පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තුව වැඩි නොකිරීමට තීරණයක්….

2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම මෙය ප්‍රකාශයට පත් කර ඇත.

ඊට අදාළ නිවේදනය පහතින්,

නිසි කාලය තුල විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරන ලදී. කොමිෂන් සභාව මෙම තීරණයට එළඹියේ විධිමත් යෝජනාවක් නිශ්චිත කාලයට පෙර ඉදිරිපත් නොකිරීම, මුල් යෝජනාවේ දෝෂ සහගත බව සහ මෙම කාර්තුව සදහා ඉදිරියේදී නව යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත්කරනු ලැබුවද කාර්තුවේ ඉතිරි කෙටි කාලයක් සදහා සංශෝධනයක් ක්‍රියාවට නැගීමෙන් ඉහළ ප්‍රතිශතයකින් ගාස්තු වෙනස්වීමේ අවාසි ආදි කරුණු සළකා බැලීමෙන් අනතුරුවය.

2026 ජනවාරි සිට මාර්තු දක්වා සදහා වු ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය වර්ෂයේ නොවැම්බර් 14 වැනි දින වන විට ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව විසින් එම වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ලිපියක් මගින් ලංවිමට දන්වා තිබිණ. එහෙත් 2026 පළමු කාර්තුව සදහා ලංවිම සිය යෝජනාව ඉදිරිපත් කර තිබුණේ 2025 දෙසැම්බර් 29 වැනි දිනය. එම යෝජනාවේ පැවති දෝෂ හේතුවෙන් නිසි යෝජනාවක් 2026 ජනවාරි 8 වැනි දිනට පෙර ඉදිරිපත්කරන ලෙස කොමිෂන් සභාව 2026 ජනවාරි 5 වැනි දින ලංවිමට දන්වා සිටියේය. නිවැරැදි කරන ලද යෝජනාව ඉදිරිපත් කිරීමට තවදුරටත් ප්‍රමාද වන බව  ලංවිම විසින් 2026 ජනවාරි 8 වැනි දින කොමිෂන් සභාවට දන්වන ලදී. මේ දක්වා සංශෝධිත යෝජනාවක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති අතර එම යෝජනාව ලැබීමෙන් අනතුරුව සමාලෝචනය හා මහජන උපදේශන වලින් පසුව ක්‍රියාවට නගනු හැකි වනුයේ 2026 පළමු කාර්තුවේ අවසන් කාල පරිච්ඡේදය සදහාය. කාර්තුවේ කෙටි කාලයක් සදහා ආදායම් හා වියදම් වෙනස්කම් ගැලපීමෙන් සංපේක්ෂව ඉහල ප්‍රතිශතයකින් විදුලි ගාස්තු වෙනස් විය හැකි බව නිරීක්ෂණය වී තිබේ. එය ජාතික ආර්ථිකයට වඩා අහිතකර ලෙස බලපා හැකිය.

වලංගු ගාස්තු සංශෝධනයක් නිසි කලට ඉදිරිපත් නොකිරීම හා කාර්තුවේ කෙටි කාලයක් සදහා ගාස්තු සංශෝධනයක් ක්‍රියාවට නැගීමෙන් ආර්ථිකයට ඇති විය  අහිතකර බලපෑම් සළකා බැලීමෙන් අනතුරුව පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් තීරණය කරන ලදී. එමෙන්ම 2026 දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව 2026 පෙබරවාරි මස 13 වැනි දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසද කොමිෂන් සභාව විසින් ලංවිමට දන්වා තිබේ.

මාවනැල්ල සහ මහනුවරට මත්ද්‍රව්‍ය බෙදූ සමීර් සියල්ල හෙළි කරයි…..

මාවනැල්ලට හා මහනුවරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ජාවාරම්කරුවකු බව කියන ‘සමීර්’ නැමැත්තා සහ ඔහුගේ සහෝදරයා බැංකු ගිණුමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාවනැල්ලේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවකින් සැකසහිත බැංකු ගිණුමක් සම්බන්ධයෙන් මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකක අංක 01 මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එහිදී හෙළි වී ඇත්තේ අදාළ ගිණුමේ 2020 වසරේ රුපියල් මිලියන 8.2ක් හා 2021 වසරේ රුපියල් මිලියන 5.2ක මුදලක් සංසරණය වී ඇති බවය.

