්ය.

ආපදාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට FR පෙත්සමක්……

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් රජය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ තම නීතිඥ කාර්යාලය මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන බවත් පසුගිය දිනවල ඇති වූ සුළි කුණාටු හා ගංවතුර තත්ත්වය හේතුවෙන් එම කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ බවය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සිය පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශයට පත් වී ඇති බවත් මේ හේතුවෙන් සිය වෘත්තියට දැඩි පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කර ඇත.

ආපදා තත්වයක් ඇතිවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගේ නොසැලකිලීමත්භාවය හෝ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙවැනි විනාශකාරී තත්ත්වයක් උද්ගත වූ බවත් ඔවුන් පෙර සූදානමින් කටයුතු කර තිබුණේ නම් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.

විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ ජලය මුදා හැරීමට පෙර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේ නම් ගම්පොල, ගලහ, පේරාදෙණිය සහ මහනුවර යන ප්‍රදේශවල ජලගැලීම් හේතුවෙන් සිදුවූ දැවැන්ත හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු මෙමගින් සඳහන් කර ඇත.

වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය නිසා මෙම ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ විනාශය උත්සන්න වූ බවත් ඔහු චෝදනා සිය පෙත්සම මගින් චෝදනා කර ඇත.

ඒ අනුව වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්ථා…

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ තාවකාලික සේවයේ නියුක්ත කරවීම සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ගෘහස්ථ රැකවරණ, කෘෂිකර්මය, ඉදිකිරීම්, ඇතුළු අංශයන්හි රැකියා සඳහා බඳවා ගැනීමට අදාළ ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වලට වරින් වර අත්සන් තබා තිබුණි.

එම ගිවිසුම් යටතේ ඊශ්‍රායලයේ වාණිජ හා සේවා අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවාගැනීමට ඊශ්‍රායලය නිල වශයෙන් කැමැත්ත ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

ඒ අනුව, එම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීමට හැකි වන පරිදි ගනු ලැබ ඇති පියවර සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක්….

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක සහනාධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ඒ බව අද නිවේදනය කර ඇත.

මෙම සහනාධාරය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවට අයත් ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් ලබාදීමට නියමිතය.

මෙම තීරණය සම්බන්ධයෙන් X ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ජනතාවට චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළ කරන “ආදරය සහ සැලකිල්ල” මෙය මගින් ප්‍රකාශ වන බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

ව්‍යවස්ථාදායක සභාව සීමාව ඉක්මවා ගිහින් – ඇමති නලින්ද….

විගණකාධිපතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව පටු අරමුණු මත රැඳෙමින් තම සීමාව ඉක්මවා කටයුතු කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

දැනට මාස කිහිපයක සිට විගණකාධිපති ධුරය හිස්ව පැවතීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ව්‍යවස්ථාවේ පවතින ජනාධිපතිවරයාට හිමි බලතල අනුව ව්‍යවස්ථාවේ පවතින විගණකාධිපතිවරයෙකු පත් කිරීමේ සුදුසුකම් සහිත පුද්ගලයින් අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමුකර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

“කාටවත් මේක අභියෝගයට ලක් කරන්න බැහැ. ජනාධිපතිවරයාට හිමි බලතල අනුව සුදුසුකම් ලැබිය හැකි අය තමයි ජනාධිපතිවරයා මේ නම් කරලා යවලා තියෙන්නේ. මේ සියලුදෙනාම චාටඩ් එකවුන්ටන්ලා. ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී ඉදිරිපත් කළා.. ස්ථීර විගණකාධිපතිවරයෙක් සඳහා නාමයෝජනා දෙකක්.”

“මේ සියලුදෙනාම සුදුසුකම් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඉල්ලා සිටින නිර්ණායකවලට සුදුසු පුද්ගලයින්. ඒ වගේම තවත් නම් 2ක් ඉදිරිපත් කළා.. විගණන දෙපාර්තමේන්තුවේ දැනට ඉන්න ජ්‍යේෂ්ඨතම විගණන නිලධාරීන්.”

