හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුව කල්යයි…..

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි 10වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවට අදාළව ඉදිරිපත් කරන ලද තවත් නඩුකරයක් අභියාචනාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවය.

එහෙත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අභියාචනාධිකරණය විසින් තම අධිකරණයේ පවතින නඩුව විභාග කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර නොමැති නිසා එය විභාගයට ගැනීමට තමන්ට හැකියාව තිබෙන බවය.

ඒ අනුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 10වනදා යළි කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් යොදා පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76ක පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

සරණට එරෙහි අල්ලස් නඩුව කැඳවීමට දින දෙයි….

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේ දී රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක් ජනවාරි 26 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය හා සමාන තවත් නඩුවක් මේ මස 26 වනදා කැඳවීමට නියමිතව තිබෙන බව සඳහන් කළේය.

ඒ අනුව මෙම නඩුකරයද එදිනට කැඳවන ලෙසත් නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි ජනවාරි 26 කැඳවන ලෙස නියෝග කළේය.

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල්යයි….

දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

කෙසේ නමුත් 1 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව,

1. මානව සම්පත් සංවර්ධනය
2. යටිතල පහසුකම් සංවර්ධනය හා පරිපාලන ප්‍රතිසංස්කරණ
3.තක්සේරු සහ ඇගයීමේ කටයුතු
4. විෂයමාලා සංවර්ධනය
5. මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය
 යන ප්‍රධාන කුලුනු 5ක් මත අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළට…..

සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.

වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් පිළිවෙලින් රුපියල් 120/-ක්, රුපියල් 125/-ක් සහ රුපියල් 132/-ක් ලෙස මිලදී ගෙන ඇත.

එහෙත් ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගා කිරීම වැඩි දියුණු කිරීම සඳහා එම වී වර්ගවල අවම මිල ගණන් සංශෝධනය කිරීම සුදුසු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද මිල කමිටුව නිර්දේශ කර තිබේ.

එම නිර්දේශයන් පදනම් කර ගනිමින් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව තීරණය කර ඇත්තේ, නියමිත ප්‍රමිතියෙන් යුත් නාඩු වී කිලෝග්‍රෑමයක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 120/- ලෙස තවදුරටත් පවත්වාගෙන යාමටය.

ඒ සමඟම, සම්බා වී කිලෝග්‍රෑමයක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 125/- සිට රුපියල් 130/- දක්වාත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 132/- සිට රුපියල් 140/- දක්වාත් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

මෙම තීරණය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම්වත් කිරීමෙන් අනතුරුව, ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා දීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

විමල්ගේ සත්‍යග්‍රහය අවසන්…..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වනවිට අවසන් කර තිබේ.

රජය විසින් 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දමා ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා  මෙලෙස සත්‍යග්‍රහය අවසන් කර ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බලකරමින් මෙම සත්‍යග්‍රහය ඊයේ ආරම්භ කර තිබුණි.

අස්වැසුම සුභසාධන යෝජනා ක්‍රමයේ නිර්ණායක සංශෝධනයට උපදෙස්….

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නිර්ණායක සංශෝධනය කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

වර්තමානයේ අස්වැසුම යෝජනා ක්‍රමය සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී භාවිතා වන නිර්ණායක 22 තුළ ගැටලු රැසක් පවතින බව කාරක සභාවේදී අනාවරණය වී ඇති අතර, ඉදිරියේදී තෝරාගැනීමට නියමිත අස්වැසුම ප්‍රතිලාභීන් නව හා සංශෝධිත නිර්ණායක යටතේ තෝරාගැනීමට කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට දැනුම් දී ඇත.

මෙම කරුණු පිළිබඳ සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී සිදු කෙරුණි.

එහිදී 2025 දෙසැම්බර් 15 දිනැති අංක 2467/03 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනතේ 9 වන වගන්තිය යටතේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය දීර්ඝ කිරීම පිළිබඳවද සළකා බැලීය.

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ සංක්‍රාන්තික, අවධානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු යන කාණ්ඩ සඳහා ප්‍රතිලාභ ලබාදී ඇති අතර, සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවීම් 2025 අප්‍රේල් 30 වන දිනෙන් අවසන් වී ඇති බව කාරක සභාවට දැනුම් දෙන ලදී.

නව සංශෝධන අනුව ඉදිරියේදී අවධානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු කාණ්ඩ සඳහා පමණක් ප්‍රතිලාභ ගෙවීම් සිදු කිරීමට නියමිත බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු පැවසූහ.

කෙසේ වෙතත්, අනපේක්ෂිත ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි සමාජ ආර්ථික ගැටලු සැලකිල්ලට ගනිමින්, 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අවධානමට ලක්වූ කාණ්ඩය සඳහා ගෙවීම් 2026 ජූනි මාසය දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බව ද ඔවුහු සඳහන් කළහ.

එමෙන්ම අබාධිත පුද්ගලයන්, වකුගඩු ආධාර ලබන පුද්ගලයන් සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයන් සඳහා වන දීමනාද අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කාරක සභාවට දැනුම් දෙන ලදී.

මෙහිදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන කාර්යභාරය පිළිබඳවද කාරක සභාව අවධානය යොමු කළ අතර, පවුල් ලක්ෂ 20ක් ක්‍රමානුකූලව සවිබලගැන්වීම සඳහා විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැටුප් හා පරිපාලන කටයුතු සඳහා වාර්ෂිකව වැය වන මුදල පිළිබඳවද කාරක සභාව විමසා සිටියේය.