ගිණුමේ හිමිකරු වූ මාවනැල්ලේ පදිංචි මොහොමඩ් ආසික් නැමැත්තා අවස්ථා රැසකදී මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙක් බව පොලීසිය පවසයි.

ඔහුගේ ගිණුමට මුදල් බැරකළ පුද්ගලයන් අතරින් බහුතරයක් මේවන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අය බවද අනාවරණ වී ඇත.

එම රැඳවූවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී තිබුණේ මාවනැල්ලේ ‘සමීර්’ නමැත්තෙකුට ලබාදීම සඳහා අදාළ මුදල් ඔහුගේ සහෝදරයා වන මොහොමඩ් ආසික්ට අයත් බැංකු ගිණුමට බැර කළ බවය.

මාවනැල්ල හා මහනුවර ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ජාවාරම්කරු බව කියන ‘සමීර්’ නමැත්තා සහ ගිණුමේ හිමිකරු වන ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා ඇත්තේ කොළඹින් මත්ද්‍රව්‍ය රැගෙන ගොස් අදාළ ප්‍රදේශවලට බෙදාහරින බවත් මත්ද්‍රව්‍යවලින් උපයාගත් මුදල් අදාළ ගිණුමට බැරකළ බවත්ය.

සැකකරුවන් දෙදෙනා අද (14) පස්වරුවේ මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයා රිමාන්ඩ්…..

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු එළැඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (14) දහවල් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බව සඳහන් කළේය.

පැමිණිලිකරුගේ වැඩිමහල් දියණිය මෙම වසරේ විශාඛා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර දීම සඳහා රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් ලක්ෂයක මුදලක් අවස්ථා තුනකදී ලබාගෙන ඇති අතර ඉතිරි ලක්ෂ දෙකක මුදල ඉල්ලා ගත් අවස්ථාවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණය දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අදාළ සැකකරු එළැඹෙන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

ආනයනික කිරිපිටි මිල අඩු වෙයි…..

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.

ඒ අනුව  ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමටද ඔවුන් එකඟවී ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

අමාත්‍යාංශය පැවසුවේ අප්‍රේල් මාසයේදී යළිත් කිරිපිටි මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “පිටිපන කොත්තුවා” අත්අඩංගුවට….

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහ එගොඩගේ නිමේෂ් රන්දික පෙරේරා නොහොත් “පිටිපන කොත්තුවා” නැමැත්තා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශගතව සිටින පාතාල අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හඳයා නැමැත්තාගේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ආමි අසංගට අයත් හෙරොයින් මත්ද්‍රව්‍ය මෙම සැකකරු විසින් හෝමාගම පොලිස් බල ප්‍රදේශය තුළ තොග සහ සිල්ලර ලෙස අලෙවි කරන බවත් වාර්තා විය.

සැකකරු සම්බන්ධව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් සිදුකරන ලද ආවේක්ෂණයේදී ලබා ගන්නා ලද තොරතුරු මත එම බළකායේ කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 17,830ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20,320ක් ද මෙහිදී නිලදාරීන් සිය භාරයට ගෙන තිබේ.

සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇත්තේ පොලිස් ස්ථාන මගින් වැටලීම සඳහා පැමිණීමේදී වැටලීම් සිදු කිරීමට අපහසුවන පරිදි නිවසට පැමිණෙන මාර්ගයේ සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි CCTV කැමරා පද්ධති සවි කරමින් වන අතර නිලධාරීන්ට නිවස පිහිටි භූමියට ඇතුල්වීමට නොහැකි වන පරිදි උස් දැල් ආවරණයක්ද, නිවස පරීක්ෂාව වැළැක්වීම සඳහා ප්‍රචණ්ඩකාරීව හැසිරීමට පුහුණු කරන ලද දරුණු ගණයේ සුනඛයින් ද යොදා ගනිමිනි.

සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන ගණනාවකින් අත්අඩංගුවට ගෙන නඩු පවරා අධිකරණය වෙත ඉදිරිපත් කර වැරදිකරු කර ඇති අතර සැකකරු විවිධ උපක්‍රම භාවිත කරමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අනාවරණය කරගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී සොයා ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ෂන සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර රඳවා ගබා ගැනීමේ නියෝග මත ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.

අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි….

නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය පැවසුවේ පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය තුළ මෙරට සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලුු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් අන්තර්ගත නොවීම තුළ සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුළ බරපතළ නොසන්සුන්තාවයක් හටගත් බවය.