“මෙලෙස නම් ඉදිරිපත කරලා තිබියදීත් ව්‍යවස්ථාදායක සභාව ඒ අනුව කටයුතු නොකරනවා නම් ඉන් පෙන්නුම් කරන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය හෝ රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලිය කඩාකප්පල් කරන්න හිතාමතාම ඔවුන් කටයුතු කරනවා කියන එක.”

“ව්‍යවස්ථාදායක සභාවට අයිතියක් නැහැ..එවන නම් ව්‍යවස්ථාවේ ආකාරයට සුදුසු නම්, ඒ ඕනම කෙනෙක් විගණකාධිපති ධුරයට ගැලපෙනවා නම්, ඊට වඩා සුදුසු කෙනෙක් එළියේ ඉන්නවා යැයි පවසා ඒ නම් ප්‍රතික්ෂේප කරන්න.” 

“ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලයක් තිබෙනවා. ඒ අනුව තමයි ජනාධිපතිවරයා මෙතෙක් වැඩ කළේ. ඒ අනුව ඉදිරියටත් වැඩකටයුතු කරයි. ව්‍යවස්ථාදායක සභාවට අපි කියන්නේ ඔබට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව කටයුතු කරන්න. රට ඉදිරියට ගෙනයෑම ගැන සිතා කටයුතු කරන්න. ඔබගේ පටු සීමාවන් ඇතුළේ කටයුතු කිරීම සුදුසු නැහැ.”

එජාප සහ සජබ අතර සාකච්ඡාවක්…..

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර හමුවක් සිදුව තිබේ.

අද (30) දහවල් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවයසම්, උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් එක්ව සිටියහ.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඒහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට එක්ව සිටියහ.

මෙය තීරණාත්මක මට්ටමේ දේශපාලන සාකච්ඡාවක් නොවුවද පක්ෂවල පාක්ෂිකයින් හා සැලකීමේදී අදාළ සාකච්ඡාව ඉතා වැදගත් සාකච්ඡාවක් බව සඳහන් වේ.

පැය කිහිපයක් පුරා ඉතා සුහදව මෙම සාකච්ඡාව පැවති අතර තවදුරටත් අදාළ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට දෙපාර්ශ්වයම එකඟතාව පළකර ඇති බවද සඳහන් වේ.

මේ අතර මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් හෙට (31) දිනයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට නියමිතව තිබේ.

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක යළි ක්‍රියාත්මක කිරීම ජනවාරියේ

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අලුත්වැඩියා කටයුතු සිදුකෙරන ජනන යන්ත්‍ර 2ක ජනවාරි මස 14 වනදා සහ ජනවාරි 18 වනදා ජාතික විදුලිබල පද්ධතිය හා එක් කිරීමට නියමිතව තිබේ.

විදුලි බල මණ්ඩල නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ, අංක 2 ‘B’ ජනන යන්ත්‍රය 2026 ජනවාරි මස 14 වන දින ජාතික විදුලිබල පද්ධතිය හා එක් කිරීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතික බවය.

වර්තමානය වන විට අදාළ  ජනක යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් අදියරෙහි පවතින අතර එහි නියමිත තත්ත්ව පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බව විදුලි බල මණ්ඩල සඳහන් කරයි.

මේ අතර ජනක යන්ත්‍ර අංක 1 ට අයත් බොයිලේරුවේ හදිසියේ ඇතිවූ දෝෂයක් නිසා එම යන්ත්‍රයද, 2025 දෙසැම්බර් මස 20 දින ආරක්ෂිතව නවතා දැමීමට සිදුවිය.

දැනට, එහි වූ දෝෂයන් නිවැරදි කිරීමේ නඩත්තු කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින අතර එම යන්ත්‍රයද යථාවත් කර 2026 ජනවාරි මස 18 පමණ වන විට ජාතික පද්ධතිය හා එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය බලාපොරොත්තුව බව සඳහන්ය.

කෙසේ වුවද අඛණ්ඩව විදුලිය සැපයීමට එය බාධාවක් නොවන බව ‍දන්වා සි‍ටින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.