ඒ අනුව වාර්ෂිකව රුපියල් බිලියන 22කට අධික මුදලක් වැය වන අතර, 2026 වසර සඳහා වැටුප් සහ සවිබලගැන්වීමේ කටයුතු සඳහා රුපියල් බිලියන 27.38ක් වෙන් කර ඇති බව නිලධාරීහු දැනුම් දුන්හ.

කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී අදහස් දක්වමින්, සවිබලගැන්වීමේ කටයුතුවලට සාපේක්ෂව අතිවිශාල මුදලක් වැටුප් සහ පරිපාලන කටයුතු සඳහා වෙන් කිරීම කෙතරම් ඵලදායීද යන්න ප්‍රශ්න කළේය.

එසේම, මේ වනවිට ක්‍රියාත්මක කර ඇති ප්‍රජා සවිබලගැන්වීමේ ව්‍යාපෘති පිළිබඳව පසු විපරමක් හෝ ස්වයං ඇගයීමක් සිදු කර ඇතිද යන්නද නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

එවැනි ඇගයීමක් සිදු කර නොමැති බව නිලධාරීන් පිළිගත් අතර, ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන සියලුම සුභසාධන සහ සවිබලගැන්වීමේ වැඩසටහන් ඇතුළුව අනෙකුත් සියලු සුභසාධන ව්‍යාපෘති ස්වාධීන ඇගයීමකට ලක් කිරීමට මුදල් අමාත්‍යාංශයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත.

මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක්…..

සුළි කුණාටුවකින් පීඩාවට පත් මෙරට ජනතාවට බෙදාදීම සඳහා මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක් සිදුකර ඇත.

එම සහල් තොගය ලබාදීම නිල උත්සවය එරට යැංගොන් වරාය පරිශ්‍රයේ දී අද පැවැත්විණි.

මෙම අවස්ථාවට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රභාෂිණී පොන්නම්පෙරුම ඇතුළු එරට නියෝජිතයන් කිහිප දෙනෙකු එක්ව තිබේ.

විපක්ෂය ගේන්න යන විශ්වාසභංගය ජනවාරි 22 සහ 23 විවාදයට ගන්න සූදානම්…..

අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සිදුව ඇති කරුණු සහ ඉදිරියේදී සිදුවීමට නියමිත කරුණු පිළිබඳව විශාල ප්‍රමාණයක කරුණු පැහැදිලි කරගැනීමට මෙම විශ්වාසභංග විවාදය අවස්ථාවක් වනු ඇති බවත්, විපක්ෂය කඩිනමින් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව ජනවාරි 22 සහ 23 යන දින දෙක මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට වෙන් කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් තවත් දින ලබාදීමටද රජය සූදානම් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

විපක්ෂය අග්‍රාමාත්‍යවරියට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ විට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සත්‍යය සහ යථාර්ථය ජනතාවට පැහැදිලිව ඉදිරිපත් කිරීමට රජයට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ජනපති, අගමැති සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

රජය ක්‍රියාත්මක කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ එහි අවශ්‍යතාව පිළිගන්නා බවත්, 06 ශ්‍රේණියේ විෂය නිර්දේශය නව සංශෝධනයකට ලක්විය යුතු බවත් මෙහිදී පෙන්වා දුන් ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළහ.

ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය,  අධ්‍යාපනඥයන්, නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත විධිමත් යාන්ත්‍රණයක අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කිරීමටද ඔවුන් මෙහිදී යෝජනා කළහ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  සාර්ථක කර ගැනීමට නම් ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය බවත්, සැකයක් හෝ අවිශ්වාසයක් සහිතව පරිවර්තනයක් සිදුකළ නොහැකි බවත් පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී රජය සමඟ එක්ව කටයුතු කරන ලෙසද ගුරු වෘත්තීය සමිති නියෝජිතයන්ට ආරාධනා කළේය.

රජය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී ගුරු වෘත්තීය සංගම් නියෝජිතයන් දැනුවත් කළ ජනාධිපතිවරයා  පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන නමුත්, මොඩියුල සකස් කිරීමේදී පවතින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය සහ තාක්ෂණික ගැටලු මඟ හරවා ගනිමින්  06 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ  ආරම්භ කිරීම 2027 වසරේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ස්මාර්ට් පුවරු, රූපවාහිනි සහ පරිගණක වැනි යටිතල පහසුකම් දෙමාපියන්ගේ මුදලින් නොව රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

අන්තර් පළාත් ගුරු මාරුවීම්, උසස්වීම්, වැටුප් විෂමතා සහ විදුහල්පති සේවාවේ ගැටලු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.

ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්, ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම, අධ්‍යාපන සමූපකාරයේ සභාපති එම්.ජී.පී.එල්. ලාල් කුමාර,  විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු ගුරු වෘත්තීය සමිති සංගම් රැසක් නියෝජනය කරමින් නියෝජිතයෝ මීට එක්ව සිටියහ.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බත්තරමුල්ලේ දී වාහනවලට හානි කළ තරුණයා රිමාන්ඩ්….

බත්තරමුල්ල දියත උයන සහ ඇතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට තියුණු ආයුධයකින් පහරදුන් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 22දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද(13) නියෝග කර තිබේ.

අදාළ සැකකරු වැලිකඩ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

එම පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක් වන බවත් ඔහු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවත් පොලිසිය අධිකරණයට දන්වා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ වන විටත් ඔහුගේ ශරීරයේ අයිස් ‍සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තැන්පත්ව තිබූ බවට එම වාර්තාවේ සඳහන් බවද පොලිසිය අධිකරණය හමුවේ දන්වා ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් සිද්ධියට අදාළව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

මෙම සැකකරු මින් ඉහතදීද අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව මුදා හැර ඇති අයකු බවද සඳහන් වේ.