ඒ අනුව සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් ලිඛිත එකඟතාවයන් මත එම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවත් එම සංගමය සඳහන් කළේය.

ඒ අනුව ඊයේ (13) දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බවත් පෙන්වා දෙන එම සංගමය පැවසුවේ එකඟතා ක්‍රියාත්මක කරමින් ගැටලු විසඳීම සඳහා ඉදිරි දින 10ක කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට තීරණය කළ බවත්ය.

ඒ අනුව එම කාල රාමුව තුළදී ගැටළු විසඳීමට අමාත්‍යාංශය අපොහොසත් වන්නේ නම් එළැඹෙන 23 වැනි දින සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරටින් නික්මයාමට නියමිත අමෙරිකානු තානාපති ජූලි චන්ග් අගමැතිනිය හමුවෙයි…..

සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය අද ( 14) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

තානාපතිවරිය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, තම ධූර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ජූලි චන්ග් මහත්මිය විසින් ලබා දුන් සේවය සහ දායකත්වයට සිය කෘතඥතාව පළ කළාය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ හදිසි තත්ත්වයෙන් රට යථා තත්ත්වයට පත් කරගැනීමට ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැසසුමට ලක් කළාය.

සිය ධූර කාලයේ දී ශ්‍රී ලංකා රජය විසින් තමාට ලබා දුන්  අන්‍යෝන්‍ය සහයෝගය පැසසුමට ලක් කළ ජූලි චන්ග් මහත්මිය, ශ්‍රී ලංකා නව රජයට සිය කෘතඥතාව පළ කළ අතර, දෙරට අතර දිගු කාලීන හවුල්කාරිත්වය තහවුරු කළාය.

Fulbright ශිෂ්‍යත්ව වැඩසටහන සහ එක්සත් ජනපද සාම බලකා (Peace Corps)  වැඩසටහන යටතේ දෙරටේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වූ අතර, දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය සහ දිගුකාලීන සහයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

මෙම අවස්ථාවට නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Jayne Howell මහත්මිය, මහජන හා සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක Menaka Nayyar මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ප්‍රමුදිතා මනුසිංහ මහත්මිය සහභාගී වූහ.

පොහොට්ටුවේ ගම්පහ ප්‍රා.ස මන්ත්‍රිනියගේ නිවසට මාලිමා ක්‍රියාකාරිකයෙකුගෙන් ගල් ප්‍රහාරයක්….

පොහොට්ටුවේ ගම්පහ ප්‍රා.ස මන්ත්‍රිනියගේ නිවසට මාලිමා ක්‍රියාකාරිකයෙකුගෙන් ගල් ප්‍රහාරයක්

වැලිවේරිය ඇඹරලුව ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි අනූජා ශ්‍රියන්ති මහත්මියගේ නිවසට ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරියෙකු යැයි පැවසෙන පුද්ගලයෙකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊයේ (12) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියගේ නිවසට සහ වෙළෙඳසැලට මාර්ගයේ තිබෙන ගල් අහුලා මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

අදාළ ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක මෙම ප්‍රහාරය එල්ල කරන අයුරුද සටහන්ව තිබුණි.

අද (12) උදෑසන ප්‍රාදේශීය සභා මන්ත්‍රිනිය වැලිවේරිය පොලීසියට අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ බීමත්ව සිට ඇති බවත් වාර්තා වුණි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්…..

එළැඹෙන අප්‍රේල් මස අවසානය වන විට වාර්ෂික මහා සභා රැස්වීම පවත්වන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට (NOC) උපදෙස් දී තිබේ.

ඔවුන් වැඩිදුරටත් දන්වා ඇත්තේ ඒ වනවිට වෝහාරික විගණනය අවසන් කර ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

රමිත් රඹුක්වැල්ලගේ නඩුව කැඳවීමට දින දෙයි…..

නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව ගොනුකර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 11 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (13)  නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුකරයට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට භාරදුන්නේය.

ඉන් අනතුරුව එම ලේඛනවල පිටපත් විත්ති පාර්ශ්වයට ලබා දෙන ලෙස විනිසුරුවරයා නියම කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඉදිරි දින අවසන් කළ යුතු බව පාර්ශ්වයන්ට දැනුම් දුන්නේය.

ඒ අනුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව පෙබරවාරි 11 වනදා යළි කැඳවන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කළේය.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා අතර කාලසීමාව තුළ  හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබේ.